පෝලියෝ ලෝකයෙන් බින්දුවට බස්සන වසර



 

දිවිපෙවෙත යැයි කියන්නේ හුදෙක් ජීවත්වීමට පමණක් නොවේ. නීරෝගීව ජීවත්වීමටයි”
මාකස් වැලේරියස් මාෂියාලිස් (ක්‍රිස්තුවර්ෂ 40-104)

ස්පාක්‍ඳ්ක්‍ඳයේ උපන් ලතින් කවියා - උපහාස ලේඛකයා


සිරිලක අපි, දශක ගණනක් මුළුල්ලේ, අලි - මිනිස් සටන් ගැන කතා-බහ කරන්නෙමු. මිනිසාගේ මේ සටන ගොඩබිම වෙසෙන මහාම සත්ව විශේෂයාට එරෙහිවයි.


මෙසේ නොනවත්වාම, සාකච්ඡා කරගෙන ගිය ද අපට තාමත්, සාර්ථක විසඳුමක් දෙසට යා හැකි වූයේ නොවේ.


එහෙත්, ලෝකයේ මහා විද්‍යාඥයෝත්, කලක් මුළුල්ලේ මහා දැවැන්ත සටනක් කරගෙන යති. ඒ වනඅලි වැනි යෝධ සත්ව විශේෂයකට පටහැනිව නොවේ. පියවි ඇසටවත් නොපෙනෙන, අති සූක්ෂම සතුරෙකුට විරුද්ධවයි. ඒ සතුරා, නම් කෙරෙන්නේ -සුපිරි විෂබීජ” හැටියටයි. මෙතෙක් ඉතාම දියුණු විශේෂඥයාට පවා ලොව පුරා, ජන මාරක සටනක යෙදෙන මේ අතිසූක්ෂම, සුපිරි විෂබීජ දමනය කළ හැකි නොවීය.


එසේ වුවද, අලුතින් උදා වූ 2018 මේ වසරේ මුලදීම ඇසෙන ඉතා ශුභ ප්‍රවෘත්තිය නම්, මුළු මිනිස් වර්ගයාගේම නපුරුම සතුරන් වූ, මෙතෙක් දමනය කළ නොහැකිව සිටි -සුපිරි විෂබීජ” නැතිකොට ලීමේ ක්‍රමයක්, විශේෂඥයන් විසින් නොබෝදා සොයාගෙන තිබීමේ අති සතුටුදායක සිද්ධියයි.


2018 දී, ලෝකයේ -දරුණු රෝග” කාරක බලගතු විෂබීජ, විනාශ කිරීමේ න්‍යායය, විශේෂඥයන් විසින් සොයා ගැනීමේ, සතුටුදායක කථාවෙහි තවත් අතුරු පැත්තකුත් වෙයි. එය මේ මහා සුබාරංචියේ සතුට තවත් ඉහළ කුටයකට නංවන්නකි. එයින්, කියැවෙන්නේ, තව නොබෝ කලකින් ඒ ‘න්‍යායය’ ප්‍රායෝගික ප්‍රතිකාර පද්ධති බවට පරිවර්තනය කොටගත හැකිවන බවයි.


මේ සිත පහන් කරන ප්‍රවෘත්තියේ සුළ-මුල දෙස සිත් යොමු කරමු.


මානව වංශයට ශාන්තිය දෙන, මේ ප්‍රාතිහාර්යමය ප්‍රතිකාර ක්‍රමය සොයා ගන්නා ලද්දේ, ජීවිත බේරා ගැනීමට කැපවී සිටින, වෛද්‍ය විශේෂඥවරියක් විසිනි. එතුමියගේ නම ස්ටෙෆනී ස්ට්‍රැත්ඩී ය. එතුමිය ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන් ඩියොගෝහි, කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ, ජගත් සෞඛ්‍ය විද්‍යා අංශයේ සහකාර පීඨාධිපතිනියයි.


