සක්‍රීය පුරවැසිභාවයේ අවශ්‍යතාව



සක්‍රීය පුරවැසිභාවය සම්බන්ධයෙන් කලක පටන් ශ්‍රී ලංකාව තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබිණි. පුරවැසියන්ගේ එසේත් නැතිනම් රට වැසියන්ගේ නිද්‍රාශීලී ස්වභාවය, දේශපාලනය සම්බන්ධයෙන් සක්‍රීය නොවීමත් රටේ සමාජ, දේශපාලන සහ ආර්ථික කරුණු සම්බන්ධයෙන් ඇති අක්‍රීය ස්වභාවයත් සම්බන්ධයෙන් පාර්ශව ගණනාවකින් මෙන්ම තනි තනි පුද්ගලයන්ගෙන් මහජනතාවට දැඩි චෝදනාවක් එල්ල වී තිබිණි.

මැතිවරණයකදී ඡන්දය භාවිත කිරීමට එහා ගිය සක්‍රීය දේශපාලන මැදිහත්වීමක් රටේ මහජනතාව නොකරන බවට දේශපාලන යාන්ත්‍රණය තුළ සක්‍රීය මැදිහත් වීමක් කරන පාර්ශවවලින් මහජනතාවට චෝදනා එල්ල වී තිබිණි. මහජනතාව මැතිවරණයකදී පත් කර එවන මහජන නියෝජිතයන්, රාජ්‍ය තන්ත්‍රය තුළ සිටින නිලධාරීන් යනා දී සියලු මට්ටම්වල සිටින පුද්ගලයන් වංචා දූෂණ සිදු කරන්නේත් ඔවුන් වගකීම් විරහිත වන්නේත් කිසිදු වගවීමක් නැත්තේත් මහජනතාවගේ අක්‍රීය හෝ නිද්‍රාශීලි බව නිසා යැයි මහජනතාවට සමස්තයක් ලෙස චෝදනා එල්ල වී තිබිණි.

මෙවැනි තත්ත්වයක් තුළ 2019 වසරේ දී ජනාධිපතිවරණයත් 2020 වසරේ දී මහ මැතිවරණයත් පැවැත්විණි. එහිදී ද කතාබහකට ලක් වූ ප්‍රධාන මාතෘකාවක් බවට පත් වූයේ 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා එල්ල වූ මරාගෙන මැරුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවකි. කතෝලික බැතිමතුන්, විදේශිකයන් ඇතුළු 260කට අධික පිරිසකට මරු කැඳවූ 500කට අධික පිරිසකට තුවාල සිදු කළ සහ තවත් දස දහස් ගණනකට මානසික කම්පනයක් ඇති කළ එම මිලේච්ඡ ප්‍රහාරය කළ අය, එය එසේ වීමට ඉඩ හළ සහ එවැන්නක් සිදුවීමට ඉඩ ප්‍රස්ථාව ඇති කළ අය සම්බන්ධයෙන් නීතිය අකුරට ක්‍රියාත්මක කරමින් යුක්තිය පසිඳළන බවටත් මැතිවරණ වේදිකාවලදී අපේක්ෂකයෝ පොරොන්දු දුන්හ.

කෙසේ නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමට බලධාරීහු අපොහොසත්ව සිටිති.

මෙවැනි තත්ත්වයක් තුළ රටේ සුළුතර වාර්ගික කොටස් විශේෂයෙන් ම කතෝලික සහ මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරගනිමින් කොවිඩ්-19 වසංගත සමයේ දී අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට එවකට බලයේ සිටි ආණ්ඩුව ක්‍රියා කළේ ය. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුළින් විරෝධයක් පැන නැගුණු අතර විශේෂයෙන් ම රටේ මුස්ලිම් ජනතාවගෙන් ද සැලකිය යුතු විරෝධයක් එල්ල විය.

