තායි ලෙනෙන් මතුවූ අසහාය මානව කරුණාව



 

“සසර ගමනේදී මා මෙම ජීවිතයට එන්නට බලාපොරොත්තු වන්නේ එක්වරක් පමණි. ඒ නිසා  මවිසින් මගේ සෝවුරු මිනිස් වර්ගයාට දැක්විය හැකි කරුණාවක් මෛත්‍රියක් ඇත්නම් ඔවුන්ට මවිසින් ඉටුකළැකි සෙතක් වේනම් මවිසිත් දැන්මම ඒවා ඉටු කළයුතු වේ. ඒවා කල් තබන්නට බැරිය. ඒවා නොතකා සිටිය හැකිත් නොවේ. මක්නිසාදයත්, මා යළිත් මේ සසර මාවතේ නොඑන්නේත් විය හැකි නිසාය”
විලියම් පෙන් (1644-1718)
ඉංග්‍රීසි ජාතික ආගමික නායකයා

 


සිය ප්‍රාණය රැකේද, නැද්දැයි යන්න ගැන කිසිම කිසි හැඟීමකින් තොරව තායිලන්තයේ ගැඹුරු, දිගු ලෙනක සිරවී සිටි කුඩා දරුවන් දොළොස් දෙනෙකුගේත්, ඔවුන්ගේ ක්‍රීඩා උපදේශකයාගේත් දෝමනස්සදායි ඉරණම ගැන ලොව පුරා, කුළුණු බර ජනතාව විසින් හෙළන ලද සෝ සුසුම් ධාරාව, මෑත ඉතිහාසයෙන් මානව කරුණාව පිළිබඳව ලැබෙන උතුම්ම උපහාරයකි. 


මිනිස් කරුණාව පිළිබඳ මේ හද-සිත දෙදර වූ සිද්ධිය, අපගේ පුද පූජා ලබන ජාතක කතා පද්ධතියට එකතු වූ අලුත්ම ප්‍රවාදය වැනි යැයි සිතිය හැකි තරම් වේ. මක්නිසාදයත්, කාලයක් මුළුල්ලේ මේ ප්‍රාතිහාර්යමය වීර කතාව, මිනිසුන්ගේ අවධානයට ලක්වනු නියත හෙයිනි.
ලොව පෙර අපර, හැම ජාතීන්ගේම පාහේ, කරුණාගුණය, මෛත්‍රී පූර්වක බව, පරෝපකාරීශීලීත්වය වැනි යහගුණ සමුදාය අවදි කළ මේ තායි සිද්ධිය, අද යුගයේ වෙසෙසින්ම ඉස්මතුව පෙනෙන විස්මයජනක වික්‍රමයකි.


එයට හේතු මෙසේය, අද බොහෝ විට අපට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලැබෙන්නේ මිනිසුන්ගේ අමානුෂික සාහසික ක්‍රියායි. මුද්‍රිත මාධ්‍යයේද බොහෝ සේ එවැනි දේ සිදුවේ.


අපේ අසල්වැසි ඉන්දියාවේ අගමැති මෝදි මහතා, බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ආදී නායකයෝ සිය මෙත් පෙරටුගති විදහා දක්වමින්, මේ සිද්ධියේදී කරුණා පූර්වක වූහ. ලෞකිකත්වයෙන් ඉහවහ ගිය දේශවල විද්‍යුත් - මුද්‍රිත මාධ්‍ය ද මේ සිද්ධියේ කම්පාව පළකළේ ඡායාරූප සිතියම් දීර්ඝ වාර්තා සහිතවයි.


අපගේ මේ කුළුණු බර දේශය, මේ සිද්ධියට විශේෂයෙන්ම කිට්ටුය. බෞද්ධ ශ්‍රී ලංකාවේ, බුදු සසුන පිරිහෙන්නට යද්දී, මේ වාසනාවත්ත දේශයෙන් ශාසනය නැවත තහවුරුව ස්ථාපිත කරන ලද්දේ (සියම්) තායිලන්ත නාහිමිවරුන් විසිනි.


ඒ නිසා තායි ලෙන් පෙළේ ප්‍රවාදයට අපිද හෘදයාංගම ලෙස යා වෙන්නෙමු.


එහෙත් හද සසලවන මේ ප්‍රාතිහාර්යමය වෘත්තාන්තයේ පූර්ණ විවරණ, අපගේ මාධ්‍යයට එළඹුණේ ඉඳහිටයි. පූර්ණ සිද්ධියේ කම්පාව එතරම් ප්‍රකාශ නොවන විදියටයි.


ඒ නිසා මම මෙහිදී, ලොව ප්‍රධාන මාධ්‍ය වාර්තා සහ, ඒ ස්ථානගතව සිටි ප්‍රවෘත්තිවේදීන්ගේ අත්දැකීම්ද, අළලා, විවරණයක් සපයන්ට අදහස් කළෙමි. ඒ ඉතා නිහතමානීවය.


මේ ඛේද - සෝමනස්සදායීවාචකය ඇරඹෙන්නේ ජුනි මස 23 වනදායි. සිද්ධියට මුල්වන ස්ථානය පිහිටි තැන දෙසට සිත් යොමු කරමු.
තායිලන්ත රාජ්‍යයේ ඉතාම උතුරුකොනේ දේශසීමාව පිහිටියේ මියන්මාර් ලාඕස් යන රටවල් දෙකේ දේශසීමා එකට යාවන තැනට කිට්ටුවයි.


උතුරු තායිලන්ත දේශසීමාවට ඉතා නුදුරුව, තාම් යු ආං ලෙන් පෙළේ මුඛය (දොරටුව) පිහිටා සිටී. මේ දොරටුවෙන් ඇතුල් වූ කෙනෙක්. ලෙන් පෙළ තුළට පිවිසෙන්නේය. 


