තනතුරු හැරදමා පාරේ කඩෙන් කෝපි බොන එංගලන්ත අගමැති
අගමැති පුටුවෙන් උදේ ඉවත්වූ ඬේවිඞ් කැමරන් එදිනම සවස බඩු බැඳගෙන සිය පවුල ද කැටිව මිතුරකු ලබා දුන් නිවසට ගොස් පසුවදාම ළමුන් තිදෙනා පාසලට ඇරලවනු පෙණින.
අපේ දේශපාලනඥයන්ට එංගලන්තයෙන් ඉගෙන ගැනීමට නිකම් පාඩම් නොව ඩිප්ලෝමා පාඨමාලාවක් ඇති බව මට මතක් විය.
පසුගිය දිනක මා ලන්ඩනයට ඇතුල්වූයේ තරමක් කුතුහලයකිනි.
වෙනදා මෙන් නොව මෙවර මා යන්නේ දේශපාලන සහ ආර්ථික වශයෙන් උඩු යටිකුරු වුණු එංගලන්තයකට යැයි හැඟීමක් ගුවන්යානයේදීම මට ඇති විය.
ඊට හේතුව මහා බි්‍රතාන්‍ය සුදු රාජධානිය හෙවත් ධවල විජිතය යුරෝපීය හවුලෙන් වෙන්වීමට සියයට 51 ක කැමැත්ත පළවීමත් සමඟම එහි බොහෝ දේ වෙනස් වුවත් ඔවුන්ගේ මුහුණුවලින් ඒ කිසිවක් නොකියවිණි.
ඒ වනවිටත් ලිස්සන ගසේ මුදුනටම නැග සිටි එංගලන්තයේ අභිමානය හෙවත් “ග්‍රේට් බි්‍රට්න් පවුන්ඞ්” හෙවත් මහා බි්‍රතාන්‍ය පවුම එක රැයින් පහළට ලිස්සා වැටුණි.
පවුම් එකතු කරන්නට මෙන්ම “ඩොලර්” “යුරෝ” ගෙනවිත් එංගලන්තයේ මාරු කරන අයට යම් වාසියක් වුවද එංගලන්ත ආර්ථිකයට එය බරපතළ හානියක් විය. එනිසා පවුමට නොවැටීමට මුක්කු ගැසීමට එංගලන්ත මහා බැංකුවට පවුම් බිලියන ගණනක් පොම්ප කිරීමට සිදුවිය.
‘බි්‍රක්සිටි’ පරාජයෙන් පසු එම තීරණය ගෞරවයෙන් බාරගෙන ඔක්තෝබර් මාසයේ ගෙදර යන බව අගමැති ඬේවිඞ් කැමරන් ප්‍රකාශ කිරීමත් සමගම එහි පාර්ලිමේන්තුව වන වෙස්මිනිස්ටර් යද “ටෝරි” හෙවත් පාලක කන්සර්වටිව් පක්ෂය ද කැළඹුණි.
මේ සියල්ල දෙස සියුම්ලෙස ලංඩනයේ සිට අධ්‍යයනය කරමින් බීබීසිය නරඹමින් මගතොට හමුවන්නන්ට කථා කරමින් සිදුවන ජවනිකා දෙස බලා සිටීමට මට හැකි විය.
වීදි දිගේ ඇවිද යනවිට දැනෙන උණුසුම් කෝපි සුවඳත්, කනේ වයර් ගසාගෙන සිය මොබයිල් ස්මාට් ෆෝනයෙන් ලෝකයම එහාට මෙහාට පෙරළමින් අනුන්ගේ කථා බහට ඇහුම්කන් නොදෙන ජනතාවත්, අතේ පයේ බැගේජ් එල්ලා ගත් සංචාරකයනුත්, කෝපි කෝප්ප අතැතිව ලහි ලහියේ වැඩට දුවන ජැන්ඩියට හැඳගත් වැඩට යන පිරිසත්, ඌබර් ටැක්සි සේවාව නිසා පහර වැදී ඇති ලංඩනයේ “බ්ලැක් කැබ්” ටැක්සි සේවාවත්, ගුල්වලින් ඇදෙන කුහුඹු රැළක් මෙන් ජනතාව එළියට ඇදෙන උමං දුම්රිය ස්ථානත්, ගිම්හානයේ ‘පබ්’ වල එළියේ සිටගෙන කූල් බීර බොන උදවියත් දෙස බැලූ විට එහි කිසිම දේශපාලන හෝ ආර්ථික පෙරළියක් ගැන හෝඩුවාවක් හෝ නොපෙනීම විශේෂයකි.