මේ විශේෂඥවරිය අයත්වන්නේ, මේ දමනය කළ නොහෙන සුපිරි විෂබීජ විනාශකිරීම සඳහා භාවිත කළ හැකි චිකිත්සක ක්‍රම ගැන අත්හදා බැලීම්වල නිරත වූ දැනට තරමක් කුඩා වූ, එහෙත් සීඝ්‍රලෙස වැඩෙන විද්‍යාඥයන් කණ්ඩායමකටයි.


මේ ප්‍රතිකාර ක්‍රමය නම් කෙරෙන්නේ -භෝජක චිකිත්සාව” වශයෙනි. ඒ ප්‍රතිකාර ක්‍රමයේදී භාවිත කෙරෙන්නේ, -බැක්ටීරියා භෝජකයෝයි”. (සරලව: බැක්ටීරියාවන් බුදින්නෝයි) මේ බැක්ටීරියා භෝජකයෝ, අතිසූක්ෂම විෂබීජ වර්ගයකි. මේ ඉතා කුඩා විෂබීජ සතු අපූරු බලයක් ඇත්තේය. ඒ බලය නම්, ප්‍රතිකාරවලට -අහන්නේ නැති” (අණක් - ගුණක් නොඅසන) ප්‍රතිකාරවලට විරුද්ධව වැඩෙන, මාරක බැක්ටීරියා වර්ග විනාශකිරීමේ ශක්තියයි.


මේ ශ්‍රේෂ්ඨ විශේෂඥවරිය, රෝගී තරුණියකගේ ජීවිතය බේරා ගන්නට දැඩි ප්‍රයත්නයක් දැරුවාය. ඒ තරුණිය, විසිපස් හැවිරිදි මැලරි ස්මිත් ය. ඒ තරුණිය ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියාය. දශකයකට පෙර ඒ තරුණිය, රෝගයක් සඳහා ප්‍රතිකාර ගන්නට බොහෝ ආරෝග්‍යශාලා සංඛ්‍යාවකට ගියාය. ඇතැම්විට, එසේ ආරෝග්‍ය ශාලාවල හිටි වතාවකදී, ප්‍රතිකාරවලට ‘අහන්නේ’ නැති බැක්ටීරියාවක් ඇයගේ සිරුරට ඇතුල්විය. මේ තත්ත්වය ප්‍රතිජීවකවලින් පාලනය කොටගත හැකිවෙතැයි වෛද්‍යවරු සිතූහ. එහෙත් අවාසනාවකට මෙන්ම ඒ නපුරු බැක්ටීරියාව. ප්‍රතිකාරවලට විරුද්ධව සටන් කළේය. එසේ සටන් කරමින් ඒ සතුරු බැක්ටීරියාව, වඩ වඩාත් බල සම්පන්නව ඇයගේ පෙණහළුවල වැඩුණේය. මේ ආසාදනය පාලනය කරගන්නට විශේෂඥයෝ දැඩි ප්‍රයත්නයක් දැරූහ. දෙවන පෙණහළුවක් ද බද්ධ කරන ලදී. මේ නපුරු බැක්ටීරියාව ඇයගේ නාස් කුහරවලට ද ඇතුළු වූයේය. ඇයගේ ශල්‍යකර්මවලින් පසුව, ඒ නපුරු බැක්ටීරියාව තව තවත් බල සම්පන්නව ආපසු ආයේය.


