දරණාගම කුසලධම්ම නාහිමි පුරෝගාමී සන්නිවේදක යතිඳු



 

“පවාත දීප තුල්‍යාය සායු සන්කකියාඛයං” ගෙන ආ ආයුෂ ප්‍රමාණය ක්ෂයවූ විට ජීවිතය සුළං ඇති තැනක දැල්වූ පහන් සිළුව වැනිය “නහි සො උපක්කමො අත්ථ යෙන ජාතා නමීයරේ” උපන් කෙනකු මරණය වළක්වන කිසිම උපක්‍රමයක් නොමැත.

සනාතනික බුදු වදන

 

ශ්‍රී ලංකාවාසීන්ගේ සාමූහික අධ්‍යාත්මය, අක්‍රිය කරවන තරමට දෙදරා ගිය මහා කම්පනයක්, සති කිහිපයකට පෙර මේ දේශයට දැනුණේය. එයට හේතුකාරක වූයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති තැන්පත්, අතිගරු මහාචාර්ය බෙල්ලන්විල අනු නා හිමියන්ගේ අදිසි ඛේදදායි අභාවප්‍රාප්තියයි. ඒ කඳුළැලි වියැලී මැකී යන්නටත් පෙරාතුවම, දෛවය ශ්‍රී ලංකාවේ ජන සන්තානයට තවත් දැඩි මාරක ප්‍රහාරයක් එල්ල කරන්නට සැරසී ගත්තේය. ඒ පහරට නොවැළැක්විය හැකි ලෙස ගොදුරු වූයේ සුවිශිෂ්ට ධර්ම දූත හිමිපාණන් වහන්සේ නමක් වූ ගරුතර දරණාගම කුසලධම්ම යතින්ද්‍රයන් වහන්සේයි.


ඒ යතිඳුන්ගේ නාමය, මානව මතකයෙහි නොදිරන සේ තහවුරුව සනිටුහන් වී පවත්නේය. ඒ හිමිපාණන් කලක් මුළුල්ලේ රෝගීව සිටි බැව් බොහෝදෙනා දැන සිටියහ. එහෙත් ඒ ගලග්‍රහණය ලිහිල් කරන්නට, මාරයා කිසිම කැමැත්තක් නොදක්වන බවද බොහෝදෙනාට හැඟුණේය. එසේ දැන සිටියද ගිය සෙනසුරාදා අලුයම් කාලයේ ඒ යතීන්ද්‍රයන් වහන්සේගේ ආයු කාලය ක්ෂය වී ගිය බව ඇසූ භක්තිමත් ශ්‍රද්ධාශීලී උවසු උවැසියන්ට ඒ තියුණු වේදනාව විඳ දරාගත හැකි නොවීය.


එතුමාණන් තරමක් දිගු කලක් මුළුල්ලේ දැන හඳුනාගෙන සිටීමේ භාග්‍යය මට උදා වූයේය. නවීකරණත්යෙහිලා එතුමෝ අති ප්‍රවීණවූහ. ආයතන හා සිද්ධි සංවිධානය කිරීම ඒ හිමිපාණන්ගේ මුඛ්‍ය විශේෂඥතාවයක් වූයේය.


ඒ හිමියන්ගේ සිද්ධස්ථානය අද අඛණ්ඩව පැවැත්වීගෙන යන සාමයික සේවා ප්‍රවාහය කේන්ද්‍රීයායතනයකි. මේ පුණ්‍ය භූමිය එතුමන්ගේ භාරයට පත්වන විට පෙර එය තරමක පැරණි ලක්ෂණ සහිත සරල වන්දනීය ස්ථානයක් පමණක් වූයේය. ගරුතර දරණාගම කුසලධම්ම හිමිපානෝ, ඒ පුදබිම එයටම විශේෂ වූ අධ්‍යාත්මික පෞරුෂත්වයකින් හෙබෙමින් කරුණා මෛත්‍රී පූර්වක සම්බුද්ධ තේජස දසත විහිදුවාන පින්බර බුද්ධ නිකේතනයක් බවට පරිවර්තනය කළ සේක.


