නිදහස් අධ්‍යාපන පීතෘ කන්නන්ගර වීරයා



“සිය දේශයේ ශ්‍රේෂ්ඨ පුරුෂයන් සොයා යන ජාතියක් දැකීම තරම් ළය සනහන වෙන අන් දර්ශනයක් නොමැත. විශ්වාසයෙන් යුක්තව වීරයෙකු පිළිගන්නට සූදානම් වීම තරම් කමනීය වූ වෙන අන් දෙයක් නැත්තේය.”
ජේම්ස් රසල් ලවල් (1819--1891) ඇමරිකානු දර්ශනවාදියා

 

සිරිලක අපි නිසි වීරයන්ට නිසි ආකාරයෙන් ගරු බුහුමන් දක්වන්නට සැදී පැහැදී සිටින පිරිසක් වෙමු. දේවානම් පියතිස්ස, දුටු ගැමුණු ආදි රජවරු මෙන්ම තොටගමුවේ සිරි රහල් මාහිමියන් වැනි බුද්ධි ප්‍රභූවරුද, ශ්‍රී ලාංකිකයන්ගේ අභිනන්දනය ලබති. 
මෑත ඉතිහාසයේ පහළ වූ ඩී.එස්. සේනානායක, ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක, ඩඞ්ලි සේනානායක වැනි ජන වීරයෝත් ජන මනසෙහි සදා රැඳී සිටිති. 


නවීන යුගයේ ශ්‍රී ලංකා දේශයට මහා මෙහෙයක් ඉටු කළ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මානව සේවියාද අතිශයින් විභූතිමත්ව ජන සන්තාන ගතව සිටින ප්‍රජා වීර පුරුෂයෙකි. 


ශ්‍රී ලංකාවේ හැම ගෙදරකටම හැම පවුලකටම බලපාන පාලන නියමයක්, මේ දිවයිනට ලබා දී කන්නන්ගර මහතා එතෙක් ලෝකයේ බොහෝ දේශවලට නොලැබුණු ආශිර්වාදයක් අපගේ මේ කුඩා එහෙත් පූජනීය දේශයට පිරිනැමුවේය. 


එතුමාණන් විසින් අපගේ දිවයිනේ එදා ඉපිද සිටි දරුවන්ටත්, නූපන් දරු පරම්පරාවලටත් නිදහස් අධ්‍යාපනයේ භාග්‍යය උදා කරන ලදී. 


අද අප මේ අසහාය දේශපාලන චරිතය දෙසට විශේෂ අවධානය යොමු කරන්නේ, මේ නිදහස් අධ්‍යාපනය පනත සම්මත වී, 2017 මැයි 15 වැනිදාට සැත්තෑ වසක් පිරෙන හෙයිනි. 


පෘථුල මට්ටමේ විරෝධාකල්පත් මේ යෝජනාවට පටහැනි බලගතු උද්ඝෝෂණයත් ජයගෙන නිදහස් අධ්‍යාපන පනත ස්ථාවරව පිහිටා සිටියේ 1947 මැයි මස 15 වැනිදායි. 


ඒ පනතෙහි සත්වන දශකය දෙස, විමර්ශනාත්මක බැල්මක් හෙළන ගමන්ම, මේ විප්ලවීය පියවරට ඉඩදුන් ඉතිහාසයක් ඒ ප්‍රතිපත්තිය නිර්මාණය කළ විද්වතාගේ චරිත විකාශනයත්, ක්‍රමවත්ව සලකා බැලීම අප කාගේත් යුතුකමකි. 


අධ්‍යාපන ක්ෂේත්‍රයේ එතෙක් නොවු විරු විප්ලවයකට මඟ පාදමින් නිදහස් අධ්‍යාපන පනත සම්මත කරවා ගත් සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර පුරෝගාමියා ඉතා බාලවියේ පටන්ම උගෙනීමේ රසය ආස්වාදය කළ දුර්ලභ ගණයේ දරුවෙක් විය. නිදහස් අධ්‍යාපනය පිළිබඳ දේවමය වරප්‍රසාදයක් මතු පරම්පරාවන්ට ලබාදීමට හේතු කාරක වූ අපූරු ආධ්‍යාත්මික අංශයක් ද ඔහු සතුව තිබුණේය. 
ඒ පක්ෂය සොයා බැලීම, ශ්‍රී ලාංකික හැමෝගේම යුතුකම යැයි මට සිතේ. 


කුඩා කාලයේදීම ඔහුගේ සිඟිති අධ්‍යාත්මයට දරා ගත නොහෙන පහර වැදුණේය. ඒ කුඩා දරුවා දැඩි ලෙස ඇලුම් කළ, අධ්‍යාපනය ලැබීමේ වාසනාව ඔහු කෙරෙන් ගිලිහී යා හැකි තරම් වූයේය. 


