අයිස් කන්ද යට අමුතු සත්තු



දැවැන්ත අයිස් කන්දක් ඇන්ටාක්ටිකාවෙන් කැඩී වෙන් වී ගියේ මීට දින කීපයකට පෙරය. ඒ සමඟම,‍ අයිස් කුට්ටිය තිබුණු තැන කිලෝ මීටර් 541 ක ප්‍රමාණයක මුහුදු පතුළක් සාගර ජීව විද්‍යාඥයන්ට නිරාවරණය වුණු අතර, එය අමුතු අපූරු විදියේ ජීවීන්ගෙන් පිරී පවතින බව පසුව හෙළි විය.

ෆෝල්කෝර් (Falkor) පර්යේෂණ නෞකාවෙන්, එම ස්ථානයට ගිය ජාත්‍යන්තර විද්‍යාඥ කණ්ඩායමක් මෙතෙක් කලක් සැඟවී තිබුණු එම මුහුදු පතුල ගවේෂණය කරද්දී, මෙම නව සාගර ජීවීන් හමුවුණු බව පැවැසෙයි. සියවස් ගණනාවක් තිස්සේ අඩි 500ක් ඝන අයිස් තට්ටුවක් යට නිහඬව පැවති සශ්‍රීක ගැඹුරු මුහුදු පරිසර පද්ධතියක් ඔවුන්ට දකින්න ලැබුණි.

දුරස්ථ පාලනයෙන් ක්‍රියාත්මක රොබෝ යානා භාවිතයට ගනිමින්, සාගර පතුල ගවේෂණය කරද්දී, විද්‍යාඥ කණ්ඩායමට නව කොරල් විශේෂ, බූවල්ලන්, ස්පොන්ජ් සහ විශාල මුහුදු මකුළුවන් දකින්න ලැබුණි. ඇතැම් ජීවීන් අඩි 4,000ක් තරම් ගැඹුරක ජීවත් වන බව පෙනී ගියේය. මෙම ජීවීන්ගේ ප්‍රමාණය සහ වර්ධනය පෙන්නුම් කරන්නේ ඔවුන් දශක ගණනාවක්, සමහර විට සිය ගණනක් තිස්සේ වර්ධනය වී ඇති බව යැයි විද්‍යාඥයෝ පැහැදිලි කළහ.

වඩාත්ම කැපී පෙනෙන කරුණ නම්, මෙම සජීවී පරිසර පද්ධතිය හිරු එළිය හෝ මතුපිට පෝෂ්‍ය පදාර්ථ මත රඳා නොපැවතීමය. සාගරයේ ඇති ජල ප්‍රවාහයන් මෙම ප්‍රදේශයට පෝෂණය ලබා දෙන්නට ඇතැයි විද්‍යාඥයින් විශ්වාස කරන අතර එමඟින් එය අයිස් යට නිහඬව වර්ධනය වීමට ඉඩ සලසා දී ඇති බවය. ග්ලැසියර් දියවීම මෙම ජීවීන්ට දරුණු ලෙස බලපෑම් එල්ල කරනු ඇතැයි ද විද්‍යාඥයන්ගේ අදහසය.

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇන්ටාක්ටික් අයිස් තට්ටුව මේ වනවිට වේගයෙන් ක්ෂය වෙමින් පවතින බැවින්, මෙම සිදුවීමෙන් රැස් කරන ලද දත්ත සැඟවුණු ජෛව විවිධත්වය පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා පමණක් නොව, අනාගත පාරිසරික වෙනස්වීම් පුරෝකථනය කිරීමට සහ ඊට ප්‍රතිචාර දැක්වීමට මඟ සකස් කර අවසන්ය.

(ස්මිත්සෝනියන් ඇසුරිනි)


RECOMMEND POSTS