මේ රෝගී තරුණියගේ පියා, වෛද්‍ය විශේෂඥ ස්ට්‍රැත්ඩී මහත්මිය විසින් කරන ලද ප්‍රාතිහාර්යමය ප්‍රතිකාරයක් ගැන අසා සිටියේය. එතුමිය, ඒ ප්‍රතිකාරය මගින් බේරා ගන්නා ලද්දේ ඇයගේම සැමියායි. සැමියාගේ සිරුරට නපුරු බැක්ටීරියාව ඇතුළුවීමෙන් ඔහු මරණාසන්න වී සිටියේය. කිසිම ප්‍රතිකාරයකින් ප්‍රතිඵලයක් නොතිබිණි. සතුරු බැක්ටීරියාව ඒ ප්‍රතිකාර හා සටන්කොට ප්‍රතිකාර පරදවා ලූයේය. එහිදී ස්ටෙෆනී ස්ට්‍රැත්ඩී විශේෂඥවරිය, සිය සැමියාට ප්‍රතිකාර කරන වෛද්‍ය විශේෂඥයන්ගේ සහායයෙන්. මේ ‘නපුරු බැක්ටීරියාව’ හා සමඟ සටනකට වැදුණාය. එහිදී කරන ලද්දේ නපුරු බැක්ටීරියාවනට එල්ලකොට ‘උන්’ නසාදමනු පිණිස -විෂබීජ වර්ගයක්” භාවිත කිරීමයි. මෙය සිතිය නොහෙන තරම් සරල සේ පෙනෙන ක්‍රියාවකි. එහෙත් අවසානයේදී -භෝජකයෝ” නපුරු බැක්ටීරියා කා දමා රෝගියාගේ ජීවිතය බේරූහ. 


ඒ අනුසාරයෙන් රෝගී තරුණියටත් ඒ ප්‍රතිකාරය ලබාදෙන්නට ක්‍රම සලස්වන ලදී.


මිනිස් අලි සටන වැනිම, අතිශය ත්‍රාසදායී වූ මේ නපුරු බැක්ටීරියානු වනට විරුද්ධව -හිතවත් විෂබීජ” යෙදවීමේ සටන මුළු මානව වංශයටම අද අතිශයින් අවශ්‍ය වී තිබෙන්නේය.


ඉතා දියුණු වෛද්‍ය හා චිකිත්සක ක්‍රම සහිත ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි, හැම වර්ෂයකදීම, ප්‍රතිකාරවලින් සුව නොකළ හැකි ආසාදනයන්ට ගොදුරු වූ රෝගීන් විසිලක්ෂයක් පමණ වාර්තා වෙයි. ඒ ආසාදනය ‘ප්‍රතිජීවක’ ඖෂධවලට කීකරු නොවන්නේය. ඒ වාර්තාගත රෝගීන් අතුරින් යටත් පිරිසෙයින් 23,000ක්වත් මරණයට පත්වෙතැයි, ගණන් බලා ඇත්තේය.


විශේෂඥයන් කියන්නේ මේ නපුරු බැක්ටීරියා ගැන සාමාන්‍ය මහජනයා එතරම් දැනුවත් නැති බවයි.


ඒ නිසා, අද ලොව එකම බලාපොරොත්තුව, නපුරු විෂබීජ බැක්ටීරියා නසාලන -හිතවත්” භෝජක විෂබීජ භාවිතයයි.


ශ්‍රී ලංකාවේ අප විසින් මේ සිද්ධිය කෙරේ සිත් යොමුකළ යුතු වන්නේ අපගේ දේශයට මෙවැනි අර්බුද එන්නට පෙර අප අතුරින් ප්‍රබුද්ධ විශේෂඥයන් පිරිසක් මේ නපුරු විෂබීජවලට එරෙහි සටනට පුරුදුකොට ගනු පිණිස, දියුණු රටවල හා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් සහාය සෙවිය හැකිවන හෙයිනි.


2018 දී සිදුවිය හැකි ප්‍රාතිහාර්යමය ප්‍රතිකාර පිළිබඳ මේ ප්‍රවෘත්තිය, ලොව කාටත් නව අවුරුද්දට පිරිනැමෙන ත්‍යාගයක් වැනිය.


2018 දී ලෝකයේ රෝග දුරුකිරීමේ කථාවේ තවත් ත්‍රාසජනක සිද්ධියක් ද නව වසරේ ප්‍රකාශයට පත්වූයේය.


