ලෝක බැංකුවේ ද සහාය ඉල්ලයි



ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අමතරව ශ්‍රී ලංකාව ලෝක බැංකුවේ ද සහාය ඉල්ලා ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකාව මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර එයින් මිදීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහාය ඉල්ලා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර ලබන මාසයේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

ශ්‍රී ලංකාව ලෝක බැංකුවෙන් සහාය ඉල්ලා ඇත්තේ මේ අතරවාරයේ දී ය.

ඉකුත් 2020 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා ගෙවුණු කාලයේ දී ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය සියයට 70කින් කඩා වැටී තිබෙන අතර මේ හේතුවෙන් ආහාර, ඉන්ධන, සහ ඖෂධ යනාදී අත්‍යවශ්‍ය ආනයනවලට ගෙවීමට මුදල් නොමැති වී තිබේ. මේ තත්ත්වය නිසා ඉන්ධන පිරවුම්හල් අසල නොසන්සුන් හා කලබලකාරී තත්ත්ව ඇති වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඉන්ධන පිරවුම්හල් අසලට හමුදාවෙන් යෙදවී ය.

පසුගිය පෙබරවාරි මාසය අවසන් වනවිට ශ්‍රී ලංකාව සතුව ඇති විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.31ක් වූ අතර මේ වසරේ ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාව ගෙවීමට ඇති විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන හතකරට ආසන්න වේ. ලබන ජූලි මාසයේ දී කල් පිරෙන ඇමෙරිකානු ඩොලර් බිලියනයක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් ද ඊට ඇතුළත් වේ.

මෙම අර්බුදයෙන් මිදීම ට මාර්ගයක් සෙවීම සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන මාසයේ දී වොෂින්ටන් නුවරට යෑමට නියමිත අතර එහිදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙන්ම ලෝක බැංකුවේ නිලධාරීන් ද හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත යැයි මේ සම්බන්ධයෙන් ඍජුව දැනුම ඇති ආරංචි මාර්ග දෙකක් සඳහන් කළේ ය.

“අපට අවශ්‍ය වෙලා තියෙන්නේ අයවැය සහයෝගයක්” එක් ආරංචි මාර්ගයකින් කියැවිණි.

ශ්‍රී ලංකා අපේක්ෂා කරන/ඉල්ලීමට බලාපොරොත්තු වන මූල්‍ය සහාය සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම මූලාශ්‍රය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව, ලෝක බැංකුවෙන් කොතරම් ප්‍රමාණයක මූල්‍ය සහායක් අපේක්ෂා කරනවාදැයි පැවැසීමට එම ආරංචි මාර්ගවල නොහැකි විය.

ලෝක බැංකුව සමාන්‍යයෙන් සිය සහාය ලබාදෙන්නේ අපනයන වැඩිදියුණු කිරීම, ආර්ථික තරගකාරීත්වය ඉහළ දැමීමට සහ වර්ධනයට ආධාර දීමට යැයි විශ්ලේෂකයෝ පවසති.

උදාහරණයක් ලෙස දැඩිව ණය වී සිටින ආර්ජන්ටිනාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 2 ණය පැකේජයක් ලබාදීම සඳහා ලෝක බැංකුව සාකච්ඡා පවත්වමින් සිටියි. එම ණය පැකේජයට යටිතල පහසුකම්, සෞඛ්‍ය, සමාජ අන්තර්කරණය සහ පරිසර ව්‍යාපෘති යනාදියට සහාය දීම ඇතුළත් වේ.

තොරතුරු ලබාදුන් මූලාශ්‍ර දෙකම සිය නම ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ අතර දැනට පවතින සාකච්ඡා තවමත් ප්‍රසිද්ධියට පත් කර නැතැයි ඔවුහු කීහ. ලෝක බැංකුවේ සහාය බොහෝ දුරට ලැබෙනු ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලැබෙන ණය වැඩසටහනකින් පසුව යැයි ද ඔවුහු කීහ.

රොයිටර්ස් පුවත් සේවය ලෝක බැංකුවෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කර ඇති අතර ලෝක බැංකුව මෙතෙක් ශ්‍රී ලංකාව සමඟ අයවැය සහාය සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා නැතැයි ඊට ප්‍රතිචාර දක්වමින් ලෝක බැංකුව සඳහන් කළේ ය.

“තිරසර වර්ධනයක් සඳහා අවශ්‍ය වන ව්‍යුහාත්මක , විස්තීර්ණ (පුළුල්) ප්‍රතිසංස්කරණ වැඩසටහනක් හඳුනාගැනීම සඳහා අපි බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් ඉන්නවා. ඒ හරහා ඉදිරියේ දී දිය හැකි සහාය සම්බන්ධයෙන් ද සොයා බැලීමක් කෙරෙනවා” යැයි ලෝක බැංකුව සඳහන් කළේ ය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළ ද ඊට පිළිතුරු නොලැබිණි.

(රොයිටර්)


RECOMMEND POSTS