සතුන් වතු කුමකට ද



 

“සතා - සිවුපාවා - ගහකොළ ඈ සියලු ප්‍රාණීහු, එකම ජීව වායුව බෙදාගනිති. සතා - සිවුපාවා නැතිව, මිනිසාට කුමක් සිදුවේද? සියලු සතා - සිවුපාවා නැතිවී ගියහොත්, අධ්‍යාත්මයේ මහා පාළුවකින් හා සංවේගයකින් මිනිස්සු මැරීයෙති. මක්නිසාදයත්, සතාට - සිව්පාවාට සිදුවන දේ මිනිසාටත් සිදුවන හෙයිනි. සියල්ල එකිනෙක හා සම්බන්ධයි. දෙරණ තලයට යමක් සිදුවේද, මිහිතල මාතාවගේ දරුවන්ටත් එය සිදුවේ.”

රතු ඉන්දියානු නායක සියැට්ල් (1786-1866)
(මහපොළොවේ අයිතිය ඉල්ලා සිටි ඇමෙරිකා ජනාධිපතිට 1855 හේදී ලියූ පිළිතුරෙන්)

 

සත්තු වත්තක, මාර්තු පළමුවනදා සිදුවූ අති කම්පාදායී ඝාතනයකින්, ලෝකයේ මිනිස් ගුණැති බොහෝදෙනා, දැඩි දුකට පත්වූහ. මරා දමන ලද්දේ සුදු රයිනෝසිරසෙකි. සතාගේ වයස අවුරුදු හතරයි. නම වින්ස්.


මේ සතාගේ නිවස වූයේ ප්‍රංශයේ පැරිස් නගරයේ සීමාවට කිට්ටු තොයිරි නම් සත්තු වත්තයි.


යුරෝපා ඉතිහාසයෙහි මෙයට පෙර කිසිකලෙක මෙවැනි අපරාධයක් සිදු නොවීය. මේ අපරාධය සිදුකළ අමානුෂික දාමරිකයෝ, සත්තු වත්තේ ප්‍රධාන දොරටුව බිඳගෙන ඇතුළුවූහ. තවත් ආරක්ෂක කඩුලු කිහිපයක්ද කඩා දැමූ ඔවුහු, සත්තු වත්තේ ඒ මොහොතේ සිටි පස්දෙනාට නොදැනෙන සේ එහි ගියහ.


ඔවුන් ඒ සුදු රයිනෝසිරසා ඝාතනය කළ තැන, තවත් රයිනෝසිරසයන් දෙදෙනෙක්ද සිටියහ. නිලධාරීන් පසුවදා උදෑසන එහි පැමිණි විට ඔවුන් දුටුවේ මේ නින්දනීය ඝාතනයයි. ඒ සතාගේ හිසට වෙඩි තුනක් තබා තිබිණ. ඒ ඝාතකයන් විසින් එම සුදු රයිනෝ සිරසාගේ අඟ කියතකින් කපා තිබුණේය. සතුන්ගේ අභය භූමියේදීම මේ ඝාතනය සිදුවීම නිසා ලෝකයාගේ සැනසිල්ල ඇවිස්සුනේය.


ගණන් බලා තිබෙන ආකාරයට මේ කපාගන්නා ලද අඟෙහි වටිනාකම ඩොලර් 40,000ක් පමණ වේ. ශ්‍රී ලංකාවේ මුදලේ ක්‍රමයට අනුව ඒ වටිනාකම රුපියල් හැටලක්ෂයකට කිට්ටුය.


මේ ඝාතනයේ මූලික හේතුව, ඒ අඟෙහි වටිනාකමයි. රයිනෝ අං කිලෝවක් ශ්‍රී ලංකාවේ මුදලින් කෝටි හතක් පමණ වෙයි. ඒ නිසා මේ අං වලින්, ලදහැකි ආදායම රන් වෙළඳාමෙන් හෝ කුඩු ජාවාරමෙන් හෝ ලැබෙන ධන ප්‍රමාණයටත් වඩා අධිකයි.


