වළල්ලක් ඇති කුරු ග්‍රහයා
මුලින් අපි කුරු ග්‍රහයන් එසේත් නැතිනම් වාමන ග්‍රහයන් ගැන කතා කරමු. කුරු ග්‍රහයකු (Dwarf Planet) යනු ගෝලාකාර හැඩයක් ගතතත්, ග්‍රහලෝකයක් (Planet) ලෙස අර්ථ නිරූපණය නොකෙරෙන, හිරු වටා ගියත්, ග්‍රහලෝක මෙන් නොව, නිශ්චිත කක්ෂයක ගමන් නොකරන ග්‍රහ වස්තූන්ය. අප සෞරග්‍රහ මණ්ඩලයේ වාමන ග්‍රහයන් ලෙස නම් කෙරෙන ග්‍රහ වස්තූන් 9 කි. අප කවුරුත් හොඳින් දන්නා වාමන ග්‍රහයා ප්ලූටෝ ය. අනෙකා ‘සෙරස්’ (Ceres) ය. ‘සෙරස්’ ඇත්තේ ග්‍රහක වළල්ලේය.
‘ක්වාරෝර්’ (Quaoar) ද වාමන ග්‍රහයෙකි. තාරකා විද්‍යාඥයන්ට ‘ක්වාරෝර්’ හමුවුනේ අද ඊයේ නොවෙයි; 2002 වසරේදීය. ඒ, නෙප්චූන්ගේ කක්ෂයට ඔබ්බෙන් සිදු කළ නිරීක්ෂණවලදීය. 2007 දී ‘ක්වාරෝර්’ ට උප ග්‍රහයකු එසේත් නැතිනම් චන්ද්‍රයකු සිටින බව සොයා ගැනුණි. එම චන්ද්‍රයා ‘වේවොට්’ (Weywot) යනුවෙන් නම් කෙරුණි. පසුගිය දා එනම් 2023 පෙබරවාරි 8 වැනිදා, ‘ක්වාරෝර්’ සම්බන්ධයෙන් තවත් අලුත් සොයා ගැනීමක්, නේචර් (Nature) විද්‍යා සඟරාව ඔස්සේ ලොවට අනාවරණය කිරීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනය (ESA) කටයුතු කළේය. එය සැබැවින්ම තාරකා විද්‍යාඥයන් මවිත කළ ප්‍රහේලිකාවකි. මෙම අලුත් සොයා ගැනීම නම්; ‘ක්වාරෝර්’ නමැති වාමන ග්‍රහලෝකයට වළල්ලක් ඇත. සෙනසුරුගේ මෙන් නොවුණත්, ‘ක්වාරෝර්’ ට වළල්ලක් ඇත. මෙම වළල්ල ඇත්තේ ‘ක්වාරෝර්’ ගේ සිට තරමක් දුරිනි. තාරකා විද්‍යාඥයන් සතු දැනුම අනුව, මෙවැනි වළල්ලක් කිසිසේත්ම පිහිටිය නොහැකිය. ‘ක්වාරෝර්’ගේ වළල්ල පිහිටන දුර අනුව, පිහිටිය යුත්තේ වළල්ලක් නොව, ‘වේවොට්’ වැනි තවත් චන්ද්‍රයකුය.