මුළු මානව වර්ගයා පෙළෙන රෝගවලින්, ඉතාම භයානක ව්‍යාධියක් නම් බාලක පක්‍ෂඝාත රෝගයයි (පෝලියෝ).


2018 ආරම්භයේදී, පවසා සිටිය හැකි ඉතාම සතුටුදායක සෞඛ්‍ය ප්‍රවෘත්තිය පෝලියෝ රෝගය හා ආශ්‍රිතය.


1988 වර්ෂය තරම් මෑත සමයයේදී, ලෝකයේ වර්ෂයකට පෝලියෝ රෝගීන් 350,000ක් පමණ දෙනා සිටියහ. ඒ කාලයේදී රටවල් 125ක ඒ රෝගය මුල්බැසගෙන තිබිණි.


එහෙත්, නව වර්ෂයේ ලෝකයට නිම්හිම් නැති සතුට දනවන පුවත නම්, 2017 දී, ලෝකයේ සිටියේ හුදෙක් රෝගීන් 16 දෙනෙකු පමණක් වීමේ සිද්ධියයි. ඒ 16 දෙනා සිටියේත් රටවල් දෙකක පමණි. ඇෆ්ගනිස්ථානයේ සහ පකිස්තානයේයි.


මේසා විස්මය උපදවන ආකාරයෙන් පොලියෝ රෝගය, ලොවින් තුරන් වූ විට, අලුතින් උදා වූ 2018 වර්ෂය, ලෝකයේ පෝලියෝ රෝගය බින්දුවට බසින අවුරුද්ද විය හැකිය.


පෝලියෝ රෝගය ලොවින් තුරන් වී යෑම හා සමඟ සම්බන්ධ වූ තවත් තෘප්තිදායක ආරම්භයක් ඇත්තේය.


මේ ඉතාම දරුණු රෝගය, මුළු ලොවින් තුරන් කරන ලද්දේ, සිතන්නටත් බැරිතරම් වූ මහා ධනස්කන්දයක් වැය කිරීමෙනි.


මින්පසු, මේ රෝගය සඳහා වැය කිරීමකට ඉඩ නොතබා මේ වසංගතය සදහටම මානව සමාජයෙන් ඉවත්ව ගියහොත්, ජගත් මට්ටමින් ඉතා විශාල ධන ප්‍රමාණයක් ඉතිරිවෙයි.


ඒ ධන ප්‍රමාණය, ලොව පෙළෙන වෙන අන් රෝග පිටුදකිනු පිණිස භාවිතා කළ හැකි වන්නේය.


එවැනි එක් අවස්ථාවක් නම්, පිළිකා රෝගය නැත්තටම නැති කිරීම සඳහා යන වියදම පියවා ගන්නා පිණිස, මේ පෝලියෝ අරමුදල් භාවිත කිරීමයි.


දැනට සම්පාදනය වී තිබෙන පිළිකා රෝග නාශක බේත් සඳහා එක් රෝගියෙකු විසින් විශාල මුදල් සම්බාරයක් වැය කළ යුතුය. ඒ වියදම අඩුකොට, පිළිකා රෝග වාරක චිකිත්සාව සාමාන්‍ය මිනිසුන් පවා ලබාදීමේදී පෝලියෝ අරමුදල් ඉතිරිකොට දීම යහපත් මානව මෙහෙයක් වේ.


2018 දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරු පස් දෙනෙක්.


ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ප්‍රථම ජනාධිපතිවරයා වූයේ ජෝජ් වොෂිංටන් සෙනෙවියා ය. ඒ රාජ්‍යයේ 45 වන ජනාධිපතිවරයා වර්තමාන ඩොනල්ඞ් ට්‍රම්ප් මහතායි.


විස්මය නම්, මේ 45 දෙනාගෙන්, හිටපු ජනාධිපතිවරු පස්දෙනෙක්ම අද 2018 දී එකෑවර ජීවමානව සිටීමයි.


