මැමතට කලින් වූලි මීයා
මේ මීයකුගේ නැතිනම් මූසිකයකුගේ කතාවකි. මේ මීයා පර්යේෂණාගාර මීයෙකි. පර්යේෂණාගාර මීයකු වුවත්, මේ මීයා ගැන අද බොහෝ දෙනා කතා කරති. ඊට ලොකු හේතුවක් ඇත.
සාමාන්‍ය මීයකුට වඩා වෙනස් මෙම පර්යේෂණාගාර මීයාගේ රැවුල් ගස් අසාමානය ලෙස දිගය. ඒවා කැරැලි ගැසී ඇත. මීයාගේ ලෝම සාමාන්‍ය මීයකුගේ ලෝමවලට වඩා දිගින් වැඩිය. හරියටම කීවොත් තුන් ගුණයකින් දිගින් වැඩිය.
අයිස් යුගයේ ජීවත් වුණු අලි ඇතුන්ට සමාන යෝධ මැමතුන් ගැන ඔබ නොදන්නවා වෙන්න බැහැ. මැමතා කියන්නේ ලෝමවලින් වැසුණු සිරුරක් ඇති දැවැන්තයෙකි. මැමතා හැඳින්වෙන්නේ ලෝම මැමතා (Woolly Mammoth) යනුවෙනි. මැමතාගේ ලෝම උගේ සුවිශේෂ අනන්‍යතාවකි.
ලෝම පිරුණු මැමතකු මෙන්, ලෝම පිරුණු මීයකු ජාන වෙනස්කම් කරමින් පර්යේෂණාගාරයක් තුළ නිර්මාණය කිරීමට විද්‍යාඥයන්ට අවශ්‍ය විය. මේ ලෝම මීයා (Woolly Mouse) බිහි කෙරුණේ ඒ අනුවය. විද්‍යාඥයන්ට අවශ්‍ය වූයේ මැමතකුගේ මෙන් ලෝම මීයකුගේ සිරුරේ වර්ධනය කිරීමය. ඊට අමතරව, යෝධ මැමතකුගේ සිරුරේ ඇති තවත් ගති ලක්ෂණ පුංචි මියකුගේ සිරුරුට ලබා දීමටය. එය සාර්ථක විය. ඒ අනුව මීයන් කීප දෙනකු නිර්මාණය කරන්න විද්‍යාඥයෝ සමත් වූහ.
මේ සටහන සමඟ පළ වන ඡායාරූපවලින් මෙන්ම වීඩියෝවෙන් ද එම මියන් ඔබට දැකගත හැකිය. මේ හපන්කම කළේ ‘කොලෝසල් බයෝසයන්ස්’ නමැති විද්‍යා පර්යේෂණ ආයතනයයි. මෙම පර්යේෂණ ආයතනය පිහිටා ඇත්තේ ඇමෙරිකාවේ ඩලාස්වලය.
මේ සමාගමේ විද්‍යාඥයන් උත්සාහ ගන්නේ මැමතකුටත් පණ දීමටය. මේ වනවිටත් මැමතුන්ගේ ජාන සැකසුම හොඳින් පැහැදිලි ලෙස හඳුනා ගැනීමට කොලොසල් බයෝසයන්ස් විද්‍යාඥයෝ සමත් වී සිටිති. ඒ අනුව, මීට වසර 4,000 කට පෙර, ශීත කාලගුණයට ඔරොත්තු දෙමින් ජිවත් වුණු මැමතකු අනාගතයේ දිනෙක අපට පණ පිටින් ලැබෙනු ඇත.
මැමතාගේ ලෝම පමණක් නොවෙයි; මැමතාගේ වෙනත් ගති ලක්ෂණ ද මෙම ලෝම මීයාට ලබා දීම සඳහා විද්‍යාඥයන්, මුලින්ම මැමත්ගේ සහ අලි ඇතුන්ගේ ජාන සන්සන්දනය කළ බව පැවැසෙයි. මැමත්ගේ සහ අලි ඇතුන්ගේ ලෝම දිග, ඝනකම, පාට සහ ශරීරයේ මේදය වෙනස් වන්නේ කෙසේදැයි සහ ඒවායේ ඇති වෙනස්කම් හඳුනා ගන්නා විද්‍යාඥයන්ට හැකි විය.
ඉන්පසු විද්‍යාඥයෝ මීයන්ගේ ජානවලත් එවැනිම වෙනස්කම් සොයා දැනගත්හ. මීයන්ගේ ලෝම දිග, ඝනකම, පාට සහ ශරීරයේ මේදය වෙනස් කෙරන ජාන මොනවද ඔවුන් සොයා බැලූහ. උදාහරණයක් ලෙස FGF5 යන නමින් හැඳින්වෙන ජානයක් ඇත. මෙම ජානය, ලෝම දිගට වවන්න උපකාරි වෙයි. විද්‍යාඥයෝ එම ජානය, වෙනස් කරමින්, මූසිකයන්ගේ ලෝම දිගට වැඩීමට සැලැස්වූහ. ඉන්පසු තවත් ජාන තුනක් වෙනස් කරමින් මීයාගේ ලෝම කැරලි ගැසෙන ලෙසත්, රැලි සහිත ලෙසත්, රැවුල් ගස් කැරලි ගැසෙන ලෙසත් නිර්මාණය කළ හැකි විය.
විද්‍යාඥයන් විසින් හඳුනා ගනු ලැබූ MC1R නමැති තවත් ජානයක් ඇත. මෙම ජානය, මීයන්ගේ ලෝමවල වර්ණය වෙනස් කරන්න උදව් වෙයි. ඒ ජානය වෙනස් කරමින් මීයාගේ ලෝම කහ මිශ්‍ර දුඹුරු වර්ණය ලබා දීමට හැකි විය. ශරීරයේ බර වෙනස් කරන ජානයක් යොදා ගනිමින්, විද්‍යාඥයෝ මීයාගේ ශරීරයේ බර වැඩි කරන්නත් සමත් වූහ. කොලෝසල් බයෝසයන්ස් විද්‍යාඥයන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඔවුන් මීයාට මෙම පෙනුම ලබා දීමට මේ අයුරින් මීයාගේ සිරුරේ ජාන වර්ග අටක් වෙනස් කළ බවය.
කොලෝසල් බයෝසයන්ස් සමාගම ආරම්භ කෙරුණේ 2021 වසරේදීය. ඒ, බෙන් ලෑම් සහ ජෝර්ජ් චර්ච් නමැති විද්‍යාඥයන් දෙපළ එක් වෙමිනි. ඔවුන් ඔවුන්ගේ පර්යේෂණ සඳහා මේ වන විට එකතු කරගෙන ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් මිලියන 435 කි. කොලෝසල් බයෝසයන්ස් සමාගම යළි පණ දීමට සූදානම් වන්නේ මැමතකුට පමණක් නොවෙයි; පියාඹන්න බැරි ඩොඩෝ නමැති කුරුල්ලා සහ ඕස්ට්‍රේලියාවේත් තස්මේනියාවේත් ජීවත් වී අප ඇස් පනාපිට ම වඳ වී ගිය තස්මේනියානු ව්‍යාඝ්‍රයාටත් යළි පණ දෙන්නත් විද්‍යාඥයෝ සූදානමින් සිටිති.
විද්‍යාඥයන් එසේ කරන්නේ, මිහිමතින් තුරන් වී ගිය එම සතුන්ට කිට්ටුවෙන්ම නෑකම් කියන, සතුන් සම්බන්ධ කර ගනිමිනි. විද්‍යාඥයන්, ඒ සත්තුන්ට කිට්ටුම නෑදෑයන් වන සත්තුන්ගේ ජාන වෙනස් කරමිනුයි, පරණ සතුන්ට පණ දීම සිදු කරනු ඇත්තේ. උදාහරණයක් ලෙස විද්‍යාඥයන් මැමතකු නිර්මාණය කිරීමට සැරැසෙන්නේ, ඇතින්නියකගේ ගර්භාෂයක කෘත්‍රිම සංසේචනයක් කරමින්, අලි පැටකුගේ ජාන වෙනස් කර මැමතකුගේ ජාන ඇතුළත් කරමිනි. මෙය සංකීර්ණ ක්‍රියාවලියක් වුවත්, විද්‍යාඥයන් පවසන්නේ මෙය කළ හැකි බවය. කෙසේ නමුත් මෙය කොතරම් සදාචාරාත්මකදැයි යන්න සම්බන්ධයෙන් ගැටලු පවතී. ජාන වෙනස් කරමින් නිර්මාණය කෙරෙන සතුන්, ඒ ඒ සතුන් ජීවත් වුණු පරිසරයට සමාන පරිසරයකට උන් මුදා හැරීමට ද විද්‍යාඥයෝ බලාපොරොත්තු වෙති. කොලෝසල් බයෝසයන්ස් සමාගමට අනුව, ඔවුන් මැමතකුට පණ දෙනු ඇත්තේ 2028 වසරේදීය.
සී.එන්.එන්. ඇසුරිනි