ලොක්ඩවුන් මැද අපනයන අභියෝග



“අපනයනය කරනවා ද නැතිනම් විනාශ වෙනවාද” යන ආර්ථික උපදේශය අන් කවරදාකටවත් අද වනවිට ශ්‍රී ලංකාවට ගැලපේ.

අභියෝගාත්මක පරිසරය

‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙමින් තිබෙන අතර ‘ලොක්ඩවුන්’ සීමා දීර්ඝ කර තිබේ. මේ අතරවාරයේ දී රටේ අපනයන ධාරිතාවට බාධාවක් නොවෙන්නට ආණ්ඩුව සියලු උපරිමයෙන් කටයුතු කරමින් සිටියි. කෙසේ නමුත් වෙනසක් කිරීමට නම් අපනයනවල තිරසර වර්ධනයක් අවශ්‍ය අතර අපනයන තරගකාරීත්වය වැඩි කරන ආකාරයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු වේ.

‘කොවිඩ්-19’ සීමා

‘කොවිඩ්-19’ වයිරසයේ ව්‍යාප්තියෙන් හෝ එය සීමා කිරීමට පනවා තිබෙන ‘ලොක්ඩවුන් සීමාවලින්’ රටේ අපනයන වර්ධනයට බාධා එල්ල නොවන බව තහවුරු කළ යුතු ය. රටේ දැන් පවතින තත්ත්වවලින් අපනයන කර්මාන්තයට බාධා එල්ල නොවීම තහවුරු කරන අතරවාරයේ ම තිරසර අපනයන වර්ධනය සඳහා සහන සහ ඒවා දිරිමත් කිරීමට වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීම ද අනිවාර්යයෙන් කළ යුතු වේ. අපනයන වර්ධනයට තිබෙන අර්බුද සහ බාධක සියල්ල විසඳීමට පියවර ගත යුතු අතරම අපනයන වර්ධනය දිරි නොගන්වන කාරණා සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු ය.

අපනයනයේ වැදගත්කම

රටේ විදේශ විනිමය සංචිත අඩු වීම, විදේශ ණය නැවත ගෙවීම්, ආනයන වියදම් වැඩි වීම සහ සංචාරක ආදායම් නොලැබීම යනාදිය මධ්‍යයේ අපනයන වර්ධනය කෙරෙහි තිබෙන විශේෂ වැදගත්කම වැඩි වී තිබේ.

එමෙන්ම වර්තමානයේ අපනයන කාර්යසාධනය සෑහීමකට පත්විය හැකි මට්ටමක තිබුණ ද රටේ වත්මන් විදේශ විනිමය අවශ්‍යතාවලට මුහුණ දීමට එය ප්‍රමාණවත් නොවේ. මේ තත්ත්වය, රටේ වත්මන් ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දීමට විදේශීය සහාය අවශ්‍ය වේ. එමෙන්ම අපනයන තරගකාරී ආර්ථිකයක් සංවර්ධනය කිරීම ආර්ථික ප්‍රතිසංස්කරණ ද අවශ්‍ය වේ.

‘කොවිඩ්-19’ පාලනය

ජාත්‍යන්තර අත්දැකීම් දෙස බැලීමේදී ‘කොවිඩ්-19’ පාලනය ඉතාමත් දුෂ්කර බව පෙනී යයි. එමෙන්ම වෛද්‍ය උපකරණ/සැපයුම් සහ එන්නත්වලට විශාල විදේශ වියදමක් දරන්නට සිදුව තිබේ.

ආනයන වියදම්

ශ්‍රී ලංකාව සිය ආනයන වියදම් සපුරාගන්නේ ඉතා අපහසුවෙනි. රටේ විදේශ විනිමය සංචිත ඉතා දරුණු ආකාරයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන තුනටත් අඩු වී තිබේ. ඊට අමතරව ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ආර්ථික නිමැවුම ද පහළ යමින් තිබේ.

අපනයන කර්මාන්ත

‘කොවිඩ්-19’ අවදානමත් සමඟ අපනයන නිෂ්පාදන/කර්මාන්ත ද සීමා වීමේ අවදානමක් තිබේ. ආර්ථික ක්‍රියාකාරකම්වලින් නිමැවුම් අහිමි වීම සහ ආර්ථික ක්‍රියාකාරකම් සීමා වීම හේතුවෙන් රැකියා අහිමි වීම් සහ ආදායම් අහිමි වීම් සිදු වේ. එය දැනටමත් සිදුව තිබෙන අතර විරැකියාව සහ දරිද්‍රතාව ද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ.