පසුගිය අට අවුරුද්ද තුළ පමණක් ලෝක රයිනෝ සංඛ්‍යාවෙන් හතරෙන් පංගුවක් පමණ ඝාතනයට ලක්වූහ. ලෝකයේ රයිනෝසිරස් සත්ව වර්ගයාගෙන් සියයට අසූවක් වෙසෙන්නේ දකුණු අප්‍රිකාවේය.


ප්‍රංශයේ සත්තු වත්තේ සිදුවූ ඝාතනයෙන් වැඩියක්ම කම්පාවූයේ ලෝකයේ සත්තු වතු පාලනය කරන අයයි.


මෙවැනි රයිනෝ ඝාතන වැළැක්වීම සඳහා බෙල්ජියමේ සත්තු වත්තක නිලධාරීහු එහි රයිනෝ සිරසයන්ගේ අං කොටට කැපූහ.
මේ හද සසල කරන ඝාතනය, දුර්දාන්ත කණ්ඩායමක ක්‍රියාවකි. එක් රයිනෝ අඟක් ඇතැම් විටෙක කිලෝ හතරකටත් වඩා බරය. මේ සා මිලක් ගෙනෙන රයිනෝ අඟ තැනෙන්නේ “කෙරටින්” වලින්. මිනිසුන්ගේ නියපොතු සහ කේශ තැනී ඇත්තේ ඒවායිනි.
ලොව පුරා අද ඉතිරිවී සිටින්නේ රයිනෝ සිරසයන් 25,000 කි. වර්ෂයකට උන් අතුරෙන් 1400 ක් පමණ ඝාතනය කෙරෙන නිසා රයිනෝසිරසා සහමුලින්ම නැතිවීයෑමේ තර්ජනයකට මුහුණපා සිටියි.


මේ රයිනෝ ඛේදවාචකය ලොව පුරා පැතිර ගියේ, සත්වෝද්‍යාන (සත්තුවතු) පවත්වාගෙන යෑමේ ක්‍රමවේදය, වෙනස් කරන්නට, ජගත් ව්‍යාප්ත නව උද්යෝගයක් හටගෙන තිබෙන සමයකයි.


ලොව හැම පෙදෙසකම පාහේ සත්වෝද්‍යාන චාරිකාව, මිනිසුන්ගේ විනෝදචර්යාවල ප්‍රධාන තැනක් ගන්නා ක්‍රියාදාමයකි. මෙහිලා ප්‍රබලම නිදර්ශනය නම් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයයි. 2015 වර්ෂයේදී, ඒ දේශයේ දහහත් කෝටියක් දෙනා සත්තු වතු නරඹන්නට ගියහ.


සත්වෝද්‍යාන පිළිබඳ ඉතිහාසය, ඉතා ඈත යුගවලට විහිදෙන්නේය. බුදුහිමියන්, මෙයට අවුරුදු 2600 කට පමණ පෙර සිය මංගල දේශනාව වන “ධම්මචක්ක පවත්තන සූත්‍රය” ප්‍රකාශ කළේ බරණැස, ඉසිපතනයේ මිගදායේදීය. මේ මිගදාය යන පදය සත්ව අභයභූමිය යන අරුත දෙයි. මිග යනු මෘග යන පදයෙන් ආවකි. සියලු සත්ව වර්ගයාම මෘග යන වචනයෙන් හැඳින්විනි. සිංහයාට “මෘග රාජ” යන නම ව්‍යවහාර වේ. සියලු සත්වයන්ගේ රජු යැයි සැලකුනේ ඒ සත්වයා හෙයිනි. වානරයාට “ශාඛා මෘග” යැයි නමක් ඇත්තේය. රුක්වල ශාඛවල සත්වයා යැයි ඉන් කියවේ. එහෙත්, මිගදාය නම් සත්ව අභය භූමිය, ඉංගිරිසි පාලන යුගයේදී නම් කෙරුනේ DEER PARK (ඩියර් පාක්) වශයෙනි. මිග කියන්නේ මුවාට යැයි සිතා ඒ ඉංගිරිසි පදය යොදන්නට ඇත. ඒ සඳහා නියම නම ANIMAL SANCTUARY (සත්ව අභය භූමිය) යන්නයි.


