සමන් මාමාගේ රස කතා - සෙරප්පුව



සමන් මාමාට වෙච්ච අකරතැබ්බක් තමයි මේ.

සමන් මාමා උදේ කන්තෝරුවට එන්නේ රුහුණේ. යන්නෙත් රුහුණේ.

ඔන්න ඉතිං හරියට හවස 2.59 වෙද්දී සමන් මාමා හෙමින්ම කන්තෝරුවෙන් මාරු වෙනවා.

හවස 3 වෙද්දී හදන රසම රස තේ එක බොන්නෙත් නැහැ. ‘අනේ සමන් මාමි තේ බිලා යන්නකෝ’ කියලා කන්තෝරුවේ දැරියක් කෑ ගහනවා. කවුරු කොහොම කීවත් සමන් මාමාගේ ගමන නවත්වන්න පුළුවන් ජගතෙක් නැහැ.

රුහුණේ ඒ කියන්නේ රුහුණු කුමාරි පටන් ගන්නේ, මරදානෙන්. ඉතිං සමන් මාමා ඉක්මනින් දුවනවා මරදාන ඉස්ටේෂමට. මගදී  ගාමිණී හෝල් ළග තියෙන ලොතරැයි කූඩුවට ඔලුව දාන්නත් අමතක කරන්නේ නැහැ හැබැයි.

රුහුණු කුමාරි මරදානේ අහවල් වේදිකාවට එද්දී සැපට වාඩි වෙලා යන්න උනන්දුවෙන් ඉන්න කවුරු කවුරුත් පැනලා පොරකාලා එල්ලෙනවා. එහෙම තමයි ඉතිං සීට් අල්ල ගන්නේ.

හැබැයි අපේ සමන් මාමා එහෙම නැහැ. තලත්තෑනි මනුස්සයානේ. එයාට තියෙන්නේ ඉතිං මාර මොළයක්. ඇත්තම කීවොත් සමන් මාමා කියන්නේ මොළ ගෙනාපු නැවක්. 

රුහුණ ඇවිත් කට්ටිය පොර කාලා නගිද්දී, සමන් මාමා කරන්නේ හෙමින් ජනේලෙන් එයාගේ පිටකොටුවෙන් දාහට ගත්තු සෙරප්පු දෙකෙන් එකක් සීට් එක උඩින් තියන එකයි.

කට්ටිය පොර කාලා නගිනවා. සමන් මාමා රිලැක්ස් එකේ නගිනවා. මොකද සමන් මාමා දන්නවා සෙරප්පුව තියෙන සීට් එක තමන්ගේ. රිසර්ව් කරලා නොවැ තියෙන්නේ.

එදත් සමන් මාමා සුපුරුදු පරිදි සෙරප්පු දෙකෙන් එකක් ගලවලා ජනේලෙන් සීට් එක උඩින් තිබ්බා.

ගෑනු පරාණ එහෙම පොර කාලා පෙට්ටියට නැග්ගලු. සමන් මාමා හිනාවෙවී බලන් ඉදලා පුල් රිලැක්ස් එකේ ඔක්කොම නැග්ගට පස්සේ පෙට්ටියට නැගලා සෙරප්පුව තියලා තිබුණු සීට් එක ළගට ගියාලු.

යකෝ, මෙන්න බොලේ ඇගපත තියෙන හාදයෙක් සෙරප්පුව තියලා අල්ලා ගත්තු සීට් එකේ වාඩි වෙලා. මිනිහා සීට් එක අල්ලන්. සමන් මාමා බැලුවා, සෙරප්පුවත් පේන්න නැහැ.

‘මම සෙරප්පුව තියලා සීට් එක ඇල්ලුවානේ’ සමන් මාමා ඒ හාදයට කිව්වාම, ඒ හාදයට කේන්ති ගියා. ‘ඕයි. මේක තමුසෙගේ අප්පගේ කෝච්චියද සීට් අල්ලන්න.’මිනිහා ඇගට ගොඩ වුණා.

සමන් මාමාට හීන් දාඩිය දාලා. අහල පහල හිටිය ඇහැට කණට පේන ගෑල්ලමයි ටිකක් කට අල්ලන් හිනා ලු.

මේ හාදයා එක්ක වාද කළොත් ෂොට් එක හම්බ වෙනවා සමන් මාමාට තේරුණා. සමන් මාමා සැරැන්ඩර් උණා. ‘බුදු අයියේ. සීට් එපා. කෝ අයියේ මගේ සෙරප්පුව’ සමන් මාමා ඇහුවා.

‘සෙරප්පු මං විසි කළා එළියට’ මෑන් කිව්වා. මෑන්, සමන් මාමාගේ අර කොටුවෙන් ගත්තු සෙරප්පු කුට්ටමේ සෙරප්පුව රේල් පාරේ අනෙක් පැත්තට විසි කරලා. ජංජාලයයි.

සමන් මාමා ‘අනේ අපොයි’ කියලා සෙරප්පුව ගන්න බලද්දී මෙන්න බොලේ කොහෙද ඉදන් තවත් කෙච්චියක් ඇවිල්ලා ඒ වේදිකාවේ ගැහුවා.

සෙරප්පුව රේල් පාරේ, රේල් පාර උඩ කෝච්චියක්.

දැන් සෙරප්පුව ගන්න විදියක් නැහැ. සමන් මාමා ගියා දුම්රිය​ සේවක මහත්මයෙක් හොයාගෙන. ‘අනේ මල්ලි, මගේ සෙරප්පුව වැටුණා. ඒක ගන්න කොස්සක් නැද්ද? කොස්සක්?’ සමන් මාමා බැගෑපත් වුණා.

හම්බ වුණු කොස්සත් අරන්, සමන් මාමා දුවලා ගියා අනෙක් පැත්තේ වේදිකාවට. රේල් පාරට බැහැලා බඩ ගාලා කොස්ස දාලා සෙරප්පුව ගත්තා. ඒක වෙනම යුද්ධයක් වගේ තමයි.

දැන් සෙරප්පු දෙකම තියෙනවා.

හිටගෙන හරි ගෙදර යනවා කියලා සමන් මාමා ආපහු රුහුණු කුමාරි දිහා බැලුවා.

අපොයි. මෙන්න රුහුණු පිටත් වෙලා යනවා.

අපොයි. වෙච්ච දෙයක්.


RECOMMEND POSTS