ආර්ථිකය යම් කාලයකට වසා ආර්ථික කටයුතු නවතා දම ජීවනෝපාය අහිමි වන ජනතාවට ආදායම් සැපයීමටත් ඔවුන්ගේ ජීවනෝපායවලට සහාය වීමටත් ජන ජීවිතය පවත්වාගෙන යෑමටත් සංවර්ධිත රටවලට හැකියාව තිබේ. සංවර්ධිත රටවලට එලෙස යම් කාලයකට ආර්ථිකය වසා දැමීම සිදු කළ හැකි ය.  මූල්‍ය සම්පත් (මිලදී ගැනීම් කළ හැකි මුදල් යනාදිය) ඇති සහ විදේශ මුදල් සංචිත ඇති රටවලට යම් කාලයක් සඳහා භාණ්ඩ සහ සේවා නිෂ්පාදනය කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය

ශ්‍රී ලංකා ආර්ථිකයට මෙම සම්පත්/මූලාශ්‍ර නොමැති අතර රාජ්‍ය මූල්‍ය ද තිබෙන්නේ ඉතාම දරුණු අඩියක ය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමෙන් සමස්තය ම මෙන් වියදම් වෙන්නේ ණය ගෙවීමට, රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවීමට ය. විදේශ සංචිත ද ඇත්තේ ඉතාම දුර්වල මට්ටමක ය. විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන තුනටත් අඩු ය.

ලොක්ඩවුන්

රටේ ආර්ථිකය ඇති දරුණු සහ දුෂ්කර තත්ත්වය හේතුවෙන්‌ ‘ලොක්ඩවුන් සීමා’ පැනවීම ඉතා අවදානම් කාර්යය කි. ‘ලොක්ඩවුන් සීමා’ පැනවීමෙන් ජනතාවගේ ජීවනෝපාය අනතුරේ හෙළන අතර රටේ ආර්ථික ස්ථාවරත්වය ද අවදානමේ හෙළ යි. රටේ විදේශ සංචිත ද තිබෙන්නේ දුර්වල මට්ටමක ය. එබැවින් රටේ අපනයන නිෂ්පාදනය සැලකිය යුතු වේගයෙන් සිදුවීම තහවුරු කිරීම අත්‍යවශ්‍ය සහ ඉතා වැදගත් කාර්යයක් බවට පත්ව තිබේ.

වැදගත් ම කරුණ

‘ලොක්ඩවුන් සීමාවලින්’ විශේෂයෙන්ම අපනයන නිෂ්පාදන ඇතුළු ආර්ථික ක්‍රියාකාරකම් බාධා එල්ල නොවීම තහවුරු කිරීම මේ මොහොතේ තිබෙන වැදගත් ම කාරණය යි. ‘ලොක්ඩවුන් සීමා’ තිබෙන මොහොතේ වුවත් “අත්‍යවශ්‍ය ආර්ථික ක්‍රියාකාරකම්”වලට අවසර දී තිබේ.

ආහාර, ඖෂධ යන අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සහ නිෂ්පාදනය මෙන්ම බැංකු යනාදිය සේවා පවත්වාගෙන යෑම ද ඊට ඇතුළත් ය. මේ ලොක්ඩවුන් සීමාවලින් ‘කොවිඩ්-19’ පාලනය කළ හැකි ද යන්න නැද්ද තීරණය වනු ඇත්තේ කාලයත් සමඟ ය.

තර්ජන

රටේ අපනයන වර්ධනයට තර්ජන පැමිණෙන්නේ ‘කොවිඩ්-19’ වසංගතයෙන් පමණක් නොවේ. ‘කොවිඩ්-19’ වසංගතයෙන් අපනයන වර්ධනයට එල්ල වන දුෂ්කරතා සහ තර්ජන කාලයත් සමඟ පහව යනු ඇත. කෙසේ නමුත් අපනයනකරුවන් මුහුණ දෙන අනෙක් ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතු ය. අපනයනකරුවන් දිරි නොගන්වන කරුණු සහ අනෙක් දුෂ්කරතාවලට විසඳුම් සෙවිය යුතු වේ.

ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කරගැනීම ද අපනයන වර්ධනයට තිබෙන තර්ජනයකි. ජී.එස්.පී. ප්ලස් සහනය ඉවත් කරගැනීමෙන් ඇතැම් අපනයන ක්ෂේත්‍රවලට දරුණු අවාසිවලට මුහුණ දීමට සිදුවන බවත් ඇතැම් අධෛර්යට පත් කිරීම් සිදුවන බවත් ආණ්ඩුව තේරුම් ගත යුතු ය. ඇඟලුම්, මුහුදු ආහාර සහ මත්ස්‍ය අපනයන සහ අනෙකුත් ඇඟලුම්, මුහුදු ආහාර සහ මත්ස්‍ය අපනයන සහ අනෙකුත් කාර්මික අපනයන ඊට ඇතුළත් ය.