පුරාණ කාලයේ පෙර අපර දෙදිගම රජුන් අතුරින් ඇතැම්මු සිය මාලිග භූමියට ආසන්න පෙදෙසක සත්ව උද්‍යාන පිහිටවූහ. දහසය වන දහහත් වන ශතවර්ෂවල, ලෝක චාරිකාවේ යෙදුණු ඇතැම් යුරෝපීයයෝ, තමන් සංචාරය කළ රටවලින් අල්ලාගත් දුර්ලභ සතුන් යුරෝපයට ගෙනවුත් උන් ප්‍රදර්ශනය කළහ. එහෙත් ඒවා මුළුමනින්ම “සත්වෝද්‍යාන” යැයි නම් කළ හැකි නොවේ.


ක්‍රමානුකූල ජගත් සත්වෝද්‍යාන අතුරින් පුරෝගාමී සත්තුවත්තක් වශයෙන් සැලකෙන්නේ ලන්ඩන් නගරයේ රීජන්ට් පාක් සත්තු වත්තයි. මේ සත්වෝද්‍යානය මුලින් ආරම්භ කෙරුණේ 1828 දීය. සතුන්ගේ හැසිරීම් පරීක්ෂා කරන තැනක් වශයෙන් ඒ ස්ථානය පිහිටුවාලූ අය පසුව ඒ සත්ව පර්යේෂණ මධ්‍යස්ථාන මහජනයාටත් නරඹන්නට ඉඩදුන්හ. එතැන් පටන් ලොව පුරා සත්වෝද්‍යාන සංකල්පය පැතිර ගියේය. අද ලෝකයේ ප්‍රධාන නගර සියල්ලේම පාහේ සත්වෝද්‍යාන ඇත්තේය.


එහෙත් කල් යෑමෙන් සත්තු වතු පිළිබඳ හැඟීම් වෙනස් වන්නට පටන්ගත්තේය. සත්ව කරුණාව, තිරිසනුන්ට දයාව දැක්වීම වැනි ගුණයන්ට සමාජයේ ඉඩකඩ ලැබෙන්නට පටන්ගත්විට, සතුන් කූඩුවල කොටුකොට ඔවුන්ගේ නිදහස නැතිකිරීම බැරෑරුම් වරදකැයි සමහර චින්තකයන්ට පෙනුණේය. සතුන්ගේ අයිතිවාසිකම් ගැන උද්යෝගීමත් ලෙස “සටන් කරන” පුද්ගලයන් හා කණ්ඩායම්, සතුන් හිරකොට කූඩුවල ලාගෙන සිටීම අකරුණාවන්තයැයි හඬනගන්නට වූහ. මේ අයට ඇහුම්කන් දීමෙනුත්, මිනිසාත් සතාත් අතර සබඳතා වඩාත් හෘදයාංගම ලෙස පවත්වාගෙන යෑමේ අරමුණෙනුත් අද ලොව, අලුත්ම වර්ගවල සත්වෝද්‍යාන තැනෙයි.


සතුන් හිරකොට කූඩුවල දමා ප්‍රදර්ශනය කිරීම වෙනුවට සතා සිවුපාවාගේ ස්වභාවික පරිසරයට බොහෝ සේ කිට්ටු නවාතැනක් තනාදීම නවීන සත්වෝද්‍යාන පාලකයන්ගේ කැපවීමයි.


මේ අනුව ඉතාම නවීකෘත සත්තු වත්තක් පිහිටුවා තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ෆිලඩෙල්ෆියා හිය. මේ නවීකෘත ෆිලඩෙල්ෆියා සත්වෝද්‍යානය, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පැරණිම සත්තු වත්තයි. මේ ආදිතම සත්වෝද්‍යානය නවීකරණය කොට තිබෙන්නේ එහි සිටින සතුන්ටත් නරඹන්නට එන අයටත් අලුත්ම හැඟීමක් ලැබෙන ආකාරයෙනි. එහි සිටින සත්තු එක් කූඩුවක හිර නොවෙති. ඔවුන්ට තරමක් ඈතට සැරිසරන්නට ඉඩකඩ සැපයෙයි.