පුංචි දරුවකුට දරා ගත නොහෙන තරමේ, මානසික වේදනා ගෙන දෙන පහර කිහිපයකට මේ කුඩා ළමයා මුහුණ පෑයේය. මේ ගැන මඳක් සිත් යොමු කරමු. 


ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගර නමින් ඔහු උපත ලද්දේ 1884 ඔක්තෝබර් 13 වනදායි. උපන් ගම අම්බලන්ගොඩ රන්දොඹේ. දෙමාපියෝ ක්‍රිස්තු භක්තිකයෝ වූහ. පවුලේ දරුවෝ පස් දෙනෙකි. මේ දරුවාට වයස හයේදී මව අභාවයට පත් වූවාය. පියාගේ රක්ෂාවත් අදිසියේ නැතිව ගියේය. 


පියා දෙවන විවාහයක් කොට ගත් නිසා පවුලේ දරු සංඛ්‍යාව නවයක් වූයේය. මෙවැනි පෞද්ගලික අර්බුද මැද්දේ, ඒ සංවේදී දරුවාට සිය අධ්‍යාපනය අඛණ්ඩව කර ගෙන යෑම චිත්ත පීඩාවට තුඩු දුන්නේ විය හැකිය. ඒ සියල්ල නොතකා ඒ දරුවා සිය ඉගනීම් කටයුතුවල නිරතවීමේ අපූරුව අසාමාන්‍ය සිද්ධියකි. 


දෛවය ඉතා කුඩා කල පටන්ම ඔහුගේ ආත්ම ශක්තියට උපකාර කළේය. ගමේ වෙස්ලියන් මිෂන් පාසැලේ උගෙනීම ලබද්දී ඔහු සිය පාසැලේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට සහභාගී වූයේය. එහිදී තිළිණ බහුතරයක් ලද්දේ මේ දහතුන් හැවිරිදි සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. ය. උළෙලේ ප්‍රධාන අමුත්තා වූ ගාල්ල රිච්මන්ඞ් විදුහල්පති ඩැලර් පියතුමා, දරුවා කෙරේ තුටු පහටු වී ඔහුට රිච්මන්ඞ් විද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සඳහා ඉඩ හසර ලබාදුන්නේය. එතැන් පටන් ඔහුට සිය දක්ෂතා ප්‍රදර්ශනය කරන්නට අවස්ථාව උදා විය. 1901 වර්ෂයේදී ඔහු කේම්බි්‍රජ් සීනියර් විභාගයේදී අංක ගණිතය හා උසස් ගණිතය උදෙසා ඉහළම ලකුණු ලද බි්‍රතාන්‍ය අධිරාජ්‍යයීය ශිෂ්‍යයා වශයෙන් බැබලුණේය. 


එදා ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයකු විසින් ලද හැකිව තිබුණු හැම ආකාරයෙකම පාහේ, උසස් ස්ථාන ඔහු විසින් දිනා ගන්නා ලදි. රිච්මන්ඞ් විදුහලේ ආචාර්ය පදවියක් දරමින් ශ්‍රී ලංකාවේ ආචාර්ය වෘත්තිකයකු විසින් උපයා ගත හැකි ඇතැම් උපහාර ද ඔහු ලබා ගත්තේය. 
ශ්‍රී ලංකා ජනවංශයෙහි අත්‍යන්තයෙන්ම උත්තරීතර ක්‍රියාවලියක් වූ -නිදහස් අධ්‍යාපන වරම” ජාතියට තිළිණ කිරීමේ වරප්‍රසාදය එතුමා සතු වූයේ දේශපාලන ක්ෂේත්‍රයට අවතීර්ණ වීම නිසාය. 


දේශපාලනය එතුමාගේ ජීවන ධාරාවට එකතු වූයේ ආචාර්ය වෘත්තියේ සිට, නීතිඥ වෘත්තියට සංක්‍රමණය වීමත් හා සමඟයි. 1910 යේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥයකු ලෙස දිවුරුම් දී ගාලු පුරවරෙහි, සිය නීතිඥ වෘත්තීය කාර්ය රටාව ඇරඹූ කන්නන්ගර මහතාට, ජනහිතකාමී ලෙස දේශපාලන භූමියෙහි සැරිසරන්නට ඒ තරම් දැඩි ආයාසයක් දරන්නට සිදු වූයේ නොවේ. සිය ළමා ජීවිතයේ දී අත් දුටු දුෂ්කරතා නිසා එතුමා තුළ ජනතා කම්පාවක් නිතැතින්ම උද්ගතව තිබිණි. දරුවකු වශයෙන් තමා විඳි ගැහැට, සෙසු දරුවන්ට බල නොපාන තැනට ප්‍රබල සාමාජික වෙනස්කම් ඉටු කිරීමේ අරමුණක් එතුමාගේ අධ්‍යාත්මයෙහි තැන්පත්ව තිබෙන්නට ඇත. 


