41 දෙනා බේරාගත් හැටි



දින 17 ක් පුරා, ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පසුගිය 28 වැනිදා රාත්‍රියේ සමත් විය. කම්කරුවන් සිරවී සිටියේ ඉදි කෙරෙමින් තිබූ උමං මාර්ගයක මීටර් 260 ක් පමණ දුරිනි. පිරිස සිරවූයේ උමං මාර්ගයේ පිවිසුමේ සිට මීටර් 60 ක් දුරින් එහි ඉහළ කොටස කඩා වැටීමෙනි.

සිරවුණු පිරිස පසුව බේරා ගැනීම සිදුවූයේ ඔවුන් සිටි තැනට සිරස් අතට මීටර් 60 ක් දිග අඩි කීපයක් පළල කුඩා සිදුරක් විදීමෙනි. එම සිදුර හරහා පහළට අඩි 3 ක් පළල වානේ නළයක් ඇතුළු කෙරුණු අතර, පසුව එම නළය දිගේ, රෝද සහිත කුඩා ට්‍රොලි සහ රැහැන් ආධාරයෙන්, පැයක පමණ කාලයක් ඇතුළත සිරවී සිටි පිරිස එකිනෙකා බැගින් පිටතට ගැනීම සිදුවිය. එය සැබැවින්ම විස්මිත දිවි ගලවා ගැනීමේ වික්‍රමයකි. ඒත් මෙම වික්‍රමයේ වීරයන් සිර වී සිටි 41 දෙනා පමණක් නොවෙයි; අවසන් මොහොතේ පැමිණ ඔවුන් බේරාගත් මී ගුල් කණින්නන්ය.

උමං මාර්ගයේ පිවිසුම බිමට සමතලා වී, ඉදිකිරිම් කම්කරුවන් 41 දෙනා උමඟ තුළ සිරවූයේ පසුගිය නොවැම්බර් 12 වැනිදා අලුයම් කාලයේය. වෙහෙසකර දින කීපයකින් පසු කම්කරුවන් සිරවී සිටි ස්ථානය නිවැරදිව තහවුරු කර ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය. පසුව සිරවුණු පිරිස සිටි එතැනට කුඩා සිදුරු කීපයක් විද නළ ඇතුළු කර, ඔක්සිජන් සහ ආහාර ලබා දීම නොකඩවා සිදු කෙරුණි. දිවි ගලවා ගැනීමේ කණ්ඩායම්, කුඩා කැමරාවක් පහළට යවා එය ආධාරයෙන් සිරවුණු පිරිස හා සම්බන්ධ විය. සිරවුණු පිරිස සිටි තැනට සමාන්තරව කැණීම් ආරම්භ වූයේ නවීණ තාක්ෂණයෙන් පිරි කැණීම් යන්ත්‍ර සූත්‍ර යොදා ගනිමිනි. ඒත් අවාසනාවකට, එම යන්ත්‍ර සූත්‍ර අක්‍රිය විය. බලාපොරොත්තු සුන් විය. අලුතින් යන්ත්‍ර ගෙන්වා දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කිරීම අසීරු කටයුත්තක් විය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සිදුවූයේ තිබුණේ ඉන්දීය ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ, භූ විද්‍යාඥයන්, ඉන්දීය හමුදාව සහ පොලිසිය ද මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටියේය. කළ හැකි දෙයක් නොවූ, මී ගුල් කණින්නන් ගෙන්වා සිදුරක් හාරා සිරවුණු පිරිස බේරා ගනිමු යැයි අදහසක් යෝජනා විය.

මී ගුල් හෑරීම එසේත් නැතිනම් මී ගුල් කැණීම යනු යන්ත්‍ර සූත්‍ර කිසිවක් නොමැතිව, ගල් කුටුවලින් හාරා, පස් ඉවත් කරමින්, පටු කුහර හැරීමේ ක්‍රියාවලියයි. මෙය ඉතාමත් අනාරක්ෂිතය. ඉතාමත් අනතුරුදායකය. එහෙයින්, 2014 වසරේ දී ඉන්දීය පරිසර අධිකරණයක් මගින්, මී ගුල් හෑරීම තහනම් කෙරුණි. එසේ වුවත්, මී ගුල් හැරීම හොරෙන් සිදු වෙයි. මී ගුල් හාරමින් කැණීම් කරන්නේ ගල් අගුරු සෙවීමටය. මෙහිදි සිදුවන්නේ ඉතා පටු කුහරයක් හෑරීමය. බෙහෝ විට එම කුහර හරහා පහළට යැවෙන්නේ කුඩා දරුවන්ය. මී ගුල් හැරීම තහනම් කිරීමට එක් හේතුවක් වූයේ මෙයයි.

මීගුල් හෑරීම බහුලව සිදුවන්නේ මේඝාලය ප්‍රාන්තයේය. 2019 වසරේ දී මීගුල් හාරමින් ගල් අගුරු කැණීම් කළ පතල්කරුවෝ 15 දෙනෙක් පොළොව යට හිරවූහ. බේරා ගැනීමට හැකිවූයේ 14 දෙනකු පමණි. 2007 සිට 2014 කාලයේ, මී ගුල් පතල්වල සිදුවුණු අනතුරුවලින් 10,000 සිට 15,000 දක්වා පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද පැවැසෙයි. උත්තරකාන්ද් උමං මාර්ගයේ සිරවුණු කම්කරුවන් මුදා ගැනීමට මී ගුල් කණින්නන් සය දෙනෙක් පැමිණියහ. ඔවුන් මේඝාලය ප්‍රාන්තයේ මී ගුල් හාරන්නන් නොව, දිල්ලියෙන් ආ පිරිසක් බව පසුව පැවැසිණි. ඔවුහු ගල් අගුරු පතල් කරුවන් ද නොවූහ. එසේ වුවත්, මී ගුල් හෑරීම සම්බන්ධයෙන් ඔවුහු දක්ෂයෝ වූහ.

