ඉම්රාන්ට අගමැති ධුරය අහිමි වෙයි



විශ්වාසභංගයෙන් පරාජය වීමත් සමඟ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ධුරයෙන් නෙරපා දැමුණි. ඒ අනුව, විශ්වාසභංගකින් ධුරයෙන් නෙරපා දැමුණු පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේ ඉම්රාන් ඛාන් ය.

පාකිස්තාන දේශපාලන ඉතිහාසයේ කිසිදු අග්‍රාමාත්‍යවරයකුට සිය පස් වසරක ධුර කාලය සම්පූර්ණ කිරීමට අවස්ථාවක් ලැබී නැත. ඒ, දේශපාලනික කුමන්ත්‍රණ සහ හමුදා කුමන්ත්‍රණ හේතුවෙන් යැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළේ සමාජවාදී, ලිබරල් සහ රැඩිකල් ආගමික දේශපාලන කණ්ඩායම් එක් වෙමිනි.

පාකිස්තාන පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ආසන 342 කින් සමන්විත වන අතර, ඉම්රාන් බලයෙන් නෙරපා දැමීමට 172 ක බහුතරයක් අවශ්‍ය වී තිබුණි. ඡන්ද විමසුම පැවැත්වෙද්දී 142 දෙනකුගේ ඡන්ද විශ්වාසභංගයට පක්ෂව මෙන්ම අග්‍රාමාත්‍ය ඉම්රාන්ට විපක්ෂව ලැබුණු බව වාර්තා වේ.

විපක්ෂ සන්ධානය එක් වී, අග්‍රාමාත්‍ය ඉම්රාන්ට එරෙහි විශ්වාසභංගයක් ගෙන ආවේ පාකිස්තානය වර්තමානයේ මුහුණ දෙන ආර්ථික අර්බුදයට ඉම්රාන් වගකිවයුතුයැයි චෝදනා නගමිනි. අග්‍රාමාත්‍ය ඉම්රාන්ගේ ආර්ථික ප්‍රතිපත්ති රටේ ආර්ථික අර්බුදය උත්සන්න කළ බවත්, නිසි ආර්ථික කළමණාකරණයක් නොතිබුණු බවත් පාකිස්තාන විපක්ෂ සන්ධානය පෙන්වා දී තිබුණි.

පාකිස්තානයේ විපක්ෂ සන්ධානය නියෝජනය කරන්නේ 'පාකිස්තාන ජනතා පක්ෂය' සහ 'මුස්ලිම් ලීගය එන්' පක්ෂයයි.

පාකිස්තාන ජනතා පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කරන්නේ පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරියක වන ඝාතනයට ලක් වුණු බෙනාසීර් බූතෝගේ පුතු බිලාවිල් බූතෝ සර්දාරි ය. බිලාවිල්ගේ පියා මෙන්ම බෙනාසීර් බූතෝගේ සැමියා ද වන අසීෆ් අලී සර්දාරි ද පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකි.  

'පසුගිය තෙවරක කාලය පුරාවට පාකිස්තානයේ ප්‍රජාතන්ත්‍රවාදය අඩපණ වී තිබුණා. දැන් යළිත් පාකිස්තානය පාකිස්තානුවන් අතට පත් වී අවසන්. නව පාකිස්තානයක් දැන් බිහිවේවි' යැයි ඡන්ද විමසුමෙන් ඉම්රාන් පරාජය වීමත් සමඟ බිලාවිල් බූතෝ පැවසුවේය.