විශේෂයෙන් ම මුස්ලිම් ජනතාවගේ විශ්වාසවලට දැඩි බලපෑමක් එල්ල කළ මෙම දැඩි ප්‍රතිපත්තිය හේතුවෙන් එම ප්‍රජාව දැඩි ලෙස අපහසුතාවයට පත් විය. මේ සම්බන්ධයෙන් ද මහජනතාවගේ අක්‍රීය සහ නිද්‍රාශීලී තත්ත්වය සම්බන්ධයෙන් රට තුළ කතාබහක් ඇති විය. රටේ පවතින නිදන්ගත වාර්ගික බෙදීම මීට හේතු වූ බව නොරහසකි.

මෙවැනි තත්ත්වයක් තුළ පසුගිය තෙවසරක තුළ ගොවි ප්‍රජාව, ගුරුවරුන්, ධීවර ප්‍රජාව, වතුකරයේ ජනතාව, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොටස්, විශ්ව විද්‍යාල සිසු සිසුවියෝ, ඇගලුම් කර්මාන්තයේ කොටස්, විවිධ අවස්ථාවලදී විරෝධතාවල නිරත වූහ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව පොහොර සම්බන්ධයෙන් අනුගමනය කළ දැඩි අවිද්‍යානුකූල ප්‍රතිපත්තිය, විශේෂඥ උපදෙස් නොතකමින් ගන්නා ලද ආර්ථික තීන්දු තීරණ හා ප්‍රතිපත්ති යනාදිය නිසා කලින් කලට රට තුළ විරෝධතා නිර්මාණය විය.

මෙවැනි තත්ත්වයක් මේ වසරේ මුල දී රටේ තැනින් තැන ක්ෂුද්‍ර විරෝධතා නිර්මාණය වූ අතර විදුලි කප්පාදුවේ පැය ගණන දිනෙන් වැඩි වෙද්දීත්, රටේ අනෙකුත් ආර්ථික අර්බුද දිනෙන් දින උග්‍ර වෙද්දීත් දෛනිකව පැවැත්වෙන විරෝධතා ගණන වැඩි විය. විරෝධතා පැවැත්වෙන කාලය, විරෝධතා පැවැත්වෙන ස්ථාන, විරෝධතාවලට සහභාගී වූ පුද්ගල කණ්ඩායම් යනා දී සියල්ල ක්‍රමික ව වර්ධනය විය.

මෙවැනි පසුබිමක ලංකා විදුලි බල මණ්ඩලය මාර්තු මස අග දී පැය 13ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ඉල්ලා තිබිණි. එම ඉල්ලීම සලකා බැලූ මහජන උපයෝගීතා කොමිසම මාර්තු මස 30 වැනිදා පැය 13 ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදුන්නේ ය. මෙයින් තවදුරටත් කායිකව සහ මානසික ව පීඩාවට පත්වූ ජනතාව සිය ඉහවහා ගිය ඉච්ඡාභංගත්වයත් ආවේගයත් සමඟ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ඉදිරි පිටට එක් රැස් වී දැවැන්ත විරෝධතාවයක් ආරම්භ කළහ. සාමකාමීව ආරම්භ වූ මෙම විරෝධතාව ආරක්ෂක අංශවල ඇතැම් ක්‍රියාමාර්ග හේතුවෙන් අවසානයේ දී නොසන්සුන් සහ කලබලකාරී තත්ත්වයක් දක්වා දිග් ගැස්සුණු බව දේශපාලන විචාරකයන්ගේ සහ සිවිල් ක්‍රියාකාරීන්ගේ අදහස විය.

මේ තත්ත්වයත් සමඟ ශ්‍රී ලංකාවේ ජන සමාජය තුළ යම් පිබිදීමක් මහජනතාව තුළ යම්කිසි සක්‍රීය පුරවැසි භාවයක් නිර්මාණය වූ අතර ලියුම්කරුගේ ඡන්ම දිනය ද යෙදී තිබුණු අප්‍රේල් 9 වැනිදා ගාලු මුවදොරට මහ ජනකායක් එක් රැස්වූහ. විශේෂයෙන්ම ජනාධිපතිවරයා‌‌ගේ නිල කාර්යාලය වන ජනාධිපති ලේකම් කාර්යාලයට ඉදිරිපිටින් ආරම්භ වූ විරෝධතාව දින 100 ඉක්මවා යමින් පැවැතිණි. මෙම විරෝධතා රැල්ල ‘ගෝඨාගෝගම’ නමින් විරෝධතා ගම්මානයක් නිර්මාණය වීම දක්වාත් ලෝක ඉතිහාසයේ සුවිශේෂී විරෝධතා රැල්ලක් දක්වාත් ඉණිමං නැග්ගේ ය. එවකට බලය හෙබ වූ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු ය යන්න මෙම විරෝධතාවල කේන්ද්‍රීය සටන් පාඨයක් විය.