බුදු සමය කෙරේ පැහැදී, බෞද්ධාගම වැළඳ ගැනීමෙන්, එතුමා සිය චරිතයේ සමාජ සේවී අංශය තවත් බොහෝ සේ දියුණු කර ගත්තේය. 


සිය මහ කලු සිරුර ආවරණය කළ සුදෝ සුදු ඇඳුම් පැළඳුම්ලා ගත් එතුමා දේශපාලන කරළියෙහි විභූතිමත් දර්ශනයක් විය. මා ඉතා කුඩා කාලයේදී මම වරක් දෙකක් එතුමා දුටුවෙමි. එතුමාගේ කටහඬ තරමක් ගොරෝසු පුරුෂ ස්වරයක් සහිත විය. කවි, ගී, ශ්ලෝක ගයමින් එතුමා, ඉදිරිපත් කළ ප්‍රසිද්ධ දේශනවල ජනකාන්ත භාවයක් අන්තර්ගත වී තිබුණේය. -බුලත් මඩිස්සලේට හෙණ ගැහුවාම, හුණු කිල්ලෝටය ඉතිරිවේද?” වැනි ගැමි ප්‍රකාශ, එතුමාගේ කතාවල බහුලව තිබිණි. මට මෙය යන්තම් මතකයි. 


සමාජ සේවයෙහි හරි හැටි නිමග්න වන්නට නම් දේශයේ ජනතාවගේ බස, සමයවාද හා චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳ යහ අවබෝධයකින් පරිපූර්ණ විය යුතු යැයි කන්නන්ගර මහතා දැඩිව විශ්වාස කළේය.


 හෘද සාක්ෂියට එකඟව දේශපාලනයට එක්වන්නට සිතූ හෙතෙමේ, අදට හරියටම සිය වසකට පෙර 1917 දී -ගාලු ජාතික සංගමය” පිහිටු වන්නට පුරෝගාමී වූයේය. 


සංස්කෘතික අධ්‍යාපන විෂයයන් සඳහා පැවැත්වෙන සියලුම ආකාරයේ වාද විවාද සම්මන්ත්‍රණ ආදියෙහිදී කන්නන්ගර මහතාට විශේෂ ස්ථානයක් ලැබුණේය. සිය ළමා කාලයේදී තමාගේ අධ්‍යාපනයට එල්ල වූ කර්කශ පීඩාවන්ගේ වේදනාව විසින් දේශපාලන වශයෙන් මුහුකුරා ගිය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර දේශපාලනඥයාගේ යටිහිත, නිරන්තරයෙන් පාරන ලදි. 


ඒ නිසා මේ දේශයේ වරප්‍රසාද විරහිත දරු දැරියන්ට නිදහස් අධ්‍යාපනයක ආශිර්වාදය ලබා දෙන්නට, කන්නන්ගර දේශපාලනඥයා අප්‍රතිහත ධෛර්යයෙන් වෙහෙස ගත්තේය. 


රාජය මන්ත්‍රණ සභාවේ ආරම්භය හා සමඟ එතුමා බලාපොරොත්තු වූ දීප්තිමත් යුගය උදා වූයේය. 


1931 සිට 1947 දක්වා අවුරුදු 16ක් පුරා එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන අමාත්‍ය පදවිය හෙබ වූයේය. ජාතියට නිදහස් අධ්‍යාපනය ලබාදීමේ සිහිනය සැබෑ කර ගන්නට එතුමා ඒ අමාත්‍ය පදවිය උපරිම මට්ටමින් භාවිත කළේය. -දිළිඳු බවේ පහර කන, පවුලක දරුවකුට වුවද යහ අධ්‍යාපනයක් ලබා ගත හැක්කේ අධ්‍යාපනය සහමුලින්ම නොමිලේ සැපයුහොත් පමණකැ”යි යන උදාරතර අදහස එතුමාගේ අචල මානව දර්ශනය වූයේය. එතුමාගේ දැක්ම ජය ගත්තේය. ඒ ජය ගත්තේ, අනාගතයටත් බලපාන ධවනි නඟමිනි. 


