දරිද්‍රතාව සියයට 24.5 කින් ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය, 2022 වසරේ මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසු ස්ථාවර ලෙස වර්ධනය වුවත්, ඉකුත් අප්‍රේල් 23 වැනිදා ලෝක බැංකුව එළිදැක්වූ වාර්තාවක සඳහන් වන්නේ, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව සියයට 24.5 කින් ඉහළ ගොස් ඇති බවය.
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද ලෝක බැංකුවේ එම වාර්තාවේ සඳහන් වෙයි. මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෝක බැංකු කලාප අධ්‍යක්ෂක ඩේවිඩ් සිස්ලන් මහතා පැහැදිලි කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජනහනයෙන් තුනෙන් එකක් තවමත් දරිද්‍රතාවයේ පසුවන බවත්, නැවත දරිද්‍රතාවයට පත්වීමේ අවදානම් තත්ත්වයක ද ඔවුන් පසුවන බවත්ය.
ලෝක බැංකුව විසින් නිකුත් කරන ලද වාර්තාවේ 2026 වසර සඳහා සියයට 3.1 ක මධ්‍යස්ථ වර්ධනයක් පුරෝකථනය කර ඇත. ‘වෙළඳාම, ආයෝජන, තරඟකාරීත්වය සහ කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය ඇතුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සියලුම ශ්‍රී ලාංකිකයින්ට ආර්ථික ප්‍රකෘතියේ ප්‍රතිලාභ ලැබීම සහතික කිරීම සඳහා හේතු සාධක වනු ඇතැයි වාර්තාව පෙන්වා දී ඇත.
පසුගිය කාලයේ, ජන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද 2024 සිව්වන කාර්තුවේ ශ්‍රම බලකාය පිළිබඳ වාර්තාවේ ඇති කරුණු අනුව, අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන්ගෙන් සියයට 71 ක් හෝ 6,549,504 ක පිරිසක්, ආර්ථික වශයෙන් අක්‍රිය බවය.
එයින් අදහස් වන්නේ, ඔවුන් ශ්‍රම වෙළඳපොළට සහභාගී නොවන බවය. මෙයට, සක්‍රියව රැකියාවක් සොයන්නේ නැති හෝ කෙටි කාලයක් තුළ වැඩ ආරම්භ කිරීමට නොහැකි පුද්ගලයින් ඇතුළත් වෙයි.
සියලුම වයස් කාණ්ඩවල පිරිමින්ට වඩා කාන්තාවන් අතර විරැකියාව ඉහළ ගොස් ඇති බවත්, තරුණ හා කාන්තා විරැකියාව රටේ සමස්ත විරැකියාවට වැඩි දායකත්වයක් දක්වන බවත් ජන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව වාර්තාවේ පැහැදිලිව දැක්වෙයි.
ලෝක බැංකුව ඉහළ දරිද්‍රතා මට්ටම් සඳහා හේතු ලෙස දක්වන ප්‍රධාන කරුණක් වන්නේ, ශ්‍රම වෙළඳපොළ අඛණ්ඩව අරගල කිරීම හේතුවෙන්, විදේශ රැකියා අවස්ථා සොයමින් සිටින පුද්ගලයන්ගේ සංක්‍රමණය වැඩි වීමය. ගෘහ ආදායම, රැකියා සහ සමස්ත සුබසාධනය අර්බුදයට පෙර පැවති මට්ටම්වලට වඩා බොහෝ සෙයින් පහළ මට්ටමක පවතින බව පැවැසෙයි.
ජන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකාය පිළිබඳ සමීක්ෂණයේ සඳහන් කර ඇත්තේ 15 සිට 24 දක්වා වයස් කාණ්ඩයේ විරැකියා අනුපාතය සියයට 25.7 ක් ලෙස ඉහළම අගයක් ගන්නා බවය.
2025 වසරේ පෙබරවාරි මස ජන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවට අනුව මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා එක් පුද්ගලයකුට මසකට අවශ්‍ය අවම වියදම රුපියල් 16,318 ක් වන අතර, එය 2019 වසරේ දී රුපියල් 6,966 ක් ලෙස පැවති අගයට වඩා සියයට 134 ක වැඩිවීමක් පෙන්නුම් කරමින් දෙගුණයකටත් වඩා ඉහළ ගොස් ඇති බවය.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයට අනුව, ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ පළමු අපනයන ගමනාන්තය වන අතර, 2024 වසරේ ශ්‍රී ලංකාවෙන් ඇමරිකා එක්සත් ජනපදයට සිදු කළ මුළු අපනයන වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 2,909.97 කි.
කෙසේ නමුත්, ට්‍රම්ප් පරිපාලනය, සියයට 44 ක අන්‍යෝන්‍ය තීරු බදු පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති අතර බොහෝ පුද්ගලයින් බදුවල බර දරා සිටින බව ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහස වෙයි.
ලෝක ආහාර වැඩසටහනට අදාළව, 2024 නිකුත් කළ වාර්තාවේ සඳහන් වන්නේ පසුගිය වසර පහ තුළ වයස අවුරුදු 5 ට අඩු, වයසට සරිලන බර අඩු සහ වයසට සරිලන උස අඩු දරුවන්ගේ ප්‍රතිශතය වැඩි වී ඇති අතර, එමගින් පෝෂණ ඌනතාවන් පෙන්නුම් කරන බවය. 2024 වසරේ ලෝක ආහාර වැඩසටහන එහි උපායමාර්ගික ප්‍රතිඵල හතර හරහා මිලියන 1.5 කට අධික ජනතාවකට සහාය ලබා දුන් අතර, ඉන් සියයට 61 ක් කාන්තාවන්ය.
ශ්‍රී ලංකාවේ පෝෂණ තත්ත්වය දිගින් දිගටම පවතින සහ සැලකිලිමත් විය යුතු මන්දපෝෂණ ප්‍රවණතා හෙළි කරන අතර, ප්‍රමාණවත් පෝෂණය සඳහා ප්‍රවේශ වීමේ ක්‍රමානුකූල හිඩැස් ඉස්මතු කර ඇතැයි පැවැසෙයි.
මෑතකදී චීනයේ බෙයිජීංහිදී ආර්ථික සංවර්ධනය සහ දරිද්‍රතාව පිටුදැකීම යන ක්ෂේත්‍රවල චීනය සහ ශ්‍රී ලංකාව අතර හුවමාරු පිළිබඳ සම්මන්ත්‍රණයක් පැවැත්විණි.
චීනය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සංවර්ධනය සහ දරිද්‍රතාව පිටුදැකීමේ ක්ෂේත්‍රයේ අත්දැකීම් හුවමාරුව යන තේමාව යටතේ පැවැත්විණි. එම සම්මන්ත්‍රණය ඉකුත් මාර්තු 23 සිට අප්‍රේල් 5 දක්වා පැවැති අතර ශ්‍රී ලංකාවේ විවිධ අමාත්‍යාංශ හෝ ආයතන 13 ක නිලධාරීන් 28 දෙනෙක් සහභාගී වූහ.