මෙම සක්‍රීය මහජන නැගිටීමේ ප්‍රතිඵලයක් ලෙස හැට නව ලක්ෂයක දැවැන්ත ජන වරමකින් බලයට පත් වූ, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් හිමි විධායකය සහ ව්‍යවස්ථාදායකයේ පූර්ණ බලයක් සහිත සන්නද්ධ හමුදාවල සහාය ඇති ජනාධිපතිවරයකුට පස්ස දොරින් පලා යෑම දක්වා එම මහජන නැගිටීම සංවර්ධිත එකක් විය.

ලෝක ඉතිහාසයේ වඩාත් සාමකාමී අරගලවලින් එකක් ලෙස එය ඉතිහාස ගත විය. මාර්තු 30 වැනිදා රාත්‍රියෙන් ආරම්භ වූ විරෝධතා රැල්ල මේ වනවිට ලෝක ඉතිහාසයේ එක පරිච්ඡේදයක් වෙන් කරගෙන අවසාන ය.

දැන් නැවතත් මහජනතාව සක්‍රීය පුරවැසියන් බවට පත් කරගැනීමේ අභියෝගය නිර්මාණය වී තිබේ.

සක්‍රීය පුරවැසිභාවය යනු කුමක් ද ?

තමන් ජීවත් වන භූමි ප්‍රදේශය පිරිසුදු කිරීමේ සිට තරුණ සහභාගීත්වය වැඩි කිරීම, කාන්තා සහභාගීත්වය වැඩි කිරීම, දේශපාලන අයිතිවාසිකම්, මානව හිමිකම් සුරක්ෂිත කිරීම යනාදිය දක්වා තනි තනි පුද්ගලයන් ලෙසත්, ප්‍රජා මට්ටමෙනුත්, ඉන් අනතුරුව ජාතික මට්ටමිනුත් ජනතාව එක් රැස් වීම සක්‍රීය පුරවැසිභාවය ලෙස සරලව හැඳින්විය හැකි ය.

ශ්‍රමදාන ව්‍යාපාර, ප්‍රජා මුළුතැන්ගෙවල්, යනාදියේ සිට ආණ්ඩු මාරුවක් කිරීම දක්වා මෙන් ම රාජ්‍ය තුළ පූර්ණ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් දක්වා කටයුතු කිරීම ද මීට අදාළ ය.

මෙරට විවිධ අවස්ථාවලදී විවිධ කාලවලදී විවිධ ආකාරයෙන් සක්‍රීය පුරවැසිභාවය අපට අත්දකින්නට ලැබිණි.

එහි වඩාත් උච්ඡතම සහ ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් සටහන් කළ අවස්ථාව බවට පත්වූයේ මේ වසරේ මාර්තු මස අගදීත්, ඉන් අනතුරුව අප්‍රේල් 9 වැනිදාත්, ජූලි 9 වැනිදාත් ඒ අතර කාලයේදීත් පැවැති විරෝධතා ව්‍යාපාර ය.

මෙම විරෝධතාවලට පෙර, ගුරුවරුන්, ගොවියන්, ධීවරයන්, වතු කම්කරුවන්, ඇගලුම් කර්මාන්තයේ නිරත සේවකයන් ඇතුළු විවිධ ජනකොටස්, ජන ප්‍රජා අවස්ථා ගණනවකදී විරෝධතාවල නිරත වූහ.

