ඉරානයේ නව ජනපති පෙසෙෂ්කියන්



ඉරාන දේශපාලනයේ පෙරැළියක් සිදුවිය. ඒ, එරට ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙන්, ඊට ඉදිරිපත් වූ අපේක්ෂක මසූද් පෙසෙෂ්කියන්ට ජය හිමිවීමත් සමය. ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යය ඉරානයයි. 1979 වසරේ ඉස්ලාමීය විප්ලවයෙන් පසු ඉරානය උත්තරීතර ආගමික නායකයකු යටතේ, දැඩිමතධාරීන්ගේ පාලනයක් යටතේ පවතින රාජ්‍යයකි. එහෙත්, දැන්, ජනාධිපතිවරණයෙන් මසූද් පෙසෙෂ්කියන්ට ජනවරමක් හිමිවීම ඒ සියල්ල උඩුයටිකුරු කිරීමට හේතුවක් වී තිබේ. ඊට හේතුව, 69 හැවිරිදි මසූද් පෙසෙෂ්කියන් දැඩිමතධාරී දේශපාලන අදහස් ඇත්තකු නොව, මධ්‍යස්ථමතධාරී ප්‍රතිසංස්කරණවාදියකු වීමය.

මසූද් පෙසෙෂ්කියන් ජයග්‍රහණය කළේ ඉරාන ජනාධිපතිවරණයේ දෙවැනි වටයෙනි. දෙවැනි වටය පැවැත්වූයේ ප්‍රතිසංස්කරණවාදියකු පමණක් නොව, හිටපු ශල්‍ය වෛද්‍යවරයකු ද වන මසූද් පෙසෙෂ්කියන් සහ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ ප්‍රියතමයකු ලෙස සැලකෙන දැඩිමතධාරී සහීඩ් ජලීලි අතරේය. ජනාධිපතිවරණයේ දෙවැනි වටයක් පැවැත්වූයේ පළමු වටයෙන් කිසිදු අපේක්ෂකයකුට සියයට 50 කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි වූ බැවිනි. මසූද් පෙසෙෂ්කියන් සහ සහීඩ් ජලීලි පළමු වටයෙන් වැඩි ඡන්ද දිනා ගත් බැවින්, දෙවැනි වටයට ඔවුන් දෙදෙනා අතරේ පැවැත්විණි. ජනාධිපතිවරණයේ පළමු වටය පවැත්වූයේ ජූනි 28 වැනිදාය. ඉරාන ඉතිහාසයේ අඩුම පිරිසක් ඡන්දය දැමූ ජනාධිපතිවරණය මෙය විය.

පසුගිය 5 වැනිදා පැවැති දෙවැනි වටයෙන්, මසූද් පෙසෙෂ්කියන් දිනාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 53 කි. ජලිලි දිනා ගත්තේ සියයට 43 කි. බටහිර ගැති විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිලියන ගණනක් ඉරාන වැසියන්ගේ බලාපොරොත්තු මල්ඵල ගන්වමින්, ආගමික සහ සමාජීය නිදහසක් ලබා දීමටත්, ලිහිල් විදෙස් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමටත් නව ජනාධිපති ලෙස මසූද් පෙසෙෂ්කියන් කටයුතු කරනු ඇති බවය. එහෙත්, එය සැක සහිතය.

ලොව එකම ෂියා මුස්ලිම් රාජ්‍යය ලෙස ඉරානය දැඩි මතධාරීන්ගේ පාලනයක් යටතේ පවතින අතර, හිටපු ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ද දැඩි මතධාරියෙකි. ඉරානයේ ලහිලහියේ ජනාධිපතිවරණයක් පැවැත්වූයේ පසුගිය මැයි මාසයේ රයිසි හෙලිකොප්ටර් අනතුරකින් මියගිය නිසාය. ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනිගේ අනුප්‍රාප්තිකයකු ලෙස ද රයිසි සැලකිණි.

