ග්‍රීන්ලන්තය ඉල්ලන ට්‍රම්ප්



ආක්ටික් සාගරයටත් අත්ලාන්තික් සාගරයටත් මැදිව දැවැන්ත දූපතක් පිහිටා තිබේ. ලොව විශාලතම දූපත ලෙස ද මෙය සැලකෙයි. මෙම දූපත ග්‍රීන්ලන්තයයි. ග්‍රීන්ලන්තයේ ජනගහනය, හරියටම කීවොත්, 56,5836 කි. දැන් ග්‍රීන්ලන්තය ගැන විදෙස් පුවත් ඔස්සේ අපට නිතරම අසන්න ලැබෙයි. ඊට හේතුව, දේපොළ වෙළෙඳාම් සම්බන්ධයෙන් හසල දැනුමක් ඇති, කෝටිපති ව්‍යාපාරික, ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට තේරීපත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අවධානය යොමු වී ඇති බැවිනි. “මම කැමතියි ග්‍රීන්ලන්තය මිලදී ගන්න. ග්‍රීන්ලන්තය ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට ඉතාමත් වැදගත්. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට ග්‍රීන්ලන්තය ඕනෑ.” ලබන 20 වැනිදා දෙවැනි වරට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස දිවුරුම් දීමට නියමිත ට්‍රම්ප් පැහැදිලි කර ඇත.

‘ග්‍රීන්ලන්තය එහෙම කාටවත් මිලදී ගන්න බැහැ. මිලදී ගන්න ඉඩ දෙන්නේ නැහැ. ග්‍රීන්ලන්තය සේල් දාලා නැහැ.’ ට්‍රම්ප්ට ප්‍රතිචාර දක්වමින්, මෙසේ පැවසූ, ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍ය මුටේ බී. ඊගේඩ් මාධ්‍ය හමුවක් පවත්වමින් පැහැදිලි කර ඇත. ඒ, පසුගිය දා ඔහු ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට පැමිණි අවස්ථාවේදීය. ග්‍රීන්ලන්ත අග්‍රාමාත්‍යවරයා මෙසේ පවසද්දී, ඩෙන්මාර්ක අගමැතිනී මෙටේ ෆ්‍රෙඩ්රික්සන් ද ඔහු සමඟ එම මාධ්‍ය හමුවට එක් වී සිටියාය. ට්‍රම්ප් ග්‍රීන්ලන්තය ඉල්ලා සිටීම ඩෙන්මාර්කයේද දැඩි විරෝධයට හේතුවක් වී ඇත.

ඩෙන්මාර්කය යනු යුරෝපා රාජ්‍යයකි. ඩෙන්මාර්කයට ග්‍රීන්ලන්තය ගැන කැක්කුමක් ඇත. 1953 වසරේ සිට ග්‍රීන්ලන්ත දූපත ඩෙන්මාර්කයේ යටත් විජිත කොලනියක් විය. 2009 දී, ඩෙන්මාර්ක රජය ග්‍රීන්ලන්තයට ස්වයං පාලනයක් ලබා දුන්නේය. එසේ වුවත් ග්‍රීන්ලන්තය පසුපස ඩෙන්මාර්කය සිටී. ග්‍රීන්ලන්ත වැසියන් කැමැති නම්, ඔවුන්ට ඩෙන්මාර්කයෙන් නිදහස ලබා ගැනීමට පවා හැකියාවක් ඇත.

ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට ට්‍රම්ප් සිය කැමැත්ත පළ කරද්දී, ඩෙන්මාර්කයේ දස වන ෆෙඩ්රික් රජු පවා ඊට ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කළේය. ග්‍රීන්ලන්තය අයිති ග්‍රීන්ලන්ත වැසියන්ට බවත්, ග්‍රීන්ලන්තය ගැන තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ ද ග්‍රීන්ලන්ත වැසියන්ට බවත් රජු අවධාරණය කළේය.

හමුදා බලය යොදවා බලහත්කාරයෙන් ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමට ජනාධිපති ලෙස දිවුරුම් දීමෙන් පසු ට්‍රම්ප්ට කළ හැකිය. එහෙත් ඔහු එසේ නොකරන බව පවසා තිබේ. ඒ ග්‍රීන්ලන්තය ගැන තීන්දු තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ ග්‍රීන්ලන්ත වැසියන්ට බව ට්‍රම්ප් ද දන්නා නිසාය. “නිදහස් ලෝකය වෙනුවෙන්. නිදහස් ලෝකයේ ආරක්ෂාව වෙනුවෙන්, ඇමෙරිකාවේ ආරක්ෂාව වෙනුවෙන් ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට අවශ්‍යයි.” හමුදා ආක්‍රමණයක් නොකරන බව අවධාරණය කරමින් ට්‍රම්ප් පවසා ඇත.

මත ගැටුම් මැද පසුගිය දිනෙක ට්‍රම්ප් පුතු ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) ග්‍රීන්ලන්තයේ සංචාරයක පවා නියැළුණේය. ග්‍රීන්ලන්තයේ නූක් අගනුවරට ගිය අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් (කනිෂ්ඨ) වට කරගත් විට ඔහු මෙසේ කීවේය. “මම මේ නිකම් ආවා බලලා යන්න. මම ග්‍රීන්ලන්තයට ආ සංචාරකයෙක් පමණයි. ග්‍රීන්ලන්තය හරිම ලස්සන තැනක්. මෙහෙ එන්න ලැබීම මට ඇත්තෙන්ම හරිම සතුටක්.”

