ලොව පුරා පැතිරෙන අලුත්ම අහස් යානාව



 

“සේනා දළඹුවා මේ දේශයට එල්ල වුණු අලුත්ම තර්ජනයකි. ශ්‍රී ලංකාවේ අනුරාධපුර, පොළොන්නරු, අම්පාර ආදී සරුසාර පෙදෙස් කිහිපයකම ගොවීහු මේ දළඹුවා නිසා දුක්විඳිති. ඔවුන්ගේ ගොවිතැන් වනසන මේ “නපුරු” දළඹුවා වළක්වන එක් මගක් ගැන නොබෝදා පුවත්පත් හා සෙසු ජනමාධ්‍ය විසින් අවධානය යොමු කෙරුණේය. ඒ ක්‍රමය නම් මේ දළඹුවාට විරෝධී නාශක ද්‍රව්‍ය, ගුවනේ සිට වගාවට විදීමයි. එසේ ගුවනේ සිට වගාවලට කෘෂිනාශක වර්ග ඉසිනු ලබන්නේ “ඩ්‍රෝන්” මගිනි. “ඩ්‍රෝන්” යනු කුමක්ද? මේ ඩ්‍රෝන් අද ලොව පුරා ශීඝ්‍ර වේගයෙන් පැතිර යන අහස් යානා වර්ගයකි. බොහෝ රටවල ජනතාව අද මේ “ඩ්‍රෝන්” යානය ගැන හොඳින් දනිති. එහෙත් ශ්‍රී ලංකාවට මේ “ඩ්‍රෝන්” නව යුගය තාමත් අලුත්ය.


බි්‍රතාන්‍යයේ ගැට්වික් ගගන යාත්‍රාංගණයට නොබෝදා බැරෑරුම් අර්බුදයකට මූණපාන්නට සිදුවූයේය. ඒ ගුවන් තොටුපොළින් අහස් යානා ඉහළ නැංවීමටත්, අහස් යානා ඒ යාත්‍රාංගණයට බස්සවන්ටත් දැඩි අවහිරයක් එළඹ තිබිණි. 


ඒ අවහිරය නම් ගැට්වික් යාත්‍රාංගණයට ඉහළ අහසෙහි කුඩා යානා සැරිසරන්නට වීමයි. ඒ කුඩා යානා “ඩ්‍රෝන්” අහසට යැවූ අය නීතියේ රැහැණින් අල්ලා ගනු ලැබූහ. ගැට්වික් ගුවන් තොටුපොළේ රාජකාරි නිසි පරිදි ඉටු කළ හැකි වූයේ ඒ “ඩ්‍රෝන්” යානා යාත්‍රාංගණයට ඉහළ අහසින් ඉවත්කොට ගැනීමෙන් පසුවය.


“ඩ්‍රෝන්” අද ලොව ප්‍රවාහන කටයුතුවලට එකතු වූ අලුත්ම යානයයි. “ඩ්‍රෝන්” යානා භාවිතය පටන්ගෙන අදට යන්තම් අවුරුදු 17කි.


නියමුවන් විරහිත මේ “ඩ්‍රෝන්” යානා ඒවා හසුරුවන අය විසින් විවිධ ස්ථානවලට යොමු කෙරේ. පළමුවෙන්ම මේ යානා

භාවිත කරන ලද්දේ ඇමෙරිකා යුද හමුදාව විසිනි. ඒ හමුදාව විසින් “ඩ්‍රෝන්” යානා ඈත පෙදෙස්වලට යොමු කොට දුර සිට සතුරු පක්ෂවලට ඒ “ඩ්‍රෝන්” මගින් පහර දෙන ලදී.
මුලින්ම ඒවා භාවිතා කරන ලද්දේ ඇෆ්ගනිස්ථානයේ දුෂ්කර පෙදෙස්වල සැඟවී සිටි අල්කයිඩා ත්‍රස්තවාදීන්, ගුවන් ප්‍රහාර මගින් විනාශ කරනු පිණිසයි. එදා එසේ සුළුවෙන් භාවිත වූ “ඩ්‍රෝන්” අද ඉතා බහුල වශයෙන් ක්‍රියාවේ යොදවනු ලැබේ. ඒවා අද අවි ගබඩාවල ප්‍රධාන අවියක් බවට පත්ව ඇත්තේය. ලොව වටා නොයෙක් රණබිම්වල අද “ඩ්‍රෝන්” මෙහෙයවනු ලැබේ.