සියලු රටවල් සමග යහපත් සබදතා පැවැත්වීමට තමන් සූදානම් බව පෙසෙෂ්කියන් පවසා තිබේ. ඉරානය සහ බටහිර රටවල් අතරේ පවතින නොහොඳ නෝක්කඩු සමථයකට පත්කිරීමට පෙසෙෂ්කියන් සමත් වේවිද යන්න ප්‍රශ්නාර්ථයක් වී තිබේ. ඇමෙරිකාව සහ ඉරානය අතරේ නොහොඳ නෝක්කඩු පවතින්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතරේ ගැටුමට ඉරානය ද ඈඳ‍ෙයි. ඒ, හමාස් සටන්කාමීන්ට අවි ආයුධ දෙන්නේත් මූල්‍ය අනුග්‍රහය දෙන්නේත් ඉරානය නිසාය. ඊශ්‍රායලයට සහ ඇමෙරිකාවට අනුව ඉරානය යනු ත්‍රස්ත රාජ්‍යයකි.

ඉන්දියාව, පාකිස්තාන, මුලින්ම පෙසෙෂ්කියන්ට සුබ පැතුම් එක් කළ රටවල්ය. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කියා සිටියේ නව ඉරාන ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බවය. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සිය එක්ස් ගිණුම හරහා සුබ පැතුම් එක් කළේය. රුසියන් ජනාධිපති ව්ලැදිමිරු පුටින්, පෙසෙෂ්කියන්ට ඇමතුමක් දී සුබ පතමින්, රුසියාවට පැමිණෙන්නැයි ඇරැයුම් කළේය. රුසියන් ඉරාන සබඳතා තව තවත් ශක්තිමත් කර ගැනීමට තමන් සූදානම් බව පුටින් පැවැසීය.

සෞදියේ සල්මාන් රජු, ඔටුන්න හිමි සල්මාන් කුමරු, අසර්බයිජාන ජනාධිපති ඉල්හාම් අලියේව්, වෙනිසියුලා රජය වෙනුවෙන් එරට විදේශ ඇමැති යුවාන් ගිල්, චීන ජනාධිපති ෂී ජින්පින්, ඉරාක ජනාධිපති අබ්දුල්ලා රෂීඩ් ද නව ජනාධිපතිවරයාට සුබ පැතුවේය. ඊට අමතරව සිරියා ජනාධිපති බෂාර් අල් අසාද්, කුවේට් එමීර් ෂෙයික් මිෂාල් අල් අහමද් අල් සබාහ්, කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී, බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ ද නව ජනාධිපති පෙසෙෂ්කියන්ට සුබ පැතුම් එක් කළහ.

ඉරාන ජනාධිපතිවරයා ලෙස පෙසෙෂ්කියන් දිවුරුම් දීම මාසයක් ඇතුළත සිදුවනු ඇතැයි ඉරාන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. ඉරානයේ මූලධර්මවාදී අදහස් සහ ප්‍රතිපත්ති එක රැයින් වෙනස් කිරීම පෙසෙෂ්කියන්ට කළ නොහැකිය. ඉරාන ජනාධිපතිවරයා ද සිටින්නේ උත්තරීතර නායකයා අල් කමේනී යටතේය. ජනාධිපතිවරණයක් පැවැත්වෙද්දී ඊට අපේක්ෂයන් තෝරා ගැනීම සිදු කරන්නේ ද උත්තරීතර නායකයා අල් කමේනී යටතේ පවතින භාරකාර මණ්ඩලයයි. ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට පෙසෙෂ්කියන්ට අවසර ලබා දුන්නත්, ඔහු ජයග්‍රහණය කරාවි යැයි අල් කමේනී, විශ්වාස නොකරන්න ඇතැයි ද පැවැසෙයි. ඉරාන රජයේ සියලු ප්‍රබල තැන්වල සිටින්නේ අල් කමේනී සේම දැඩිමතධාරීන්ය. එහෙයින් ජනාධිපතිවරයා ලෙස පෙසෙෂ්කියන් ගන්නා තින්දු තීරණ ක්‍රියාත්මක කිරීම ගැටලු සහගත වනු ඇත. එය මත ගැටුම්වලට හේතුවක් වනු ඇත.

