කොරියානු දේශපාලන නාටකය අවසන්



කොරියන් ටෙලි නාටක ලොව පුරා ජනප්‍රියය. විශේෂයෙන් තරුණ තරුණියන් අතරේ, කොරියන් නාටක සම්බන්ධයෙන් උම්මාදයක් පවතී. පසුගිය තුන්වැනිදා දිග හැරුණු කොරියන් දේශපාලන නාටකය, ඒ සියල්ලටම වඩා ලොව කාගේත් අවධානය ගත්තේය. මෙම නාටකයේ ප්‍රධාන චරිතය දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල් ය. ඊයේ (14) එම නාටකය අවසන් වූයේ, එහි උච්ඡතම අවස්ථාවට පත්වීමෙන් අනතුරුවය. දකුණු කොරියානු විපක්ෂය, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දෙවැනි දෝෂාභියෝගයෙන් යූල්ගේ ජනපති බලතල අහෝසි විය.

දකුණු කොරියානු විපක්ෂය, ජනාධිපති යූන් සුක් යූල්ට එරෙහිව දෙවැනි වරට මෙසේ දෝෂාභියෝගයක් ගෙනාවේ, ජනාධිපතිවරයා පසුගිය දෙසැම්බර් 3 වැනිදා ගත් තීරණය සම්බන්ධයෙනි. පසුගිය 3 වැනිදා, ජනාධිපති යූල්, මුළු මහත් දකුණු කොරියාවත්, ලෝකයත් පුදුම කරවන තීරණයක් ගත්තේ හිටිහැටියේය. ජනාධිපති යූල් හමුදා නීතිය පැනැවීමට නියෝග කළේය.

විපක්ෂ දේශපාලන කණ්ඩායම් සම්බන්ධ වී සිදුකරන රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් මැඩ පැවැත්වීමේත්, පසමිතුරු උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේග දකුණු කොරියාවට එල්ල කරන තර්ජනවලින් දකුණු කොරියාව ආරක්ෂා කර ගැනීමේත් අරමුණින්, රට ආරක්ෂා කිරීමේ උදාර චේතනාවෙන් තමන් හමුදා නීතිය පනවන බව ජනාධිපති යූල් පවසද්දී, දකුණු කොරියානුවන් දෑස් දල්වා කට ඇරගෙන රූපවාහිනී තිරය ඉදිරියේ සිටියේ ‘මොකක්ද මේ වෙන්න යන්නේ?’ සිතමිනි.

හමුදා නීතිය යටතේ නැවත වරක් නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී දකුණු කොරියාවක් ගොඩනැගීමට කටයුතු කරන බවද එහිදී ජනාධිපතිවරයා පැහැදිලි කළේය. රාජ්‍ය විරෝධීන් රටතුළ නොසන්සුන් තත්වයක් ඇති කිරීමට උත්සාහ දරන බවත් එවැනි තත්වයක් මත දකුණු කොරියානු ජනතාවගේ නිදහස හා ආරක්ෂාව සහතික කිරීම සඳහා හමුදා නීතිය පැනවීමට සිදුවූ බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. හමුදා නීතිය ප්‍රකාශ කිරීමත් සමඟ පාර්ලිමේන්තුව හමුදාවත් පොලිසියත් යොදා වට කළේ කිසිවකුට ඊට ඇතුළු වීමට ඉඩ නොදෙමිනි.

ජනාධිපතිවරයා නියෝජනය කරන්නේ ‘පීපල්ස් පවර්’ පාලක පක්ෂයයි. ‘පීපල්ස් පවර්’ පක්ෂයේ බොහෝ දෙනෙක් පවා ජනාධිපතිවරයා යූල් හමුදා නීතිය පැනැවීම සම්බන්ධයෙන් මවිතය පළ කළහ. පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සභා, දේශපාලන පක්ෂ, සහ දේශපාලන සංගම් මෙන්ම රැස්වීම්, පෙළපාලි ඇතුළුව, සියලුම දේශපාලන ක්‍රියාකාරකම් හමුදා නීතිය යටතේ තහනම් කෙරුණි.

කෙසේ නමුත් එම හමුදා නීතිය ක්‍රියාත්මක වූයේ පැය 6 ක් වැනි කෙටි කාලයක් පමණි. පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ජනතාව එක්ව වීදි බැස ජනාධිපතිවරයාට විරෝධය පළ කරන්න විය. මන්ත්‍රීවරු 190 ක්, කෙසේ හෝ පොලිස් සහ හමුදා බාධක මඟ හැර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට රිංගා ගත්හ. පක්ෂ විපක්ෂ එම 190 දෙනා ඡන්දය ප්‍රකාශ කළේ ජනාධිපති ගත් තීන්දුව අහෝසි කිරීමටය. ඒ අනුව හමුදා නීතිය පැය 6 කින් අහෝස් විය.