යුද කටයුතුවලින් බැහැර සමාජ කාර්ය සඳහාත් “ඩ්‍රෝන්” යානා භාවිත කිරීම ගැන විද්‍යාඥයෝ සිතමින් සිටියහ. ඒ සිතුවිලි ක්‍රියා බවට පත්වී අද ජගත් ව්‍යාප්ත “ඩ්‍රෝන්” විප්ලවයක් ආරම්භ වී ඇත්තේය.


“ඩ්‍රෝන්” විප්ලවයේ අද ස්වභාවය සැකෙවින් විමසා බැලිය හැකිවේ.


අද “ඩ්‍රෝන්” භාවිතය ශීඝ්‍ර වේගයෙන් අධික වී ඇත්තේය. 2017දී ලොව පුරා භාවිත වූ “ඩ්‍රෝන්” සංඛ්‍යාව තිස් ලක්ෂයකි. අද ප්‍රධාන රටවල “ඩ්‍රෝන්” යානා සාප්පුවෙන් ගත හැකිවේ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ඒවා භාවිත කළ හැක්කේ රජයේ ලියාපදිංචි කිරීමෙන් පසුවයි.


මේ “ඩ්‍රෝන්” යානා සෘජුවම අහසට නගිති. ඒවායේ විවිධ යන්ත්‍ර වර්ග සවිකොට ඇත්තේය. යා යුතු මාර්ග හඳුනා ගැනීමේ යන්ත්‍ර, ගමන් මග තිබෙන බාධා මගහැර යාත්‍රාකරණයට උපකාරී වන යන්ත්‍ර ආදිය අද දියුණු “ඩ්‍රෝන්” යානාවල අඩංගුය. මේවා නියමුවන් විරහිත ගුවන් යානාවලටත් වඩා දියුණුය. දියුණු රටවල කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන තැනැත්තෝ මේ “ඩ්‍රෝන්” යානාවලට බොහෝසේ කැමතියහ.


ඒවායේ ප්‍රයෝජන විවිධය. වගාවල් අහසේ සිට පරීක්ෂා කළ හැකිවේ. වගාවලට කෘමිනාශක ඉසීමද “ඩ්‍රෝන්” කාර්යයකි.


පාරිසරික අධීක්ෂණයටද මේ යානා අතිශයින්ම ප්‍රයෝජනවත්ය. හොලිවුඞ්හි සිනමා ව්‍යාපාරිකයන්ට “ඩ්‍රෝන්” යානා ආශිර්වාදයකි. කල් යත් යත්ම මේ යානා විවිධ කාර්ය සඳහා භාවිතා කෙරේ. අවතැන් පත් මිනිසුන් සොයා ගැනීම සඳහාත් ගංවතුර, නායයෑම්, භූ කම්පන ආදී ව්‍යසනවලට භාජන වූ අසරණයන්ට පිහිටවීම සඳහාත් “ඩ්‍රෝන්” යානය බොහෝ සේ ප්‍රයෝජනවත්ය.


ආධුනිකයෝත් විනෝදාස්වාදය සඳහා දහස් ගණන් “ඩ්‍රෝන්” මෙහෙයවති.


වෙළෙඳ ව්‍යාපාරිකයෝ අද “ඩ්‍රෝන්” බහුලව භාවිත කරති. විවිධ පාරිභෝගික ද්‍රව්‍ය වර්ග ආහාර පතපොත ආදී දේ ගනුදෙනුකාරයන් වෙත යවනු පිණිස ඔවුහු “ඩ්‍රෝන්” යානා යොදා ගනිති. ඉතා ඉක්මනින් රෝගීන්ට යැවිය යුතු අත්‍යවශ්‍ය බේත් වර්ග යවනු පිණිසත් “ඩ්‍රෝන්” යානය අත්‍යයන්තයෙන්ම ප්‍රයෝජනවත්ය.


මේ වනවිට “ඩ්‍රෝන්” විප්ලවය ආරම්භ වූවා පමණි. මේ ලැබූ නව වසර තුළදී “ඩ්‍රෝන්” යානය විසින් කෙරෙන විස්මය දනවනසුළු සේවය අපට දකින්නට අසන්නට මෙන්ම භාවිත කරන්නටද හැකිවනු ඇත.