ඒ අද වෙසෙන හිටපු ජනාධිපතිවරු පස්දෙනා මෙසේය.


තිස්නව වන ජනාධිපතිව සිටි ජීමී කාටර් මහතා 
උපන් දිනය 1924 ඔක්තෝම්බර් 1 (වයස 93යි) 
පාලන සමය 1977 ජනවාරි 20 සිට 1981 ජනවාරි 20
හතළිස් එක්වන ජනාධිපතිව සිටි ජෝජ් බුෂ් මහතා 
උපන් දිනය 1924 ජුනි 12 (වයස 93)
පාලන සමය 1989 ජනවාරි 20 සිට 1993 ජනවාරි 30
හතළිස් එක්වන ජනාධිපතිව සිටි බිල් ක්ලින්ටන් මහතා
උපන්දිනය 1946 අගෝස්තු 19 (වයස 71යි)
පාලන සමය 1993 ජනවාරි 20 සිට 2001 ජනවාරි 20
හතළිස් තුන්වන ජනාධිපතිව සිටි ජෝජ් ඩබ්ලිව් බුෂ් මහතා
උපන් දිනය 1946 ජුලි 06 (වයස 71)
පාලන සමය 2001 ජනවාරි 20 සිට 2009 ජනවාරි 20
හතළිස් හතරවන ජනාධිපතිව සිටි බැරක් ඔබාමා මහතා
උපන් දිනය 1962 අගෝස්තු 04 (වයස 55යි)


 

 

 

මිනිස් ඉතිහාසයේ ප්‍රථම හෘද බද්ධ සැත්කමට 50 වසරයි

2018 නව වසර උදාවන විට, මානව චිකිත්සා ඉතිහාසයේ ආශ්චර්යමත් ශල්‍යකර්මයකට අඩසියවස සම්පූර්ණ වූයේය. 


ඒ විස්මය දනවන පුරෝගාමී සැත්කම වූයේ හෘද බද්ධ ශල්‍යකර්මයයි. එය සිදු වූයේ 1967 දෙසැම්බර් මස තුන්වනදායි. එදා දකුණු අප්‍රිකාවේ ශල්‍ය වෛද්‍යවරයකු වූ දොස්තර ක්‍රිස්ටිආන් බානාඞ් මහතා විසින්, මිනිසෙකුගේ ඉළ ඇට කූඩුව තුළින්, ඔහුගේ චලනය වන හෘදය වස්තුව එළියට ගෙන, අලුත් හදවතක්, එය තිබුණු තැනට බද්ධ කරන ලදී.


මේ මිනිස් ඉතිහාසයේ ප්‍රථම හෘද බද්ධ සැත්කමට අට පැයක් ගත වූයේය. ඒ බද්ධ කරන ලද හදවත කම්පනය වීමේ හඬ මුළු ලොවටම දැනුනේ යැයි විචාරකයෝ පැවසූහ. රෝගියා, පනස් තුන් හැවිරිදි ලුයිස් වොෂ්කන්සිකි ය. ඔහුට හදවත දෙන ලද්දේ ඩෙනීස් ඈන්ඩාර්වෝල් නම් 25 හැවිරිදි තරුණිය විසිනි. ඒ කාන්තාව, මෝටර් රථ අනතුරකින් මැරෙන්නට යද්දී, ඇයගේ හදවත ‘රෝගියාට’ පුදන්නට සූදානම තිබුණේය. එහෙත්, හෘද බද්ධයෙන් දින දහඅටකින් රෝගියා මිය ගියේය. 


එදා පුරෝගාමී වූ ඉන්ද්‍රීය බද්ධ චිතික්සාව අද එය බොහෝ සේ සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇත්තේය.


අද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයෙහි ප්‍රධාන ඉන්ද්‍රියන් බද්ධ කිරීමේ සැත්කම් මඟින් 30,000ක් පමණ දෙනා නව ඉන්ද්‍රිය ලබති. ඉන් 3000ක් පමණ හෘද බද්ධ සැත්කම් ය.