ජනතා විශ්වාසය කඩ කළ ජනාධිපති යූල්ට ධුරයෙන් වහා ඉවත් වන්නැයි බල කෙරුණි. ජනාධිපතිවරයා ජාතිය අමතමින් සමාව ඉල්ලා සිටියත් පලක් නොවීය. පසුගිය 7 වැනිදා විපක්ෂය එක් වී ජනාධිපතිවරයාට එරෙහිව පළමු වරට දෝෂාභියෝගයක් ගෙනාවේය. එම දෝෂාභියෝගය පාලක  ‘පීපල්ස් පවර්’ පක්ෂය විසින් වර්ජනය කරනු ලැබුණි. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 108 න් 106 ක් ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ සිය අසුන් වලින් නැගිට ගියහ.

ඒ අනුව දෝෂාභියෝගය පරාජය වූ අතර, ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ තමන් අවසන් මොහොත තෙක් ධුරයේ රැඳී සිටීමට සටන් කරන බවය. මේ වනවිට දකුණු කොරියානු ජනාධිපතිවරයාට විදෙස් ගමන් තහනම් කෙරුණි. හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ඔහුට විරුධව දේශ ද්‍රෝහි චෝදනා යටතේ විමර්ශනයක් පැවැත්විණි.

ජනාධිපති යූල් ධුරයෙන් ඉවත් විය යුතු යැයි දිගින් දිගටම බල කරමින් ජනතාව දහස් ගණනින් වීදි බැස කෑ මොර දෙද්දී, විපක්ෂය එක් වී දෙවැනි වරට දෝෂාභියෝගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ පසුගිය 13 වැනිදාය. එම දෙවැනි දෝෂාභියෝගයට අදාල ඡන්ද විමසුම ඊයේ (14) පැවැත්විණි. ඒ, ශ්‍රී ලංකාවේ වේලාවෙන් 14 වැනිදා පස්වරුවේය. එහිදී දකුණු කොරියා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ඡන්දය භාවිත කළහ. මන්ත්‍රීවරුන් 204 ක් දෝෂාභියෝගයට පක්ෂව මෙන්ම ජනාධිපතිවරයාට විරුද්ධව ඡන්දය දී තිබුණි. දෝෂාභියෝගයට විරුද්ධව, ජනාධිපතිවරයාට පක්ෂව හිමිවුණු ඡන්ද ගණන 85 ක් පමණි. ඒ අනුව යූල්ගේ ජනාධිපති ධුරය තාවකාලිකව අත්හිටුවීම සිදුවිය. ඒ සමඟ පාර්ලිමේන්තුව පිටත වීදි බැස සිටි දස දහස් ගණනික් කොරියානු වැසියෝ මහ හඩින් ප්‍රීති ඝෝෂා නගන්න වූහ. ජනාධිපතිවරයා ධුරය තාවකාලිකව අත්හිටුවීමත් සමඟ දකුණු කොරියානු අග්‍රාමාත්‍ය හන් ඩක් සෝ වැඩ බලන ජනාධිපති ලෙස එම ධුරයේ රාජකාරි ආරම්භ කළේය.

දකුණු කොරියානු ජනාධිපති යූල් හමුදා නීතිය පැනැවීමට නියෝග කරද්දී, එම නියෝගය ක්‍රියාත්මක කළේ එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කිම් ජොන් හියුන් ය. ජනාධිපතිවරයා ගත් තීරණය පාරා වළල්ලක් වෙද්දී, කිම් ජොන් හියුන් ඒ සම්බන්ධයෙන් සමාව ගෙන වහා ධුරයෙන් ඉවත් විය. කෙසේ නමුත්, දේශද්‍රෝහී චෝදනා ඔහුට එල්ල විය. ඒ සමඟ හමුදා නීතිය පැනැවීම සම්බන්ධ සිද්ධියේ වගකීම තමා සම්පූර්ණයෙන් බාර ගන්නා බව ද හියුන් පැවැසීය. පසුගිය 8 වැනිදා පොලිසිය හියුන් අත්අඩංගුවට ගත්තේය. හියුන් රැඳවුම් මධ්‍යස්ථානයේදී යට ඇ‍ඳුම් යොදා ගනිමින් දිවි නසා ගැනීමට උත්සාහ කළේය. කෙසේ නමුත් ආරක්ෂක නිලධාරීන් වහා ක්‍රියාත්මක වූ බැවින්, එය ව්‍යාර්ථ විය.

ඒ.එෆ්.පී. ඇසුරිනි


RECOMMEND POSTS