ඇන්සෙල් ලංකා සමාගමේ විශේෂ ඇගයීමක්



ඇන්සෙල් ලංකා සමාගම පසුගිය දා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණි. ඒ, ඇන්සෙල් ලංකා සමාගහ, මෙතෙක් ආ තිරසාර ගමනේ, සන්ධිස්ථාන හඳුනා ගනිමින්, කැබලි දර සැපයුම්කරුවන් 11 දෙනෙකු ඇගයීම සඳහාය. ස්වභාවික සම්පත් සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තර සංගමයෙහි මෙරට නියෝජිත ආචාර්ය ශාමේන් විදානගේ මහතා, ආයෝජන මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, සුනිත්‍ය බලශක්ති අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය යන ආයතන වල නියෝජිතයන් එම අවස්ථාවට එක් වී සිටියහ.

ඔස්ට්‍රේලියානු සුරැකුම්පත් හුවමාරුව (ASX) හි ලැයිස්තුගත කර ඇති ආකාරයට ඇන්සෙල් යනු සෞඛ්‍ය, ආරක්ෂණ හා ජීව විද්‍යා යන අංශවල අත් හා ශරීර ආරක්‍ෂණය සැලසුම් කිරීම, නිෂ්පාදනය කිරීම හා විකිණීම පිළිබඳ ගෝලීය ප්‍රමුඛයා වේ. රටවල් 55කට වැඩි ප්‍රමාණයක සේවකයින් 14,000 කට අධික පිරිසක් ඇන්සෙල් සමාගම විසින් සේවයේ යොදවා ඇති අතර තිරසාර බව පදනම් කරගනිමින් සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් පොසිල ඉන්ධන පරිභෝජනය අවම කිරීම ප්‍රධාන අරමුණක් වී ඇත.

1989 වසරේ බියගම අපනයන සැකසුම් කලාපයේ ආරම්භ කරන ලද ඇන්සෙල් ලංකා සමාගම, ඇන්සෙල් සමූහයේ විශාලතම නිෂ්පාදන මධ්‍යස්ථානය වන අතර එහි සේවකයින් 2,800කට වැඩි පිරිසක් සේවය කරනු ලබයි. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා තාප ශක්තිය ප්‍රධානා අවශ්‍යතාවයක් වන අතර ඇන්සෙල් ලංකා ආයතනය ආරම්භයේ සිටම තාප ශක්තිය නිපදවීම සඳහා ප්‍රධාන ඉන්ධනය ලෙස දැවි තෙල් භාවිතා කරන ලදී.

කෙසේ වෙතත් 2009 වසරේදී සමාගම තාපය උත්පාදනය සඳහා ප්‍රධාන ඉන්ධනය ලෙස දර කැබලි භාවිතා කිරීම ආරම්භ කරන ලදී. මෙම වෙනස ඇන්සෙල් ලංකා හි තිරසාරභාවය සහ එහි පාරිසරික බලපෑම අවම කිරීම සඳහා වූ කැපවීමේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරන ලදී.

ඇන්සෙල් ලංකා විසින් 2009 වසරේදී පළමු දර කැබලි භාවිතා කරන තාප උත්පාදක යන්ත්‍රය ඉදි කළ අතර එමඟින් දැවි තෙල් පරිභෝජනය දිනකට ලීටර් 23,000 කින් සහ වසරකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 11,000 කින් අඩු කරන ලදී. 2014 වර්ෂයේ ව්‍යාපාරයේ වර්ධනය, නිෂ්පාදන ධාරිතාවය ඉහල යාමත් සමඟ දෛනික දැවි තෙල් භාවිතය ලීටර් 29,000 කින්  සහ වසරකට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ටොන් 14,000 කින් අඩු කරමින්  දර කැබලි භාවිතා කර තාප උත්පාදනය කරන තවත් යන්ත්‍රයක් ඉදි කරන ලදී. 2018 වර්ෂයේ දී තුන්වන දර කැබලි භාවිතා කරන තාප උත්පාදක යන්ත්‍රය ද ඉදිකළ අතර ඉන් ද  දැවි තෙල් භාවිතය දිනකට ලීටර් 29,000 කින්  සහ කාබන්ඩයොක්සයිඩ් විමෝචනය වසරකට ටොන් 14,000 කින් අඩු කිරීමට හැකියාවක් ලැබුණි. මෙලෙස පොසිල ඉන්ධන ආශ්‍රිතව සිදුවන විමෝචනය වසරකට ටොන් 39,000 ක් වැනි ඉතා විශාල අගයකින් අඩු කිරීමට ඇන්සෙල් ලංකා සමාගමට හැකි වී ඇත.

දර කැබලි භාවිතය වැඩිවීමත් සමගම UNDP අරමුදල් ව්‍යාපෘතියක් වන තිරසාර දර කැබලි නිෂ්පාදනය තහවුරු කරන SLS 1551:2016 සහතිකය ලබා ගනිමින් එහි පාර්ශව කරුවන් වීමටද ඇන්සල් ලංකා සමාගම තීරණය කරන ලදී. තිරසාර භාවිතයක් නොමැතිව තම අවශ්‍යතාව ඉෂ්ට කර ගත නොහැකි බවට ආයතනයද අවබෝධ කරගෙන සිටි නිසාත්, සුදුසු හා විශ්වාසදායක තිරසාර හවුල්කරුවන් හඳුනා ගැනීම සඳහාත්, වසර ගණනාවක සිට අඛණ්ඩව ගත් උත්සාහයන් මල්ඵල ගන්නවමින් 2022 වසරේදී ඇන්සල් ලංකා සමාගම සැපයුම්කරුවන් හට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමන SLS 1551:2016 තත්ත්ව සහතිකය හිමි තිරසාර දර කැබලි සැපයුම්කරුවන් බවට පත්කිරීමට ආරම්භය ගන්නා ලදී. ඒ ඔස්සේ යමින් 2024 වර්ෂයේ පෙබරවාරි මස වන විට ඇන්සෙල් ලංකාහි සියලු දර කැබලි සැපයුම්කරුවන් තිරසාර සැපයුම්කරුවන් බවට පත්වී හමාරය.


RECOMMEND POSTS