 අනාගතයේදී, මේ ඉන්ද්‍රිය බද්ධ ශල්‍යකර්ම ක්ෂේත්‍රයේ, විස්මය උපදවන ප්‍රගතියක් සිදුවේයැයි විචාරකයෝ පවසති. මානව ඉන්ද්‍රිය ලැබීමේ ක්‍රම ක්ෂය වී ගියත්, සතුන්ගේ ඉන්ද්‍රිය සහ කෘතිම ඉන්ද්‍රිය බද්ධ කිරීම් පිළිබඳව පර්යේෂණ පැවැත්වේ. 


විශේෂඥයන් විසින් අනාගතයේ තවත් පැත්තකට සිත් යොමු කෙරෙන්නේය. අලුතින් හදවත් බද්ධ කිරීම වෙනුවට, නැවතුනු හදවත් යළි ප්‍රකෘති තත්ත්වයට පත්කොට ක්‍රියා කරවීමේ චිකිත්සාව දෙසත් විද්‍යාඥයෝ සිය පර්යේෂණ විහිදුවති.


2018 මේ නව වස ආරම්භ වන්නේ මානව සෞඛ්‍යය, ප්‍රාතිහාර්මය පියවරෙන් දියුණු කරන චිකිත්සක ක්‍රම පිළිබඳ විස්මය දනවනසුළු ප්‍රවෘත්ති සමූහයකිනි. ජගත් මට්ටමෙන්, සිදුවන මේ මහා ප්‍රගතියෙන් අපටත් උපරිම ප්‍රතිඵල ලද හැක්කේ අප ඒ දියුණුව දෙස තියුණු අවධානය යොමු කොට ගෙන සිටියොතිනි.


 

ලෝකයේ පැරණි පොත් පත් ඊස්ඩිලස්ගේ නාට්‍ය

ඉපැරණි ග්‍රීසිය, නාට්‍ය කලාව පිළිබඳව, මානව ඉතිහාසයේ උපරිම කීර්තියක් හා අමරණීය සම්මානය ලබන රාජ්‍යයකි. නාට්‍ය කලාව පිළිබඳ ගැඹුරු චින්තන බොහොමයක් ප්‍රභවයට පත් වූයේ ග්‍රීසියෙනි. 


ඛේදවාචක නාට්‍ය මගින් සිදුවන භාව විශෝධනය (කැතාරිස්) නම් මනෝ විද්‍යාඥයා, කලා ලෝලී ජනතාවගේ ආධ්‍යාත්මික ප්‍රගතියට හේතු වූයේය.


ග්‍රීසියේ, ඛේදවාචක නාට්‍ය කලාවේ පහළ වූ විශිෂ්ටතම නාට්‍යවේදියෙකු වශයෙන් සම්මාන ලබන්නේ ඊස්ඩිලස් ය. ඔහු ජීවත් වූයේ ක්‍රිස්තුපූර්ව 525ත් 456ත් අතර කාල පරිඡේදයේදී ය.


ඇතැන්ස් පෞර රාජ්‍ය වාසියෙකු වූ ඔහු දරුණු පර්සියානු යුද්ධ සමයේදී, ඇතැන්ස් පෞර රාජ්‍යය වෙනුවෙන් රණබිමට ගියේය. ඒ සටන් අතරතුර ඔහු මැරතන් හිදී තුවාල ලද්දේය.


ඊස්ඩිලස් නාට්‍යවේදියා, කවියෙකු වශයෙන් ප්‍රථම වරට ජයග්‍රහණයක් ලද්දේ ක්‍රිස්තු පූර්ව 485 දීය. ඉතිහාසය විසින් පැවසෙන පරිදි ඔහු විසින් ප්‍රබන්ධිත නාට්‍ය සංඛ්‍යාව හැට ද ඉක්මවා සිටී. එහෙත්, ඒ සියල්ලෙන්ම දැන් ඉතිරිවී තිබෙන්නේ කෘති හතක් පමණකැයි සැලකේ. සුප්‍රසිද්ධ ත්‍රිත්ව නිර්මාණයක් ඒ ඉතිරිවී ඇති කෘති අතර පවතී.


ඔහු අභාවයට පත්වූයේ හැටනව වියේදීය.


 

සිංහයා සහ නරියා

ආදි යුගයේ, ජන කතාවලදීත් සාහිතසික කෘතිවලදීත්, වෙසෙසින්ම උපමා කතාවලදීත් නරියන්ට විශේෂ ස්ථානයක් ලැබුණේය.
එහෙත්, වර්තමාන යුගයේදී නම්, නරියාට ඒ තරම්ම සැලකිල්ලක් දැක්වෙන බවක් නොපෙනේ.


නරියා හා සම්බන්ධ අතීත ප්‍රවාද සමූහයෙන් එකක් ගෙන බලමු.


වරක් මෘගරාජ සිංහයාට, දැඩි කම්මැලිකමක් දැනුනේය. ඔහු, සිය උදාසීන බව මකාගන්නා පිණිස, යමක් කළ යුතු යැයි සිතමින් අවට පෙදෙස් විමසා බැලුවේය.


සිංහයා අවට සිසාරා බලන විට, ඔහුගේ නෙතට හමුවූයේ, කර කියාගත දෙයක් නැති කලක් සේ, ඒ මේ අතට එබෙන නරියෙකි.
සිංහයා, ඒ නරියා තමා වෙත කැඳවූයේය. 


-නරිහාමි, මෙහි එනවා. මට උපකාරයක් කරන්න ඕනෑ” නරියා, දැඩි ලෙස චකිතයට පත් වූයේය. “සිහරජතුමනි, මා වැනි නරියෙකුගෙන් ඔබට අවශ්‍ය වන්නේ කුමක්ද? ඔබතුමාට ලබාගත නොහැකි දෙයක් තිබේද” යැයි, නරියා යටත් පහත්ව කියා සිටියේය.


සිංහයා සිනාසුනේය. “නරිහාමි, ඒ තරම් බැරෑරුම් දෙයක් නොවෙයි. මා කියන දේ ඉතා හොඳින් අහන්න. මට ටිකක් කම්මැලියි. මට ටිකක් ඇඟ සොලවා යමක් කරන්න සිතුනා. එතැනදී තමයි මට නරිහාමි ඕනෑ වෙන්නේ” සිංහයා එසේ පැවසූවිට, නරියා කලබලයට පත්වූයේය. “රජතුමනි, ඔබ කැමති දෙයක් කියන්න”


“නරිහාමි, මේක අහගන්න. මට ඕනෑ කරන්නේ රණ්ඩුවක් අල්ලන්නයි. ඒ නිසා, මා ගලක් පෙන්නලා නරිහාමිට කියනවා මේ ගල මගේය කියලා. නරිහාමි කියන්න ඕනෑ මෙහෙම. රජතුමනි ඔය ගල ඔබ තුමාගේ නොවේ. ඒක මගේය කියලා. එවිට මා කියනවා නැහැ මගේය කියලා ගලට රණ්ඩු වෙනවා” 


“යහපති රජතුමනි” කියා නරියා එකඟ වූයේය.


රජතුමා කතාකරගත් පරිදි ගලක් පෙන්වා මෙසේ කීවේය. “නරිහාමි මේ ගල මගේ” 


නරියා රජතුමා දෙස බලා “රජතුමනි, ඔය ගල ඔබතුමාගේ නම්, ඔබතුමා ඒක තියා ගන්න” යි කියා යන්නට ගියේය.
අන්දුන් කුන්දුන් වූ සිංහයාගේ යාළුකමත් කොහේ ගියාදැයි නැතිව ගියේය. 


RECOMMEND POSTS