'මුස්ලිම් ලීගය එන්' යනු හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දේශපාලන පක්ෂයයි. දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී සිරදඩුවම් ලැබ අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් නිදහස ලබා ලන්ඩනයේ ජීවත් වන නවාස් ෂරීෆ්ගේ දියණිය මර්යාම් නවාස් ෂරීෆ්, ඉම්රාන්ට එරෙහිව 'මුස්ලිම් ලීගය එන්' පක්ෂය මෙහෙයවන්න වූවා‍ෙ

ප්‍රමාදවීම් හමුවේ, විශ්වාසභංගයට අදාල ඡන්ද විමසුම පැවැත්වූයේ ඊයේ (9) මධ්‍යම රාත්‍රියේදීය. විශ්වාසභංගය පළමුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී නියෝජ්‍ය කතා නායක එය 'එක පයින්' ප්‍රතික්ෂේප කළේය. ඒ, එම විශ්වාසභංගය පාකිස්තාන ව්‍යවස්ථාවට පටහැනි බවත් නීත්‍යාණුකූල නොවන බවත් පෙන්වා දෙමිනි.

කතා නායකවරයාගේ තීරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යෑමට මර්යාම් නවාස් ෂරීෆ් පියවර ගත්තාය. එම අවස්ථාවේදී, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ විශ්වාසභංගය ව්‍යවස්ථාවට පටහැනි බවත් නීත්‍යාණුකූල නොවන බවත් නියෝජ්‍ය කතා නායකවරයා තීරණය කිරීම නීත්‍යානුකූල නොවන බවය. එ් අනුව විශ්වාසභංගය පැවැත්වීමට නියෝග කෙරුණි.

ඉම්රාන් නියෝජනය කරන්නේ 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂයයි. 2018 මහ මැතිවරණයෙන් 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය බලයට පත් වෙද්දී එය පාකිස්තානවේ තෙවැනි දේශපාලන බලවේගය වී තිබුණි. මාරුවෙන් මාරුවට පාකිස්තානයේ බලයේ සිටියේ 'පාකිස්තාන ජනතා පක්ෂය' සහ 'මුස්ලිම් ලීගය එන්' පක්ෂයයි. 2018 වන විට පාකිස්තාන දේශපාලන දූෂණ වංචාවලින් පිරී තිබුණු අතර, ඉම්රාන් ඇතුළු 'තරීක් ඊ ඉන්සාෆ්' පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළේ ඔවුන් දූෂණයට එරෙහිව පිරිසුදු දේශපාලන ගමනක් ආරම්භ කර තිබුණු බැවිනි.

එවකට විපක්ෂයේ සිටි තවත් ප්‍රධාන පක්ෂ දෙකක් සමඟ එක්වී වෙමින් සභාග රජයක් පිහිටුවා ගනිමින් ඉම්රාන් අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු අතර, කඩා වැටී තිබුණු ආර්ථිකය ගොඩ ගැනීමට රජයේ අනවශ්‍ය වියදම් සියල්ල කප්පාදු කළේය. සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් ආධාර ලබා ගැනීමට ද ඉම්රාන් මැදිහත් විය. 2018 පෙර සිටත් චීනය, පාකිස්තානයේ සංවර්ධන ව්‍යාපෘති රැසකට සම්බන්ධ වී පාකිස්තානයට ණය ලබා දී තිබුණි. සෞදිය ඇතුළු මැදපෙරදිග රටවලින් හෝ බටහිර රටවලින් හෝ ප්‍රමාණවත් සහායක් නොලැබුණු බැවින් ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජයට අකමැත්තෙන් හෝ චීනය සමඟ සම්බන්ධ වීමට සිදුවිය. ඉන්පසු චීනයෙන් දිගින් දිගටම පාකිස්තානයට ණය ලැබුණි. චීන ව්‍යාපෘති පාකිස්තානයේ ආරම්භ කෙරුණි. චීනයත් පාකිස්තානයත් අතර සමීප සබඳතා වර්ධනය වූ අතර එය ඉන්දියාවේ උදහසට හේතුවක් වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. පාකිස්තානය තව තවත් චීන ණය උගුලේ පැටලෙමින්, ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ මේ නිසා යැයි දේශපාලන විශ්ලේෂකයෝ පැහැදිලි කරති.

