වාහනයේ අමතක වූ ඩිරාම් ලක්ෂ 17ක් අයිතිකරු සොයා ආපසු දුන් රියැදුරා
මනුෂ්‍යත්වය ,නිහතමානීකම , අවංකත්වය හා සත්‍යවාදී බව යන කාරණාවන් තරම් වටිනා දෙයක් මේ ලෝකයේ නැත. මේ අපි කියන්නට සුදානම් වන්නේ ජීවිතය ගැන පාඩමක් කියා දෙන්නට .ඒ මොනතරම් සමාජ තරාතිරමක සිටියද ,තමන් සතුව පැවති සත්‍යවාදී බව නිසාම සමාජයේ පිළිගැනීමකට ලක්වූ පුද්ලයකු ගැන කීමටය.
ඒ කුලී මෝටර් රථයක දමා ගිය ඩිරාම් මිලයන 1.7 ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් හය කෝටියක වැඩි මුදලක් ) ඇතුළු වෙනත් වටිනා ලියකියවිලි රැසක් සමගින් යුතු බ්‍රීෆ්කේසයක් යළි එහි හිමිකරු වෙත ලබා දීමට කටයුතු කළ ඩුබායිහි කුලී රථ රියදුරෙකු ගැනය. උපතින් පකිස්ථතාන ජාතිකයකු වන නසීබුල්ලා ෂේර් ඩෝලා ඩුබායි හි කුලී රථ රියදුරෙකු වූයේ සිය පවුලේ ආර්ථිකය ගොඩනැගීමේ අරමුණෙනි. ඩිරාම් තුන්දහසක මාසික වේතනයකින් පකිස්ථතානයේ පේෂාවර්හි සිටින සිය පවුලේ සාමාජිකයින් අට දෙනකු ජීවත් කරනා නසීබුල්ලා තවමත් සිටින්නේ තිස් හය හැවිරිදි වියේය.
සාජා ගුවන්තොටුපොළ අසල සිට ඩුබායි හි ගෝල්ඩන් සූක් (රන් වෙළදපොළ ) වෙතට සිය කුලී රථයට නැගි ගැනුම්කරුවෙකු වූ දකුණු කොරියානු ජාතික ව්‍යාපාරිකයකු අමතකව කුලී රථය තුළ දමා ගිය මේ අතිවිශාල මුදල සහිත බ්‍රීෆ්කේසය ආරක්ෂාකාරී ලෙස නැවතත් එහි හිමිකරුවාට ලබා දීමට ගත් සද්භාවයෙනි. ඒ ඔහුගේ සත්‍යවාදී බව නිසාම සිදු වූවකි. සිය ගැණුම්කරුවාගේ කෝටි ගණනක මුදල ගත්තේ නම් නසීබුල්ලාට මැදපෙරදිගට තවදුරටත් සිය දහදිය කදුළු වගුරන්නට අවශ්‍යවන්නේ නැත.
සිය කටහඩ අවදි කරමින් නසීබුල්ලා පැවසූයේ මෙවැන්නකි. ‘මම දැඩි ඉස්ලාම් භක්තිකයෙක්. ඒ නිසාම මට කවදාත්ම අනුන්ගේ මුදල් මගේ වඩා ගන්න බැහැ. ඒ මොකද ඒ මගේ නෙවෙයි. හැමවෙලාවකදීම මම හිතන්නේ එහෙමයි. මේ දලා ගිය සල්ලි මගේ ගැනුම්කුවෙක්ගේ ,මගේ වගකීම මේ මුදල් සියල්ල යළි ඔහුට බාර දෙන එක. මේ මුදල ඔහුට කොහොම හරි දිය යුතුයි කියන දැඩි සිතිවිල්ලකින් මම හිටියේ.
මේ සිද්ධිය වුනේ ඉකුත් මාසයේ 20 වැනිදා. මගේ ගැණුම්කරුවා දැන ගෙන හිටියේ නැහැ එයාගේ මුදල් මගේ කුලී වාහනය ඇතුලේ කියලා. මම මේ ගැන ගුවන්තොටුපළේ පිහිටි කුලී රථ සේවා සංගම් කාර්යාලයට දැනුම් දුන්නා. බ්‍රීෆ්කේස් එක මම විවර කළෙත් ගැනුම්කරුවා කවුද කියලා දැනගන්න ඕන නිසයි. එහි ඔහු සතු අති විශාල මුදල් තොගය, ගුවන් ගමන් බලපත්‍රය ,ණය පත (credit card) සියල්ලක් තිබුණා. අපේ කාර්යාලයේ සම්බන්ධීකරණය මත මේ මුදල යළි ඔහුට ලබා දීමට හැකිවීම ගැක මට දැනෙන්නේ සැහැල්ලුවක්.‘
මේ නසීබුල්ලා සිය ගැනුම්කරුවන්ට වෙනුවෙන් සත්‍යවාදී ලෙස කටයුතු කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ .අවස්ථා කිහිපයකදීම ඔහු මෙලෙස කටයුතු කර ඇත. ගිය වසරේදීත් ඉරාන ජාතිකයෙකු සිය රථයේ දමාගිය ඩිරාම් 65000ක මුදලක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 26කට ආසන්න මුදලක් ) යළි ලබා දී තිබේ. මේ සියල්ලටම ගරු කිරීමක් වශයෙන් සාජා මාර්ග හා ප්‍රවාහන අධිකාරිය, විවිධ ව්‍යාපාරිකයින් ඔහුගේ සද් කාර්යයන් අගයමින් තිළිණ හා මුදල් ලබා දී ඇත.
‘මේ වන විට පකිස්ථානයේ මාධ්‍ය තුළින් මම වීරයෙක් කරලා.මගේ දෙමව්පියන්,භාර්යාව ,මගේ දරුවන් තිදෙනා වගේම මුළු ගමේම අය ඒවා බලලා සතුටට පත් වෙලා. මම බලා ගෙන ඉන්නේ මම අදහන අල්ලාහ් තුමන් මට දෙන තිළණයන් මොනවාද කියලයි. මේ අද වගේම හෙටටත් තවත් මුදල් සහිත බ්‍රීෆ්කේස් ලැබුණහොත් මම ඒ සියලුම දේවල් මම නැවත ඔවුන්ට දෙනවා‘ යැයි නසීබුල්ලා කියනුයේ දැඩි අධිෂ්ඨානශීලි ලෙසිනි.
( තිළිණි ද සිල්වා )
ගල්ෆ් නිව්ස් ඇසුරෙනි