මිනිසා කවර ආකාරයේ නිෂ්පාදනයක් සොයා ගත්තද ඉන් හොඳ මෙන්ම නරකද සිදුවිය හැක්කේය. විදුලි පන්දම නිදර්ශනයකි. එය මිනිසාට රෑ කාලයේදී යම් යම් දේ පහසුවෙන් සොයාගත හැකිවනු පිණිස නිෂ්පාදිත වූවකි. එහෙත් ගෙවල් බිඳින සොරකම් කරන අපරාධකාරයෝත් විදුලි පන්දම සිය සමාජ විරෝධී ක්‍රියාවලදී උපකාර කොට ගනිති. “ඩ්‍රෝන්” යානයද එසේය.


බන්ධනාගාරවලට මත්ද්‍රව්‍ය යැවීම, ත්‍රස්තවාදී ක්‍රියාවන්හි යෙදීම ආදී සමාජ විරෝධී කාර්ය සඳහාත් “ඩ්‍රෝන්” භාවිතා කෙරේ. ඒ නිසා “ඩ්‍රෝන්” භාවිතය පිළිබඳ නීති රීති හා ආචාර ධර්මත් ක්‍රමවත්ව සකස් කොටගත යුතු වන්නේය.


ශ්‍රී ලංකාවේ අප මේ “ඩ්‍රෝන්” විප්ලවය හා ඒ හා ආශ්‍රිත සංස්කෘතිය ගැනත් දැනගත යුතු වන්නේය. අප සිතන්නටත් පෙරම මේ අපේ දේශයේද “ඩ්‍රෝන්” යුගය උදාවිය හැකි හෙයිනි. යම් යම් දේ ඉතා ශීඝ්‍රයෙන් යැවිය හැකිවනු පිණිස ඇතැම් නගරවල “ඩ්‍රෝන්” යානා නැවතුම් පළවල්ද තිබිය හැකිවේ.


නියමුවන් නැති “ඩ්‍රෝන්” ටැක්සි පිළිබඳව දැනටත් ඇතැම් අය සිතන්නේ විය හැකිය. මහ මග රථවාහන තදබදය අධික පෙදෙස්වල ඇතැමුන්ට ඉතා ඉක්මනින් සිය ගමනේ යෙදෙන්නට අවශ්‍ය හෙයිනි. මෙවැනි “ඩ්‍රෝන්” යන්ත්‍ර සඳහා ඉතා යහපත් ඉල්ලුමක් ඇතිවිය හැකිය.


තව නොබෝ කලකින් පත්තර බෙදීම් ආදී කාර්ය සඳහා මේ ඩ්‍රෝන් යානා යොදා ගන්නට මිනිසුන් කැමැති වෙතියි සිතේ.


තවත් හත්-අට මාසයකදි ලංකාවේ විවිධ පෙදෙස්වලට පත්තර බෙදා හරිනු පිණිස “ඩ්‍රෝන්” යානා භාවිතා කෙරෙන්නට බොහෝ සේ ඉඩ ඇත්තේය.


“ඩ්‍රෝන්” යුගයට අලුතින් එළඹෙන අප විසින් දශකයක් පමණ කාලයක් මුළුල්ලේ “ඩ්‍රෝන්” විප්ලවය හා සමග වාසය  කළ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය වැනි දේශයක් විසින් “ඩ්‍රෝන්” භාවිතය මඟින් ලද අත්දැකීම්  කල් ඇතිවම හැදෑරිය යුතුවේ.


ඩ්‍රෝන් යානය, ත්‍රස්තවාදීන් වැනි සමාජ විරෝධීන් අතටත් පත්විය හැකිවේ. අපගේ දේශය, මත්තේදී “ඩ්‍රෝන්” යානය බහුලව භාවිතා කරන්නට පටන් ගත හොත් ඉන් සිදුවිය හැකි හානි පිළිබඳවද කල්තියා අධ්‍යයනයක් කළ යුතු වන්නේය.


වගකීමෙන් තොරව, ඩ්‍රෝන් යානා ඉහළ අහසට යැවීමෙන් ඇතැම් විටෙක, විශාල ගගන යානාවලට හානි සිදුවිය හැකිවේ.


යම්කිසි දේශයක් විසින් ඩ්‍රෝන් යානා භාවිතා කරන්නට පටන්ගත් කල්හි ඒ ක්‍රියාව ශීඝ්‍ර වේගයෙන් ව්‍යාප්ත වන්නට පටන් ගනී. 


