මීකොං යෝධ අංකුට්ටා සොයා ගිය ජෙරමි වේඞ්



 
ලෝ සුපතල ‘ඩිස්කවරි’ නාලිකාව සහ එහි සහෝදර නාලිකාවක් වන ‘ඇනිමල් ප්ලැනට්’ හි විකාශය කෙරෙන ‘රිවර් මොන්ස්ටර්ස්’ කතා මාලාව මේ වනවිට ලොව පුරා අතිශයින් ජනප්‍රිය ය. මෙම වාර්තා වැඩසටහන් මාලාව රැගෙන එන්නේ බ්‍රිතාන්‍ය ජාතික ජෙරමි වේඞ් ය. ඔහු ජීව විද්‍යාඥයෙකි. ලේඛකයෙකි. වෘත්තියෙන් ගුරුවරයෙකි. මේ සියල්ලටම වඩා බිලීපිත්ත යොදා ගනිමින් මාලු බාන්න ජරමි වේඞ් හපනෙකි. ඔහු සත්ව විද්‍යාව හැදෑරුවේ එක්සත් රාජධානියේ බි්‍රස්ටොල් සරසවියෙනි. බ්‍රිතාන්‍යයේ කාප් මසුන් පිළිබඳ අධ්‍යයන සමාජයේ ලාබාලතම සාමාජිකයා වන්නේ ද වේඞ් ය. 
ජෙරමි වේඞ් උපන්නෙත් හැදී වැඩුණෙත් නේලන්ඞ් නමැති නිරිතදිග එංගලන්තයේ කුඩා ගම්මානයේය. ගම්මානය පිහිටන්නේ ස්ටෝර් නදිය අසලය. ගම්වැසියන් පවසන අන්දමට, විනෝදාංශයක් හැටියට මාලු අල්ලන්න ස්ටෝර් නදිය කියාපු තැනකි. පුංචි ජෙරමිට පියාගෙන් පළමු බිලී පිත්ත තෑගි ලැබුණු අවස්ථාවේදී, ඔහු කඩිමුඩියේ ගියේ මාලු ඇල්ලීමටය. ‘බිලී පිත්ත හසුරුවන්නේ කොහොමද කියලා හෝ මාලු අල්ලන්නේ කොහොමද කියලා හෝ එදා මා දැන සිටියේ නැහැ. එදා ඒ ගැන කිසිම අවබෝධයක් මට තිබුණෙත් නැහැ.’ යැයි වේඞ් අතීත ආවර්ජනයක යෙදෙමින් කියා සිටී.
‘එදා මට මොකෙක්වත් හසුවුණේ නැහැ. ගඟ ළඟට වෙලා පොද වැස්සේ, පැය ගණනක් රැඳී සිටීම කාලය නාස්ති කිරීමක් හැටියටයි මට හැඟුණේ’ යැයි වේඞ් පවසයි. වේඞ්ගේ වාසනාවට, පාසලේ යහළුවකුගේ සීයා කෙනකු ඔහුට බිලී පිත්ත යොදා ගනිමින් මාලු අල්ලන හැටි කියා දුන්නේය. මේ වනවිට වේඞ්ගේ වයස අවුරුදු අටකි. යහළුවාගේ සීයා වේඞ් ට මාලු අල්ලන හැටි කියා දුන්නා, උපදෙස් දුන්නා පමණක් නොව, මාලු අල්ලන්න නව මාදිලියේ බිලී කොකු කිහිපයක් ද ලබා දුන්නේය. වේඞ් මාලු අල්ලන්න පටන් ගත්තේ ඉන්පසුවය. අල්ලා ගන්නා කිසිම මාලුවකුට වේඞ්ගෙන් අනතුරක් නැත. ඒ මාලුවාගේ මොන වගේ දැයි හොඳින් අධ්‍යනය කර ආපසු ගඟට විසි කිරීමට වේඞ් පුරුදු වී සිටියේය. කුඩා කළ සිටම ඔහු පරිසරයටත් සතුන්ටත් ආදරය කරන්න විය. පසු කලෙක ඔහු ජීව විද්‍යාව හැදෑරුවේ ද ඒ අනුවය. ගැටවර වියේදී වේඞ් පැය ගණනාවක් ගංගාව අසල ගැවසෙමින් මාලු ඇල්ලීම කළේය. යුරෝපයේ බහුලව දකින්න ලැබෙන රෝච්, ගුඞ්ජියොන් පමණක් නොව, වරක් කරදිය ට්‍රවුට් මාලුවකු ද අල්ලා ගැනීමට මේ වනවිට ජෙරමි වේඞ් සමත් විය.