එතුමා ඒ අරමුණු දිනාගන්නට නන් අයුරින් සටන් කළේය. එහි උත්තරීතර ප්‍රතිඵලය වූයේ -නිදහස් අධ්‍යාපන වරප්‍රසාදය” ජාතියේ වංශ කතාවට එක්වීමයි. 


දේශයට ස්වාධීන විශ්වවිද්‍යාලයක් ද ලැබුණේය. ඒ එදා පිහිටි එකම එක විශ්වවිද්‍යාලය විය. එය නම් කෙරුණේ -යුනිවර්සිටි ඔෆ් සිලෝන්” නමිනි. -ශ්‍රී ලංකා” යන පදය එදා ව්‍යවහාරයේ නොතිබිණි. එහි ප්‍රථම උප කුලපති පදවිය දැරුවේ ජාත්‍යන්තර කීර්තිධර, කුශාග්‍ර නීතිවේදී සර් අයිවර් ජෙනිසේය. 


මේ ලියන මා ඇතුළු කිහිප දෙනෙක් ඒ ස්වාධීන විශ්වවිද්‍යාලයට ඇතුළු වීමේ වරප්‍රසාද ලද අතළොස්සක් දෙනා අතර වූහ. එදා සරසවි වරම ලද කිහිප දෙනෙක්, ප්‍රාදේශීය මට්ටමෙන් ආ අයයි. අපි දකුණින් ආවෙමු. උතුරෙන් ආ අයද වූහ. එදා තත්ත්වයේ හැටියට ඒ -සිලෝන්” විශ්වවිද්‍යාලයේ සිසුන්ගෙන් බොහෝ දෙනෙක් කොළඹ අවට අය වූහ. “මේ ස්වාධීන විශ්වවිද්‍යාලය නිසා ගම්බද පෙදෙස්වල බොහෝ දරුවන්ට නිදහස් සරසවි අධ්‍යාපනයේ වරම ලැබිණැ”යි කියන කතාව ස්වාධීන විශ්වවිද්‍යාලයේ මුල් යුගයට එතරම්ම නොගැළපේ. අප -සිලෝන්” විශ්වවිද්‍යාලයට බැඳී වරසකින් පමණ සරසවි සිසුන් සියලු දෙනාටම නොමිලේ අධ්‍යාපනය ලැබිණි. ප්‍රාදේශික සමාජවලින් ආ අයටද, අධ්‍යාපනය නොමිලයේ විය. එහෙත් නේවාසික ගාස්තු, ගමන් වියදම්, අතිරේක වැය වර්ග අද සියල්ලට ඒ අය විසින් මිල මුදල් වැය කළ යුතු විය. කොළඹ අවට ආහාර පාන ඉඳුම් හිටුම් අද සියල්ල සිය නිවෙස්වලින් ලැබිණ. ඒ අය නුදුරුව සිටි නිසා, පුස්තකාලය වසන තෙක්ම හැදෑරීම් කරන්නට ද ඔවුන්ට ඉඩකඩ ලැබිණ. 


ඒ නිසා සරසවියේ මුල් කාලයේදී ගම්බද දරුවන්ටත් වඩා නිදහස් අධ්‍යාපනයේ ඵල භූක්ති විඳිය හැකි වූයේ -සිලෝන්” විශ්ව විද්‍යාලය අවට නාගරික සිසු පිරිසටය. 


එහෙත් කන්නන්ගර ආශිර්වාදය, පසුව රට පුරා හැමෝටම ලැබී, ඈත ගම්මානවල දරුවෝත් නොමිලයේ සරසවි වරම් ලබන්නට වූහ. අද හෝඩියේ පටන් විශ්ව විද්‍යාලය තෙක් පූර්ණව නිදහස් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සීයට 80 ක් පමණම, අධික වරප්‍රසාද විරහිත පසුබිම් වලින් සපැමිණෙන විද්‍යාර්ථීහු වෙති. 


ඊගාවට නිදහස් අධ්‍යාපනයේ -පියා” ගේ දිවි පෙවෙත දෙස බලමු. 


එතුමා අසූ හතර හැවිරිදිව 1969 යේ සැප්තැම්බර් 23 වන දා නිවනේ නිදහස පතා දිවියෙන් සමු ගත්තේය. එතුමාගේ අභාවයට මාස කිහිපයකට පෙර, එතුමා හමුවන්නට ගිය මගේ පුවත් පත් කලාවේදී හිතවතෙකු වන ජී.එස්. පෙරේරා සොයුරා මට කී කරුණු කිපයක් කියන්නට අවසර ගත යුතු වේ. ජී.එස්. පෙරේරා, පුවත්පත් කලාවේදියාද අප අතරින් වෙන්ව ගොස්ය. ඒ නිසා මා කියන දේ අපේ කතා බහෙන් මට මතක තිබෙන දේය. ඒ නිසා අපේ යමක් මම වැරදියට මතක තිබේ නම් අමනාප නොවන්න. 


පෙරේරා හිතවතා කියූ පරිදි, කන්නන්ගර මහා පුරුෂයා, සිටියේ ඉතා කුඩා කාමරයකය. එහි කුඩා ඇඳකුත්, තරමක මේසයකුත් තිබිණ. පටුවක් හෝ දෙකක් ගැනද, පෙරේරා යාළුවා පැසුවේය. කන්නන්ගර ජාතික වීරයා සරමක් ඇඳ මේස් බැනියමකින් උඩුකය වසාගෙන සිටියේය. කැන්වස් පටියක් පැළඳ උන්නේය. තනි-නොතනියට වයස දහයක දොලහක දරුවෙක් එහි සිටයේය. පැයක් පමණ කතා බහ කිරීමෙන් පසුව, කන්නන්ගර ජාතික මහා වීරයා, කැන්වස් පටියේ -පොකැට්ටුවෙන්” සුළු මුදලක් දී, දිවා භෝජනයට පාන් ගේන්නට දරුවා යැව්වේය. ජී.එස්. මේ ටික කීයේ කඳුළු රැඳි ඇසිනි. 


1965 හේ නොවැම්බර් මස රජය විසින් එතුමාට මාසික දීමනාවක් සපයන්නට තීරණය කළ බවත් ඇතැම් තැනක කියවේ. එසේ දෙන ලද නම් එය දිය හැකි වන්නට ඇත්තේ ඇවුරුදු 4 ක් පමණි. 1969 යේදී එතුමාගේ අභාවය සිදු වූ හෙයිනි. 


අද ලක්ෂ සංඛ්‍යා දූ දරු පිරිසක් හෝඩියේ සිට විශ්ව විද්‍යාලය දක්වා නිදහස් අධ්‍යාපනය ලබති. මධ්‍ය මහා විද්‍යාල වලින් බිහිවුණු විශාල සිසු පරපුරක් ජන ජීවිතයේ විවිධ තැන් වල විසිරී විහිදී සිටිති. 


මේ රටේ වරප්‍රසාද විරහිත දෙමාපියන් දස දහස් ගණනකගේ දරුවන්ට අති දීර්ඝ කාලීනව හෝඩියේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනයක් නොමිලයේ ලද හැකිය. විශිෂ්ට ග්‍රන්ථ රාශියකින් පිරි, විද්‍යා මාලිග වැනි ගොඩනැගිලි වල විද්‍යා ශාස්ත්‍ර ගවේෂණයේ යෙදෙන්නට අවසර ඇත්තේය. 


ඒ දෙන දේ තිබියදී කැමති නම් දහස් ගණනින් මහ මඟ යන්නටත් වරප්‍රසාද ඇත්තෝය. 


මේසා උදාරා අසහාය යුගයකට මංපෙත් සෑදු ළමා කාලයේ දැඩි දුකින් සිය විශිෂ්ට අධ්‍යාපනය සලසා ගත් මුළු ලෝකයේම අධ්‍යාපන වීරයෙකු වශයෙන් උපහාර ලබන්නට ඒකාන්තයෙන්ම සුදුසු ක්‍රිස්ටෝපර් විලියම් විජේකෝන් කන්නන්ගරගේ පරම්පරා ගණනක ලක්ෂ සංඛ්‍යාත විද්‍යා ශාස්ත්‍රීය දරු මුණුපුරන් ඒ මහා පුරෝගාමියාට සලකන්නේ කෙසේද? අද ඔහු නිසා සිය දරු මුණුපුරන් නිදහසේ අධ්‍යාපනය ලබන දක්නා වැඩිහිටි පරපුර ඒ වීරයාට ගරු බුහුමන් දක්වන්නේ කොයි ආකරයෙන්ද? සිය ජාතියේ පහළ වු මෙවැනි ප්‍රජා නායකයෙකු ගැන අප ජාතික මට්ටමෙන් ගරු බුහුමන් පුද දෙන්නේ කවර කවර විලාශයෙන්ද? 


මෙවැනි ප්‍රශ්න වලට කවරෙකුටවත් අද හරි හැටි පිළිතුරු දිය නොහේ. අප නිරර්ථක හර පද්ධති කර පින්නා ගෙන නින්දෙන් ඇහිඳිද්දී -නිදහස් අධ්‍යාපනයේ පියෙකු” ගැන කතා බහ කරන්නට හිතක් ඇත්තේ කාටද?


RECOMMEND POSTS