මේ නවීකරණ න්‍යාය පත්‍රය නම්කෙරෙන්නේ “’Zoo360” වශයෙනි.


නව චින්තනයට අනුව සිය සත්වෝද්‍යාන වෙනස් කොටගෙන යෑම ඇතැම් සත්වෝද්‍යාන පාලකයන්ට බැරෑරුම් ප්‍රශ්නයක් වූයේය. ඇමෙරිකාවේ සියැට්ල්හි වුඞ්පාක් සත්වෝද්‍යානයේ ඉතාම ජනප්‍රිය සත්වයකු වූයේ එහි සිටින අලියාය. එහි “අලි කෙළි” දකින්නට දරුවෝ ඉතාම කැමතියි. මේ අලින් උදෙසා, ඒ සත්තු වත්තේ පාලකයෝ නවීනතම “අලි පියෙසක්” තැනූහ. වියදම ඩොලර් තිස්ලක්ෂයයි. එහෙත් මේ උද්‍යාන ව්‍යාපාරවල යෙදෙන අය, ඒ 1980 දී නිර්මාණය කළ “අලි පියෙස” අඩුපාඩු සහිත යැයි දොස් දැක්කහ. එහි අලින්ට ඉඩකඩ මදියැයිද ඒ අලි පියෙසින් අලි ඇතුන්ගේ ස්වභාවික වාසස්ථාන එතරම් හොඳට පිළිබිඹු නොවන්නේ යැයිද ඒ විචාරකයෝ කියා සිටියහ. ඒ දෝෂ දර්ශන හේතුකොටගෙන, ඉතාම ජනප්‍රිය “අලි පියෙස” වසාදමන්නට සත්තුවත්ත පාලකයන්ට සිදුවූයේය.


සත්තුවතු ගැන පළ කෙරෙන නවීනතම දර්ශනයේදී. ඉදිරිපත් කෙරෙන දෝෂ දර්ශනයක් වෙයි. ඉන් කියැවෙන්නේ “තාමත් මේ සත්වෝද්‍යාන වල සතුන් සිරකොට ගෙන ඔවුන්ට වධ හිංසා කෙරෙන්නේ යැයි” කියාය. අද යුගයට අනුරූප වන පරිදි සත්වෝද්‍යාන නිරූපනය කිරීමේ ව්‍යාපෘතියේ විශේෂඥයකු වන ජෝන් ඩෝ නම් සැලසුම් විද්‍යාඥයා කියන්නේ “මට පේන මූලික දුර්වලකමත් එයයැයි” කියාය.


අද මේ විසි එක්වන සියවසේදී, සත්තුවතු පැවැත්වීමේ තේරුම කුමක්දැයි විමසන්නට, මෙය නිසි පිවිසුමකි.


සත්වෝද්‍යාන පැවැත්වීම නිසා ඉටුවන ප්‍රධාන මෙහෙයක් නම්, මහ පොළොවෙන් හා අපගේ අහසින් ඉවත්වී, වඳවී යෑමේ අන්තරායට මූණපාන සත්ව වර්ග, යළිත් බෝවන තැනට පියවර ගත හැකිවීමයි.


සත්වෝද්‍යාන හා මීන මන්දිර පිළිබඳ සංවිධානය විසින්, සත්වෝද්‍යාන පාලකයන්ට දැඩි ලෙස කියා සිටින්නේ වඳවීගෙන යන සත්ව වර්ගයා බේරා ගැනීම සඳහා සිය අරමුදල් වලින් යටත් පිරිසෙයින් සීයට තුනක්වත් වෙන් කළ යුතු බවය.


