ගවේෂණය අමාරු සිකුරු



‘උදා තරුව’, ‘ඉරබට තරුව’, ‘පහන් තරුව’  ආදී නම්වලින් හැඳින්වෙන, තරුවක් මෙන් අහසේ දීප්තියෙන් දිස්වන්නේ සිකුරු ග්‍රහලෝකයයි. හිරු එසේත් නැතිනම් සූර්යයාගේ සිට දෙවැනි ස්ථානයේ පිහිටා ඇත්තේ සිකුරුය. විෂ්කම්බය කිලෝ මීටර් 12,365 කි. සූර්යයාට කිලෝ මීටර් 108,200,000 ක් දුරින් පිහිටයි.

සූර්යයා සහ චන්ද්‍රයා හැරුණු විට වැඩිම දීප්තියකින් දිස්වන ග්‍රහ වස්තුව වන්නේ සිකුරුය. සිකුරුගේ වායුගෝය ඉතා ඝනකම්ය. සිකුරු මතුපිට බිහිසුණු ගිනි කඳු බහුලය. සූර්යයාගේ සිට පළමු ස්ථානයේ පිහිටන බුද මෙන්ම, සිකුරුට ද පරිවාර ග්‍රහයන්, එසේත් නැතිනම් චන්ද්‍රයන් කිසිවක් නැත. සිකුරුගේ භ්‍රමණ කාලය දින 247 කි.

සිකුරු පරිභ්‍රමණය වීමට ගතවන කාලය පෘථිවි දින 224 කි. ඒ අනුව, සිකුරුගේ දින, අවුරුද්දකට වඩා දිගය. සිකුරු අභ්‍යන්තරයේ (සිකුරුගේ මදය) ඇත්තේ නිකල් සහ යකඩ මුසු හරයකි. පාෂාණමය ආවරණයක් ඊට පිටතින් ඇත. එය ආවරණය කර ඇත්තේ සිලිකේට්වලින් සමන්විත පෘෂ්ඨයකි. සිකුරු අප චන්ද්‍රයා මෙන් කලාවන් පෙන්නුම් කරයි.

අඟහරුට වඩා සිකුරු පෘථිවියට සමීප නම්, ඇයි සිකුරු ගවේෂණය නොකරන්නේ? ඇයි අනාගතයේ ජනාවාස පිහිටුවීමට සිකුරු තෝරාගෙන නැත්තේ? ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයකි. අඟහරු මෙන් නොව, සිකුරු කිසිසේත්ම ජීවයට හිතකර තැනක් නොවෙයි. පෘථිවියට නිවුන් සොහොයුරකු සිටිනවා නම් ඒ, සිකුරුය. ඈත සිට බලද්දී, පෙනෙන්නේ සිකුරු පෘථිවියට සමා බවය. එහෙත්, සිකුරු පෘථිවියට වඩා තරමක් කුඩාය.

ළං වී බලද්දී සිකුරු පෘථිවියට වඩා හාත්පසින්ම වෙනස්ය. අප සෞරග්‍රහ මණ්ඩලයේ ජීවය පැවතීමට නුසුදුසු තැනක් තිබෙනවා නම්, ඒ සිකුරු ය. සුර්යයාගේ සිට දෙවැනි ස්ථානයේ පිහිටියත්, සිකුරු මතුපිට උෂ්ණත්වය බුද මතුපිට උෂ්ණත්වයට වඩා වැඩිය. සිකුරු මතුපිට ඇති පීඩනය, අප පෘථිවි මුහුදේ අඩි 3,300 ක් ගැඹුරේ ඇති පීඩනයට සමානය. එහෙයින්, සිකුරු මතුපිටට පය තැබිය නොහැකිය. සිකුරු ගවේෂණය ද ගැටලු සහිතය. සිකුරු මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 900 ට වඩා වැඩිය. වායු ගෝලය පිරී ඇත්තේ විෂ වායුවලිනි.

1960 දශකයේ, ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඇපලෝ’ මෙහෙයුම් යටතේ, සඳට මිනිසුන් යැවීමට සූදානම් වෙද්දී, සෝවියට් සමූහාණ්ඩුවත් අභ්‍යවකාශ ගවේෂණ මෙහෙයුම් කීපයක් ආරම්භ කර තිබුණි. ‘වෙනේරා’ එවැනි එක් මෙහෙයුමකි. ‘වෙනේරා’ යනු සිකුරු ග්‍රහලොවේ තොරතුරු සෙවීමට සෝවියට් විද්‍යාඥයන් ආරම්භ කළ ගවේෂණ මෙහෙයුමය. ‘වෙනේරා’ අවුරුදු 23 ක මෙහෙයුමකි. 1961 සිට 1984 තෙක් එය සිදුවිය.

මිනිස් ඉතිහාසයේ පළමු වරට වෙනත් ග්‍රහලෝකයක වායුගෝලයකට, ගවේෂණ යානාවක් පිවිසි පළමු අවස්ථාව එය විය. ‘වෙනේරා’ මෙහෙයුම ආරම්භ කෙරුණේ අසාර්ථක උත්සාහයන් රැසකින් පසුවය. 1961 වසරේ දී සෝවියට් විද්‍යාඥයන් ‘වෙනේරා 1 සහ 2’ පිටත් කර හැරියේය. සිකුරු අසලින් යමින් සිකුරුගේ දත්ත රැස් කිරීම සහ ඡායාරූප ගැනීම මෙම රොබෝ යානාවල අරමුණ විය. කෙසේ නමුත් පෘථිවියෙන් නික්මුණු සැණින් මෙම යානාවල යාන්ත්‍රික පද්ධති අක්‍රිය විය

‘වෙනේරා 3’ යානය සිකුරු බලා යැවීම සිදු කළේ අඩුපාඩු සියල්ල නිවැරදි කරමිණි. ‘වෙනේරා 3’ සිකුරු වායුගෝලයට ඇතුළු වී සිකුරු මතුපිටට කඩා වැටුණි. මිනිසා නිපදවූ යානයක් වෙනත් ග්‍රහලොවකට කඩා වැටුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. ‘වෙනේරා 3’ සිකුරු වායු ගෝලයට ඇතුළු වෙද්දී සිකුරු වායුගෝලයේ අධික පීඩනයට එය ඔරොත්තු දුන්නේ නැත. කඩා වැටුණේ ඒ නිසාය. ඒ අනුව සිකුරුගේ දත්ත රැස් කර ගැනීමක් සිදු නොවිණි.

1975 දී ‘වෙනේරා 9’ මෙහෙයුම් මගින් පළමු වරට සිකුරුගේ ඡායාරූප ගැනීම සේවියට් විද්‍යාඥයේ සමත් වූහ. සිකුරු පාෂාණීය ග්‍රහයෙකු බව ඒ අනුව තහවුරු විය. වායුගෝලය කාබන්ඩයොක්සයිඩ් පිරි එකක් බව තහවුරු විය. එය ජීවයෙන් තොර නිසරු තැනකි බව ද අවබෝධ විය. 1975 වසරෙන් පසු යැවුණු ගවේෂණ යානා ද වැඩි කාලයක් ක්‍රියාත්මකව පැවැතියේ නැත. ගවේෂණ යානයක්, වැඩිම වේලාවක් අඟහරු මතුපිට සක්‍රීයව පැවැතියේ පැය දෙකක් පමණි.

‘රොස්කොස්මොස්’ රුසියන් අභ්‍යවකාශ ආයතනය, 2026 වසරේ දී හෝ 2031 වසරේදී සිකුරු ගවේෂණයට ‘වෙනේරා ඩී’ මෛහයුම ආරම්භ කිරීමට සූදානම් වෙයි. සිකුරුගේ වායුගෝලීය පීඩනයට ඔරොත්තු දෙන, වැඩි කාලයක් සිකුරු මතුපිට රැඳී සිටිය හැකි ආකාරයේ යානයක් නිර්මාණය මේ වනවිටත් සිදු වෙමින් පවතී. ‘වෙනේරා ඩී’ මෙහෙයුමට සිකුරු මතට පතිත කරවන යානයක් පමණක් නොව, සිකුරු කක්ෂයේ රැඳී සිටිය හැකි ගවේෂණ යානයක් යැවෙනු ඇත.

නාසා ආයතනය ද සිකුරු ගවේෂණයට යානා යවා තිබේ. ඒ කිසිදු යානකයක් සිකුරුගේ කක්ෂයට පිවිසියේ නැත. ඒව සිකුරු අසලින් ගිය යානා පමණි. ඇතැම් නාසා යානා සිකුරු අසලින් යැවීම කළේ සිකුරුගේ ගුරුත්ව බලය ප්‍රයෝජනයට ගනිමින් වෙනත් මෙහෙයුම් සඳහා ගමන් වේගය අඩු වැඩි කර ගැනීමටය. නාසා ආයතනයේ ‘පයනියර්’ යානය, ‘පයනියර්’ වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් විය. ‘පයනියර්’ ගවේෂණ යානය තුළ යානා 4 ක් අඩංගු විය. එයින් එකක් තරමක් විශාල යානයක් වූ අතර අනෙක් යානා තුන කුඩා ඒවාය. 1978 දී  ‘පයනියර්’ යානය සිකුරු වායුගෝලයට පිවිසියේය. දත්ත රැස් කිරීම සිදුවූයේ ඒ අනුවය.

මෙතෙක් ලබා ගත් සියලු මෙහෙයුම්වලින් දිගින් දිගටම තහවුරු වූයේ එක් දෙයක් පමණි. ඒ, සිකුරු මතුපිට ජීවය පැවැතීමට හිතකර තත්ත්වයක් නැති බවය. සිකුරුගේ භූමිය අඳුරුය; ඝානකම් පාෂාණ ස්ථරවලින් නිර්මාණය වී ඇත. ඉහළ වායු ගෝලයේ ඇත්තේ ඝන වළාකුළු ස්ථරයකි. සිකුරු ග්‍රහලොවේ වැඩියෙන්ම ඇත්තේ කාබන්ඩයොක්සයිඩ් වායුවයි.

වළාකුළු නිර්මාණය වී ඇත්තේ සල්ෆර් ඩයොක්සයිඩ්වලිනි. සිකුරු මතුපිට කාලගුණ පෙරැළි බිහිසුණු ස්වරූපයක් ගනී. ඒ එහි වේගවත් කැලඹීම් නිසාය. සිකුරුගේ සුළං හමන්නේ පැයට කිලෝ මීටර් 186 කට වඩා වැඩි වේගයකිනි. සිකුරු ග්‍රහයා මතුපිටට ගොස් ගවේෂණය කිරීම අසීරු වුණත්, විද්‍යාඥයන් පෘථිවියේ සිට ප්‍රබල දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව සිකුරු ගවේෂණය සිදු කරයි.

ජිවය පැවැතීමට හිතකර තත්ත්වයක් නොමැති බව අනාවරණය වුවත්, සිකුරු මතුපිට ජීවය ඇතැයි සැක කරන විද්‍යාඥයෝ ද වෙති. බ්‍රිතාන්‍යයේ කාඩිෆ් විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යාඥවරියක වන ජේන් ග්‍රීවර්ස් ඇතුළු කණ්ඩායම විශ්වාස කරන්නේ සිකුරු මතුපිට සැඟවුණු ජීවය ඇති බවය.

ජේන් ග්‍රීවර්ස් ඇතුළු විද්‍යාඥ පිරිස සිකුරුගේ වායුගෝලය අධ්‍යයනය කර තිබේ. ඒ, පෘථිවියේ පිහිටා ඇත්තේ ප්‍රබල දුරේක්ෂ ආධාරයෙනි. සිකුරුගේ වායුගෝලය අධ්‍යයනය කරද්දී, වායුගෝලයේ තිබී ‘පොස්පීන්’ වායු අංශ හමුවී තිබේ.  ‘පොස්පීන්’ පෘථිවියේ ද දකින්න ලැබෙයි. ඒ, කාබනික ද්‍රව්‍ය ක්ෂය වෙද්දීය. මසුන් මියයද්දී, වගුරු බිම්වලින් පොස්පීන් වායුව ස්වභාවිකව නිර්මාණය වෙයි. එසේනම් පොස්පීන් සිකුරුගේ වායුගෝලයෙන් හමුවීම විද්‍යාඥ කණ්ඩායමට ප්‍රෙහේලිකාවකි. ‘පෘථිවියේ පොස්පීන් නිපදවීමට බැක්ටීරියා දායක වෙනවා.

එසේ නම්, සිකුරු වායුගෝලයේ පොස්පීන් තිබෙන්නේ, බැක්ටීරියා විශේෂයක බලපෑම නිසා වෙන්න පුළුවන්.’ යැයි ජේන් ග්‍රීවර්ස් පහදයි. ජේන් ග්‍රීවර්ස් ඇතුළු විද්‍යාඥ කණ්ඩායම සිකුරුගේ වායුගෝලයේ පොස්පේන් අංශු අඩංගු බවට පළමු හෝඩුවාව සොයා ගත්තේ, හවායි දූපතේ පිහිටි ‘ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල්’ දුරේක්ෂකයේ ආධාරයෙනි.

එය තහවුරු කර ගැනීම සිදුවූයේ චිලී රටේ ඇටකාමා කාන්තාරයේ පිහිටා ඇත්තේ රේඩියෝ දුරේක්ෂ ආධාරයෙනි. ඇමෙරිකාවේ නාසා ආයතනය මීළඟ සිකුරු ගවේෂණ මෙහෙයුම නම් කර ඇත්තේ ‘ඩාවින්චි’ යනුවෙනි.  ‘ඩාවින්චි’ මෙහෙයුම ආරම්භ වීමට නියමිතව ඇත්තේ 2026 දීය. එසේනම්, සිකුරුගේ වායු ගෝලයේ ඇති ‘පොස්පීන්’ වායුව සම්බන්ධ අබිරහස විසඳා ගැනීමට තවත් වසර කීපයක් බලා සිටීමට සිදුවුනු ඇත.

ස්තුතිය - නාසා ආයතනයට


RECOMMEND POSTS