2025 අභ්‍යවකාශ වික්‍රම
2024 වසර හරි හරියට, හරි අපූරු මෙන්ම විස්මිත අභ්‍යවකාශ වික්‍රම සිදුවුණු වසරකි. නාසා ආයතනය, බෘහස්පතිගේ අයිස්වලින් මිදුණු යුරෝපා චන්ද්‍රයාට රොබෝ ගවේෂණ යානයක් යැවීම, ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ ස්ටාර් ෂිප් රොකට්ටුව ගගන වික්‍රමයකින් පසු යකඩ රොබෝ අත්වලින් අල්ලා ගැනීම ඒ අතරින් කැපී පෙනෙයි. උදා වුණු මෙම 2025 වසරේදී, ඊටත් වඩා අපූරු අභ්‍යවකාශ වික්‍රම සිදුවීමට නියමිතය. ඒ මොනවාදැයි අපි බලමු.
ටියන්වෙන් 2
ටියන්වෙන් 2 (Tianwen-2) යනු චීන විද්‍යාඥයන්, අභ්‍යවකාශයට යැවෙන රොබෝ යානයකි. මෙම යානය, ග්රහක සාම්පල එක් රැස් කරගෙන, ආපසු පෘථිවියට පැමිණීමට නියමිතය. යානය පෘථිවියෙන් පිටවී යනු ඇත්තේ මැයි මාසයේය. යානයේ ඉලක්කය ‘කමෝඔලේවා’ Kamo oalewa (2016 HO3) නමැති අඩි 150 ත් 190 ත් අතරේ විෂ්කම්බයක් ඇති, ග්රහකයයි. පළමුවෙන් යානය ග්රහකයට සමීප වී එය ස්කෑන් කර දත්ත ලබා ගනී. පසුව එය ග්රහකයට ගොඩබෑමක් සිදු කරනු ඇත. එය ග්‍රෑම් 100 ක ග්රහක පස් සහ දූවිලි රැස් කරගෙන පසුව, එම සාම්පල අඩංගු කැප්සියුලය යානයෙන් වෙන්වී එහි රොකට්ටු දල්වාගෙන ආපසු පෘථිවියට පැමිණෙනු ඇත. එය සිදුවන්නේ විශ්වයේ වේගයෙන් ඇදී යන 311P/PANSTARRS නමැති වල්ගා තරුවේ ගුරුත්ව බලය ආධාර කර ගනිමිනි. එලැඹෙන මැයි මාසයේ පිටත්ව යන ටියන්වෙන් 2 (Tianwen-2) යානය, ‘කමෝඔලේවා’ Kamo oalewa (2016 HO3) ග්රහකයට සමීප වන්නේ ලබන 2026 වසරේදීය. ඒ වනවිට ග්රහකය පෘථිවියේ සිට කිලෝ මීටර් මිලියන 9 ක දුරකින් ගමන් කරනු ඇත.
සිකුරුගේ ජීවය සොයන්නා
සිකුරු ග්‍රහලෝකයේ ජීවීන් සිටිනවාද හෝ ජීවීන් සිටීමට අවශ්‍ය සාධක හෝ විද්‍යාඥයන්ට මෙතෙක් හමුවී නැත. ඒත් ඉදිරියේ දී සෞරග්‍රහ මණ්ඩලය ගවේෂණය කිරීමේ නව මෙහෙයුම යටතේ සිකුරුගේ ජීවය පැවැතියේද? පවතින්නේද? හෝ පැවැතිය හැකිද? යන්න සෙවීම සිදුවනු ඇත. ඒ සඳහා යැවෙනු ඇත්තේ වීනස් ලයිෆ් ෆයින්ඩර් (VENUS LIFE FINDER) නමැති රොබෝ ගවේෂණ යානයයි. කිලෝ ග්‍රෑම් 17 ක් බර මෙම රෙබෝ යානය පෞද්ගලික සමාගක් මැදිහත් වීමෙන් සිකුරු බලා යැවෙන පළමු පෞද්ගලික රොබෝ යානයයි. මෙම ජනවාරියේ, නවසීලන්තයේ සිට වීනස් ලයිෆ් ෆයින්ඩර් රොබෝ යානය රැගත් රොකට්ටුව ගුවන්ගත වනු ඇත. සිකුරු ග්‍රහයා සැලකෙන්නේ පෘථිවියේ නපුරු නිවුන් සොයුරා යන නමිනි. මෙය ප්‍රමාණයෙන් පෘථිවියට සමානය. එහෙත්, හිරුට වඩා ළංව පිහිටන බැවින් උෂ්ණත්වය සෙල්සියස් අංශක 465 ට වැඩිය.
ඩ්‍රීම් චේසර්
සියේරා ස්පේස් පෞද්ගලික සමාගම ඇමෙරිකානු ගගන සමාගම්වලින් එකකි. සියේරා ස්පේස් ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදය කේන්ද්‍ර කොට ගනිමින් පිහිටා ඇත. සියේරා ස්පේස් සමාගම, ඇමෙරිකාවේ අභ්‍යවකාශ ෂටල යළි සිහි ගන්වන ආකාරයේ අභ්‍යවකාශ ගුවන් යානයක් නිර්මාණය කර ඇත. මෙය ඩ්‍රීම් චේසර් (Dream Chaser) යනුවෙන් නම් කර තිබේ. ඩ්‍රීම් චේසර් ෂටල යානය, මෙම වසරේ, අභ්‍යවකාශය නැවතුම්පොළට බඩු බාහිරාදිය රැගෙන සිය මංගල ගමනට එක්වනු ඇත. ගගනගාමීන් ද අභවකාශයට රැගෙන යෑම සහ ආපසු රැගෙන ඒම සඳහා මෙය නිර්මාණය කර ඇත. යානයට කිලෝ ග්‍රෑම් 3,540 ක බරක් රැගෙන යෑම කළ හැකිය. දින 45 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළ හා සම්බන්ධ වී සිටින ඩ්‍රීම් චේසර් ෂටල යානය යළි පෘථිවියට පැමිණෙනු ඇතැයි ද පැවැසෙයි.
ස්පේස් රයිඩර්
ස්පේස් රයිඩර් (Space Rider) යනු යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිර්මාණය කළ ඇති යළි යළි භාවිතයට ගත හැකි අඩි 26 ක් උසැති රොබෝ ගගන යානයයි. මෙම වසරේ ජුනි සිට අගෝස්තු මාස අතර දිනෙක මෙම යානය අත්හදා බැලීම සිදුවනු ඇත. මෙම යානය තුළ ඇත්තේ රොබෝ පර්යේෂණාගාරයකි. ස්පේස් රයිඩර් යානයට මාස දෙකක් අභ්‍යවකාශයේ පහළ කක්ෂයේ රැඳී සිටීමට හැකි බව පැවැසෙයි. ඖෂධ, ජෛව සහ භෞතික විද්‍යා පර්යේෂණ කටයුතු ස්පේස් රයිඩර් යානය තුළ සිදු කිරීමට පහසුකම් ඇති බව පැවැසෙයි.
එස්කැපේඩ්
එස්කැපේඩ් (ESCAPADE) යනු ඇමෙරිකාවේ නාසා ආයතනය, අඟහරු ගවේෂණය කිරීමට යැවීමට සූදානම් කළ ඒක හා සමාන රොබෝ යානා දෙකකි. මේවා යැවෙන්නේ අඟහරුගේ වායු ගෝලය ගවේෂණය කිරීම සඳහාය. අඟහරු වායුගෝලයේ ප්ලාස්මා සහ චුම්බක ක්ෂේත්‍ර අධ්‍යයනය කිරීම මෙම යානාවල අරමුණ වෙයි. මෙම නිවුන් රොබෝ යානා, 'බ්ලූ' සහ 'ගෝල්ඩ්' යන නමින් නාසා විද්‍යාඥයෝ හඳුන්වති. නිවුන් යානා දෙකක් අඟහරු ගවේෂණයට යන පළමු අවස්ථාව වනු ඇත්තේ ද මෙයයි.
හෙවන් 1
හෙවන් 1 (Haven-1) යනුවෙන් හැඳින්වෙන්නේ පෞද්ගලික අභ්‍යවකාශ සමාගම් එක් වී, පෘථිවි කක්ෂයේ රඳවන කුඩා ප්‍රමාණයේ අභ්‍යවකාශ නැවැතුම්පොළකි. මෙය දිගින් අඩි 33 කි. ප්‍රමාණයෙන් කුඩා වුවත්, ගගනගාමීන්ට අවශ්‍ය සියලු අති නවීන පහසුකම්වලින් මෙය නිර්මාණය වනු ඇත. මෙම අගෝස්තුවේ ස්පේස්ස් එක්ස් සමාගමේ ෆැල්කන් 9 රොකට්ටුවක ආධාරයෙන් හෙවන් 1 පෘථිවි කක්ෂයට යැවීමට නියමිතය. මෙය නිර්මාණය කර ඇත්තේ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය කේන්ද්‍රකොටගත් 'වෑස්ට්' සමාගමය.
ගගනයාන්
ඉන්දීය ගගන පර්යේෂණ ආයතනය පසුගිය 2023 වසරේ සඳට යානයක් යවා ලෝකයේම අවධානය දිනා ගත් බව අමුතුවෙන් කිවයුතු නැත. ඒත් පසුගිය 2024 ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයට නිහඬ වසරක් විය. කෙසේ නමුත් මෙම 2025 වසරේ ගගනයාන් වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් ඉන්දීය ගගන පර්යේෂණ ආයතනයට කාර්ය බහුල වසරක් වනු නොඅනුමානය. ගගනයාන් 1, 2 සහ 3 මෙම වසරේ සිදුවෙයි. ගගනගාන් යනු ඉන්දියාව නිෂ්පාදන කළ අභ්‍යවකාශ යානයකි. ගගනයාන් (GAGANYAAN) 1, 2 සහ 3 මෙහෙයුම්වලදී මෙය පෘථිවි කක්ෂයට තනිවම ගොස් ආපසු පැමිණෙයි. ආපසු පැමිණෙන යානය ඉන්දීය සාගරයට පැරෂූට් ආධාරයෙන් පතිත කෙරේ. සාගරයට පතිත වන යානය, ඉන්දීය නාවික හමුදාව විසින් ගොඩගනු ලැබීම සිදු කරයි. ගගනයාන් 4 ලබන 2026 දී සිදුවනු ඇත. මෙහිදී ඉන්දීය ගගනගාමීන් තිදෙනකු ගගයන යානයෙන් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙනු ඇත. මෙම ගගනගාමීන් මේ වනවිට ඇමෙරිකාවේ නාසා ආයතනය යටතේ පුහුනුව ලබන බව පැවැසෙයි.
ඩේලිමේල් ඇසුරිනි