මේ ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් නම් සත්ව වර්ග බෝකිරීමේ ව්‍යාපාරයයි. සත්වෝද්‍යාන සංවිධාන විසින් එසේ වඳවන්නට ඉඩනොදී රැකගත් සත්ව වර්ග සංඛ්‍යාව, තරමක් පෘථුලය. ඉන් ප්‍රධාන වන්නේ රතු වෘකයා සහ කැලිෆෝනියාවේ කොන්ඩොර් නම් දුර්ලභ ගණයේ රාජාලියායි. සත්වෝද්‍යාන විසින් මේ සතුන් වඳවීයෑම වළක්වා උන් ඒ සත්වයන්ගේ ස්වභාවික පරිසරයට මුදාහරින ලදී. ඒ නිසා දැන් ඒ සත්ව වර්ගයෝ ස්වභාවික ලෙස සිය සුපුරුදු පරිසරයෙහි බෝවෙති.


තවත් ඇතැම් සත්තු සිය ස්වභාවික පරිසරයෙහි බෝ නොවෙති. එහෙත්, සත්වෝද්‍යානයන්හි ඒ දුර්ලභ සත්වයෝ බෝවෙන්නට පටන්ගනිති. අලි ඇතුන්, සිංහයා, වළසුන් වර්ග ඒ සත්ව ගණයා පිළිබඳ නිදසුන්ය.


මේ සත්වෝද්‍යාන නිවාස නිසා වඳනොවී රැකුණු ඉතා ප්‍රසිද්ධ සත්ව විශේෂයක් නම් “යෝධ පැන්ඩා”ය. මේ වඳවීගෙන ගිය අති දුර්ලභ සත්ව විශේෂය යළිත් බෝකොට, උන් මහපොළොවෙන් තුරන් වී යෑම වළක්වා ලන්නට, සත්වෝද්‍යාන විශේෂඥයන් විසින් දරන ලද ප්‍රයත්න සම්භාරය, සත්ව ජීවීන් පිළිබඳ මහා කාව්‍යයක් වැනිය.


අන් හැමටම වඩා අගනා ක්‍රියාදාමය වශයෙන් මා දකින්නේ, කුඩා දරු දැරියන්ට පවා සත්ව කරුණාව, පුරුදු කිරීමට සත්වෝද්‍යාන සතු ප්‍රශස්ත ශක්තියයි.


ලෝකයේ බොහෝ සත්වෝද්‍යානවල ඉතාම ආකර්ෂණීය සත්ව විශේෂයක් නම් අලි ඇතුන්ය. අප්‍රිකාවේ සහ ආසියාවේ අලි ඇතුන්ගෙන් තොර සත්වෝද්‍යානයක් සොයාගත නොහැකි තරම්ය.


ඇමෙරිකා එක්සත් ජනපදයේ කන්සාස්හි සෙජිවික් ප්‍රාන්ත සත්වෝද්‍යානයේ අලි-ඇතුන්ට සුවිශේෂී සැලකිලි ලැබෙන්නේය. මේ අලි-ඇතුන් සඳහා අක්කර පහක භූමි භාගයක් වෙන්කොට ඇත්තේය. අලි-ඇතුන්ට සිය සගයන් නෑයන් සමග ඒ පෙදෙසේ නිදැල්ලේ හැසිරිය හැකිවේ.


ඒ අලි-ඇතුන් බලන්නට එන අයට බෝට්ටුවක නැගී ඒ අලි ජනපදය නැරඹිය හැකිවේ. අලි-ඇතුන් නිදහසේ හැසිරෙද්දී ඔවුන් බලන්නට එන අයටත් උන්ගේ නිදහසට බාධාවක් නොකොට ඔවුන්ට සිය සමාජ සුහදතා පවත්වා ගෙන යන්නට, ඉඩකඩ දිය හැකිවේ.


ලෝකයේ බොහෝ රටවල සත්වෝද්‍යානයන්හි අලි-ඇතුන්ට විශේෂ සැලකිලි ලැබෙන්නේ ඒ සත්ව වර්ගයා, කාටත් ප්‍රිය උපදවන්නන් වීමත් උන් දැන් ශීඝ්‍ර ලෙස වඳවී යෑමේ තර්ජනයට මූණපා සිටීමත් නිසාය.