සිරිලක බුදු සසුනේ අද දිදුළුදෙන මිණි පහනක් වන්, ඒ සිද්ධස්ථානය ශ්‍රද්ධා භක්ති පූර්වක උවැසි උවැසියන් තුළ බුද්ධාලම්භන ස්තුස්ටියක් දනවන්නේය.


මේ ප්‍රබල විකාශය උදා කළ විශේෂ සාධකයක් වන්නේ, ඒ යතිඳුන්ගේම දුබල චරිත ලක්ෂණයකි. ඒ හිමිපාණෝ එතුමන්ටම හුරු පුරුදු විදියේ ශබ්ද මාධූර්යකින් දහම් දෙසූහ. ගද්‍ය පාඨ හා ගාථා ප්‍රදේශත් ඉමිහිරි හඬින් දහමට සරිලන ශෛලියකින් ඉදිරිපත් කරන විලාශය බණට සවන් දෙන සැදැහැවත් බැතිමතුන් පිරිසට පිරිනැමෙන සිත් සනහන අධ්‍යාත්මික සංග්‍රහයක් සේ සැදැහැවත්තු පින් දෙමින් පිළිගත්හ.


ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී නාළිකාව ස්ථාපිත කළ ඒ හිමිපාණෝ 24ං7 විකාශනයකින් විද්‍යුත් ධර්ම ප්‍රචාරයක යෙදුණහ. නාළිකාවේ වැඩසටහන් ඉංගිරිසි සිංහල භාෂාද්වයෙන්ම ඉදිරිපත් කෙරේ. දරුවන් උදෙසා ඉංගිරිසි මාධ්‍යයෙන් බණ දහම කියාදෙන දහම් පාසලක් පිහිටුවා ඉංගිරිසි භාෂා මාධ්‍යයට පුරුදුව සිටින සිඟිති උපාසක උපාසිකාවන්ටද දහමට අනුව සිය චරිතය ගොඩ නඟාගන්නට දිරි දුන්හ.


එතුමන්ගේ නාළිකාවේ විශේෂාංග අතර අතිශයින්ම ඉස්මතුව පෙනෙන ධර්ම ප්‍රචාරක විශේෂයක් වෙයි. ධර්ම දේශනාවක් පවත්වන්නට යහපත් ඉඩක් කඩක් ලද නොහෙන හිමිපාණන් වහන්සේලාට, එතුමානෝ බෞද්ධයා නාළිකාව ධර්මාසනයක් කොට පිරිනමාලූහ. මේ මගින් ඉතා චතුර ලෙසත් ධර්මාවබෝධය නිසිසේ සැලසෙන විකාශයෙනුත් දේශනා හා සාකච්ඡා පැවැත්විය හැකි ගරුතර සංඝයා වහන්සේලා පිරිසක් මේ දේශයට හඳුන්වා දීමක් එතුමන්ගෙන් සැලසුණු අසහාය ධර්මදූත මෙහෙයකි.


එතුමන් විසින් බෞද්ධ ධර්ම දේශනා පැවැත්වීමේ සම්ප්‍රදායයට, නව ප්‍රායෝගික අධි සමාජ සේවී ව්‍යාපෘති රැසක් ද එක්කරන ලදී. වස විස සහිත ආහාර පාන, ජන ජීවිතයට, අතිශය හානිදායී තර්ජනයක්ව පැන නගින විට මේ හිමිපානෝ වස විස තොර ආහාර ජනයා අතර භාවිත වන තැනට ප්‍රශස්ත අගනා වැඩසටහන් මාලාවක් විශේෂඥ සහාය නොමදව ලබා ගනිමින් ඉදිරිපත් කොට සංග්‍රහයෙහි යෙදුනහ.
ඒ සාකච්ඡාවන්හි අති ප්‍රතිඵලාභිමුඛ අංශයක් වශයෙන් සිය සිද්ධස්ථානයෙහිදි වස විස තොර ආහාර වර්ග සැදැහැවතුන්ට අලෙවි කළ හැකිවන පරිදි වෙළෙඳ භවතුන්ට ඉඩකඩ සපයා දුන්හ.


