මුහුද මැද අහම්බෙන් හමුවුණු යෝධ මාළුවා මෝලා මෝලා



පෘතුගීසියට ඔබ්බෙන් මුහුදේදී, දැවැන්ත ‘මෝලා මෝලා’ සෞර මත්ස්‍යයකු සහ කිමිඳුම්කරුවකු එකිනෙකා හමුවිය. එය ඉතා දුර්ලභ සංසිද්ධියක් විය. දැවැන්ත මෝලා මෝලා අසලට පැමිණි කිමිඳුම්කරුවන් දිස්වූයේ යෝධයකු අසලට ගිය කුරුමිට්ටකු ලෙසිනි. සෙමින් සෙමින් කිට්ටු වුණු එක් කිමිඳුම්කරුවා යෝධ මත්ස්‍යයා සමඟ සෙල්ෆි ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.

මෝලා මෝලා යනු ද්වීපාර්ශ්විකව (දෙපැත්තෙන්ම) පැතලි වුණු ගෝලාකාර සිරුරකට හිමිකම් කිය යෝධ මත්ස්‍යයෙකි. සෞර මත්ස්‍යයා යනුවෙන් පමණක් නොවේ, හිසක් පමණක් ඇති මත්ස්‍යා යනුවෙන් ද මේ සත්වයා හැඳින්වෙයි. සිරුර පැතැලි වුවත්, ඇත්තේ සිරුරින් භාගයක් පමණක් වුණත් මේ මත්ස්‍යයා ඉතා විශාලව වැඩෙයි. සාගරයේ ජීවත් වන අස්ථි සහිත බරින් වැඩිම මත්ස්‍යයා ලෙස මෝලා මෝලා සැළකෙයි. සාමානයයෙන් මෝලා මෝලා මත්ස්‍යයකුගේ බර රාත්තල් 5,000 කට වැඩි යැයි ද පැවැසෙයි.


මේ මෝලා මෝලා සහ කිමිඳුම්කරුවාගේ හමුවීම ඡායාරූපයට නැගුවේ සාගර ඡායාරූප ශිල්පියකු වන මිගුවෙල් පිරේරා ය. ඒ, ඉකුත් ඔක්තෝබරයේ, පෘතුගාලයට ඔබ්බෙන් අසොරේස් මුහුදු කලාපයේ පිහිටා ඇති සැන්ටා මරීයා දූපත් ආශිත ගැඹුරු මුහුදේදීය. ‘ඒ වෙනකොට මුහුද යට ඡායාරූප ගන්නා මගේ කැමරාවට හානිවී තිබුණා. මා ළඟ තිබුණේ කුඩා ප්‍රමාණයේ වීඩියෝ කැමරාවක් පමණයි. එයින් තමයි මා රූගත කිරීම් කළේ. ඒක හරිම සුවිශේෂී සිදුවීමක්. ඒ වගේමයි දුර්ලභ සිදුවීමක්.’ යැයි මිගුවෙල් පිරේරා පැහැදිලි කරයි. මෝලා මෝලා අසලට යමින් සෙල්ෆි ඡායාරූපයක් ලබා ගත්තේ කිමිඳුම්කරු එරික් වැන්ඩර් ගූට් ය. ඔහු පවසා ඇත්තේ මෙය ජීවිත කාලය පුරාවට ලැබෙන එක් අවස්ථාවක් පමණයි කියාය.


මෝලා මෝලා මත්ස්‍යයා කිමිඳුම්කරුවන් දැක කිසිදු බියක් නොදක්වා, ඔවුන් සමඟ මිනිත්තු 15 ක් පමණ පිහිනා ඇතැයි පැවැසෙයි. මිගුවෙල් පිරේරා එම දසුන් රූගත කරද්දී, ඔහුගේ කණ්ඩායමේ සිටි සෙසු කිමිඳුම්කරුවෝ මෝලා මෝලා සමඟ සෙල්ෆ් ඡායාරූපවලට ද පෙනී සිටියහ. 2014 වසරේදී මෝල්ටාවට ඔබ්බෙන් මුහුදේදී, කිමිඳුම්කරුවන් කණ්ඩායමකට මේ අයුරින් දැවැන්ත මෝලා මෝලා මත්ස්‍යයකු හමුවී ඇතැයි වාර්තා වේ.


මෝලා මෝලා මත්ස්‍යයකු අඩි 14 කට වඩා උසින් වැඩිවෙයි. දිග අඩි 10 කි. ඇතැම් අවස්ථාවලදී හොඳින් වැඩුණු මත්ස්‍යයකු ටොන් දෙකකට වඩා බරින් වැඩි යැයි පැවැසෙයි. මෙම මසුන්ගේ කට හොටක් බඳුය. දත් නොමැත. සිරුර රබර් වැනිය. මෘදු පටකවලින් නිර්මාණය වී ඇත. ජෙලිෆිෂ්, ඇල්ගේ සහ කුඩා මසුන් ආහාරයට ගනී. උණුසුමින් පිරුණු නිවර්තන කලාපීය සාගරවල දකින්න ලැබේ. දුර්ලභ මත්ස්‍ය විශේෂයකි. මෙම මසුන් මුහුද මතුපිටට පැමිණෙයි. එවැනි අවස්ථාවලදී වරල් ඉහළට දිස්ව පෙනෙන හෙයින් මෝරුන් යැයි වරදවා වටහා ගත් අවස්ථා ද ඇතැයි පැවැසෙයි.

ලුසිත ජයමාන්න
ඬේලිමේල් ඇසුරිනි


RECOMMEND POSTS