කාල ගුණ අනාවැකිය පවා පැයෙන් පැයට අකුරටම කියන බීබීසීයට පවා ඉඟි නොවැටෙන ලෙසින් හදිසියේම බි්‍රතාන්‍ය අගමැති ඬේව්ඞ් කැමරන් සිය අගමැතිධූරයෙන් දින දෙකකින් ඉල්ලා අස්වන බව “ස්කයි”, “බීබීසී” ඇතුළු ප්‍රධාන මාධ්‍යවල “බ්‍රේකිං නිව්ස්” වලට වැටුණි.
ඒවනවිටත් කොන්සර්වටිව් පාලන පක්ෂයේ මීළඟ අගමැති වීමේ පොරයට කරළියට පැමිණ සිටි “තෙර්සා මේ” සහ “ඇන්ඩි්‍රයා ලිඩිසම්” අතර ද්වන්ධ සටන නතරවී තෙරේසා මේ ට සහය පළ කිරීමට ඇන්ඩි්‍රයා පොරොන්දු වූවාය.
තත්ත්වය මෙසේ වනවිට එංගලන්තය ප්‍රධාන විරුද්ධ පක්ෂය වන “ලේබර්” (කම්කරු) පක්ෂය ද නායකත්ව අර්බුදයකට පත්වී තිබුණ නිසා එයින් ප්‍රයෝජනය ගෙන තම කාලය දික්කර ගැනීමට අගමැති ඬේවිඞ් කැමරන්ට හැකියාවක්ද තිබුණි.
ජනතා ප්‍රජාතන්ත්‍රවාදයට වචනයකින් හෝ බාධා කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තිය නොවන නිසා නො. 10 ඩව්නිං වීදියේ නිල නිවසින් සිය දරු තිදෙනාද සමග තමන් රැගෙන ආ තමන් සතු බඩු මුට්ටු පොදි බැඳගෙන එදිනම සවස නික්ම යාමට අගමැතිතුමා සමත්විය.
එදින සවස බී.බී.සී. ය පෙන්වූයේ බඩුමුට්ටු ගෙනයන ලොරි රථයක් අගමැති නිල නිවස ඉදිරිපිට නවතා ඇති දර්ශනයයි.
ආවේගකාරී ප්‍රකෝපකාරී දේශපාලනයේදී අප විසින් සුද්දන්ගේ ධවල විජිතයන් කොතරම් විවේචනය කළත් සුද්දන්ගෙන් ඉගෙන ගැනීමට තවත් අපට බොහා් දේ ඇති බව එංගලන්තයට යන එන සෑම වාරයකදීම මගේ සිහියට නැගෙයි.
හැන්දෙන් ගෑරුප්පුවෙන් කන කෑමේ සිට ඇඳුම පැළඳුමේ සිට ගම් නගර නිර්මාණය දක්වා වැදගත් ප්‍රමිති රටාවක් ඔවුන්ගේ ජන ජීවිතේ ඇත. දේශපාලනයටත් එය එසේය.
බීමත්ව රිය නොපැදවීම, වාහන ආසන පටි දැමීම, මාර්ග නීති අකුරට පිළිපැදීම ආදී විනයන් සහ නීතිරීතිවලින් එකට කළවම් වී සැදුණු ස්වයං විනය පද්ධතියක් තිබීම ආදිය ගැන බලන විට අපට ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.
අගමැති ඬේවිඞ් කැමරන් පුටුවෙන් නික්ම යාමත් සමඟ ඔහු කිසිදිනක නැවතත් බලයට එන්නේ නැත. ඇමරිකාවේ ඔබාමාද එසේය. ඔවුන් සාමාන්‍ය මැදිවයසේ පසුවන්නන්ය. අපේ ක්‍රමයට බලන විට තවත් වසර 20 ත් 30 ත් ඔවුන් දේශපාලන පොරපිටියේ රැඳී සිටීමට උවමනාය.
එසේ කිරීමට එරට ව්‍යවස්ථාවෙන් ඉඩක් ලැබුණත් නොලැබුණත් ඔවුනට උවමනාවක් නැත.
දේශපාලනය වනාහී තාවකාලික භාරකාරත්වයක් බවත් මෙය තමන්ගේ ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට ඔවුන්ගේ කැමැත්තක් නැත්තේ ඔවුන්ගේ පවුල් ජීවිතයට ඊට වඩා වටිනාකමක් ඇති බැවිනි.
ජපානයේ හිටපු අගමැතිවරයෙකුවූ ජුනිචිරෝ කොයිසුමී තම කාලය ඉතිරිවී තිබියදී හදිසියේ ඉල්ලා අස්වී පැවසූදේ මට තවමත් මතකය.
මං මගේ කෑම, බීම සහ මගේ සංගීතය සංතෝසෙන් භුක්ති විඳීමට දේශපාලන හිර කාරයකුවී තවදුරටත් සිටිය නොහැකිය යන්නය.