ගැඹුරු බණ දහම් කියාදෙන ගමන්ම උවසු උවැසියන් තුළම ශ්‍රද්ධා භක්තිය සහ ප්‍රබෝදයත් දනවන, ඇතැම් වැඩසටහන්, උන්වහන්සේගේ අනුග්‍රහයෙන් ආරම්භ කෙරිණි. දර්ශනීය පෙරහර සිතේ සැදැහැ වඩවන පුද පූජා විධි, එතුමානෝ අත්‍යවශ්‍ය ධර්මදූත මෙහෙයක් වශයෙන් සැලකූහ.


අනුරාධපුර පොලොන්නරු පුදබිම් ආශ්‍රිතව, පැරණි රජදරුවන්ගේ මහා පින්කම්, සිහි කෙරෙන, අති විශාල මට්ටමේ පුද පූජා විශේෂ හා සාමයික චාරිත්‍ර වාරිත්‍ර සංදර්ශන ඒ හිමිපාණෝ ඉතා ඕනෑකමින් සංවිධාන කළහ.


සනාතන බුද්ධ භාෂිතය, පෘථුල ලෙස ජගත් ව්‍යාප්ත කිරීමේ පරම පූජ්‍ය චේතනාවෙන්, උන්වහන්සේ, අපරදිග පෙදෙස්වල ධර්ම මධ්‍යස්ථාන පිහිටුවා ලූහ.


විශේෂ කැපවීමෙන් ඉටුකෙරුනු ධර්මදූත මෙහෙවරේදී සිදුවූ සිත්ගන්නා සුළු අංගයක් දෙසට මෙහිදී සිත් යොමුකරනු වටී. ශ්‍රී ලංකා බෞද්ධ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ධර්මදූත හිමිපාණන් කෙනෙකු වූයේ චීන ජාතික පාහියන්, භික්ෂූන් වහන්සේයි.


උන්වහන්සේ ක්‍රිස්තු වර්ෂ 411 දී පමණ මෙහි වැඩම කොට බෞද්ධ ධර්ම සහ බොදු වතාවත් පද්ධති ගැඹුරට හදාරා, තමා ශ්‍රී ලංකාවේදී පිටපත් කොටගත් බණ පොත්ද රැගෙන පෙරළා චීනයට වැඩම කළහ. එදා චීන දේශයෙහි බෞද්ධ භික්ෂුණී ශාසනය ස්ථාපිත කිරීමේ අසහාය ශාසනික මෙහෙයද පාහියන් භික්ෂූන්වහන්සේ විසින් ඉටු කෙරුණේය.


දරණාගම කුසලධම්ම හිමිපාණෝ පාහියන් ධර්මදූත මෙහෙය ආපසු හැරවූ නව ක්‍රියාදාමයක යෙදුණහ. එතුමෝ වර්තමාන චීනයෙහි, බෞද්ධ චාරිකාවේ යෙදී ඒ මහා දේශයේ බුදුසමය සතු තත්ත්වය හදාරා ඒ පිළිබඳ දැනුම මෙරටට ගෙන ආ සේක. චීන බෞද්ධයෝද මෙහි ආහ.


ශ්‍රී ලංකා බෞද්ධයන්ගේ ධර්ම ඥානය උද්දීපනය කරනු පිණිස ඒ හිමිපාණෝ බොදු සැදැහැවතුන් කණ්ඩායම්, වන්දනාව සඳහා රට රටවලට වරින්වර කැඳවාගෙන ගියහ. කවර තැනකට ගියද එහිදී එතුමානෝ ඒ ඒ ස්ථානයන්ගෙන් බෞද්ධ ඥානය දියුණු තියුණු කොට ගන්නා ක්‍රම සොයා ගැනීමේ ලා වෙහෙසුණුහ. එවැනි විදේශ වන්දනාවල යෙදීමේ අවස්ථාද මටද ඉඳහිට ලැබුනේය.


වරක් ඉතා විචිත්‍ර හින්දු ආගමික උත්සවයක් නරඹනු පිණිස මයිසූර් දේශයට වඩින්නැයි අප හිමි පාණන්ට මයිසූර් මහාරාජාගේ පුරෝහිත යාණන්ගෙන් ආරාධනයක් ලැබුණේය. ගරු කුසල ධම්ම හිමියෝ මාද ඒ චාරිකාවට සහභාගි කොටගත්හ.


