යෝධ ඩයිනෝසරයකුගේ ඇට කටු චීනයෙන් මතුවේ



යෝධ ඩයිනෝසරයකුගේ ඇට කටු චීනයෙන් මතුවේ

ඕනෑම චීන සංස්කෘතික උත්සවයක් හැඬ ගැන්වෙන්නේ වර්ණවත් මකර නර්තනවලිනි. එපමණක් නොව, මකරුන්ගේ රූප ද දකින්න ලැබේ. මකර ඇඳුමින් සැරැසුණු නර්තන ශිල්පීන්ගේ නර්තන සිත් ඇදගන්නාසුළුය. මකරුන් චීන පුරාවෘත්ත සහ මිත්‍යා කතාවල සුලබව දකින්න ලැබෙන සත්වයෙකු ද වෙයි. චීන මකරුන්ගේ හැඬය, සහ පෙනුම ගිනි පිඹින බටහිර රටවල මකරුන් මෙන් නොව වෙනස්ය. චීන මකුරුන් පාද හතරක් ඇති දිග සර්පයකු වැනිය. චීන මකරුන්ගේ හැඬය සිහියට නැගෙන ආකාරයේ යෝධ බෙල්ල දිග ඩයිනසෝරයෙක් මේ වනවිට සොයා ගැනීමට ඩයිනසෝර දඩයක්කරුවෝ සමත් වී සිටිති.

සර්පයකුගේ මෙන් දිගු බෙල්ලක් ඇති මේ ඩයිනසෝරයා හමුවී ඇත්තේ දකුණුදිග චීනයෙනි. ඩයිනසෝරයාගේ පොසිල වුණු අස්ථි හමුවී ඇත්තේ ඉදිකිරීම් කම්කරුවන් පිරිසකටය. අවුරුදු මිලියන 160 කට පෙර ඈත අතීතයේ ජුරාසික් යුගයේ ජීවත් වුණු මේ ඩයිනසෝරයා අඩි 49 ක් (මීටර් 15 ක්) දිගින් යුක්තය. ඩයිනසෝරයාගේ අස්ථි හමුවූයේ ක්විජියැං නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් සිටි සේවකයන්ටය.

ඩයිනසෝර අස්ථි මතුවීමත් සමඟ ඒ ගැන චීන බලධාරීන්ට දැනුම් දීහමට ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කළ ඉන්ජිනේරුවෝ පියවර ගත්හ. ඒ අනුව, පොසිල විද්‍යාඥයෝ එම ස්ථානයට පැමිණ ඩයිනසෝරයාගේ අස්ථි එක්රැස් කර ගෙන සෙමින් සෙමින් ඒවා එකලැස් කිරීම ආරම්භ කළහ. මේ ඩයිනසෝරයාගේ සුවිශේෂිත්වය වන්නේ සිරුරට වඩා අසාමාන්‍ය අයුරින් දික්වුණු බෙල්ලය.

මේ නව ඩයිනසෝරයා නම් කර ඇත්තේ ‘ක්විජියැංලෝන්ග්’ යන නමින්ය. එහි අර්ථය ක්විජියැං නගරයේ මකරා යන්නය. දිගු බෙල්ලක් ඇති ඩයිනසෝරයන් එසේත් නැතිනම් සෝරපොඞ් ඩයිනසෝරයන්ට දිගු බෙල්ලක් ඇත. ඩයිනසෝයන් අතර දැවැන්තයෝ මොවුහුය. චීනයෙන් නව ඩයිනසෝර විශේෂ රැසක් මේ වනවිටත් හමුවී ඇති අතර, සෝරපොඞ් ඩයිනසෝර යෝධයකු හමුවුණු පළමු අවස්ථාව මෙයයි. මේ ඩයිනසෝර පොසිල ගැන පර්යේෂණ පවත්වන්නේ ඇමෙරිකාවේ ඇල්බර්ටා විශ්ව විද්‍යාලයේ තෙත්සුතෝ මියාෂිටාය. ‘මේ සත්වයාගේ බෙල්ල දිගයි. හිස ඉතා කුඩාය. මෙවැනි ඩයිනසෝරයෙක් මීට පෙර සොයා ගෙන නැහැ.’ යැයි මියාෂිටා පැහැදිලි කර දෙයි.

 

ලුසිත ජයමාන්න

මයිල්ස් කෙලී එන්සයික්ලොපීඩියා ඇසුරිනි


RECOMMEND POSTS