මසූද් පෙසෙෂ්කියන් උපන්නේ 1954 සැප්තැම්බර් 29 වැනිදා, බටහිර අසර්බයිජානයේය. බටහිර අසර්බයිජානය ඉරාන පාලනයට නතුව පවතින ප්‍රදේශයකි. පෙසෙෂ්කියන්ගේ පියා අසර්බයිජාන ජාතිකයෙකි. මව කුර්දි ජාතික කාන්තාවකි. ඉරානයේ ද කුර්දිවරුන් යනු සුළුතරයයි. ඉරානයේ වාර්ගික වැසියන් සහ ඔවුන්ගේ අයිතීන් වෙනුවෙන් නිතර හඬ නැගූ දේශපාලනඥයකු ලෙස පෙසෙෂ්කියන් ප්‍රකටය.

1994 සිදුවුණු රිය අනතුරිකින්, මසූද් පෙසෙෂ්කියන්ට බිරිද මාතිමා මජීදි සහ එක් දියණියක අහිමි විය. ඉන්පසු ඔහු යළි විවාහ වූයේ නැත. පුතුන් දෙදෙනා සහ අනෙක් දියණිය රැක බලා ගත්තේ ඔවුන්ට අහිමි වුණු මව් සෙනෙහස හැකිතාක් ලබා දෙමිනි. මසූද් පෙසෙෂ්කියන් හෘද ශල්‍ය වෛද්‍යවරයෙකි. ඔහු ටබ්රිස් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කර තිබේ. පෙසෙෂ්කියන්, වෛද්‍යවරයකු ලෙස කටයුතු කළේ 1980 සිට 1988 දක්වා කාලයේ, ඉරාක ඉරාන යුද්ධය පැවැති අවස්ථාවේදීය. හමුදා ශල්‍ය වෛද්‍යවරයකු ලෙස ද ඔහු කටයුතු කළේය. සටන් බිමේදී තුවාල ලැබූ සොල්දාදුවන්ට ප්‍රතිකාර කර ඇත.

වෛද්‍ය වෘත්තියට සමුදීමෙන් පසු පෙසෙෂ්කියන් දේශපාලනයට පිවිස පාර්ලිමේන්තුවේ නීති සම්පාදයකයකු විය. මොහොමද් කටාමී ඉරාන ජනාධිපති ධුරය හොබවද්දී, ඔහුගේ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ පෙසෙෂ්කියන්ය. 2016 සිට 2020 දක්වා නියෝජ්‍ය කතා නායක ධුරය ද හෙබවීය. 2011 වසරේත්, 2021 වසරේත් ජනාධිපතිවරණ පැවැත්වෙද්දී, පෙසෙෂ්කියන් නාම යෝජනා ඉදිරිපත් කළේය. කෙසේ නමුත්, 2011 වසරේදී, ඔහු නාම යෝජනා ඉවත් කර ගත්තේය. 2021 දී නාම යෝජනා ඉදිරිපත් කළත් ඔහු අපේක්ෂකයකු වීමට සුදුසුකම් ලැබුවේ නැත. ඉරානයේ අනිවාර්ය හිජාබ් ප්‍රතිපත්තියට එරෙහිව ද හඬ නගන දේශපාලනඥයකු ලෙස ද පෙසෙෂ්කියන් ප්‍රකටය.

කඩිනමින් ජනාධිපතිවරණයත් පැවැත්වීමට තීරණය කිරීමත් සමඟ මෙම 2024 වසරේ දී පෙසෙෂ්කියන් සිය නාම යෝජනා ඉදිරිපත් කළේ තවත් අපේක්ෂකයන් සිය ගණනක් ද සමඟය. අවසානයේ ජූනි 28 පැවැත්වුණු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ පෙසෙෂ්කියන්, ජලිලි සහ තවත් දෙදෙනකු පමණි. ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීමට අවසර ලැබීමෙන් පසු පෙසෙෂ්කියන් සිය මැතිවරණ ව්‍යාපාරය ඉදිරියට ගෙන ගියේ 'ඉරානය වෙනුවෙන්' යනුවෙනි. ප්‍රතිවාදියා වූ ජලිලිට වඩා හාත්පසින්ම වෙනස් ප්‍රතිපත්ති රැසක් මසූද් පෙසෙෂ්කියන් ඉදිරිපත් කළ අතර, එය ජනතා පැසැසුමට ලක් වුණු බව ප්‍රතිඵලවලින් පැහැදිලි වෙයි.  


RECOMMEND POSTS