එවැනි ශීඝ්‍ර ව්‍යාපෘතියට ඇමෙරිකා එක්සත්  ජනපද රාජ්‍යය ප්‍රබල නිදසුනකි. එහි විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණයකින් හෙළිවී තිබෙන්නේ 2021 වනවිට එහි භාවිත කෙරෙන ඩ්‍රෝන් යානා ප්‍රමාණය තිස්පස් ලක්‍ෂය දක්වා ඉහළ යා හැකි බවයි. එසේ වූ විට ඩ්‍රෝන් භාවිතය හා ආශ්‍රිත අයහපත් ප්‍රතිඵලද, ශීඝ්‍ර ලෙස අධික විය හැකිය.
අපේ දේශය ඉතා කුඩා රාජ්‍යයක් වුවද, අපටත් අනිවාර්යයෙන්ම ඩ්‍රෝන් යානය  අවශ්‍ය වේ. ඒ නිසා ඒවා පිළිබඳව කල් ඇතිව පර්යේෂණ පවත්වන්නට අපිද යොමුවිය යුත්තෙමු.
 මේ “ඩ්‍රෝන්” නවයුගය ගැන කතා-බහේ යෙදෙන විට අපට ඉතාම අලුතින් ලැබෙන ආරංචියක් ගැනද සිත් යොමුකළ යුතුවේ.


 අද ලෝකයේ මහා බලවත්තු “නපුරු” ඩ්‍රෝන්  ක්‍රමයකට යොමුවෙමින් සිටිති. බලවත් රාජ්‍ය, ආයුධ සන්නද්ධ ඩ්‍රෝන් යානා තැනීමේ පමණක් නොව ඒවා අන් දේශවලට  අළෙවි කිරීමේත් තියුණු ගරයක යෙදී සිටිති.


 අලුත්ම ආරංචිය නම්, මැද පෙරදිග පෙදෙස්වල, ආයුධ සන්නද්ධ ඩ්‍රෝන් යානා සඳහා ප්‍රබල ඉල්ලුමක්  උද්ගත වී ඇති බවයි.  ඒ ඉල්ලුම සඳහා මිල පහසුවට ඒ අවශ්‍ය ආකාරයේ ආයුධ සන්නද්ධ ඩ්‍රෝන් යානා සපයන්නට චීනය එකඟ වී තිබේ.


ඇමෙරිකාව විසින් එවැනි ඩ්‍රෝන් යානා සැපයෙතත්, ඒ සම්පාදනය සීමා සහිත යැයි පැවසේ.


 එවැනි ආයුධ සන්නන්ධ ඩ්‍රෝන් යානා, පහසුමිලට ලද හැකිවේ. ඒ නිසා ඒවා, ආයුධ සන්නද්ධ ප්‍රබල ප්‍රහාරක ගුවන් යානාවලට වඩා ඉතාම අඩු මිලකට ලැබෙන්නේය. එවැනි මිල පහසු, සන්නද්ධ ඩ්‍රෝන් යානා බහුලවීමෙන් මැද පෙරදිග පෙදෙස්වල අවි ගැටුම් අධිකවේද? මෙයද, ‘ඩ්‍රෝන්’ යානා විප්ලවය හා සමග බැඳුනකි.


‘ඩ්‍රෝන් යානාවල අයහපත් පක්‍ෂය ගැන සලකා බලන ගමන්ම ඒවායින් ඉටුවන ඉමහත් සෙතද, අපගේ අවධානයට යොමුවිය යුතුවේ.


මිනිසුන්ගේ  ජීවිත බේරාගැනීමේ ව්‍යාපාරයන්හිදී ‘ඩ්‍රෝන්’ යානයෙන් ඉතා යහපත් සහායක් සැපයේ. ‘ඩ්‍රෝන්’ යානයක් පිළිබඳව වීර කතාවක් අප්‍රිකාවෙන් ලැබෙන්නේය.
 අප්‍රිකාවේ රුවන්ඩාහි දෙහැවිරිදි දැරියක් දැඩි ලෙස මැලේරියාවෙන් පෙළුණේය. දැරිය සායනයට ගෙන යනවිට ඇයගේ සිරුර අකර්මණ්‍යව තිබිණි. මව ශෝකීව සිටියාය. වහාම ඇයට රක්ත සෛල  දිය යුතු යැයි නිගමනය කෙරිනි. එහෙත් ඒ අවශ්‍ය රක්ත  රුධිර සෛල, රුධිර බැංකුවෙන් ගෙන්වා ගන්නට පැය තුනක් ගතවේ. ඒ මෝටෝ රථයේ ගමනට ගතවන කාලයයි. සායනයේ සිටි වෛද්‍ය නිලධාරියෙක් දුරකථනයෙන්  ඇණවුමක් කළේය. එහි ප්‍රතිඵලය වූයේ විනාඩි හයකින් “ඩ්‍රෝන් යානයක් විසින් ලේ ගෙනැවිත් දීමයි. ඩ්‍රෝන් යානය නිසා දැරියගේ ජීවිතය බේරුණේය. “ඩ්‍රෝන්” යානයකින් ගෙනෙන ලද ලේ නිසා ජීවිතය ලද ලෝකයේ ප්‍රථමයා වූයේ ඒ දැරියයි.


 වෛද්‍ය හා සෞඛ්‍ය අවශ්‍යතා ඩ්‍රෝන් යානා මගින් ගෙන්වා දෙන සමාගමක් පිහිටුවනු ලැබුවේය. මේ “ඩ්‍රෝන්’ යානා මගින් වෛද්‍ය හා සෞඛ්‍ය අවශ්‍යතා ප්‍රවාහනය කිරීම නිසා සත්මසක් තුළ රුධිර ඒකක 7000ක්, අවශ්‍ය ආරෝග්‍යශාලාවලට ඉතා ඉක්මණින්  ගෙන්වා ගත හැකිවිය. එවැනි දේ මෝටෝ රියෙන් ගෙන්වා ගන්නට පැය තුනක්වත් ගතවේ. ඒ අවශ්‍ය දේ ලැබෙන විට රෝගියා මියගොස් සිටින්නටත් විය හැකිය. 


එහෙත් “ඩ්‍රෝන්” යානයට ඒ ජීවිත බේරීමේ ගමනට අවශ්‍ය වන්නේ විනාඩි 15 ක් පමණි. 


එසේ “ඩ්‍රෝන්” යානා භාවිතයෙන් අවශ්‍ය දේ ගෙනැවිත් දීම සඳහා දැන් ලොව පුරා සංවිධාන කිහිපයක් පිහිටුවා ඇත්තේය. මේ පණ බේරන “ඩ්‍රෝන්” යානා ක්‍රමය දැන් ලොව පුරා පැතිරේ. 


ශ්‍රී ලංකාවේ අපට ද ඒ පණ බේරණ “ඩ්‍රෝන්” යානා ක්‍රමය හැදෑරිය හැකි වේ. 


මේ ජීවිත බේරීමේ මෙහෙය සඳහා පුරුදු කරන ලද “ඩ්‍රෝන්” යානාවන් හි ක්‍රියාකාරීත්වය අතිශයින්ම සිත් ගන්නාසුළුය. 


“ඩ්‍රෝන්” යානය මගින් රෝගීන්ගේ පණ බේරා ගැනීමේ ව්‍යාපාරයෙහි දී පුරෝගාමී වූයේ අප්‍රිකාව වුවද අද ලොව ස්විට්සර්ලන්තය වැනි දියුණු රටවල ද “ඩ්‍රෝන්” යානය ජීවිත රැක දීමේ උතුම් මෙහෙය සඳහා භාවිත කෙරේ. ඇමෙරිකාව වැනි නවීනතම රාජ්‍ය, මෙසේ “ඩ්‍රෝන්” යානා මගින් ඉතාම හදිසි ප්‍රතිකාර වර්ග නිසි තැන්වලට යවමින් “ඩ්‍රෝන්” සංස්කෘතියේ මානව හිතවාදී ලක්ෂණ පැහැදිලිව දක්වා සිටිති. 


හදිසි අවස්ථාවලදී ක්ෂණිකව ගත යුතු ප්‍රතිකාර සම්පාදනය කිරීම සඳහා “ඩ්‍රෝන්” යානා භාවිත කිරීමේ ආදර්ශය නවීන ලෝකයට මුලින්ම දෙන ලද්දේ අප්‍රිකාව විසින් බව අද ලොව හැම තැනම විශේෂඥයෝ පිළිගනිති. දරු ප්‍රසූතියේ දී ඇති වන රුධිර වහනය, සර්ප විෂ සහ සෙසු සතුන්ගේ විෂ නිසාත් ඇති වන ජීවිත තර්ජන ආදියේදී ක්ෂණික පිළියම් යෙදීමට “ඩ්‍රෝන්” යානා මගින් බේත් වර්ග වහාම යැවීම නිසා මිනිස් ජීවිත විශාල ප්‍රමාණයෙන් බේරා ගත හැකි වී ඇත්තේය. 


අද ශ්‍රී ලංකාව “ඩ්‍රෝන්” යුගයට යන්තම් එළඹුණා පමණි. ඒ නිසා මේ දේශයේ හැම දෙනෙකු විසින්ම පාසල් දරුවන් විසින් පවා “ඩ්‍රෝන්” යානයේ ස්වභාවය ඉතා හොඳින් දැන සිටිය යුතු වේ. 


“ඩ්‍රෝන්” යානා ද දැන් නවීකරණය වෙමින් පවතී. තද සුළඟකට වුවද ඔරොත්තු දෙමින් සැතපුම් 100 ක් පමණ දුරක් වුවද ශීඝ්‍ර වේගයෙන් යා හැකි “ඩ්‍රෝන්” යානා දැන් තැනේ. මේ වසර අග වන විට මේ නියමුවන් විරහිත නවීනතම “ඩ්‍රෝන්” යානා සාමාන්‍ය ගුවන් යානා තරම්ම දියුණු ලක්ෂණ සහිත වෙති. මේ “ඩ්‍රෝන්” යානා ජීවිත බේරා ගන්නා උපකරණ බවට පත්වන විට අලුත් රැකියාවල් ද ලොව පහළ වේ. හැම ආරෝග්‍යශාලාවකටම පාහේ නොබෝ කලකින් “ඩ්‍රෝන්” විශේෂඥයෙකු අවශ්‍ය වනු ඇත. හදිසි බේත් වර්ග ගෙන යන “ඩ්‍රෝන්” යානාවල ක්‍රියාකාරකම් ප්‍රාතිහාර්ය වැනිය. අපේ දේශයේ නිසි අය විසින් අද යුගයේ දී මේ “ඩ්‍රෝන්” යුගය ක්‍රියාවේ යෙදෙන ආකාරය ගැඹුරට අධ්‍යයනය කළ යුතු වේ. එය අද අත්‍යවශ්‍ය ජාතික මෙහෙයකි. 


දියුණු ඇමෙරිකාවත් අප්‍රිකාවේ “ඩ්‍රෝන්” යානා විශේෂඥයන්ගේ අත්දැකීම් භාවිත කරති නම්, අප ගැන වෙසෙසින් කිවයුතු නොවේ.


ඒ අතර අලුත්ම පුවතකින් කියැවෙන්නේ බි්‍රතාන්‍යයේ ගැට්වික් ගගන යාත්‍රාංගණයට ගිය දෙසැම්බර් මස අග භාගයේදී “ඩ්‍රෝන්” යානා නිසා සිදු වූ අවහිරය හේතුකොටගෙන එංගලන්තය විසින් “ඩ්‍රෝන්” යානා භාවිතය පාලනය කරන්නට දැඩි නීති - රීති සකස් කරන බවයි.


ගැට්වික් ගුවන් තොටුපළෙහි මෑතකදී සිදුවූ අවහිරය නිසා, ගුවන් මගීන් දස දහසකටත් වඩා අපහසුවට පත්වූහ.


අප මේ සියල්ල දෙස  තියුණු අවධානය අද සිටම යොමු කළ යුතු වන්නේ “ඩ්‍රෝන්” යානා නව යුගය, ශීඝ්‍ර වේගයෙන් අප දේශයට එළඹෙමින් පවත්නා නිසාය. එවැනි පසුබිමක “ඩ්‍රෝන්”  යානා මගින් ලදැකි ප්‍රාතිහාර්යමය සෙත භුක්ති විඳිමින් එහි අයාපත් පැති දෙසද සිත යොමු කොට මේ වැඩදායි අමුත්තා ඉතා හොඳින් පිළිගන්නට අපි සැරසී සිටිය යුතුවෙමු.

 

 


අධි ශික්‍ෂණයත් එක්තරා වරදකි

 

පැරණි චීනය පාලනය කළ එක් අධිරාජයෙක් අතිශය කලාකාමී පාලකයෙක් වූයේය.


ඒ නිරිඳු කාව්‍ය නාට්‍ය, රැඟුම් ආදිය සඳහා රාජකීය අනුග්‍රහය නො අඩුව සම්පාදනය කළේය.


මේ අධි කලාකාමී අධිරාජ්‍යයාට වරක් මෙසේ සිතුනේය. “මගේ අශ්ව හමුදාවටත් නට්‍යය පුරුදු කළ යුතුයි. ඒ අධිෂ්ඨානයට අනුව රාජකීය අශ්ව හමුදාවේ අසුන්ට සංගීත රාවයට අනුව නටන්නට පුහුණු කෙරිණි. අශ්වයෝ, සංගීතයට  අනුව නටන්නට අතිශයින්ම දක්‍ෂ වූහ.


මෙසේ ඒ අධිරාජ්‍යයා පාලනයෙහි යෙදී සිටියදී ඔහුගේ දේශය සතුරු හමුදා විසින් ආක්‍රමණය කරන ලදී. අධිරාජයා සිය රණශූර බළ ඇණි සටන් පෙරමුණට යැවූයේය.


සටන් බිමට ඒ අධිරාජයාගේ අශ්ව හමුදාව ඉතා ප්‍රතාපවත්ව ගියේය. එහෙත් සිදුවූයේ කුමක්ද? සතුරු හමුදා රණ බෙර ආදී ශබ්ද සහිතව රණ සංගීතය පවත්වන විට අධිරාජයාගේ නැටුම් පුරුදු අශ්වයෝ යුද්ධ කරනු වෙනුවට සතුරන්ගේ සංගීතයට අනුව නටන්නට වූහ.


ශික්‍ෂණයත් අවශ්‍ය ලෙස කළ යුතුවේ.

 


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ තෙල් උතුරයි

 


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ටෙක්සස් ජනපදයේ බටහිර පෙදෙසේ පර්මියන් ද්‍රෝණියෙහි තෙල් ආකර විසින් අති විශාල මට්ටමින් ඛනිජ තෙල් උපදවන්නට පටන් ගෙන ඇත්තේය. එහි දවසකට උපදින අමු ඛනිජ තෙල් ප්‍රමාණය පීප්ප තිස්නව ලක්‍ෂයක් පමණ වෙයි. (පීප්පයකැයි කියන්නේ ගැලොම් 42කි)


මේ නිසා අද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යය, ලෝකයේ ඉතා විශාල අමු ඛනිජ තෙල් ප්‍රමාණය උපදවන දේශය බවට පත්වේ.


පැරැණි පතපොත

ෂර්ලොක් හෝම්ස් චරිතය මැවූ සර් ආතර් කොනන් ඩොයිල්

 

සර් ආතර් කොනන් ඩොයිල් ජගත් ව්‍යාප්ත කීර්තියක් අත්පත් කොට ගත්තේ රහස් පරීක්‍ෂක ෂර්ලොක් හෝම්ස්ගේ චරිතය නිර්මාණය කිරීමෙනි.


මේ රහස් පරීක්‍ෂකයා ප්‍රථම වරට පාඨක ලෝකයාට හමුවන්නේ සර් ආතර් කොනන් ඩොයිල්ගේ “ඒ ස්ටඩි ඉන් ස්කාලට්’ (රතු පැහැ විවරණය) නම් ප්‍රබන්ධ කතාවෙනි. එය ලියැවුණේ 1887 දීය. සර් ආතර් ගේ ෂර්ලොක් හෝම්ස් නම් සුවිශිෂ්ට රහස් පරීක්‍ෂකවරයාත් ඔහුගේ හිතමිතුරු ඩොක්ටර් වොට්සන් නම් පුද්ගලයාත් ෂර්ලෝක් හෝම්ස් නිවස ඔහුගේ චරිත ගති ආදී සියලු දේත් සර් ආතර්ගේ ප්‍රබන්ධ කථා පෙළ නිසා සත්‍ය දේ තරමට පාඨක සිත්ගත්තේය. රහස් පරීක්‍ෂක නවකථා නිසා ඔහුට ඉමහත් ප්‍රසිද්ධියක් ලැබුණද ඔහු ඓතිහාසික නවකතාත් ලියාලූයේය. ඔහු විසින් මවන ලද ෂර්ලොක් හෝම්ස්ගේ අභාවය දක්වන ප්‍රබන්ධ කථාවක් ප්‍රකාශ කළ විට, පාඨක ලෝකය දැඩි විරෝධය පෑහ. ඒ නිසා සර් ආතර්ට සිදුවූයේ ෂර්ලොක්

හෝම්ස්ට නැවත පණ දෙන්නටයි.


සර් ආතර් උපත ලද්දේ 1859 යේ දීය. විපත සිදුවූයේ 1930 දීය. වෛද්‍යවරයකු වූ ඔහු මුලින් ලේඛන කලාවට පිවිසියේ අග-හිඟකම් හේතුවෙනි.

 

 

 

 


පීප්පයෙන් මහ සයුර තරණය


වීරයාගේ වයස අවුරුදු 71යි. ප්‍රංශ ජාතික මේ දිරිය මිනිසා පීප්පයක රූපකාරය ගත් යාත්‍රාවකින් අත්ලන්තික් සාගරය තරණය කරන්නට නිකුත් වූයේය. ඔහුගේ ‘පීප්පය’ ලා රතු පැහැය ගනී. අවශ්‍ය මූලික දේ සියල්ල එහි තැන්පත්ව ඇත්තේය.


ෂාං යාක්ස් සවින් නමැති මේ අපූරු පුද්ගලයා සිය සාගර තරණය ආරම්භ කළේ අප්‍රිකාවේ බටහිර වෙරළ ආශ්‍රිත කැනරි දිවයින් පෙදෙසිනි. ඔහුගේ අරමුණ මාර්තු මාසය වන විට, දකුණු ඇමෙරිකාවට නුදුරු කරීබියන් දිවයින් පෙදෙසට ළඟා වන්නටයි.


ඔහුට ‘ඉන්ධන’ සැපයෙන්නේ, අත්ලන්තික් සාගරයේ ස්වාභාවිකව පවත්නා සාගර දියවැල් මගිනි. ඔහු නිකුත්ව ගියේ එල් හියරෝ දිවයිනෙනි.
ඔහුගේ සාමාන්‍ය ගමන් වේගය පැයකට සැතපුම් දෙකක් හෝ තුනකි.


මේ වයෝවෘද්ධ “සාගර වීරයා” විශ්‍රාම ලද හමුදා පැරෂුට භටයෙකි. ඔහුගේ ‘පීප්පයෙන් සාගර තරණ’ ව්‍යායාමයට පෘථුල අනුග්‍රහයක් ලැබුණේය.
ඔහුගේ උපන් දිනය මේ මාසයේ යෙදේ. 


පීප්පයේ ගත කෙරෙන කාල පරිච්ඡේදය මුළුල්ලේ ඔහු විශේෂ විනෝදයක් ලබන්නේ පීප්පය යට පිහිනන මාළු වර්ග නැරඹීමෙනි.


විද්‍යාඥයන්ට සාගර දියවැල් පිළිබඳ අධීක්‍ෂණයන්හි යෙදිය හැකි වනු පිණිස ඔහු තමා ගමන් ගන්නා සාගර පෙදෙසේ ස්ථාන ලකුණු කරන සංකේත ද තබන්නේය.
පීප්පය තුළ ඇඳක් සහ කුඩා මුළුතැන් ගෙයක්ද ඇත්තේය. බඩු බාහිර කීපයක් තබා ගන්නට ඉඩක් එහි සැපයේ.


තමා, සාගරය තරණය කොට හරියටම ගොඩබසින්නේ කොතැනටදැයි ඔහුට නිශ්චිත හැඟීමක් නැත. ඔහු පාවී යන ඕනෑ තැනක ගොඩබසින්නට කැමැතිය. පාවෙන්නේ බාබඩෝස් පෙදෙසට විය හැකිය.


බාබඩෝස් පිහිටියේ ඔහු ගමන් ඇරඹූ එල් හියෙර්රෝ පෙදෙසෙහි සිට සැතපුම් 2850 ක් ඈතිනි.


මේ මහලු ධෛර්යවන්තයාගේ සාගර තරණ “පීප්ප” චාරිකාව සාර්ථක වේවායයි බොහෝ දෙනා පතති. එහෙත් සාගර දියවැලකට අසුවී ඔහුගේ පීප්පය, කොහේ යාවිදැයි කියන බියක්ද ඇත්තේය.


 

 


RECOMMEND POSTS