රජුට අභියෝග කරන පිංචියා



වසර මිලියන 65 කට පෙර, පෘථිවියේ රජ කළ දැවැන්තයන් වූයේ ඩයිනසෝරයන්ය. විවිධාකාරයේ, ලොකු කුඩා සහ අති දැවැන්ත ඩයිනසෝරයෝ මිහිමත ඇවිද ගියහ. ඩයිනසෝරයන් අතරින් වඩාත් බිහිසුණු මෙන්ම ජනප්‍රියතම ඩයිනසෝරයා වන්නේ ටයිරැනොසෝරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස් ය.

ඩයිනසෝර ලොවේ රජු ලෙස හැඳින්වෙන්නේ මේ දැවැන්තයාය. ටී රෙක්ස් නිහඬව ගොස් ගොදුරු අල්ලා ගන්න ශූරයෙකි. ගොදුරු සපා කන අයුරු අති ප්‍රබලය. ගොදුරක් අල්ලා ගෙන සපා කෑමට ටී රෙක්ස්ට තරම් ශක්තියක් මිහිමත වෙන කිසිදු ජීවියකුට නැතැයි, ටි රෙක්ස්ගේ දත් සහ හිස් කබල සහ හකුපාඩාවල පොසිල අස්ථි අධ්‍යනයෙන් පෙනී ගොස් තිබේ. කෙසේ නමුත් පසුගිය දා එක්සත් රාජධානියේ, ‘යුනිවර්සිටි ඔෆ් රීඩිං’ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අලුත් අදහසක් ඉදිරිපත් කළේය. ඒ, ටී රෙක්ස්ට වඩා ප්‍රබල පුංචි කුරුල්ලකු ගැනය.

‘ෆිංච්’ යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන මේ පුංචි කුරුල්ලා සිංහලෙන් හැඳින්වෙන්නේ ‘පිංචියා’ යනුවෙනි. එස්ටි්‍රල්ඩිඩායි සහ එම්බොරිසිඩායි කුලයට අයත් මේ කුරුල්ලා බීජභක්ෂකයෙකි. ටී රෙක්ස්ට අභියෝගයක් වී ඇත්තේ ගැලපගොස් දූපතේ, චාල්ස් ඩාවින් විසින් ස්වභාවික වරණය සහ ජීවීන්ගේ පරිණාමය ගැන අපට කියා දීමට උදාහරණ කොට ගත් ‘ගලපගස් පිංචියා’ ය. මේ පිංචියා සෙසු පිංචි කුරුල්ලන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර, පියාඹීමට වඩා බිම පැන පැන යමින් (දෙමලිච්චන් මෙන්) කාලය ගත කරයි. මේ ගලපගස් පිංචියාගේ හොට ඉතා ශක්තිමත් වන අතර, එම හොටෙන් කරනු ලබන සපා කෑමක ප්‍රබලත්වය, ටී රෙක්ස්ගේ සපා කෑමේ ප්‍රබලත්වයට වඩා 320 ගුණයකින් වැඩිය. ‘ගලපගස් පිංචියා’ ඩයිනසෝර රජ්ජුරුවන්ට අභියෝගයක් වෙන්නේ එලෙසයි.
විද්‍යාඥයන් මේ බව අනාවරණය කළේ ගලපගස් දූපත්වල ජීවත් වන පිංචියන් 434 දෙනකු සහ මියගිය පිංචියන් ඉතා සියුම් ලෙස අධ්‍යනය කිරීමෙන් පසුවය. ප්‍රමාණයෙන් ග්‍රෑම් 33 ක් තරම් කුඩා වුවත්, සපා කෑමේ ශක්තිය අතින් පිංචියා ටී රෙක්ස් පරදයි. එපමණක් නොව, විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, පිංචියා ටී රෙක්ස් තරම් දැවැන්ත කරුල්ලෙක් වූයේ නම්, දෙදෙනා අතර සටනක් පැවැතියේ නම්, එයින් ජයගන්නේ පිංචියා කියාය.

ස්වභාවිකවරණයේදී ඩාවින්ගේ පිංචියෝ ඉතා වැදගත්ය. ගලපගස් දූපතේ කළ කෙටි සංචාරයෙන් පසු ආපසු එංගලන්තය බලා ගිය පසු ඩාවින් ගලපගස් පිංචියන් ගැන තැබූ සටහන් යළි අධ්‍යනය කරන්න විය. ගලපගස් යනු කුඩා දූපත් සමූහයකි. එකිනෙකට වෙනස් ගලපගස් දූපත්වල වාසය කරන පිංචියන් ද වෙනස් බව ඩාවින්ට වැටහිණි. ඩාවින් එම වෙනස දුටුවේ පිංචියන්ගේ හොටෙනි. එකිනෙකට වෙනස් දූපත්වල ජීවිතයට (ආහාර ගන්නා ආකරය අනුව) අනුකූල ආකාරයට පිංචියන්ගේ හොට වෙනස් වී (පරිණාමයට ලක්වී) ඇති බව ඩාවින් අපට පෙන්වා දුන්නේය. ජීවීන්ගේ පරිණාම කතාවට ඩාවින්ගේ පිංචියෝ ඉතා වැදගත්ය.

බීගල් නැවෙන් ගිය ගමනේදී, චාල්ස් ඩාවින් ලොව වටා සත්ව සහ ශාක විශේෂ අධ්‍යනය කළේය. ඒත් පරිණාමවාදය සහ ස්වභාවිකවනරණය පිළිබඳ අපූරු අදහස් ලොවට හෙළි කිරීමට ඩාවින්ට හැකිවූයේ සති කිහිපයක් ගලපගස් දූපත්වල ගත කිරීමෙනි. කුඩා දූපත් සමූහයක් වන ගලපගස් දූපත් පිහිටා ඇත්තේ දකුණු ඇමෙරිකාවට ඔබ්බෙන් කිලෝ මීටර් 1,000 ක් දුරිනි. මෙම දූපත්වල වාසය කරන ලොව වෙන කිසිම තැනක නැති විදියේ අමුතු අපූරු ජීවීන් පිරිසක් ඩාවින්ට හමුවිය.

මීට වසර මිලියන 65 කට පෙර, පියඹා යෑමට නොහැකි වූ ඩයිනසෝරයන්ගෙන් හරි අඩකට වැඩි ප්‍රමාණයක් මිහිමතින් සමුගත්තේය. ක්ෂීරපායීන්ගේ නැගී සිටීම සිදුවූයේ ඩයිනසෝරයන්ගේ මේ සමුගැනීමත් සමඟය. එසේ නොවුණා නම්, අප ක්ෂීරපායීන් අද ලොව පහළ නොවන්න ඉඩ ඇති බව පැවැසෙයි. ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් ඩයිනසෝරයන්ගේ අභාවය සිදුවුණු බවට අදහසක් පවතී. ඩයිනසෝරයන් මරා දැම්මේ චික්සුලුබ් නමැති ග්‍රහකය යැයි අනුමාන කෙරේ. මේ අති දැවැන්ත ග්‍රහකය පතිත වී ඇත්තේ මෙක්සිකෝ බොක්කටය. ග්‍රහකය පෘථිවියේ ගැටෙද්දී, සිදුවුණු මහා පිපිරීමෙන් මුළු ලොවට කැලැඹී ගොස් ඇත. පැය 10 ක් ගතවීමටත් පෙර අති බිහිසුණු මෙගා සුනාමි පෘථිවියේ සෑම අස්සක් මුල්ලකටම කඩා වදින්න ඇතැයි ද පැවැසෙයි. ගිනි කඳු පිපිරීම් සහ භූමි කම්පා ද හටගෙන තිබෙන බව භූ විද්‍යාත්මක සාක්ෂිවලින් පැහැදිලි වෙයි. ඩයිනසෝරයන්ට එය ඔවුන්ගේ ලෝක විනාශය විය.

ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS