පෝට්සිටියට අලුත් යතුරක්
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පසුගිය වසරේ තාවකාලිකව අත්හිටුවීම නිසා චීන සමාගමට සිදුවූ පාඩුව පියවීමට ඩොලර් මිලියන 150ක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉවත දැමීමට එම සමාගම එකඟ වූ බව පසුගිය සතියේ රජය නිවේදනය කළේය. ඊට හිලව් ලෙස තවත් හෙක්ටයාර දෙකක ඉඩම් මුහුදින් ගොඩ කර වරාය නගර ව්‍යාපෘතියට ලබාදීමට ද කැබිනට් අනුමැතිය හිමි විය. 2014 සැප්තැම්බර 17 වැනිදා වරාය නගරයට මුල්ගල තැබුවේ එවකට ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හා චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂි ජින්පින් මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා චීන මහජන සමුහ ආණ්ඩුවේ චයිනා කොමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් සමාගම හා ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව හෙක්ටයාර 233කට නොඅඩු භූමි ප්‍රමාණයක් ගාලු මුවදොරට ආසන්න මුහුදු සීමාවේ ගොඩකර නව නගරය ඉදිකිරීම් කටයුතු අරුඹිණි. මෙයින් හෙක්ටයාර් 170ක් සංවර්ධනය කළ හැකි ඉඩම් ප්‍රමාණයක් ලෙස හඳුනාගෙන ඇති අතර ඉතිරි හෙක්ටයාර 63 පොදු පහසුකම් ලෙස ඉදිරි ජලතීරැව, මාවත් හා උද්‍යාන වෙනුවෙන් වෙන්කර තිබිණි.
මුල් සැලැසුම් අනුව ව්‍යාපෘතිය අදියර දෙකකි. පළමු අදියර යටතේ දියකඩනය ඉදිකිරීම, ඉඩම් ගොඩකිරීම සම්පූර්ණයෙන්ම අවසන් කිරීම හා සංවර්ධනය කළ හැකි ඉඩම්වලින් ගොඩකරන ඉඩමේ ආරක්ෂාව සඳහා මීටර් 3.25ක පමණ දිගින් යුතු ගොඩබිම හා සම්බන්ධ නොවූ දියකඩනයක් ඉදිකිරීමට යෝජනා වී තිබිණි. මෙම දියකඩනය ඉදිකිරීමට අවශ්‍ය මූලික අධ්‍යයන අන්තර්ජාතික ප්‍රමිතියේ පරීක්ෂණාගාරයන්හිදී සිදු කළ බවත්, එම අධ්‍යයනවල ප්‍රතිඵල අවසන් සැලසුම් සඳහා ඇතුළත් කර ඇති බවත් එම වකවානුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ප්‍රකාශ කළේය. ව්‍යාපෘති සීමාව තුළ සියලු මාර්ග හා කෘත්‍රිම ඇළ හරහා වැටෙන පාලම් ව්‍යාපෘති යෝජකයා විසින් ඉදිකරනු ලැබීමට නියමිතව තිබූ අතර එම අභ්‍යන්තර මාර්ග පද්ධතිය දැනට පවතින මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීම සඳහා 2014 සැප්තැම්බර අවසානය වන විට අදාළ රාජ්‍ය ආයතන හා සාකච්ඡා කරමින් සිටියේය.
මෙවැනි විශාල ව්‍යාපෘතියක් ඉදිකිරීමේදී ඉතා කාර්යබහුල කොළඹ නගරයේ තදබදය වැළැක්වීම සඳහා කළුගල් හා අනෙකුත් භාණ්ඩ ප්‍රවාහනය සඳහා කොළඹ වරායේ අභ්‍යන්තර මාර්ග යොදාගැනීමට තීරණය කර තිබිණි. ව්‍යාපෘතිය සඳහා අත්‍යවශ්‍යම කළුගල් ප්‍රමාණය ඝනමීටර් මිලියන 5ක් ලෙස ගණන් බලා තිබිණි. නව වරාය නගරයේ ශ්‍රී ලංකා රජය සතු මුළු බිම් ප්‍රමාණය හෙක්ටයාර් 213ක් බවටත් ආයෝජකයාට නිදහසේ භුක්තිවිඳීමට දෙන භූමිය හෙක්ටයාර් 20ක් බවත් එකල රජයට ප්‍රකාශ කර තිබිණි. එවකට විපක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයෙන් හා පරිසර සංවිධානවලින් වරාය නගරයට එල්ලවුණේ දැඩි විරෝධයකි. තමන් බලයට පත් වූ පසු වරාය නගර ව්‍යාපෘතිය නතර කරන බව එජාප මන්ත්‍රීවරැ බොහෝ දෙනෙක් තැන් තැන්වල දී ප්‍රකාශ කළහ.