මයිසූර් මහාරජාගේ විස්මය දනවන සුළු මහාමාලිගයේ දර්ශනයෙන් අපි වශීවී සිටියෙමු. එවිට අප කුසල ධම්ම නාහිමියෝ මෙසේ පැවසූහ. මයිසූර් මහා රාජාගේ මාලිගය දඹදිව ඉතිහාසයේ තරමක් මෑතකදී නිර්මාණය වූවක්. එය එසේ නම් බුදු හිමියන් දවස සිද්ධාර්ථ කුමරුන්ගේ පිය රජු සුද්ධෝදන නරපතිවරයා විසින්. සිය පුත්‍රරත්නයට පිරිනමන ලද මහා ප්‍රාසාද ඇත. එදා කොපමණ විභූතිමත්ව පවතින්නට ඇද්ද? අප විසින් මෙහිදී හිතාගත යුත්තේ මයිසූර් මහාරාජාගේ මාලිගය හා සමග එදා සිදුහත් කුමරුන්ගේ ප්‍රසාද තුන සසඳා බලා ඒ සිද්ධාර්ථ ප්‍රාසාද ගැන වංශ කතාවන්හි පැවති මහා වර්ණනා කිසිසේත් අතිශයොක්තියෙන් කරන ලද විස්තර කතා නොවන බව තහවුරුව ඇදහීමයි. ගරු කුසල ධම්ම හිමියෝ හැමවිටම අචල බුද්ධ භක්තියෙන් යුක්ත වූහ.


තායිලන්ත සංචාරයේදී එතුමාණන් වහන්සේ අප රැගෙන ගිය එක් විශේෂ ස්ථානයක් වූයේ අප දේශයේ බුදු සමය පිරිහෙමින් පැවති කලක ශ්‍රී ලංකා බුද්ධ ශාසනය යළිත් ස්ථාවර කරුනු පිණිස සියමෙන් (තායිලන්තයෙන්) එදා මෙහි වැඩම කළ උපාලි මාහිමියන් වැඩසිටි පන්සලටයි. එහිදී අපි රූපවාහිනී සාකච්ඡාවක් පැවැත්වූවෙමු.


ඒ හිමිපාණෝ බෞද්ධ ධර්ම ප්‍රචාරයට හැමවිටම මුල්තැන දුන්හ. දෙස් විදෙස් ජනතාවගේ ධර්ම ඥානය දියුණු කරනු පිණිස පෘථුල ධර්ම ග්‍රන්ථ ප්‍රකාශක ව්‍යාපාරයක් අරඹන්නට එතුමාණෝ, සැරසී සිටියහ. අතිශය නවීන ක්‍රමයේ මුද්‍රණ තාක්ෂණික මෙවලමක් එතුමන් විසින් පිහිටුවන ලදී.


මේ ධර්ම දූත මෙහෙයට මා සම්බන්ධ කොට ගන්නට එතුමෝ දැඩි උද්යෝගයක් දැක්වූහ. උන්වහන්සේ සිය පිරිස හා සමග මා නිවසට පැමිණ මට ඉතා ප්‍රබල වගකීමක් භාරදුන්හ. උන්වහන්සේ මට පැවරූ මහා කාර්යය නම් ශ්‍රීමත් එඞ්වින් ආනෝල්ඞ් තුමන්ගේ ලයිට් ඔෆ් ඒෂියා (ආසියා ආලෝකය) නම සුප්‍රකට චුං හිරිසි මහා කාව්‍යයය සිංහලයට නඟාලීමය.


දැඩි වෙහෙස මහන්සියකින් මම ඒ මහා කාර්යය ඉතා වගකීමෙන් අතිශයින් විශිෂ්ට ලෙස සම්පූර්ණ කළෙමි. උන්වහන්සේ අතිශයින් ගිලන්ව ආරෝග්‍ය ශාලාවේ සිටියදී ඒ යතින්ද්‍රයාණන්ගේ අතිශයින්ම හෘදයාංගම මහාදායකයෙක් වූහ. දිගුකලක් මාහිමියන් වෙත සෙවනැල්ල මෙන් සිටියාවූත් අති හිතෛෂී ශෂී ජයතිලක සත්පුරුෂයානෝ විසින් නිමා කරන ලද පොත සහිතව, මාත් කැටුව එතුමන්ගේ ගිලන් ඇඳ වෙත ගියෝය. පොත අතට ගත් මාහිමියන් විසින් ඉන් ලද මහා ප්‍රබෝධය අපි දුටුවෙමු. එහෙත් උන්වහන්සේට කටවචනය නොතිබුණහ. සිය ප්‍රසාදය පළකරනු පිණිස, උන්වහන්සේ මගේ අත පිරිමැද්ද සේක. ඉන්පසුව, ඉතා අපහසුවෙන් කඩදාසි කැබැල්ලක මේ වචන ටික ලියූහ. මේ පොත ජනාධිපති තුමාට දෙන්න.


උන්වහන්සේගේ දින කීපයකින් මෙලොවින් සමුගන්නා බව අපි ඒ මොහොතේ දැන නොසිටියෙමු. පණස් සිවුවන වියේදී එතුමා අප අතැර යද්දී ශ්‍රී ලංකාවේ බෞද්ධ හා සංස්කෘතික පුනරුත්ථාපනය පිළිබඳ එතුමන් තුළ පෘථුල සැලසුමක් තිබිණි. මා එතුමන් දකින්නේ අනගාරික ධර්මපාල තුමන්ගේ පුනර්භවය පරිදිය. මේ විශිෂ්ට බුද්ධ පුත්‍රයාණන්ගේ අපවත්වීමෙන් දැඩි සන්තාපයට එතුමන්ට පරම නිවන් සුවය පතමින්ම, ආත්මාර්ථකාමීව මේ රට වෙනුවෙන් මම තවත් පැතුමක් කරන්නෙමි. සිය නිමා නොකළ මහා බෝසත් මෙහෙය සපුරන්නට එතුමෝ යළි යළිත් මෙහි පහළ වේවා.


රාජ්‍ය අනුග්‍රහය සහිතව උන්වහන්සේගේ ආදාහන උත්සවය අද (8) සවස නිදහස් චතුරස්‍රයේදී සිදු කිරීමට නියමිතය.


 

සෙන් පූජකවරයාගේ උපදේශය

ජපානයේ සෙන් සමය අදහන ව්‍යාපාරිකයෙකුගේ සිත අර්බුද වලින් පිරී තිබුණේය.


ඔහු තමාගේ සිත පාරන ප්‍රශ්න සඳහා විසඳුමක් ලබාගන්නා පිණිස, තමා දන්නා සෙන් පූජකවරයෙකු සොයා ගියේය.


පූජකවරයා ඔහු පිළිගෙන දායකයාගේ දුක් සැප විමසුවේය.


පූජකතුමනි, මගේ සිත අර්බුද වලින් පිරිලා. මේ අර්බුද නිරාකරණය කරගන්නට ඔබගේ උපකාරය පතා මා මෙහි ආවා.


පූජකවරයා කිසිත් නොකියා, ඒ ව්‍යාපාරිකයාට පීරිසියක් මත තබා කෝප්පයක් දුන්නේය. පූජකවරයා පෝච්චියෙන් කෝප්පයට තේ වත් කළේය. එසේ තේ වත්කොට ගෙන යද්දී කෝප්පය පිරී ඉතිරී ගොස් පීරිසියද පිරී ඉතිරී තේ බිමත් වැගිරිනි. පූජකවරයා, නොනවත්වා තේ වත්කරයි. පූජක තුමනි, තේ පිරිලා ඉතිරිලා යනවා.


පූජකවරයා, සිනාසුනේය.


යහළුවා පිරුනු කෝප්පයකට තව තවත් වත්කෙරෙන විට ඉතිරී යනවා. තේ හිටින්නේ නෑ. ඔබේ හිතත් දැන් ඒ පිරුණු කෝප්පය වගෙයි. එහි ඉඩක් නෑ. මා උපදෙසක් දුන්නත්, එයත් ඉතිරී යනවා. ඒ නිසා පළමුවෙන් සිත හිස්කරගෙන ඊට පසුව විසඳුමෙන් කෝප්පය පුරවන්නම්.


 

පැරණි පොතපත කාලිදාසගේ මේඝදූත කාව්‍යය


සංස්කෘත සාහිත්‍යයේ පහළවූ මහාම ග්‍රන්ථකාරයා වශයෙන් සලකනු ලබන්නේ කාලිදාස කවියායි.


කාලිදාස කවියාගේ මේඝදූත සන්දේශ කාව්‍යය, ඔහුගේ නිර්මාණ අතුරින්  ඉතාම ජනප්‍රිය නිර්මාණයයි.


පළමුවෙන් අපි මේ කෘතියේ ප්‍රමාණය සලකා බලමු. සකුබසින් ලියැවුනු මේඝදූත කාව්‍යශ්ලෝක 111 කින් යුක්තයි.


පොත කාණ්ඩ දෙකකට බෙදේ. 
1. පූර්ව මේඝ
2. උත්තර මේඝ වශයෙනි


කාලිදාස මහා කවියාගේ මේඝදූතය සංස්කෘත සාහිත්‍යයෙහි මෙන්ම සිංහල සාහිත්‍යයෙහිත් සන්දේශ කාව්‍යයන්ට ආභාසය සැපයූ කෘතියකි.


මේ සන්දේශ කාව්‍යයෙහි ප්‍රධාන චරිතය වන්නේ තරුණ යක්ෂයෙකි. යක්ෂයන්ට අධිපති කුවේරයා විසින් ඒ තුරුණ යක්ෂයා පර්වත මුදුනකට පිටුවහල් කොට යවා ඇත්තේය. ඒ දඬුවම දෙන ලද්දේ ඔහු සිය රාජකාරි වගකීම් පැහැර හැරි නිසාය. ඔහු ඒ පර්වත මුදුනෙහි වර්ෂයක් පුරා පිටුවහල්ව සිටිය යුතු වේ.


හුදකලාවී සිටින තරුණ යක්ෂයා තමාට ඉහළින් පර්වත මුදුනටත් උඩින් වළාකුළක් දකී. තරුණ යක්ෂයා, වළාකුළෙන් පිහිටක් බලාපොරොත්තුවේ. හිමාල පර්වත පෙදෙසේ කෛලාසය අසල අලකාවේ, තනිව සිටින තමාගේ භාර්යාවට පණිවුඩයක් දෙන්නැයි යක්ෂයා වළාකුළෙන් ඉල්ලා සිටී.


කාලිදාස විසින් මේ සන්දේශ කාව්‍යයේ ශ්ලෝක ලියා තිබෙන්නේ මන්දක්‍රාන්ත විරිතෙනි. මේ කාව්‍යය ලියැවුනේ ක්‍රිස්තු වර්ෂ 375 දී යැයි සලකනු ලැබේ.


කාලිදාස පඬිවරයාගේ මේඝදූත කාව්‍යය භාෂා කිහිපයකට අනුවාදිතය. එහි ප්‍රථම ඉංගිරිසි අනුවාදය ප්‍රකාශ වූයේ 1803 යේදීය. අනුවාදකයා. හොරස් හයිමන් විල්සන්.


මහා කවි කාලිදාස විසින් ග්‍රන්ථ කිහිපයක් රචනා කොට ඇත්තේය. අභිඥාන ශාකුන්තලය රඝුවංශය වික්‍රමෝර්වශිය කුමාර සම්භවය, ඒ අතරවේ.


කාලිදාස මහා කවියා, සිය නිර්මාණයන්ට බොහෝ සේ ආභාසය ලද්දේ වේද ග්‍රන්ථ, මහා භාරතය, පුරාණ නිර්මාණ වලිනි.
කාලිදාසගේ නිජබිම ගැන විවිධ මතභේද ඇත්තේය. ඇතැමුන්ගේ මතය වන්නේ, ඔහු උදේනි කාලිංග ප්‍රදේශ ආශ්‍රිතව වැඩුණු බවයි. කාලිදාස කාශ්මීර වාසියෙකැයි සමහරු සිතති.