ග්‍රීන්ලන්තය පිහිටා ඇත්තේ උතුරු ඇමෙරිකාවටත් යුරෝපයටත් මැදිවය. ග්‍රීන්ලන්තය තමන් සතු නම්, ඇමෙරිකාවේ ශක්තිය තව වැඩිවෙයි. යම් හෙයකින් රුසියාවෙන් ඇමෙරිකාවට හෝ යුරෝපයට හෝ ප්‍රහාරයක් එල්ල වන්නේ නම්, එම ප්‍රහාරය වළක්වා ගැනීමට, ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ග්‍රීන්ලන්තයේ සිට කළ හැකි නම්, එය ඇමෙරිකාවට වාසියකි. ඒ විතරක් නොවෙයි, තෙල් සහ ඛනිජ සම්පත්වලින් ද ග්‍රීන්ලන්තය පිරී පවතී.

2017 සිට 2021 දක්වා කාලය තුළ ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී ද ඔහු ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට උනන්දු විය. 2019 දී ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගන්නා බව පවසද්දී, සමාජ මාධ්‍යවලින් පවා ඊට ලොකු ප්‍රසිද්ධියක් හිමිවිය. මේ නිසා දැන් ඩෙන්මාර්ක රජය සහ ට්‍රම්ප් අතරේ අර්බුදයක් නිර්මාණය වී ඇත. හටගත් මත ගැටුම් හේතුවෙන් අවසන් මොහොතේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් නිල සංචාරයක් පවා අවලංගු කිරීමට ට්‍රම්ප්ට සිදුවිය.

ග්‍රීන්ලන්තය ඇමෙරිකාවට එක් කර ගැනීමේ අදහස ඇමෙරිකන් ජනාධිපතිවරයකු විසින් ඉදිරිපත් කළ පළමු වතාව මෙය නොවෙයි. . මීට පෙර, ග්‍රීන්ලන්තය ගැන උනන්දුවූයේ ඇමෙරිකන් ජනාධිපති ධුරය හෙබවූ ඇන්ඩෲ ජොන්සන්ය. ඒ, එක් දහස් අටසිය ගණන්වලය.

ජොන්සන් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට උත්සාහ ගත් නමුත් එය සාර්ථක වූයේ නැත. පසුව ඇමෙරිකන් ජනාධිපති ලෙස කටයුතු කළ හැරී ටෲමන් ද ග්‍රීන්ලන්තය මිල දී ගැනීමට උනන්දුවක් දැක්වීය. ඒ, ඩෙන්මාර්කයට ඇමෙරිකන් ඩොලර් මිලියන 100 ක් දීමට කැමැත්ත පළ කරමිණි.

ග්‍රීන්ලන්තය මිලදී ගන්න ඉල්ලන ගණනක් මුදල් දෙන්න ඇමෙරිකාව සූදානම්ද? නැතිනම් මෙය ට්‍රම්ප්ගේ සිහිනයක් වේවිද? කෙසේ නමුත්, දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන ආකාරයට, ට්‍රම්ප් හමුදා බලය යොදවා ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීමක් කරන්නේ නම් ඩෙන්මාර්කය ඔවුන්ගේ හමුදා ඊට එරෙහිව යෙදවීමක් අපට දකින්නට නොලැබෙනු ඇත.

මේ අතර, පැනමා ඇල සම්බන්ධයෙන් පමණක් නොව, කැනඩාව ඇමෙරිකාවේ ජනපදයක් බවට පත් කර ගැනීම සම්බන්ධයෙන් ද ට්‍රම්ප් උනන්දුවෙන් පසුවෙයි. ග්‍රීන්ලන්තය මෙන් නොව, පැනමා ඇල සම්බන්ධයෙන් ඇමෙරිකාවට අයිතිය ඉල්ලීමට හේතුවක් ඇත. ග්‍රීන්ලන්තය වසර සිය ගණනක් තිස්සේ පැවතියේ ඩෙන්මාර්කය යටතේය. එසේ වුවත් පැනමා ඇල ඉදි කළේ ඇමෙරිකානුවන්ය. ඇමෙරිකාව සහ පැනමාව එක්ව, වසර ගණනක් පැනමා ඇලේ කටයුතු කළමනාකරණය කළේය. පැනමා ඇල ඇමෙරිකාව පැනමාවට ලබා දුන්නේ 1999 දෙසැම්බර් 31 වැනිදාය. ඒ, 1977 දී ඇමෙරිකන් ජනාධිපති ජිමී කාටර් මැදිහත් වී පැනමා රජය සමඟ ඇති කරගත් ගිවිසුමකට අනුවය. ජිමී කාටර් අවුරුදු 100 ක් ආයු වළඳා පසුගිය දා දිවියෙන් සමු ගත්තේය. වෙළෙඳ කටයුතුවලදී පැනමා ඇළ ඉතා වැදගත් මුහුදු මාර්ගයකි. ට්‍රම්ප් පැනමා ඇළ යළි ඇමෙරිකන් පාලනයට නතු කර ගැනීමට උත්සාහ ගන්නේ වෙ‍ෙළඳ කටයුතුවලදී ඇමෙරිකාවට වැඩි වාසි ලබා ගැනීමේ අරමුණින්ය.

විදෙස් මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS