ඩයිනසෝරයන් ගැන බිහිසුණු අදහසක්
ඩයිනසෝර් ලොවේ බිහිසුණු ඩයිනසෝරයා ලෙස සැළකෙන්නේ ටයිරැනසෝරස් රෙක්ස් නමැති මාංශභක්ෂක දෙපයින් ඇවිද ගිය ඩයිනසෝර යෝධයායි. ටයිරැනසෝරස් පවුලේ ඩයිනසෝරයන් ගැන අප මෙතෙක් දැන සිටි කරුණු කාරණා අලුත් කිරීමට පොසිල විද්‍යාඥයෝ සමත් වී සිටිති. බිහිසුණු ඩයිනසෝරයන් සේම, මෙම පොසිල විද්‍යාඥයන්ගේ මෙම නව අදහස් ද බිහිසුණු යැයි අපට සිතෙයි.
ඩැස්ප්ලෙටෝසෝරස් යනු ටයිරැනසෝරස් රෙක්ස් ඩයිනසෝර පවුලේ අලුත් සාමාජිකයෙකි. පොසිල විද්‍යාඥයන් පවසන්නේ ඩැස්ප්ලෙටෝසෝරස් කසල ශෝධකයෙකු, මාංශ භක්ෂකයකු පමණක් නොව, තමන්ගේම වර්ගයේ සෙසු ටයිරැනසෝරස් ඩයිනසෝරයන් ආහාරයට ගත් බිහිසුණු උරගයකු කියාය. මේ බව අනාවරණය වී ඇත්තේ හමුවුණු ඩැස්ප්ලෙටෝසෝරස් ඩයිනසෝර පොසිල හිස් කබලක දකින්න ලැබුණු දත් පහරවල් හේතුවෙනි. හමුවුණු මෙම පොසිලය, තරුණ වියේ ඩැස්ප්ලෙටෝසෝරස් ඩයිනසෝරයකුට අයත් වූවකි. ඩැස්ප්ලෙටෝසෝරස් ජීවත් වූයේ අවුරුදු මිලියන 75 කට පෙරය.
මෙම දත් පහරවල් හිස් කබලේ සටහන් වන්න ඇත්තේ මෙම ඩැස්ප්ලෙටෝසෝරස් ඩයිනසෝරයා සහ තවත් ඩැස්ප්ලෙටෝසෝරස් ඩයිනසෝරයකු අතර ඇති වුණු සටනක් හේතුවෙන් තරුණ ඩැස්ප්ලෙටෝසෝරස් ඩයිනසෝරයා මිය යෑමෙන් පසුව නිසා යැයි පොසිල විද්‍යාඥයෝ අනුමාන කරති. ඒ අනුව, මේ තරුණ ඩැස්ප්ලෙටෝසෝරස් මරා උගේ මස් අනුභව කර ඇත්තේ හොඳින් වැඩුණු ඩැස්ප්ලෙටෝසෝරස් සත්වයෙකි. හොඳින් වැඩුණු ඩැස්ප්ලෙටෝසෝරස් සත්වකුගේ උස මීටර් නවයකි. බර ටොන් හතරකි.
‘පැහැදිලියි, හමුවුණු මේ පොසිල හිස්කබලට අනුව පෙනී යනවා මේ ඩැස්ප්ලෙටෝසෝරස් සත්වයා කටුක ජීවිතයකට උරුමකම් කී බව. ඩැස්ප්ලෙටෝසෝරස් සත්වයකු වීම අසීරු දෙයක් බව ද පෙනෙනවා. සටන් කිරීමේදී බොහෝ තුවාල ලබා තිබෙනවා.’ යැයි ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ පාෂාණිධාතූ විද්‍යාඥ (පොසිල විද්‍යාඥ) ආචාර්ය ඬේවිඞ් හෝන් පවසයි. ටයිරැනසෝරස් ඩයිනසෝරයන්ගේ නව අදහස් ඉදිරිපත් කිරීමේ දී ආදාර්ය හොන් ද ඊට දායක වී සිටී.
ටයිරැනසෝරස් රෙක්ස් ඩයිනසෝරයන් සහ ඔවුන්ගේ ඥාතීන් අප සිතුවාට වඩා බුද්ධිමත් ජීව විශේෂයක් වුණු බවත්, ඔවුන් තනි තනිව නොව, රංචු වශයෙන් දඩයම් කළ බවත් පොසිල විද්‍යාඥයන් විසින් අනාවරණය කර ගනු ලැබ ඇත. මෙම දඩයම් රංචුවකට තරුණ මහලු ආදී වශයෙන් ටයිරැනසෝරස් ඩයිනසෝරයන් එක් වුණු බව විශ්වාස කෙරේ. මෙතෙක් කල් විද්‍යාඥයන්ගේ මතය වූයේ ටයිරැනසෝරස් රෙක්ස් යනු බිහිසුණු වුණත් මෝඩ පහේ හුදෙකලා දඩයක්කරුකු යැයි කියාය. ඊට හේතුව ටයිරැනසෝරස් රෙක්ස් පොසිල අස්ථි තනි තනිව හමුවීම නිසාය. ඩයිනසෝර ලොවේ බිහිසුණු මොළකාරයන් ලෙස සැලකුණේ කුඩා රැප්ටරයන් සහ ටයිරැනසෝරස්ගේ ප්‍රතිවාදියා ස්පයිනසෝරස් වැන්නන්ය.
ටයිරැනසෝරස් පවුලගේ ඩයිනසෝරයන් කණ්ඩායම් වශයෙන් දඩයම් කළේ යැයි අනාවරණය වූයේ මොංගෝලියාවේ ගෝබි කාන්තාරයේ කැණීම් ස්ථාන 90 කින්, ටයිරැනසෝරස් පවුලට අයත් සාමාජිකයකු වන ටාර්බෝසෝරස් නමැති ඩයිනසෝරයාන් කණ්ඩායමකගේ පොසිල අස්ථි හමුවීමෙනි. ටාර්බෝසෝරස් ජීවත් වූයේ මීට අවුරුදු මිලියන 70 ක් තරම් ඈත අතීතයේය. මොවුන් ටයිරැනසෝරස් රෙක්ස්ගේ ළඟම ඥාතියෙකි. උස මීටර් 12 කි. බර ටොන් පහකට වැඩිය. හමුවුණු අස්ථි අතර තරුණ මහලු ටාර්බෝසෝරස් සත්වයන් සිටින බව පොසිල විද්‍යාඥයෝ පෙන්වා දෙති. මෙම ටාර්බෝසෝරස් ඩයිනසෝරයන් රංචු වශයෙන් වාසය කළ ඩයිනසෝර විශේෂයක් බව ද විද්‍යාඥයෝ පැහැදිලි කර දෙති.
ලුසිත ජයමාන්න