පසුගිය 27 වැනිදා මී ගුල් කැණීමේ විශේෂඥයන් හය දෙනා, දිවි ගලවා ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ කර ගැණුනි. ඔවුන් ඔවුන්ගේ දැනුම සහ අත්දැකීම් භාවිතයට ගනිමින්, කිසිදු නවීන තාක්ෂණයක් භාවිතයට නොගෙන, සිරස් අතට සිදුරක් හැරුවේය. වරකට තුන් දෙනා බැගින් වෙන් වෙන්ව සිදුර හැරීම කළේ යැයි පැවැසෙයි. ගල් ගටුවලින් කැණීම් කළේ එක් අයෙකි. අනෙක් දෙදෙනා කළේ පස් ඉවත් කිරීමය. ඔවුන්ගේ ක්‍රමය සාර්ථක විය. අවසානයේ, අඩි 3 ක් පළල වානේ නළය සිදුර තුළට ඇතුළු කළේය. රෝද සහිත ට්‍රොලිවල කම්කරුවන්ට දිගා වෙන්නැයි උපදෙස් දී, රැහැන්වලට සම්බන්ධ කෙරුණු එම ට්‍රොලි පිටතට ඇද ගැනීම සිදු කෙරුණි. කම්කරුවන් 41 දෙනා බේරා ගැනීම සිදුවූයේ එලෙසිනි.

උමං මාර්ගය තුළ සිරවී සිටියේ උත්තරකාන්ද්, බිහාර්, ජර්කාන්ද්, උත්තර ප්‍රදේශ් බටහිර බෙංගාලය, ඔඩීෂා, හිමාචල් යන ප්‍රාන්තවල සංක්‍රමණික කම්කරුවන් පිරිසකි. ඔවුන්ගේ බොහෝ දෙනකු දෛනික වැටුපක් වෙනුවෙන් සේවයට එක් වී සිටි බව ද පැවැසෙයි. බේරාගත් 41 දෙනා රෝහල් වෙත ගෙන යෑමට ගිලන් රථ පමණක් නොව, ඉන්දීය හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා ද සූදානම් කර තිබුණි. ළඟම රෝහල පිහිටියේ කිලෝ මීටර් 30 ක දුරකිනි. එහි වෙනම වාට්ටුවක ඇඳන් 41 ක් ද කම්කරුවන් වෙනුවෙන් සූදානමින් තැබුණි. කෙසේ නමුත් උමං මාර්ගයේ සිට බේරාගත් ඔවුන් සියලු දෙනා යහතින් පසුවිය. බේරාගත් සැණින් වෛද්‍යවරුන් වෙත ඔවුන් යොමු කෙරුණි. වෛද්‍යවරුන් පැවැසුවේ ඔවුන්ට යහතින් පසුවන බැවින්, රෝහල්ගත කිරීමක් හෝ වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමක් හෝ අවශ්‍ය නොවන බවය.

උමං මාර්ගයේ සිරවී සිටියදී කම්කරුවන් පිරිස යෝග ව්‍යායාවල යෙදුණු බව ද පැවැසෙයි. සිරවී සිටියදී ඔවුන්ට යැවූ ආහාර තවත් මාස දෙකකට ප්‍රමාණවත් බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය. සිරවී සිටි එක් කම්කරුවකු මිට පෙර අවස්ථා දෙකකදී උමං දෙකක් තුළ සිරවුණු අයෙකි. සෙසු පිරිස දිරි ගැන්වීමට ඔහු සමත් වූ බව ද පැවැසෙයි.

මෙහෙයුම අවසන් වීමෙන් පසු දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමඟ පමණක් නොව, බේරාගත් 41 දෙනා සමඟ ද දුරකතනයෙන් කතාබහ කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටයුතු කළේය. පිරිස මුදා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පළ කළේය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට සම්බන්ධ වූ සියලු දෙනාට ප්‍රශංසා කිරීමට ද මෝදි අමතක නොකළේය. 41 දෙනා අතරේ වැඩිමහල් තැනැත්තා ලෙස සැලකෙන්නේ ජයිමාල් සිං ය. සියලු දෙනා පිටවි ගිය පසු තමන් අවසානයට යන බව ජයිමාල් පවසා තිබුණි. ඒ අනුව, සෙසු පිරිස ඉහළට ගිය පසු අවසානයේ එළියට ආ තැනැත්තා ජයිමාල් ය. කම්කරුවන් 41 දෙනා බේරා ගැනීම සතුට සැමරීම සිදුවූයේ මල්වෙඩි සංදර්ශන පවත්වමින් සහ රසකැවිලි බෙදා ගැනීමෙනි.

එන්.ඩී.ටීවී ඇසුරිනි


RECOMMEND POSTS