රාජ්‍ය තාන්ත්‍රිකභාවය

කිසිදු වුවමනාවක් සැලකිල්ලක් නොදක්වමින් මේ කරුණු කාරණා කළමනාකරණය කරන ආකාරය කනගාටුදායක ය. මෙම අවදානම් සහගත සහ තර්ජනාත්මක කරුණු කාරණා විසඳාගැනීමට වඩාත් සාමකාමී සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශ අවශ්‍ය කෙරේ.

මුලින්ම ලෝක වෙළෙඳ සංවිධානයේ ගිවිසුම්වල කඩකර තිබෙන කොන්දේසි සියල්ල නිවැරැදි කළ යුතු ය. ලෝක වෙළෙඳ සංවිධානයට ආනයන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දැනුවත් කර ඔවුන්ගෙන් සහන සඳහා අවසර ලබාගැනීම ද ඊට ඇතුළත් ය. ශ්‍රී ලංකාව මානව හිමිකම්වලට ගෞරව කරන රටක් බව ජාත්‍යන්තරයට ඒත්තු ගැන්විය විය යුතු ය. ඒ සඳහා තවදුරටත් මානව හිමිකම් උල්ලංඝනය නොකර එය ඒත්තු ගැන්වීම සඳහා වඩාත් සාමකාමී සහ සන්සුන් ප්‍රවේශයක් ගත යුතු ය.

ආනයන ප්‍රතිපත්ති

දැනට පවතින ආනයන ප්‍රතිපත්ති හේතුවෙන් ලෝක වෙළෙඳ සංවිධානයේ රෙගුලාසි කඩවනවා පමණක් නොව දරුණු අභියෝගවලට ද මුහුණ දීමට සිදුවේ. මේ වනවිට අමුද්‍රව්‍යවල හිඟයක් මෙන්ම ඇතැම් යෙදවුම් ද හිඟ වී තිබේ. මේ තත්ත්වය නිසා අවිනිශ්චිත තා ඇතිවන අතර ඒ හේතුවෙන් පිරිවැය වැඩි වේ. මේ නිසා වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කිරීමේ දැඩි අවශ්‍යතාවයක් තිබේ.

කාර්යසාධනය

මෙම අභියෝගාත්මක පරිසරය මධ්‍යයේ වුව ද වාසනාවකට හෝ දෛවය/අහම්බෙන් හෝ අපනයන නිෂ්පාදන දැඩි ප්‍රතිරෝධයක් පෙන්වා තිබේ. ‘කොවිඩ්-19’ වසංගතය ව්‍යාප්තිය සහ රටපුරා පවතින ‌’ලොක්ඩවුන්-19’ සීමා මධ්‍යයේ අපනයන ආදායම් වැඩි වී තිබේ. මේ වසරේ පළමු අර්ධයේ දී ද අපනයන ආදායම වැඩි වී තිබෙන අතර මේ වසරේ ජූනි සහ ජූලි මාසවලදී ද අපනයන ආදායම් වැඩි වී තිබේ. අපනයන ආදායම් මේ වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියනයක් දක්වා ඉහළ ගොස් තිබේ.

දීර්ඝකාලීන දැක්ම

ශ්‍රී ලංකාව අතීතයේ සිටම අපනයන-ආනයන ආර්ථිකයක් විය. එය ඉදිරියටත් එසේ ය. අනෙක් කුඩා රටවල් මෙන්ම අපේ පැවැත්ම සහ සෞභාග්‍යය තීරණය වන්නේ අපේ අපනයනවල වර්ධනය මත ය. මේ තත්ත්වය නිසා රටේ ආර්ථික පරිසරය සහ ආර්ථික ප්‍රතිපත්ති අපනයන තරගකාරීත්වය ඉහළ නංවන සහ ඊට උපකාරි වන ආකාරයේ ඒවා විය යුතු ය. කොටින්ම රටේ ආර්ථික පරිසරය සහ ප්‍රතිපත්ති අපනයන ක්ෂේත්‍රයට හිතකර ඒවා විය යුතු ය.

මුලින්ම ර‌ටේ අනාගතය රැඳී තිබෙන්නේ ආනයනවලට ආදේශ කිරීමෙන් යන ආකල්පය වෙනස් කළ යුතු ය. එය මුල්ම පියවර යි. රටේ අපනයන ජාත්‍යන්තර වශයෙන් තරගකාරී කිරීම සඳහා සැලකිය යුතු ප්‍රමාණයකින් රටේ ආර්ථික සහ වෙළෙඳ ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු ය.