මෙහිලා තවත් සඳහන් කළ යුතු තීරණාත්මක සහ වැදගත් කරුණක් වන්නේ අතුරුදන් වූවන් වෙනුවෙන් නොනවත්වා පැවැති විරෝධතා ව්‍යාපාරය යි.

අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයන් යුක්තිය සහ සාධාරණය ඉල්ලා කරන ලද මෙම විරෝධතා ව්‍යාපාරයට අගෝස්තු මස 12 වැනි දිනට, දින 2,000ක් සම්පූර්ණ විය.

නවුම් ප්‍රජාතන්ත්‍රවාදී ජන සමාජයක් දී ගොඩනගන්නේ නම් ඒ සඳහා තබන පළමු පියවර ලෙස පුරවැසි සක්‍රීයභාවය හඳුන්වා දිය හැකි ය.

ඉකුත් වසරේ දී පැවැති ගුරු, ගොවී, උද්ඝෝෂණවල සිට මේ වසරේ පැවැති දැවැන්ත උද්ඝෝෂණ දක්වා ම ග්‍රාමීය සහ ප්‍රජා මට්ටමේ සිට නාගරික ස්ථාන දක්වාත්, ඉන් අනතුරුව එය දැවැන්ත ජාතික මට්ටමේ උද්ඝෝෂණයක් දක්වාත් වර්ධනය වන ආකාරය අපට නිරීක්ෂණය විය.

සක්‍රීය පුරවැසි භාවය විවිධ මට්ටම්වලින් ක්‍රියාත්මක වන බව අපට මේ තුළින් හඳුනාගැනීමටත් තේරුම් ගැනීමටත් හැකියාව තිබේ.

ගුරු ගොවී යනාදී උද්ඝෝෂණ සෞඛ්‍ය අංශයේ විරෝධතා වතු කම්කරුවන් ඇතුළු විවිධ වෘත්තීය ක්ෂේත්‍ර නියෝජනය කරන පිරිස් සිට කුඩාම කම්කරුවා දක්වාත්, එතැන් පටන් විවිධ රැකියාවල නිරත වන පිරිස් දක්වාත් තැනින් තැන තරුණ කණ්ඩායම් ආරම්භ කළ විරෝධතා දක්වාත් අතුරුදන් වූ අයගේ පවුල්වල ඥාතීන් අඛණ්ඩව කරගෙන යනු ලබන විරෝධතාවය දක්වාත් ඉඩම් වෙනුවෙන් සටන් වදින උතුරේත් දකුණේත් ජනතාව දක්වාත් අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් විරෝධතා කරන සිසු සිසුවියන් දක්වාත් අපට හඳුනාගත හැක්කේ මෙම සක්‍රීය පුරවැසිභාවය යි.

තොරතුරු දැන ගැනීමේ පනත මඟින් තොරතුරු ඉල්ලීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් තහවුරු කර ඇති භාෂණයේ නිදහස, රැස්වීමේ නිදහස යනාදිය භුක්ති විඳීම මගින් ද අප කරන්නේ සක්‍රීය පුරවැසියන් ලෙස කටයුතු කිරීම ය.

පසුගිය කාලයේ දී අපට දක්නට ලැබුණු ප්‍රජා මුළුතැන්ගෙවල් ද මේ සක්‍රීයේ පුරවැසිභාවයේ කොටස් ය.

එම නිසා විරෝධතා දැක්වීම පමණක් ම සක්‍රීය පුරවැසියභාවය නොවන බව අප තේරුම් ගත යුතු ය.

ගාලු මුවදොර විරෝධතා පැවැත්වෙද්දි පැවැති දැනුවත් කිරීමේ වැඩසටහන් විශේෂයෙන්ම නීතිය සම්බන්ධයෙන් පැවැති දැනුවත් කිරීමේ වැඩසටහන්, ආර්ථිකය සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහන්වල සිට පුස්තකාලය, පොත පත කියවීම, චිත්‍රපට, කෙටි චිත්‍රපට පෙන්වීම යනාදි ය සක්‍රීය පුරවැසිභාවයේ ලක්ෂණ ලෙස අපට හඳුනාගත හැකි ය.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS