තෙල් මිල ගණන් පහළ වැටිලා



චීනයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන් ගණන වැඩි වීම මුල් කරගනිමින් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණන් පහළ වැටී ඇත.

ලොව විශාලතම තෙල් ආනයනකරු වන්නේ චීනය වන අතර මෙලෙස නැවත දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වීම නිසා ඔවුන්ගේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට බාධා එල්ල වනු ඇතැයි පැවසේ.

‘කොවිඩ්-19’ වසංගතය පාලනය කිරීම සඳහා චීනය දීර්ඝ කාලයක් දැඩි සීමා පනවා තිබූ අතර ඉකුත් සති කිහිපයේදී අදාළ සීමා ලිහිල් කිරීමට පියවර ගත්තේ ය. ඒත් සමඟ ඉන්ධන සඳහා තිබූ ඉල්ලම ද වැඩි වී තිබිණි.

බ්‍රෙන්ට් සහ යු.එස් යන වෙළෙඳපොළෙ දෙකේ ම බොරතෙල් මිල ගණන අද උදයවරුවේ ඇමෙරිකානු ඩොලරයකට වැඩි අගයකින් පහත වැටිණි. එසේ පහත වැටුණේ අඟහරුවාදා දිනයේ දී සති තුනකට පසු මිල ගණන්, ඉහළ ම අගය වාර්තා කිරීමෙන් පසුව ය. එලෙස මිල ගණන් වැඩි වීම නිසා ඉල්ලුම වැඩි වනු ඇතැයි ද අපේක්ෂාවක් ද ඇති වී තිබිණි.

ලබන වසරේ ජනවාරි 8 වැනිදා සිට රට තුළට පැමිණෙන සංචාරකයන් නිරෝධායනය වීම අවශ්‍ය නැතැයි චීනය ඉකුත් දා නිවේදනය කළේ ය. මෙය චීනය මෙතෙක් නිවේදනය කරන ප්‍රධානතම සීමා ලිහිල් කිරීම්වලින් එකකි.

කෙසේ නමුත් ඉකුත් සතියක කාලය තුළ දී චීනයෙන් දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වාර්තා ගත අයුරින් ඉහළ ගොස් ඇති අතර මේ නිසා රෝහල් පද්ධතිය ද දැඩි පීඩනයකට ලක්ව තිබේ.

“ආසාදිතයන් වේගයෙන් වැඩි වීම නිසා මිනිස්සු එළිමහනේ කරන එදිනෙදා වැඩ ශීඝ්‍රයෙන් අඩු වෙලා. කෙටි කාලයක් තුළ තමයි මෙය සිද්ධ වුණේ. ඒ නිසා චීනය කොවිඩ්-19 සීමා ලිහිල් කළත් මෙවැනි කෙටි කාලයක් තුළ ඉල්ලුමට යථා තත්ත්වයට පත්වෙන්න අමාරු” යැයි බ්‍රිතාන්‍ය මූලික කරගත් මූල්‍ය සේවා සමාගමක් වන සී.එම්.සී. මාර්කට්ස් හි විශ්ලේෂකයකු වන ලියෝන් ලී පැවැසීය.

ඇමෙරිකා එක්සත් ජනපදයට බලපා ඇති සීත කාලගුණ තත්ත්වය නිසා එරට පිරිපහදු දුසිමකට අධික සංඛ්‍යාවක වැඩ කටයුතු නවතා දමා තිබූ අතර අඟහරුවාදා (27) ඒවායේ වැඩ කටයුතු ආරම්භ විය.

මෙම සීත කාලගුණික තත්ත්වය ජනවාරි දක්වා පවතිනු ඇතැයි ද නැවතුණු වැඩ කටයුතු යථා තත්ත්වයට පත්වීමටත් මාසයක් දෙකක් ගතවනු ඇතැයි ද පැවසේ.

මෙම සීත කාලගුණික තත්ත්වය නිසා බොරතෙල් නිමැවුමට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙන අතර උතුරු දකෝටා සහ ටෙක්සාස් යන ජනපදවල තෙල් සහ ගෑස් නිෂ්පාදනය ද සීමා කර ඇත. 

හර්ෂණ තුෂාර සිල්වා
(රොයිටර්)

RECOMMEND POSTS