පාසල් අධ්‍යාපනය අවසන් කිරීමෙන් පසු, වේඞ් බ්‍රිතාන්‍යයෙන් බැහැරව, යුරෝපයේ සංචාරයක යෙදෙමින් යුරෝපයේ මිරිදිය ගංගා සහ විල්වල ජීවත් වන යෝධ මසුන් ඇල්ලීමට යොමු වූයේ මේ අවදියේදීය. ඔහු වැඩි කාලයක් ඩැනියුබ් ගංගාව ආශ්‍රිතව කල් ගත කළේය. කෙසේ නමුත් විශේෂයෙන් කැපී පෙනෙන කිසිම මාලුවකු මෙම ගංගාව ආශ්‍රිතව ජීවත් නොවීය. ගංගාවේ සිටින ලොකු කුඩා සෑම මාලුවකුම වේඞ් අල්ලා ගත් අතර, පසුව උන් ආපසු ගංගාවට මුදා හැරියේය.
‘කම්මැලිකමින් සිටිද්දී දවසක් මට හමුවුණා පරණ සඟරාවක්. මාලු ඇල්ලීම සම්බන්ධයෙන් පළ කෙරුණු. මට හරියට මතක නැහැ. ඒත් ඒකේ තිබුණා කවුරුද කෙනෙක් ඉන්දියාවට ගිය හැටි මාලු අල්ලන්න. ඒක කියවලා මටත් ආසාවක් ආවා ලෝකය පුරා ඇවිදින්න අමුතු අමුතු මාලු අල්ලන්න.’ යැයි වේඞ් පැහැදිලි කරයි.
ඒ අනුව, වේඞ් සිය ලෝක සංචාරය ආරම්භ කළේය. ‘ඩිස්කවරි’ සහ ‘ඇනිමල් ප්ලැනට්’ නාළිකා හරහා විකාශය වන ‘රිවර් මොන්ස්ටර්ස්’ වැඩසටහන් පෙළ නිර්මාණයට මඟ පෑදුණේ මෙම සංචාරයෙන් පසුවය. අද වනවිට වේඞ්ගේ සියලු බර පැන දරන්නේ, ඩිස්කවරි නාළිකාවය. එහෙත් එදා තරුණ ජෙරමි වේඞ් සංචාරයේ යෙදුණේ තනිවමය. අද මෙන් කැමරා කණ්ඩායමක් එදා ඔහු පසුපස සිටියේ නැත.
ඉන්දීය රජයේ ද සහාය ඇතිව ඉන්දියාවේ වන්නාතරවල ඇවිදිමින්, ගංගා සහ වැව් අමුණු ගවේෂණය කරමින් මසුන් අල්ලමින් සිටි වේඞ්ට, මීකොං ගංගාවේ ජීවත් වන යෝධ කැට්ෆිෂ් (බිළාල මාලුවා) හෙවත් අංකුට්ටා ගැන දැන ගන්න ලැබුණි. පැන්ගසියැන්ඩොන් ජිගාස් යන සත්ව විද්‍යා නාමයෙන් මීකොං ගංගාවේ යෝධ අංකුට්ටා හැඳින්වෙයි. මෙම යෝධයා අග්නිදිග ආසියාවේ මිත්‍යා සත්වයකු ලෙස ද හැඳින්වෙන නමුත්, ධීවරයන්ට මොවුන් කොටුවුණු අවස්ථා ගැන වාර්තා වේ. ඒ ගැන ඉදහිට පුවත් වාර්තා ද පළ වෙයි.
‘මීකොං අංකුට්ටා නැතිනම් බිළාල මාලුවා මහා විශාල සත්වයෙක් කියලා මට අහන්න ලැබිලා තිබෙනවා. බි්‍රස්ටල් විශ්ව විද්‍යාලයේ සිටිද්දී මට පරණ කළු සුදු ඡායාරූ කිහිපයක් දකින්න ලැබුණා. මීකොං අංකුට්ටන් අල්ලා ගත් අවස්ථා පෙන්නුම් කරන. එදා ඉදලයි මට ආසාවක් ඇති වුණේ මේ වගේ යෝධයෙක් අල්ලන්න.’ යැයි වේඞ් පැහැදිලි කරයි. ඒ අනුව, මීකොං අංකුට්ටා සොයා වේඩි සිය ගවේෂණය ආරම්භ කළේය. මීකොං ගංගාව ඔහුට අලුත් අත්දැකීමක් වනු ඇතැයි ඔහු කල්තියා දැන සිටියේය. එපමණක් නොවේ, මීකොං අංකුට්ටා අල්ලා ගැනීම ලොකු අභියෝගයක් ද විය. හේතුව මේ මාලුවා ශාක භක්ෂකයකු පමණක් වීමය. බිලී පිත්තේ ඇමට කුමක් යොදා ගන්නවා ද යන්න වේඞ්ට මුලදී ගැටලුවක් විය.