වෙළෙඳ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ

වෙළෙද ප්‍රතිපතිත් ප්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාව සහ වැදගත්කම ප්‍රමාණවත් පරිදි අවබෝධ කරගෙන නැති බවක් පෙනී යයි. එමෙන්ම අපනයන සහ ආනයන එකම කාසියේ දෙපැත්ත යන කවුරුවත් දන්නා ආර්ථික සත්‍යය ද ප්‍රතිපත්ති සම්පාදකයන් ප්‍රමාණවත් පරිදි අවබෝධ කරගෙන නොමැති බව පෙනී යයි. අපනයන කර්මාන්තයෙන් සාර්ථක වී ඇති රටවල ආනයනවලට පනවා ඇත්තේ අඩු සීමා යන සත්‍යය ද ඔවුන් අවබෝධ කරගෙන නැති බවක් පෙනී යයි. ඊට හොඳම උදාහරණය සිංගප්පූරුව යි.

ප්‍රධාන කරුණු

අපනයන වැඩි කිරීම අත්‍යවශ්‍ය කරුණකි. විශේෂයෙන්ම මෙවැනි මොහොතකත්, ඉදිරි කාලයේ දී අපනයන කාර්යසාධනය විදේශ මූල්‍ය. රැකියා/රැකියා නියුක්තිය, ආදායම්, සහ රටේ සැලකිය යුතු පිරිසකගේ ජීවනෝපාය සහ ඉතා වැදගත් වේ. වත්මන් ආර්ථිකය තත්ත්වය, හෝ ඒ ආකාරයේ තත්ත්වයකදී, විශේෂයෙන්ම විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන තුනටත් අඩු වී තිබෙන මොහොතක වෙළෙඳ ශේෂය වැඩි වීම රටේ ආර්ථිකයට දරාගත නොහැකි ය.

එමෙන්ම ආනයන සීමා කිරීම ද සාධනීය කරුණක් නොවේ. ඊට අමතරව ආනයන සීමා රටේ අපනයනවලට අහිතකර ලෙස බලපෑම් එල්ල කරන අතර විශේෂයෙන්ම අපනයනවල ඉහළ ආනයන අන්තර්ගතයක් තිබෙන බැවින්, එය බෙහෙවින් අහිතකර වේ.

ආර්ථිකය පණ ගැන්වීමට නම් ‘කොවිඩ්-19’ වසංගතය මර්දනය කළ යුතු ය. එය අත්‍යවශ්‍ය කොන්දේසියක් වුවත් වසංගතය පාලනය කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ. ‘කොවිඩ්-19’ සීමා පනවමින් නිවැරැදි ඒවා ක්‍රියාත්මක කරන අතරවාරයේ දී එම සීමාවලින් අපනයන නිෂ්පාදනයට කිසිදු බලපෑමක් සිදු නොවන බව ද තහවුරු කරගත යුතු ය. එම ක්‍රියාමාර්ග පමණක් ද ප්‍රමාණවත් නොවේ. අපනයන පුළුල් කිරීම සඳහා වෙළෙඳ ප්‍රතිපත්ති ද උපකාරී විය යුතු ය.

ආනයන සීමාවලින් අපනයන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සීමා නොකළ යුතු ය. කෙසේ නමුත් දැනට පෙනෙන ආකාරයට සිදුවෙමින් තිබෙන්නේ එය යි. ඍජු හෝ වක්‍ර බදුවලින් මෙන්ම තීරුබදුවලින් අපනයන සඳහා අමුද්‍රව්‍ය සීමා නොකළ යුතු ය. එපමණක් නොව එවැනි බදුවලින් එම අමුද්‍රව්‍යවල පිරිවැය ද වැඩි නොකළ යුතු ය. එසේ බදුවලින් ආනයනය කරන අමුද්‍රව්‍යවල පිරිවැය වැඩි වුවහොත් එමඟින් නිෂ්පාදනවල පිරිවැය වැඩි වන අතර එම නිසා අපේ ජාත්‍යන්තර තරගකාරීත්වය අඩු වනු ඇත.

අවසාන වශයෙන්

අපනයන ආදායම් වැඩි කරගැනීමට නම්, සරලවම අපනයන වර්ධනය කරගැනීමට නම් ප්‍රතිපත්ති රැසක් මෙන්ම ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ ද කළ යුතු වේ. විශේෂයෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මිල සහ ගුණාත්මකභාවය තහවුරු කරමින් තරගකාරීත්වය සුරක්ෂිත කරගැනීම අවශ්‍ය කෙරේ. එම නිසා ‘කොවිඩ්-19’ සීමාවලින් අපනයන කර්මාන්තවලට බාධා එල්ල වීම අවම කිරීම පමණක් ප්‍රමාණවත් නොවේ.

ආචාර්ය නිමල් සඳරත්න මහතා
සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියූ ලිපිය
සිංහලට පරිවර්තනය කළේ හර්ෂණ තුෂාර සිල්වා විසිනි.

RECOMMEND POSTS

RELATED POSTS