කාලිදාස ජීවත්වූයේ, ක්‍රිස්තු වර්ෂ හතරේ හෝ පහේ යැයි මතයක් පවතී.


කාලිදාසගේ කෘති ආශ්‍රයෙන්, චිත්‍ර ආදි විවිධ නිර්මාණ තැනී ඇත්තේය. කාලිදාස කවියාගේ කෘති පිළිබඳ ඉතාම ප්‍රවීණ විවරණ සපයා ඇත්තේ මල්ලිනාට විසිනි.


ශ්‍රී ලංකාවේ පවත්නා ප්‍රමාදයකින් කියැවෙන්නේ කාලිදාස මහා කවියා, ශ්‍රී ලංකාවට පැමිණි බවත්, මෙහි පැමිණ කුමාරදාස රජුගේ කුළුපග මිතුරෙකු වූ බවයි. කුමාරදාස, කාලිදාස දෙදෙනාම මෙහිදී අභාවයට පත්වූහ.


කුමරතුන් රජ කාලිදාස නම් කිවිඳු වෙත සිය දිවි පිදී යැයි යන කියමන පැරකුම්බා සිරිතෙහි ඇත්තේය.


කාලිදාස කවියාගේ මේඝදූත කාව්‍යය, ශ්‍රී ලංකාවේ පෘථුල සන්දේශ කාව්‍ය සාහිත්‍යයට, බොහෝ සේ බල පෑයේය.


එහෙත් විස්මය දැනවෙන්නේ කාලිදාස කවියාගේ නිර්මාණශීලීත්වයෙනි. ඉහළින් පාවෙන වළාකුළු බොහෝදෙනාට පෙනේ. එහෙත් ඒවා මගින් සන්දේශ යැවිය හැකිය යන කවි කල්පනාව පහළ වූයේ කාලිදාස මහා කවියාට පමණි.


 

චීනයේ ජනාධිපති ක්ෂි ජින් පිං යාවජීව ජනාධිපති

මහජන චීනයේ පාලක පක්ෂය වන කොමියුනිස්ට් පක්ෂය විසින්, ක්ෂී පින්ජින් මහතා ඒ දේශයේ යාවජීව ජනාධිපති පදවියට පත් කරනු ලැබුවේය. මේ තීරණයට අනුව මෙතෙක් පැවති ක්‍රමය අවලංගු වෙයි. මෙතෙක් පැවති නීතියට අනුව කෙනෙකුට ජනාධිපති පදවියේ සිටිය හැකි වන්නේ, පස් අවුරුදු වාර දෙකකට පමණි.


මේ අලුත් තීරණයට අනුව හැටහතර හැවිරිදි චීන නායක, ක්ෂී ජින්පිං මහතා කෝටි 140 ක ජනගහණය සහිත මහජන චීනයේ, යාවජීව ජනපති පදවියට පත්වන්නේය. දැනට ක්ෂී පින්ජිං මහතා ජනාධිපති පදවියට පත්ව සිටින්නේ 2023 දක්වායි. ඉන් පසුව ක්ෂී ජින්පිං මහතාට යාවජීව සභාපති පදවිය ජනාධිපති පදවිය පිරිනැමේ.


මෙසේ යාවජීව ජනාධිපති පදවිය ක්ෂී ජින්පිං මහතාට පත්කිරීමේ තීරණය ප්‍රකාශ වූ හැටියේ, සම්මේලනයට සහභාගිවූ දහස් ගණන් ව්‍යවස්ථා දායකයෝ, එක් හඬින් උද්ඝෝෂණ පැවැත්වූහ.


මාඕ සේතුංගෙන් පසුව, මහජන චීනයේ ඉතාම බලවත් පාලකයා වන්නේ ක්ෂී ජින්පිං මහතායි.


මේ වෙනසින් පසුව, ක්ෂී ජින්පිං නායකයා මහජන චීනයේ යාවජීව පක්ෂ නායකයාත්, යාවජීව සන්නද්ධ හමුදා ප්‍රධානියාත් යාවජීව ජනාධිපතිත් වෙයි.


RECOMMEND POSTS