මීකොං යනු ටිබෙට් සානුවෙන් ආරම්භ වන ගංගාවකි. එය චීනයේ යූනාන් පළාත හරහා ඇඳී යයි. මියන්මාරය, ලාඕසය, තායිලන්තය සහ කාම්බෝජය හරහා මුහුදට වැටෙයි. කලක් බුරුමය ලෙසින් ද හැඳින්වුණු මියන්මාරය සහ ලාඕසය අතර දේශසීමාව වෙන් වන්නේ ද මීකොං ගංගාවෙනි. ලොව 12 වැනියට දිගට ගංගාව ලෙස සැලකෙන්නේ මෙයයි. දිග කිලෝ මීටර් 4,350 කි. ආසියාවේ සත් වැනි දිගම ගංගාව මෙයයි.  
 
මීකොං යෝධ අංකුට්ටා, තර්ජනයට ලක්වුණු මතස්‍ය විශේෂයකි. මෙම මසුන් ආරක්ෂා කිරීමේ වැඩසටහන් රැසක් ආරම්භ කර ඇත. ගිනස් වාර්තා පොතට ඇතුළත් වුණු ලොව විශාලතම මිරිදිය මත්ස්‍යයා ලෙස සැලකෙන්නේ ද මීකොං අංකුට්ටාය. මෙම අංකුට්ටන් අතීතයේ ගංගාවවේ ස්ථාන කිහිපයක ජීවත් වූ බවට වාර්තා පළ වෙයි. එහෙත් මිනිස් ක්‍රියා කාරකම් හේතුවෙන් උන්ගේ වාසභූමි විනාශ වී ඇත. අංකුට්ටන් සුරැකීමේ වැඩසටහන්වලට රටවල් රැසක දායකත්වය හිමි වී ඇති බව ද වාර්තා වේ.
1984 වසරේ දී, 28 හැවිරිදි වියෙහි පසුවුණු වේඞ්, තනිවම තායිලන්තයට පැමිණියේය. ඔහු ප්‍රාදේශීය හමුදා මුරපොළක පළමු දින කිහිපයේ නැවැතුනේය. මේ කාලයේ තායිලන්තයේ දේශසීමා ගැටුම් පැවැතිණි. ගැටුම් පැවැතුණේ උතුරේ කලබල කළ ක්‍රෙමර් රූජ් කැරැලිකරුවන් සහ තායිලන්ත රජය අතරේය. විදේශිකයන් තායිලන්තයට පැමිණියේ ද අත්‍යාවශ්‍ය කාරණාවකට පමණි.
හමුදා මුරපොළේ සිට තායිලන්ත රජයේ බලධාරීන්ට තමා කවුරුදැයි ලිපියකින් දැනුම් දී, වේඞ් කෙළින්ම ගියේ තායිලන්තය හරහා වැටෙන මීකොං නදිය සොයා ගෙනය. මඟ පෙන්වීම සඳහා ගංගාව ආශ්‍රිත ගම්මාන ගැන දැනුමක් ඇති මඟ පෙන්වන්නකු ඔහුගේ සහායට හිමිවිය. ‘මීකොං යෝධ අංකුට්ටා අල්ලන්න ආ බව පැවැසූ අවස්ථාවේදී මඟ පෙන්වන කොල්ලා මට හිනා වුණා. එයා හිතන්න ඇති මං පිස්සු සුද්දෙක් කියලා. ඒත් පස්සේ හැමදේම වෙනස් වුණා’ යැයි වේඞ් සිය තරුණ අත්දැකීම ගැන විස්තර කියන්නේ ඉමහත් සතුටකිනි.