විශ්වාසභංගයෙන් පරාජයට පත් වීමෙන් පසු 69 හැවිරිදි ඉම්රාන් ඛාන් කියා සිටියේ තමන් අවසන් පන්දුව තෙක් සටන් කළ බවත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වළපල්ලට ගිය බවත්ය. තමා ධුරයෙන් ඉවත් කිරීමට විපක්ෂය කුමන්ත්‍රණය කළේ ඇමෙරිකාවේ සහාය ඇතිව බවත් අපක්ෂපාතීව සිටිනවා යැයි පැවැසූ හමුදාව ද ඊට අනුබල දුන් බවත් ඉම්රාන් ඛාන් චෝදනා නැගුවේය. ඇමෙරිකාවට අවශ්‍ය පරිදි රජයක් ඉදිරියේ දී පිහිටුවනු ඇතැයි ද ඉම්රාන් ඛාන් වැඩි දුරටත් පවසා තිබේ. කෙසේ නමුත් තමන් බලයෙන් නෙරපා දැමීමේ කුමන්ත්‍රණය පසුපස ඇමෙරිකාව සිටිනවාද යන්න ඔප්පු කිරීමට ඉම්රාන් ඛාන් ප්‍රබල සාක්ෂි කිසිවක් ඉදිරිපත් කර නැත.

පාකිස්තාන විපක්ෂ නායක ලෙස කටයුතු කරන්නේ 'මුස්ලිම් ලීගය එන්' පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායක ෂෙහ්බාස් ෂරීෆ් ය. ෂෙහ්බාස් ෂරීෆ් යනු නවාස් ෂරීෆ්ගේ සොහොයුරාය. පාකිස්තාන ජනතාව අතරේ 'හොඳ නමක්' දිනූ දක්ෂ පරිපාලකයකු ලෙස 70 හැවිරිදි ෂෙහ්බාස් ෂරීෆ් පිළිගැනෙයි. නවාස් ෂරීෆ් මෙන් නොව ෂෙහ්බාස් ෂරීෆ්, පාකිස්තානයේ ප්‍රබල හමුදාව සමඟ ද සුහඳව කටයුතු කරන තැනැත්තකු බව පැවැසෙයි. කෝටි 22 ක ජනගහනයක් වෙසෙන පාකිස්තානයේ දෙස් විදෙස් ප්‍රතිපත්ති මෙන්ම ආරක්ෂක ප්‍රතිපත්ති ද පාලනය සිදුවන්නේ හමුදාව යටතේය. 2023 වසරේ යළි මහ මැතිවරණයක් පැවැත්වෙන තුරු පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය ෂෙහ්බාස් ෂරීෆ් ට හිමිවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ෂෙහ්බාස් ෂරීෆ් පන්ජාබ් ප්‍රාන්තයේ මහ ඇමැති ධුරය හොබවා තිබේ. චීනය සමඟ ද යහපත් සබඳතා පවත්වන ෂෙබාස් ෂරීෆ්, චීනය පාකිස්තානයේ සංවර්ධන කටයුතුවලට සහාය ලබා දී තිබේ.

ෂෙහ්බාස් 1999 දී පාකිස්තානයේ හමුදා කුමන්ත්‍රණයකින් පසු සිරගත දඩුවම් විඳි අතර පසුව ඔහු සෞදි අරාබියට පිටුවහල් කරන ලදී. ඔහු 2007 දී නැවත පාකිස්තානයට පැමිණියේය. පැනමා පත්‍රිකා හෙළිදරව් කිරීම්වලට අනුව, වත්කම් සඟවා ගැනීමේ චෝදනාව මත නවාස් ෂරීෆ් 2017 දී වරදකරු වෙද්දී ෂෙහ්බාස්

පාකිස්තාන මුස්ලිම් ලීගය-නවාස් නායකයා බවට පත් වෙමින් දේශපාලන වේදිකාවට පිවිසි අතර, ඔහු නවාස් ෂරීෆ්ගේ දියණිය මර්යාම් ට පන්ෂය මෙහෙයවීමට බාර දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS