මහැදුරු මලලසේකර සංස්කෘතික වීරයා



“රූපං ජීරති මච්චානං නාම ගොත්තං නජීරති”
“මිනිසුන්ගේ රූපය දිරායන්නේය. එහෙත්,ඔවුන්ගේ නාමය සහ ක්‍රියාවලී නොදිරා පවතිති.
-බුදු හිමියෝ 

 

සනාතනිකවම, මිනිසා, සංහිඳියාව, සතුට, සාමය, සන්සුන් මනස සහ අධ්‍යාත්මික සුවයක් සොයා යන්නේය. 
ඒ ගවේෂණය තමන්ගේ ජීවන චාරිකාවේ පරම අරමුණ කොට ගත් අපූරු සත්පුරුෂයෝ, වරින් වර ලොව පහළ වෙති. එවැන්නෝ අපගේ භාග්‍යවත් දේශයත්, යුගයෙන් යුගය ආලෝකවත් කරති. එසේ වුව ද එවැනි දුර්ලභ ගණයේ මිනිසුන් පිළිබඳ මතක සමාජයෙන් ගිලිහී යන ආකාරය ද ඉතිහාසයෙන් ප්‍රකට වෙයි. 


විසිවන සියවසේ, ශ්‍රී ලංකාවේ උද්ගත වූ සාමයික හා සාංස්කෘතික නවෝදය කෙරේ බල පෑ, අසහාය චරිතද්වයක් පිළිබඳව, තරමක් පෘථුල අවධානයක් මෑතකදී සමාජගත වූයේය. 


ඒ විශිෂ්ට සාංස්කෘතික වීරයන් දෙදෙනා, එකම ගෝලයක අර්ධ දෙකක් සේ ඒකාබද්ධ වෙති. පරිහානියට නැඹුරු වී සිටි ශ්‍රී ලංකා සමාජයට, නව ජීවයක ආලෝකය ලබා දුන් ඒ මහා පුරුෂයන් දෙදෙනා නම් අනගාරික ධර්මපාල තුමා සහ මහාචාර්ය මලලසේකර මහතාත්ය. 


මහැදුරු ගුණපාල මලලසේකර විද්වත් ජනනායකයාණන්ගේ උත්පත්තියෙන් 117 වන වර්ෂය සපිරුණේ 2016 නොවැම්බර් මස නව වනදායි. කෘතවේදී, ඇතැම් දෙනා එතුමාණන්ගේ ඡන්ම ජයන්තිය සමරනු පිණිස එක් වුව ද පෘථුල ශ්‍රී ලංකා සමාජය, ඒ ඓතිහාසික චරිතය කෙරේ ප්‍රමාණවත් සංවේදිතාවයක් දක්වන්නට සැරසී සිටින බවක් පෙනුනේ නොවේ.


ආගමික පුනරුත්ථාපනයට වෙසෙසින්ම බෞද්ධ ප්‍රගතියට ශාස්ත්‍රීය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට, රාජ්‍ය දූත මෙහෙවරට හා භාෂා මාමකත්වයටත් නව මං සපයාලමින් ජනතාව පුබුදු කළ මහාචාර්ය මලලසේකර චරිතය, උගස්නා විචිත්‍ර බසකින් හෙබියේය. 
මලලසේකර මහතා උපත ලැබුවේ විසිවන සියවසේ උදාව හා සමග 1900 වසරේදීය. 


මලලසේකර ඡන්ම ලාභය සිදුවූයේ දේශජ සංස්කෘතියෙන් ඔප් නැගුණු සමාජ පරිසරයකයි. එතුමාගේ පියා ආයුර්වේද වෛද්‍යවරයෙක් වූයේය. 


සිංහල ගැමි සමාජයෙහි “වෙද මහත්තයා” දේශජ සංස්කෘතියේ නියෝජිතයෙකි. බොහෝ විට ඒ සාම්ප්‍රදායික වෘත්තියේ යෙදුණු අය ගැමි නායකත්වයට අයත් තැනැත්තෝ වූහ. ශ්‍රී ලංකාවේ ඉපැරණි ගම්මාන බොහොමයක, “වෙද මහත්තයා රෝගීන් සුවපත් කිරීමේ නිරතවූයේ ධනෝපාජිත මාර්ගයක් වශයෙන් නොව, මානව මෙහෙයක් හැටියටයි. 


මලලසේකර නිජබිම, පානදුර නගරයට නුදුරු මාලමුල්ල පෙදෙසයි. මහැදුරු මලලසේකර මහතාණන්ගේ පියා එම්.එස්. පීරිස් මලලසේකර වූයේය. ජන සේවයේ යෙදී සිටීම හේතු කොට ගෙන, එතුමා පසුව “වෙද මුහන්දිරම්” නම්බුනාමය හිමි කොට ගත්තේය. 


මව, සෙලෙස්තිනා කුරුප්පු ජයවර්ධන නම් වූවාය. 


“වෙද නිවස” සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය ලද්දේය. කුඩා වියේ පටන්ම අනාගත මලලසේකර මහැදුරාණන්ට, දේශජ සංස්කෘතිය හුරු පුරුදු කරන ලද්දේ එතුමාණන්ගේ පියා වන වෙද මුහන්දිරම්වරයා විසින්මය. 


පියාණන්ගේ මං පෙන්වීමෙන්, ළමා මලලසේකර අකුරු ලියන්නට පුරුදු වූයේ මුදු වැල්ලේ හෝඩිය ලිවීමෙනි. 


බුදු සමය, ළමා කල පටන්ම ඔහුගේ දිවිපෙවෙතෙහි ප්‍රශස්ත අංගයක් විය. 


එදා ජෝජ් පීරිස් මලලසේකර යැයි නම් ලැබ සිටි ළදරුවා, සීපද, කවි, ගාථා කටපාඩමින් කියමින් පන්සලේ හිමිවරුන්ගේත් ආදරය දිනා ගත්තේය. 


මහැදුරු මලලසේකර මතකය, අවදි කොට ගනිමින්, මේ පද පෙළ ලියා ගෙන යන මගේ සන්තානයෙහි තරමක දෝමනස්සයයක් හට ගත්තේය. 


ශ්‍රී ලංකා සමාජයේ සංස්කෘතික සාමයික හා ශාස්ත්‍රීය අංශ බොහොමයක, සිය නාමය ප්‍රබල ලෙස සණිටුහන් කළ මහාචාර්ය මලලසේකර චරිතාපදානය, ක්‍රවත්ව, පරිපූර්ණ ලෙස ලියා තබන්නට මෙතෙක් කල් නිසි ප්‍රයත්නයක් දරන්නට පුද්ගලයෙකු ලෙස හෝ සංවිධානයක් ඉදිරිපත් නොවීම සිත පාරණ කරුණකි. 


චිත්‍රා මලලසේකර දියණිය විසින් හා සෙසු නෑදෑ හිතවතුන් කිහිප දෙනෙකු විසින් සපයන ලද, චරිත සටහන් අඩංගු ප්‍රකාශන තැන තැන ඇතත්, මේ මහා පුරුෂයාගේ ආදාර්ශවත් ජීවන වෘතායතය පරිපූර්ණව ග්‍රන්ථාරූඪ කොට තැබීමේ කාර්ය නොපමාව ඉටු වියයුතු ජාතික මෙහෙවරකි. 


ළමා මලලසේකර චරිතය, හැඩ ගස්සන්නට වැර දැරූ එතුමාණන්ගේ පියා සතු අදහස තිබුණේ පුතා, බටහිර වෛද්‍යවරයෙකු වනු දැකීමයි. 


දේශජ වෙද පවුල් බොහොමයක ප්‍රධානීන් තුළ එවැනි අභිමතාර්ථයක් තිබුණු බැව්, බොහෝ විට පෙනී යන්නේය. 


සිය පියාණන්ගේ අභිලාෂය ඉටු කිරීමේ ශක්තිය, ළමා මලලසේකර චරිතය තුළ තැන්පත්ව තිබිණි. 


කුඩා කල පටන්ම, ඒ දරුවා කාර්යක්ෂම වූයේය. චිත්‍රා දියණිය විසින් සිය ගරුතර පියාණන් දෑ පිළිබඳව ලියැ වී ඇති ඇතැම් සිද්ධි එයට නිදර්ශනයි. 


ගමේ සිට සැතපුම් 4ක් පමණ ඈතින්, පානදුර නගරයේ පිහිටි ශාන්ත ජෝස් විද්‍යාලයට යන කාලයේ, ළමා මලලසේකර මහසෙන් ප්‍රබල ආවේගයක් තිබිණි. 


හැකි තරම් ශීඝ්‍ර වේගයෙන් පාසැලට යනු පිණිස, ළමා මලලසේකර පාවහන් ගලවා අතට ගෙන,  අධිවේගයෙන් විදුහලට පා ගමනින් යන්නේය. මේ චරිත ගතිය නිසා ඒ දරුවා, “අස්සයා” යන සුහද නාමයද  ලද බව, චිත්‍රා විසින් සටහන් කොට ඇත්තේය.


ප්‍රශස්ත කඩිසර බවක් මලලසේකර චරිතය පුරාම පැතිර පැවැත්නේය.


විශ්වවිද්‍යාලයේ උපාධ්‍යාපේක්ෂක හැදෑරීම්වල යෙදී සිටියදී, මම විශ්වවිද්‍යාලයේ “බෞද්ධ සහෝදරත්ව” සංවිධානයේ (වුඩිස්ට් බ්‍රදර්හුඞ් සමිතියෙ) සභාපතිත්වයට පත් කරනු ලැබුවෙමි. එහි අනුග්‍රාහක පදවිය දරන ලද්දේ මහාචාර්ය මලලසේකර මැතිඳුන් විසිනි. එතුමාගේ සාමාන්‍ය කතා බහේ පවා කඩිසර බවක් ව්‍යක්ත ලෙස අන්තර්ගතව තිබෙනු මට දැනුනේය. 

මහැදුරු මලලසේකර චින්තනයෙහි උපතින්ම ස්ථාපිතව තිබුණු සාමගික ශ්‍රද්ධාව, ජාති මාමකත්වය වැනි යහගුණ ඉතා තහවුරු ලෙස මුල් බැස ගත්තේ, ධර්මපාල කර්නල් හෙන්රි ඕල්කට් වැනි ප්‍රජා නේතෘවරුන්ගේ සාමාජික විශෝධන විප්ලවීය ආවේගය නිසාය. 
ඔහු උපතින් ලද “ජෝජ් පීරිස්” යන නාම දවය, “ගුණපාල” යැයි වෙනස් වූයේය. 


විශ්වවිද්‍යාලයට ඇතුළුවූ මලලසේකර තරුණයා, වයස 19දී ලන්ඩන් බී.ඒ. බාහිර උපාධිය ලද්දේය. 


සිය අපූරු ශාස්ත්‍රීය ශක්තිය ප්‍රදර්ශනය කරමින්, මලලසේකර තරුණයා කලා උපාධිය ලද්දේ, මුළු ආසියාවේම පළමුවැන්නා වීමේ වරම හිමි කොට ගනිමිනි. 


මලලසේකර ප්‍රශස්ත චරිතයෙහි ප්‍රමුඛ අංශයක් වශයෙන් මා දකින්නේ, එය අද යුගයේ දරු දැරියන්ගේ ප්‍රබල ආදර්ශයක් හෙයිනි. ඔහු උගෙනීමෙහි විශ්ෂ්ටතා ප්‍රදර්ශනය කළේ බැරෑරුම් බාධා මධ්‍යයේය. 


ඔහුගේ නිවසෙහි එදා විදුලි ආලෝකය තිබුණේ නැත. එහෙත් අප්‍රතිහත ළමා ධෛර්යයෙන් ඔහු, අංශ දෙකක අධ්‍යාපනයක් උදෙසා නිරන්තර කැපවීමෙන් පත පොත හැදෑරුවේය. මෙහි එක් ප්‍රතිඵලයක් වූයේ, වයස දහනවයේදීම ඔහුට ඇස් කණ්ණාඩි පළඳින්නට සිදුවීමයි. 


සිය පියාගේ අභාවය ද යොවුන් මලලසේකර සන්තානයේ දුක් ගැනවිලිවලට තවත් අතිරේක ගින්නක් එකතු කළේය. 


මේ අඳුරු යුගයේදී, එතුමාට පිහිටට සිටි ප්‍රධාන පෙළේ කළණ මිතුරා වූයේ, ශ්‍රී ලංකා අධ්‍යාපන ප්‍රගතියේ පුරෝගාමී පී.ද එස්. කුලරත්න මහතාය. එතුමාගේ අනුග්‍රහයෙන් මලලසේකර තරුණ උගතාට, නාලන්දා නව විදුහලේ ප්‍රථම විද්‍යාලාධිපති පදවිය ලැබිණි. 


විද්‍යාර්ථියෙකු වශයෙන් ප්‍රාචීන අධ්‍යාපන  පිළිබඳ ලන්ඩන් ආයතනයට බැඳීමේ අවස්ථාව තරුණ මලලසේකර විද්වතාට පාදා දෙන ලද්දේ කුලරත්න හිතවතා විසිනි. 


ලන්ඩන් සමය, යොවුන් මලලසේකර චරිතයේ උද්දාමවත් පරිච්ඡ්ඡේදයකි. 


අත්‍යන්ත ප්‍රේමයේ ආශිර්වාදයෙන් මලලසේකර තරුණයාට සිය හද දිනූ මෙනවිය විවාහ කොට ගත හැකිවීමේ භාග්‍යය උදාවූයේත් ලන්ඩන්හිදීය. 


එහි සම්භාෂණයකට ඇරයුම් ලද මලලසේකර තරුණයාට ඒ සුහද හමුවේදී සිය අනාගත ප්‍රියම්භිකාව හමුවූයේය.


මලලසේකර තරුණයා ආකර්ෂණය දනවන පුරුෂ ශෝභාවෙන් හෙබුයේය. එදා ඔහුගේ යොවුන් ඇසට සහ තරුණ හදටත් ගෝචර වූයේ මනස්කාන්ත පියානෝ වාදනයක යෙදුණු මාගරට් රසල් නම් තරුණියයි. 


“පිළිබඳ සිත” ක්ෂණිකව උදා වූයේය. එහෙත් ප්‍රේමයට බාධා හට ගැණිනි. පෙම්වතියගේ මව තරුණ මලලසේකර කෙරේ පැහැදුණේ නොවේ. එවක ලංකාව පාලනය කළ බි්‍රතාන්‍ය ආණ්ඩුකාරවරයාට, ලියමනක් එවමින්. මේ විවාහය වළක්වන්නට, ඇය ආණ්ඩුකාරවරයාගේ සහාය ලබා  ගන්නට බැලුවාය. 


එහෙත් ප්‍රබුද්ධ පාලකයකු වූ ආණ්ඩුකාරවරයා ඇයට මෙසේ දන්වූයේය. “ශ්‍රී ලාංකිකයන්ගේ පෞද්ගලික ජීවිතයේ සිද්ධිවලට ඇඟලි ගැසීම, මගේ පාලන චාර්යාවට අයත් නැත.” එසේ වුව ද ආණ්ඩුකාරවරයා මෙසේ ද කියා සිටියේය. 


“අද ක්‍රමයෙන් දියුණු වන තරුණයකු වශයෙන් ආචාර්ය මලලසේකර මහතා ජනතාවගේ උදාර සැලකිලි ලබන්නේය. 


මාගරට් රසල්  මෙනෙවිය ලංකාවට සපැමිණියාය. 


ඒ කාන්තාවත්, ආචාර්ය මලලසේකර තරුණයාත් අතර විවාහය 1927 දෙසැම්බර් දහ වනදා සිදු වූයේය. චිත්‍රා මලලසේකර මහත්මිය, ඒ දෙදෙනාගේ දියණියයි. ඇය උපත ලැබුවේ 1929 යේදීය. 


ඇයගේ මවගේ (මලලසේකර මහතාගේ භාර්යාවගේ) අභාවයෙන් පසුව මහාචාර්ය මලලසේකර මහතා දෙවන වරට විවාහ වූයේ, 1933  දී ය. ඒ කාන්තාව ලයිලි  විජේවර්ධන නම් වූවාය. 


මහාචාර්ය මලලසේකර චරිතයෙහි, ප්‍රේමය හා විවාහ සබඳතා පිළිබඳව, මා ලියාලූයේ ඒ මහතාගේ ජීවන ප්‍රගතියේ පෞද්ගලික අංශය එතරම් ප්‍රසිද්ධ නැති හෙයිනි. 


එහෙත් මහාචාර්ය මලලසේකර මහතා සාමායික හා සංස්කෘතික වීරයෙකු වන්නේ ප්‍රධාන සාධක දෙකක් හේතු කොට ගෙනය. 


ධර්මපාල ඕල්කට් දෙදෙනා පෙරටු කොට ගෙන ශ්‍රී ලංකාවේ ආරම්භ වූ ජාතික හා ශාසනික ප්‍රභවය කුළු ගන්වන ලද්දේ මහැදුරු මලලසේකර මහතාගේ ප්‍රායෝගික ක්‍රියාදාමය විසිනි. 


දෙවනුව ශ්‍රී ලංකාවේ නූතන සාහිත්‍ය හා භාෂා ප්‍රබෝධයට තුඩු දෙන කෝෂ ග්‍රන්ථ නිර්මාණය කිරීමෙහිලා පෙරමුණ ගත් විද්වතුන් අතර, එතුමන්ට ප්‍රධාන තැනක් ලැබීම නිසාත් එතුමා සංස්කෘතික නේතෘත්වයක් ලබන්නේය. 


ඒ ග්‍රන්ථාවලිය, ශාස්ත්‍රීය පර්යේෂණයන් සඳහා මං පෙත් හෙළි කරන, පහන් ටැම් වැනිය. ඒ ග්‍රන්ථ හුවානයේ එක් කෘතියක් වන “මලලසේකර ඉංගිරිසි සිංහල ශබ්ද කෝෂය” නිදහසෙන් පසු ශ්‍රී ලංකා සමාජයෙහි ඉතාම බහුල වශයෙන් භාවිතා වන කෝෂ ග්‍රන්ථ අතුරෙහි ප්‍රමුඛස්ථානයක් ගත්තේය. 


එක් නිශ්චිත විෂයයක් පිළිබඳව ලියැවෙන ගැඹුරු ග්‍රන්ථයක් සකස් කිරීම පවා, ප්‍රබල ලේඛන අභියෝගයකි. එවැනි පසුබිමක, මහාචාර්ය මලලසේකර මහතා, ජගත් සහෘද සමාජයට පිළිගන්වා තිබෙන ග්‍රන්ථ පද්ධතිය, අප විසින් දැකිය යුතු වන්නේ දැවැන්ත ජන මෙහෙවරක් වශයෙනි. 


මහාචාර්ය මලලසේකර මහතා විසින් ඉටු කෙරුණු ප්‍රබලතම සංස්කෘතික මෙහෙයක් වන්නේ, ජගත් බෞද්ධ ජනතාවත්, ආගම් අගය කරන හැම ජන කොට්ඨාසත් එකට එක් කරන සංවිධාන රැසක් නිර්මාණය කිරීමයි. 


ජගත් බෞද්ධ සමිති සම්මේලනයේ සමාරම්භක සභාපතිත්වය එතුමාට හිමි වූයේ 1950 දීය. මේ පදවිය බෞද්ධ ලෝකයේ නිල නොලත් නායකත්වයට පත් කරනු ලැබීම වැනිය. එසේ ජගත් ජන මණ්ඩල සිය  බොදු පිරිස්, එක් සංවිධානයක් තුළට ගෙන එමින්, මහාචාර්ය මලලසේකර මහතා විසින් ඉටු කරන ලද අසහාය සමායික හා සංස්කෘතික මෙහෙය අද පවා, ජගත් ජන මණ්ඩලය පුරා ධ්වනි නගමින් දෝංකාර දෙමින් පැතිරෙයි. 


එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් වෙසක් උළෙල ජගත් මට්ටමේ සාමයික උත්සව දිනයක් බවට ප්‍රකාශ කිරීමේ ක්‍රියාදාමයට තුඩු දුන්නේත්, මහාචාර්ය මලලසේකර මහතා විසින් සමාරම්භික “වර්ල්ඞ් ෆෙලෝෂීප් ඔන් බුඩිස්ට්ස්” සංවිධානය යැයි සිතිය හැකි වේ. 
ශ්‍රී ලංකාවේ වර්තමාන බෞද්ධ නවෝදයට හිතකර, බෞද්ධ සමිති සම්මේලනයේ සභාපතිත්වය එතුමා දහනව වසක් පුරා ලබා සිටියේය. 


මේ අසහාය බෞද්ධ හා සංස්කෘතික මෙහෙවරෙහි බලපෑම හරි හැටි ඇගයීම් පවා අපහසුය. 


එතුමාණන්ගේ චරිතයෙහි ඇති විස්මය උපදවන අංශය නම් පෘථුල විෂය ධාරා සම්භාරයක් පුරා එතුමාගේ ප්‍රඥා ප්‍රභාව විහිදි ආකාරයයි. 


රාජදූත මෙහෙය එක් නිදර්ශනයකි. 


නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම රුසියානු තානාපතිවරයා වූයේ එතුමායි. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති තනතුර උසුලද්දි එතුමා මොස්කව්හි සහ සෙසු රාජ්‍ය බොහොමයක රාජ්‍ය දූතයන් අතර උච්ච ස්ථානයක් ලද්දේය. එයට හේතු වූයේ එතුමා තුළ පැවති ප්‍රවීණ රාජ්‍ය පාලන කෞශල්‍යතාවයන් සුහද, ජනකාන්ත චරිත ගති සමුදායන්ය. 


කැනඩා බි්‍රතාන්‍ය ආදි දේශයන්හි ශ්‍රී ලංකාවේ රාජ දූතයා වශයෙන් රාජකාරි කළ එතුමා, එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි ශ්‍රී ලංකාවේ ස්ථාවර නියෝජිත තනතුර ද දැරුවේය. 


“උසස් අධ්‍යාපනය පිළිබඳ ජාතික මණ්ලයෙහි” සභාපති ධුරය 1967 පටන් 1971 දක්වා, උසුලන ලද්දේ එතුමන් විසිනි. 
එතුමා සහභාගී වූ ප්‍රධාන පෙළේ ජාතික හා ජාත්‍යන්තර සමිති, සමාගම් සම්මේලන ආදියේ සංඛ්‍යාව, අති ප්‍රශස්තය. 


මේ සියල්ල මැද්දේ, අප විසින් පුන පුනා සඳහන් කළ යුතුව තිබෙන ප්‍රස්තූතයත් මෙයයි. 


එය මෙසේ සඳහන් කළ යුතු වේ. 


මහාචාර්ය මලලසේකර මහතා පිළිබඳ පෘථුල, විස්කෘත, පරිපූර්ණ, චරිතාපදාන කථාව, රජයේ මෙහෙයවීමෙන් හෝ නොපමාව ප්‍රකාශයට පත් කළ යුතු වේ. එවැනි ග්‍රනථයක්, ලොකු කුඩා හැම දෙනාටම මහාර්ඝ නිධානයක්. දරු පෙළට, දේවදායාදයක් වැනි ආදර්ශ ග්‍රන්ථයකි. එවැනි ප්‍රකාශනයක් දේශයේ ශාස්ත්‍රීය අධ්‍යාපන ශාස්ත්‍රීය, කලා හා රාජදූත මෙහෙයුම් ආදිය පිළිබඳ ගැඹුරු තැන්වලට යොමු කෙරෙන තියුණු ආලෝකයක් ද වේ. 


ප්‍රබල චරිත ගතිවලින් හෙබි, මනා දර්ශන වාදියෙකු වූ ඒ ජනනායකයා තුළ අන්තර් ගත වූ විනෝදකාමී බව ද වාර්තාගත යුතුවේ. ඇතැම් හෘදයාංගම අවස්ථාවලදී එතුමා සාරියකින් සැරසී, කාන්තාවකගේ වෙස් නිරූපණය කරන්නේ, සියල්ලන් හාස්‍යයෙන් නහවමිනි.


 අතිශයින් ළගන්නා සුළු ප්‍රවාදයක් වෙයි. දෙවන එලිසබෙත් මහ රැජිණගේ මාතාව වන එලිසබෙත් මව් රාජිණිය විසින් පැවැත්වුණු සම්භාෂණයකට මහාචාර්ය මලලසේකර මහතා ද ඇරයුම් ලැබ සහභාගී වූයේය. 


ඔබගේ නිජ පෙදෙසෙහි බොහෝ දෙනා බුද්ධිමත් යැයි මා දැන ගත්තා. එයට හේතුව කුමක් ද? 
මහාචාර්ය මලලසේකර, නොපැකිළ පිළිතුරු දුන්නේය. “මහ රැජිණ, අපගේ පෙදෙස, ධීවර කාර්මික පෙදෙසක් නිසා, මත්ස්‍යාහාරයෙන් අපගේ මොළය පෝෂණ වෙයි. අප බුද්ධිමත් වන්නේ ඒ නිසයි.”


පසුව වරක ද මව් රැජිණව, ඔහු හමුවුණේය. මේ ඉන්නේ අර මාළුවානේ දැයි එතුමිය, මහාචාර්ය මලලසේකර මහතා හැඳින ගෙන, සිනාමුසුව පවසා සිටියාය.


RECOMMEND POSTS