අඳුරු බොර පැහැති ජලයෙන් පිරි මීකොං නදිය ගවේෂණය කිරීමටත් යෝධ අංකුට්ටා සොයා ගැනීමටත් වේඞ් ගංගාව අසල ජීවත් වන ගැමියන්ගේ සහාය පැතුවේය. ගංගාව ආශ්‍රිත කුඩා ගම්මානවලට යමින්, යෝධ අංකුට්ටා ගැන විමසීම් කළ ද මඟ පෙන්වන්න ආ කොලු ගැටයා පමණක් නොව, හමුවුණු බොහෝ දෙනා ද කීවේ එය මිත්‍යාවක් පමණක් කියාය. එවැනි යෝධ මත්ස්‍යයකු හමුවුණු අයකු ගැන හෝඩුවාවක් අසන්නට නොලැබිණි. 
අහම්බෙන් මෙන් වෙඞ්ට වාසනාව පෑදුණි. ඒ, කුඩා පොලක වැව් මාලු අලෙවි කරමින් සිටි මහල්ලකු හමුවීමත් සමඟය. තමා ආ කාරණාව, වේඞ් මඟ පෙන්වන්නා හරහා මහල්ලාට පැවැසීය. ගංගාවේ අඳුරු තැනක මසුන් අල්ලද්දී, කිසියම් යෝධ මාලුවකුගේ සෙවනැල්ලක් බොර දියේ තමන්ට දකින්න ලැබුණු බව හෙතෙම පැවැසීය. 
ඒ හෝඩුවාව අනුව වේඞ් තවත් ගම්වාසීන් දෙදෙනකුගේ ද සහාය ලබා ගෙන ගංගාවේ එම ස්ථානය බලා සිව් දින චාරිකාවක් ආරම්භ කළේය. එය සැබැවින්ම දුෂ්කර ගමක් විය. ඉන්දියාවේ කළ ගවේෂණවලදී මදුරු කරදරවලට මුහුණ දී සිටි නිසා වේඞ්ට එය අමුත්තක් නොවිණි. නොකඩවා ඇද හැලෙන්න වූ පොද වැස්ස මහත් හිරිහැරයක් විය. 
වේඞ් ඇතුළු වූයේ, මිනිස් පහසින් තොරව ආරක්ෂා වුණු පරිසර පද්ධතියකටය. කුඩා මී මින්නන් පමණක් නොව මීකොං ගංගාවට ආවේණික ඩොල්පින් මසුන් පවා එදා තමන්ට දකින්න ලැබුණු බව වේඞ් කියා සිටී. යෝධ මාලුවා දුටුවැයි කී ස්ථානයට පැමිණි වේඞ් ගං ඉවුරේ සිය කූඩාරම සකසා ගත්තේය. අඳුරු බොර වතුරේ ගංගාව පතුළේ සැඟවී සිටින යෝධ අංකුට්ටා අල්ලා ගැනීමේ මෙහෙයුම කරන්නේ කෙසේදැයි හෙතම කල්පනා කරන්න විය.
නොයෙක් නොයෙක් වර්ගයේ ඇම භාවිතා කළ ද සාර්ථක නොවිණි. දින දෙකක් ගත වෙද්දී ගංගාවේ තවත් ඉහළට යෑමට වේඞ් තීරණය කළේය. ඒ අනුව, ඔහු කඳවුරේ සිට ගැමියකු සමඟ කුඩා ඔරුවක නැගී ගංගාවේ ඉහළට ගොස් අතු ගංගා කිහිපයක අංකුට්ටා සොයන්න පටන් ගත්තේය.
පස්වැනි දිනයේ දී දහවල් වේඞ්ගේ බිලී පිත්තට බර මෙන්ම ඉතා ශක්තිමත් දෙයක් හසුවිණි. මහත් පරිශ්‍රමයකින් වේඞ් ඔහුගේ සගයා ද සමඟ එක් වී බිලී කොක්කේ ඇමිණී සිටි දැවැන්තයා තමා ළඟට ඇද ගත්තේය. ‘ඒ මීකොං යෝධ අංකුට්යෙකි.  ‘ඌ මීටර් 2 1/2 ක් පමණ දිගයි. බර කිලෝ 300 ක් පමණ වන්නට ඇති. ඌ ඇත්තටම හරිම විශාලයි. ඡායාරූප කිහිපයක් ලබා ගැනීමෙන් පසුව මා ඌ යළි ගංගාවට මුදා හැරියා. අඳුරු වතුරේ ඌ නොපෙනී ගියා.’ යැයි වේඞ් සිය අත්දැකීම් විස්තර කරයි.
 
ලුසිත ජයමාන්න

RECOMMEND POSTS