ට්‍රම්ප්ට නඩු පිට නඩු



වසර 234 ක ඇමෙරිකන් ඉතිහාසයේ, කිසිම ජනාධිපතිවරයකුට හෝ හිටපු ජනාධිපතිවරයකුට හෝ අපරාධ චෝදනා එල්ල වී තිබුණේ නැත. ඒත්, ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා වූ රිපබ්ලිකන් පාක්ෂික, කෝටිපති ව්‍යාපාරික ඩොනල්ඩ් ට්‍රම්ප් එය වෙනස් කළේය. ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපතිවරයා වූයේ 2016 ජනාධිපතිවරණය ජයගනිමිනි. 2017 වසරේ සිට 2020 තෙක්, ට්‍රම්ප් ජනාධිපති ධුරය හෙබවූයේ එක් ධුර කාලයකට පමණි. 2020 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් පරාජය විය. ඇමෙරිකාවේ ව්‍යවස්ථාවට අනුව, ට්‍රම්ප්ට තවත් ධුර කාලයක් ඉතිරි වී ඇති අතර, ලබන 2024 ජනාධිපතිවරයට ඔහු ඉදිරිපත් වීමට සූදානමින් වෙයි. ඒ, වත්මන් ජනාධිපති ඩිමොක්‍රටික් පාක්ෂික ජෝ බයිඩන්ට අභියෝග කරමිණි. ඒත් ට්‍රම්ප්ට ඇති ගැටලුව, මේවනවිට ඔහුට චෝදනා පිට චෝදනා එල්ල වී තිබීමය. නිව්යෝක් ජනපදයෙන් අපරාධ චෝදනා 34 ක්, ෆ්ලොරීඩා ජනපදයෙන් අපරාධ චෝදනා 40 ක්, වොෂින්ටන් අගනුවරින් අපරාධ චෝදනා  4 ක් සහ ජෝර්ජියා ජනපදයෙන් එක් අපරාධ චෝදනාවක් බැගින් ට්‍රම්ප්ට එල්ල වී තිබේ. එල්ල වී ඇති සියලු චෝදනා ගණන 78 කි. එම චෝදනා සම්බන්ධයෙන් නඩු විභාග එකිනෙක පැවැත්වෙයි. එල්ල වන අපරාධ චෝදනා සම්බන්ධයෙන් ට්‍රම්ප් වැරදිකරු වුවහොත්, වසර සිය ගණනක සිර දඩුවම් හිමිවනු ඇතැයි ද පැවැසෙයි.

2016 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයගත්තේ, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය කරමිනි. ට්‍රම්ප්ගේ ‘කුණු’ එළියට ඒමට පටන් ගත්තේ එම ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දීය. ඩොනල්ඩ් ට්‍රම්ප් තෙවරක් විවාහ වූ අයෙකි. ඔහුගේ වත්මන් බිරිඳ මෙලානියාය. දෙදෙනා විවාහ වූයේ 2005 වසරේදීය. මෙලානියා සමඟ විවාහ වී සිටිද්දී ට්‍රම්ප් ඇමෙරිකාවේ නම ගිය අසැබි චිත්‍රපට තාරකාවක (පෝර්න් ස්ටාර්) වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ සමිප ඇසුරක් පැවැත්වූ බව පැවැසෙයි. 2016 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙද්දී, එම ‘හුටපටය’ වසං කරමින්,  ස්ටෝමි ඩැනියෙල්ස් නිහඬ කිරීමට ට්‍රම්ප් පියවර ගත්තේ යැයි පැවැසෙන්නේ නීතීඥවරුන් මාර්ගයෙන් ඇයට ඇමෙරිකන් ඩොලර් 130000 ක් ලබා දෙමිනි. නිව්යෝක් ජනපදයෙන් ට්‍රම්ප්ට එල්ල වන අපරාධ චෝදනා මෙම සිද්ධිය හා සම්බන්ධය.

2020 ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්ගේ ජයග්‍රහණයෙන් පසු, ට්‍රම්ප් ධවල මන්දිරයෙන් නික්මුණේ නොසතුටිනි. පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කරමිණි. ජනාධිපති ධුරය හොබවද්දී, ඔහු අතට පත් වුණු රජයේ රහස් ලියවිලි රැසක් ද ට්‍රම්ප් ෆ්ලොරීඩාවේ ‘මාර් ආ ලාගෝ’ නිවසට රැගෙන ගොස් ඇතැයි චෝදනා එල්ල වී තිබේ. එම රහස් ලියවිලි යළි ලබා ගැනීමට ආරක්ෂක අංශ උත්සාහ කළ අවස්ථාවේදී ට්‍රම්ප්ගෙන් බාධා එල්ල වූ බව ද පැවැසෙයි. ‘මාර් ආ ලාගෝ’ නිවසේ ආරක්ෂක කැමරා දසුන් පවා මකා දැමීමට ට්‍රම්ප් නිවසේ සේවකයන්ට උපදෙස් දී ඇති බවට ද චෝදනා එල්ල වී ඇත. ෆ්ලොරීඩා ජනපදයෙන් ට්‍රම්ප්ට එල්ල වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනාය.

වත්මන් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ජයග්‍රහණය කළේ 2020 ජනාධිපතිවරණයෙනි. 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල පිළිගැනීම ට්‍රම්ප් ප්‍රතික්ෂේප කළේය. සමාජ මාධ්‍ය හරහා ට්‍රම්ප් සිය රිපබ්ලිකන් පක්ෂ ආධාරකරුවන් උසි ගන්වන්න වූයේ ජෝ බයිඩන් ජයග්‍රහණය කිරීම වළක්වමිනි. එදා  2021 ජනවාරි 6 වැනිදා කොංග්‍රස් මණ්ඩලය රැස්වූයේ බයිඩන්ගේ ජය තහවුරු කිරීමටය. කොංග්‍රස් මණ්ඩලයේ කටයුතුවලට බාධා කරමින් ට්‍රම්ප්ගේ ආධාරකරුවෝ වොෂින්ටන් අගනුවර කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණාහ. කැපිටල් ගොඩනැගිල්ල යනු ඇමෙරිකන් පාර්ලිමේන්තුවය. වොෂින්ටන් අගනුවරින් ට්‍රම්ප්ට අපරාධ චෝදනා  4 ක් ඉදිරිපත් වී ඇත්තේ මෙම සිදුවීම සම්බන්ධයෙනි. තම ආධාරකරුවන් උසි ගන්වමින් කොංග්‍රසයේ (නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ) කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ධුරයේ සිටි ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග දෙකක් පවා ඉදිරිපත් විය. ඇමෙරිකන් ජනාධිපතිවරයකු පිටපිට දෝෂාභියෝග දෙකකට මුහුණ දුන් පළමු අවස්ථාව ලෙස ද මෙය සැලකෙයි.

මේ පිළිබඳ විමර්ශන කරමින්, ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීම සිදු කරන්නේ ඇමෙරිකන් නීති දෙපාර්තමේන්තුවේ විශේෂ නීතීඥ ජැක් ස්මිත්ය. ජැක් ස්මිත් ඒ සඳහා පත් කළේ නීතිපති මැරික් ගාලන්ඩ්ය. ඒ පසුගිය නොවැම්බරයේය. ‘2021 ජනවාරි 6 වැනිදා කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී පහර දීමේ සිද්ධිය ඇමෙරිකන් ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වුණු ප්‍රහාරයක්’ යැයි ස්මිත් පවසා තිබේ. හිටපු ජනාධිපති ට්‍රම්ප්ට එල්ල වන චෝදනා සම්බන්ධ නඩු විභාගය කඩිනමින් පැවැත්වීමට තමන් පියවර ගන්නා බව ද හෙතෙම පැහැදිලි කර තිබේ. අධිකරණය හමුවේ වරදකරු වනතුරු ට්‍රම්ප් නිර්දෝෂී අයකු ලෙස සැලකිය යුතු බව ද ස්මිත් අවධාරණය කර තිබේ.


අධිචෝදනා ගොනු කිරීමත් සමඟ පසුගිය 3 වැනිදා ට්‍රම්ප් වොෂින්ටන් හි බැරට් පෙට්‍රිමෑන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. 2021 ජනවාරි 6 වැනිදා සිදුවීම් සම්බන්ධයෙන් ට්‍රම්ප්ට අධි චෝදනා ඉදිරිපත් කෙරුණු අතර, විනිසුරු මොක්සිලා උපදායා හමුවේ ට්‍රම්ප් කියා සිටියේ එම චෝදනාවලට තමන් වරදකරු නොවන බවය. ට්‍රම්ප් නීතීඥවරුන් පිරිවරා ගනිමින්, සිය ගුවන් යානයෙන්, නිව් ජර්සි නුවර සිය නිවසේ සිට වොෂින්ටනයේ ඊ බැරට් පෙට්‍රිමැන් අධිකරණයට පැමිණියේ 3 වැනිදා සවසය. අධිකරණ ගොඩනැගිල්ල ආශ්‍රිතව ආරක්ෂාව තර කිරීමට පොලිසිය පියවර ගෙන තිබුණි. ට්‍රම්ප් යළි අගෝස්තු 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය‍.

එල්ල වන සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ තමන් දේශපාලන කුමන්ත්‍රණයකට මැදිවී සිටින බවය. කෙසේ නමුත්, 2024 පැවැත් වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වන රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයන් අතරේ දැනට ඉදිරියෙන්ම සිටින්නේ ට්‍රම්ප්ය. ට්‍රම්ප්ගේ නීතීඥවරුන් සැමවිටම උත්සාහ ගන්නේ අපරාධ චෝදනා මත ට්‍රම්ප්ට එරෙහිව ගොනු කෙරුණු නඩු සියල්ල නිෂ්ප්‍රභ කිරීමටය.


RECOMMEND POSTS