මා ලන්ඩනයේ සිටි සති දෙකක කාලයේදී පවුම පහළට වැටී ඩොලරයේ සහ යුරෝ අවමානයට ලක්වුවද දේශපාලන ග්‍රහ හුවමාරු සිදුවුවද ඔවුන්ගේ බඩුමිල එලෙසින්ම පැවතුණි. කෝච්චි සහ බස් වෙලාවට තත්පරයට දුවන අතර ඒවායේ ගාස්තු වැඩිවීමක්ද නොවුනි.
‘ඇස්ඩො’ ‘ටෙස්කො’ සහ “සෙයින්ස්බරි’ ‘ඇල්ඩි’ සහ ‘ලීඞ්ල්’ යන විශාලතම සුපර්මාකට් ජාලාවල ‘කිරි බෝතලයේ සිට තක්කාලි, ලූණුගෙඩිය දක්වා මිල ගණන් එලෙසම පැවතුනි.
අගමැති ඬේවිඞ් කැමරන් ලංඩනයේ නො. 10 ඩව්නිං වීදියේ අගමැති නිල නිවසින් නික්ම යනවිට ඔහුගේ ළමුන් තිදෙනා වන 12 හැවිරිදි නැන්සිත් 10 හැවිරිදි එල්වින් සහ 5 හැවිරිදි ප්ලෝරන්ස් ලංඩනයේ පාසල් යමින් සිටි බැවින් ඔහු ලංඩනයේම නතරවී සිටිය යුතුය.
එහෙත් ‘නොමිංහිල්’ හි පිහිටි ඔහුගේ නිවස වෙනත් අයකුට කුලියට දී ඇත. එනිසා සිය බිරිඳ සමන්තා සමඟ ඬේවිඞ් නික්ම ගියේ ලංඩනයේ හොලන්ඞ් පාක්හි සිය මිතුරකු වන සර් ඇලන් පාකර් ලබාදුන් නිවසටය. එල්ටන්ජෝන්, සයිමන් කොවල්, සහ ඬේවිඞ් බෙකම් වැනි ජනකාන්ත තරු පදිංචිවී සිටින හොලන්ඞ් පාක් හි සිට පසුවදා හිටපු අගමැතිතුමා ළමුන් තිදෙනාද සමඟ පාසල වෙත යන පිංතූර පසුවදා “ඬේලි මේල්” පත්‍රයේ මුල් පිටුවේ පළවිය.
පසු දිනයේදී ඬේවිඞ් කැමරන් හිටපු මුදල් ඇමැති ජෝර්ජ් ඔස්බර්න් ද පවුලේ උදවිය ද සමඟ අව්ව තපිමින් ලංඩනයේ “ලිස්බෝ කැෆේ” නැමැති පෘතුගීසි කෝපි අවන්හලේ මිදුලේ බංකුවක පැය තුනක් පමණ කෝපි බිබී සිටි බව පිංතූරද සමග ‘ඬේලි මේල්” පත්‍රයට හසුවිය.
ඔවුන් දෙදෙනාම දැන් පසු පෙළ මන්ත්‍රීවරුන්ය. එම කෝපි හළේ අයිතිකරු සිලියා ගෝමස් පත්‍ර වාර්තාකරුට පවසා සිටියේ.
“මම දේශපාලනය ගැන මොකුත් දන්නේ නැහැ. ඒත් එකක් කියන්න ඕනෑ. හිටපු අගමැතිතුමා ඊයේ පැය තුනක් අර බංකුවේ හිටියේ හුඟක් සන්තෝෂයෙන්.”
කැබිනට් මණ්ඩලයෙන් ඉවත්කළ හිටපු අධිකරණ ඇමැති මයිකල් ගෝවි කෙංසිටනය අසල පොත් සාප්පුවකින් “බ්ලඞ් වෙඩිං” නැමැති පොත මිලට ගෙන සිය “බැක් පැක්” හෙවත් ගමන් මල්ල පසෙක තබා කෝපි බොමින් සිට කොච්චියෙන් ගෙදර යනු දන්නා ලදී.
එංගලන්තයේ මැති ඇමතිවරුද ඉතා සරල ජිවිත ගත කරන්නන් බව බැලූ බැල්මට පෙනී යන්නේ බොහෝ දෙනෙක් අපේ පාසල් ළමුන් මෙන් ‘බැක් පැක්’ එල්ලාගෙන යන බැවිනි.
අපේ දේශපාලනඥයන්ට එංගලන්තයෙන් ඉගෙන ගැනීමට ඩිප්ලෝමා පාඨමාලාවක් ඇති බව මට මතක් විය.
ඒ.බී. ලලිත් ද සිල්වා