මේ අලි-ඇතුන් රඳවාගෙන සිටීමේදී උද්ගතවන ප්‍රශ්න ගැන තියුණු පර්යේෂණ පවත්වා ඇත්තේය. අලි ඇතුන්ට උන්ගේ සමාජ සබඳතා යහතින් පවත්වා ගන්නට ඉඩකඩ ලැබෙන විට, උන් ඉතා හොඳින් ජීවත් වන බව ඒ පර්යේෂණ වලින් හෙළිවේ. එසේම ඒ සත්වෝද්‍යාන ගත අලි-ඇතුන් වඩාත් කැමැත්තේ, තමන්ගේ ප්‍රයත්නයෙන්ම ආහාර සම්පාදනය කොට ගැනීමේ අභියෝගය දිනාගන්නට බවත් සපථ වී ඇත්තේය. නියමිත වේලාවකට දෙන කෑමට වඩා තමන් කැමති විටෙක තමන් කැමති තැනකින් තමන්ගේම ආහාර ලබාගත හැකිවන සේ අලි පරිසරය සකස්කරන්නට, නවීන සත්වෝද්‍යාන පාලකයෝ පෙළඹෙති. උයනේ නිදහස සීමාවුවහොත් උන් වර්ගයා බෝකිරීමට පවා අකමැතිව කණස්සලු වන බවද පර්යේෂණ වලින් හෙළිවී ඇත්තේය. එනිසා සත්වෝද්‍යාන විද්‍යාඥයන් විසින් ලෝකයේ පිළිගත් සත්වෝද්‍යාන වලට නියමයක් නිකුත් කොට ඇත්තේය. “සත්වෝද්‍යානයක අලි-ඇතුන් තබාගන්නා විට යටත් පිරිසෙයින් අලි ඇතුන් තිදෙනෙක්වත් එකට තැබිය යුතුවේ. ඔවුන් උදෙසා පූර්ණකාලීන හස්ති විශේෂයෙක් පත්කළ යුතුවේ.”


දුර්ලභ, මහපොළොවෙන් සහමුලින්ම වඳවී යන සත්ව වර්ගයක් බෝකරන්නට සත්වෝද්‍යාන විශේෂඥයන් කණ්ඩායමක් විසින් දරන ලද ප්‍රයත්නයක් අසාර්ථක වූ විශේෂ ස්ථානයක් ගැනද නොබෝදා කරුණු හෙළිවූයේය.


ලෝකයේ අති දැවැන්ත පින්තා දිවයිනේ යෝධ ඉඳිබු වංශයේ අන්තිමයා වූයේ හුදෙකලාව වාසය කළ “ජෝජ්” නම් මහා ඉඳිබුවාය. වර්ගය බෝ කරන්නට ඌ කොපමණ පෙළඹීම් ලදත් ඒ යෝධයා රාජකාරිය ඉටුකළේ නැත. ඒ පෙළඹවීම් එකක්වත් ඌ ගණන් ගත්තේ නැත. සුප්‍රසිද්ධ ගැලපේගෝස් දිවයිනේ, ජෝජ්ට සමාන ඉඳිබු කාන්තාවන් විශේෂඥයන් විසින් ඌට හඳුන්වා දුන් නමුත් යෝධ ජෝජ් ඒ ගැන එතරම් උත්සුක නොවීය. ඒ නිසා ඌට සිදුවූයේ ඒ මහා යෝධ ඉබි පරපුරේ අන්තිමයා වශයෙන් පරපුරක් නොපිහිටුවා මැරීයන්නටයි. ඌ අභාවයට පත්වී දැනට වසර පහකි.


සත්වෝද්‍යාන වලින් ඉටුවෙන දේ අනාගතයේදී මීට වඩා විචිත්‍රවූත් විස්මය ජනකවූත් අයුරින් විකාශනය වන්නේය. සුඛෝපභෝගී භෝජනාගාර නවීන සුවපහසුකම් සහිත සත්වෝද්‍යාන නවාතැන් අනාගත සත්වෝද්‍යාන පරිච්ඡේදයේ ප්‍රධාන අංගයක් වෙයි.
අපේ දරුවන්ටත් සත්ව කරුණාව හා ජීවයට දයාවත් උගෙනගන්නට අපගේ සත්තු වත්තෙනුත් පිහිට ලද හැකිවේ.

 


RECOMMEND POSTS