‘ක්වාරෝර්’ගේ විෂ්කම්භය කිලෝ මීටර් 1,110 කි. ‘ක්වාරෝර්’ගේ චන්ද්‍රයා ‘වේවොට්’ගේ විෂ්කම්භය කිලෝ මීටර් 170 කි. මේ චන්ද්‍රයා පිහිටන්නේ ‘ක්වාරෝර්’ගේ සිට කිලෝ මීටර් 14,500 ක් දුරිනි. තාරකා විද්‍යාඥයන්ට අලුතින් හමුවුණු වළල්ල ඇත්තේ ‘ක්වාරෝර්’ගේ සිට කිලෝ මීටර් 4,100 ක් දුරිනි. වළල්ල පිහිටා ඇත්තේ ‘රෝච් සීමාව’ (Roche limit) ද ඉක්මවා යමිනි. ග්‍රහලොවකට හෝ කුරු ග්‍රහයකුට හෝ වළල්ලක් පිහිටන්නේ නම්, එම වළල්ල තිබිය යුත්තේ රෝච් සීමාවේය. රෝච් සීමාවේ දූවිලි අංශු, පාෂාණ කැබැලි ආදිය එකට එක් වී මුසුවී චන්ද්‍රයකු නිර්මාණය වන්නේ නැත. දූවිලි, අයිස්, පාෂාණ අංශු ආදිය වළල්ලක ආකාරයෙන් පවතී. කෙසේ නමුත් ‘රෝච් සීමාව’ ට එපිටින් ඇති නම්, සියල්ල මුසුවී චන්ද්‍රයකු එසේත් නැතිනම් උප ග්‍රහයකු නිර්මාණය වෙයි. ඒ අනුව, ‘රෝච් සීමාව’ පිළිබඳ තාරකා විද්‍යාඥයන් මෙතෙක් දැන සිටි සියල්ල මෙම නව සොයා ගැනීමත් සමඟ වෙනස් වෙයි. ග්‍රහයන් වටා ඇති වළලු පිහිටීම පිළිබඳ න්‍යාය, (රෝච් සීමාව Roche limit පිළිබඳ න්‍යාය) ලොවට ඉදිරිපත් කළේ ප්‍රංශ තාරකා විද්‍යාඥ රෝච් එඩුවාර්ච් ය. රෝච් සීමාව පිළිබඳ න්‍යායෙන් කියැවෙන්නේ, මවු ග්‍රහයාගේ අර්ධ විෂ්කම්භයෙන්, 2.44 වාරයක්, එසේත් නැතිනම් පෘෂ්ඨයේ සිට 1.44 වාරයක් දුරින් පමණක් බල පවත්වන දුරක පිහිටා ඇති ඝන වස්තුවක් මවු ග්‍රහයාගේ ගුරුත්ව බලය විසින් සිඳ බිඳ දමන අතර, එම කැබලිවලින් මවු ග්‍රහයා වටා වළල්ලක් සෑදෙන බවය.
‘ක්වාරෝර්’ගේ මෙම වළල්ල සොයා ගැනීම සිදුවූයේ පෘථිවියේ පිහිටි තාරකා දුරේක්ෂ සහ අභ්‍යවකාශයේ රැඳවූ බාහිර් ග්‍රහයන් සෙවීමේ චන්ද්‍රිකා සහ දුරේක්ෂ ආධාරයෙනි. 2018 සිට 2021 තෙක් කාලය පුරා යුරෝපා තාරකා විද්‍යාඥයෝ ‘ක්වාරෝර්’ ගැන දැඩි අවධානයෙන් පසු වූහ. ‘ක්වාරෝර්’ ඉතා ඈතින් පිහිටි තරු ඉදිරියෙන් යද්දී, ආලෝකය අඩු වැඩි වීම නිරීක්ෂණයට ලක් කෙරුණි. ‘ක්වාරෝර්’ ට වළල්ලක් ඇති බව අනාවරණය කර ගැණුනේ ඒ අනුවය. කෙසේ නමුත්, තාරකා විද්‍යාඥයන්, ‘වේවොට්’ චන්ද්‍රයා සොයා ගත්තේ මේ අයුරින් නම් නොවෙයි. ඡායාරූප ලබා දෙමින් ‘වේවොට්’ චන්ද්‍රයා තාරකා විද්‍යාඥයන්ට අනාවරණය කළේ ‘හබල්’ අභ්‍යවකාශ දුරේක්ෂයයි.
‘ක්වාරෝර්’ගේ වළල්ල ඇත්තේ ‘රෝච් සීමාව’ ට පිටින් නම්, වළල්ලක් නිර්මාණය වූයේ සහ වළල්ලක් පිහිටන්නේ කෙසේද? වළලු ඇති සෞරග්‍රහ මණ්ඩලයේ අනෙක් ග්‍රහ වස්තූන් වන සෙනසුරු සහ වාමන ග්‍රහයන් වන ‘චරික්ලෝ’ (Chariklo) සහ ‘හෝමියා’ (Haumea) ට ද වළලු ඇත. මේ සියලු වළලු පිහිටා ඇත්තේ ‘රෝච් සීමාව’ (Roche limit) ඇතුළතය. “ක්වාරෝර් වළල්ල හරිම පුදුමයි. අභ්‍යවකාශය සම්බන්ධයෙන් අප දැන සිටි ප්‍රධාන කරුණු කාරණා රැසක් වෙනස් කරන්න ඊට හැකි වී තිබෙනවා. දැන් අපට පැහැදිලියි රෝච් සීමාවට එපිටින් වළලු නිර්මාණය වන බව. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සොයන්න අපට සිද්ධ වෙනවා.” යැයි තාරකා භෞතික විද්‍යාඥ ජියෝවානී බෲනෝ කියයි.
ඩේලිමේල් ඇසුරිනි