මේ නිසාම 2015 ජනවාරි අටවැනිදා මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති වීමෙන් පසු සිවිල් සංවිධාන නියෝජිතයන් ඇතුළු විවිධ පාර්ශ්වවලින් රජයට එල්ල වූයේ සුළුපටු බලපෑමක් නොවේ. එහි ප්‍රතිඵලය වූයේ වරාය නගරයේ ඉදිකිරීම් තාවකාලිකව නවතා පසුගිය රජය සමයේ වරාය නගරය සම්බන්ධයෙන් රජය අනුගමනය කළ ක්‍රියාපිළිවෙත නැවත හැරී බැලීමට ආණ්ඩුව තීරණය කිරීමය. ඒ සමඟම නිවේදනයක් නිකුත් කළ චීන සමාගමද කීවේ රජයේ පරීක්ෂණයට සහාය දෙන බවයි.
වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු නිරාකරණය කරගැනීම සඳහා නව රජය හා ඉතා සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව ව්‍යාපෘතිය භාරව කටයුතු කරනා චයිනා කොමියුනිකේෂන්ස් කන්ස්ට්රක්ෂක් කම්පනි ලිමිටඩ් (සිසීසීසී) පැවසීය. ව්‍යාපෘතිය සම්බන්ධ වාර්තා රජය වෙත ලබාදීමටත් මේ දක්වා සිදුව ඇති කටයුතු විමර්ශනය කිරීමට පූර්ණ සහය රජය වෙත දැක්වීමටත් කැමැත්තෙන් සිටින බව එම සමාගම කීවේය. සීසීසීසී සමාගම ලෝකයේ ඉදිකිරීම් සමාගම් අතර ඉහළ ස්ථානයක්ද හිමිකරගෙන සිටින්නෙක්ද වේ.
වරාය නගරය ඉදිකිරීම ශ්‍රී ලංකාවට අලූත් දෙයක් නොවන අතර එවැන්නක් සදහා මුල්ම යෝජනාව ඉදිරිපත්වූයේ 1998 වසරේදීය. එවක ව්‍යාපෘතිය සම්බන්ධ කටයුතු සිදුවූයේ සිංගප්පූරැ සමාගමක් වන සෙස්නා යටතේ වන අතර 2004 වසරේදී අවසාන සැලසුම ඉදිරිපත් විය. එහෙත් දැරිය යුතු වන අධික වියදම නිසාත්, වරාය නගරයට අත්‍යවශ්‍ය වූ නව දිය කඩනයක් ඉදිකර නොතිබීම නිසාත් එය ලිපි ගොනුවකට පමණක් සීමාවුණි. වාර්තා වන ආකාරයට මෙවර වරාය නගරය ඉදිකිරීමේ සැලසුම් කටයුතු ආරම්භවී ඇත්තේ 2010 වසරේදීය. ව්‍යාපෘතියෙන් පරිසරයට සිදුවිය හැකි බලපෑම, තාක්ෂණික කරැණු ආදිය වරාය අධිකාරියේ අධීක්ෂණය යටතේ විමර්ශන කර තිබෙන්නේ මොරටුව විශ්වවිද්‍යාලයයි. ව්‍යාපෘතියෙන් සිදුවිය හැකි පාරිසරික බලපෑම පිළිබද වාර්තාව ප්‍රසිද්ධ කෙරැණු අතර එයට ජනතාවගෙන් ලැබුණු අදහස් දැක්වීම්ද ඇතුළත් කර පසුව සම්මත කර ගැනුණි.
මෙයට අමතරව සිසීසීසී සමාගම ඔවුන්ගේම යැයි පරිසර කළමනාකරණ සැලැස්මක්ද ඉදිරිපත් කර තිබී ඇත. විමර්ශනයකින් පසු එයටද අනුමැතිය හිමිව තිබේ. ව්‍යාපෘතියේ පෙර සූදානම් වීමේ කටයුතුවලට පමණක් ගතව තිබෙන කාලය වසර 4 කි.
හෙක්ටයාර 233ක වපසරියක විහිදෙන වරාය නගරය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකව පවතින විශාලම පෞද්ගලික සංවර්ධන ව්‍යාපෘතියයි. එයින් විවිධ ක්ෂෙත්රවලට අයත් රුකියා 83,000ක් පමණ උපදිනු ඇතැයි අපේක්ෂිතය. ඉදිකිරීම් අවසාන වූ පසු වරාය නගරයේ ආයෝජන කටයුතු සදහා දෙස් විදෙස් ආයෝජකයින්ට අවස්ථාව ලබාදීමටද සැලසුම් කර තිබිණි.
(ලබන සතියට)
බිඟුන් මේනක ගමගේ