මේ ලෙන් පෙළේ නම වන “තාම් ලූ ආං” යන්නේ තේරුමත් විස්මයදනවන සුළුය. එහි අරුත නම් ‘නිදිපත් කාන්තාවගේ මහා ගුහාව” යන්නයි. සාමාන්‍යයෙන්. ඒ අවට පෙදෙස දිළිඳු අයගේ වාසස්ථාන පිහිටි ගම්මානයකි. 


‘තාම් ලු ආං” ලෙන් පෙළ සැතපුම් 6 ක් දිගයි. එය විහිද යන්නේ මහා ගල් පර්වතයක් යටින්ය. එය පටුවංගු සහිත ගුහා පද්ධතියකි. ලෙන් පෙළ හුණුගල් තට්ටු ඔස්සේ විහිදයෙයි. වියළි කාල ගුණය පවත්නා සමයයෙහි. ලෙනේ වංගු හා පටු මාවත් ඔස්සේ ගමන් කිරීම පහසුය. එහෙත්, ලෙන තුළට ජලය ගැලූ විට ගමන භයානකය. තියුණු ගල් තුඩු මතුවේ.


මෙවැනි තැනකට ඒ දරු කැල පැමිණියේ කෙසේද?
කතාව පටන්ගන්නේ උපන් දින උළෙලකිනි. පීරපත් සොම්පියංජායි දරුවාගේ ඡන්ම දිනය ජුනි මස 23 වන සෙනසුරාදයි. (දරුවාට ‘නයිට්’ යන සුරතල් නමකුත් ඇත්තේය) දරුවාගේ 16 වන උපන් දිනය එයයි. ඡන්ම දින උළෙලට සහභාගි වන්නට ‘මේ සායි’ දිස්ත්‍රික්කයේ ඔහුගේ නිවසට නෑදෑහිතවත්තු රැස්ව සිටියහ. නිවස පිහිටියේ වියෙං හොම් ගම්මානයේයි. පීරපත්ගේ දෙමාපියෝ, තද කහ පැහැති, ස්පොංජ්බොබ් හතරැස් කේක් ගෙඩියක්, සූදානම්කොටගෙන සිටියහ. ඔහුගේ පාපන්දු ක්‍රීඩක සගයන් වන ක්ලේ නික් සහ නෝත්ද වාසය කළේ ඒ ගමේමයි. කේක් ගෙඩිය, ශීත කරණය තුළ තැබුණේය. එහෙත්, ‘උපන්දින වීරයා’ තාමත් නැත.


“වීරයා” පමාවෙත්ම දෙමාපිය නෑදෑ හිතවත්තු බියපත් වූහ.  


සිදුවූයේ කුමක්ද? පීරපත් සහ ඔහුගේ හිතවත්තු ඒ පියෙසේ පාපන්දු කණ්ඩායමේ සාමාජිකයෝයි. පාපන්දු කණ්ඩායමේ නම් “වයිල්ඞ් බෝර්ස්” (වල් ඌරෝ)


තරුණ පාපන්දු කණ්ඩායමේ උපදේශකවරයා, එක්කපෝල් අකේ චන්තවොංය.


පාපන්දු ක්‍රීඩා පුහුණුවෙන් පසුව, කණ්ඩායමේ දරුවෝ උපදේශකයා හා සමග එක්ව, සිය පාපැදිවල නැඟී විනෝද ‘රවුමක’ යෙදුනහ. කුඹුරු, වෙල්යාය තුළින් ගමන් කළ ඔවුහු මෑතක මහවැස්සෙන් ජලගැල්මට යටවී තිබුණු වන පෙදෙස ඔස්සේ චාරිකාවේ යෙදුණහ.


ඔවුන්ගේ මේ, විනෝද චාරිකාව ගැන ගෙදර - දොර අය දැන නොසිටියහ. රෑ වෙත් වෙත්ම, නෑදෑයෝ භීතියෙන්, භීතියට පත්වූහ, එළිවන විටත්, දරුවා ගෙදර නොආවිට, මහා භයානක ඉරණමකට දරුවා මූණපාන්නට ඇතැයි, නැදෑහිතවත්හු අප්‍රමාණ ලෙස කලබලයට පත්වූහ.


සිදු වූ ඛේදවාචකය, පෙදෙන් පෙද ආරංචිවන්නට පටන් ගත්තේය.


තමන්ට වාස වූ ‘මේ සායි’ පෙදෙසට සෙවන දෙමින් නැඟී සිටින මහා පර්වතයෙහි විනෝද ගමන්වල යෙදීමට, දරුවන් තුළ බලවත් කැමැත්තක් තිබිණි. විනෝද චාරිකාවේ යෙදී ලෙන් දොරටුවට පැමිණි දරුවෝ, සිය පාපැදි ක්‍රමානුකූලව නවත්වා තබා, ලෙන් පෙළට ඇතුල් වූහ. දරුවා සොයාගිය “උපන් දින” වීරයාගේ නැදෑයන් දුටුවේ ක්‍රමානුකූල ලෙස ලෙන් දොර නවතා තිබුණු පාපැදි පෙළයි. පාපැදි දහතුන නවත්වා තැබූ ක්‍රීඩක දරුවොත්, ඔවුන්ගේ යොවුන් (විසිපස් හැවිරිදි) උපදේශකවරයාත්, උපන් දින සමරන්නට ලෙන් වැදුනහ.
මේ දරුවෝ ඒ ලෙන් ගමනට කෝඩුකාරයෝ නොවූහ. මීට පෙර නොයෙක් වතාවල ඔවුහු ඒ තුළ සංචාරයේ යෙදී පුරුදුව සිටියහ. අලුතින් පාපන්දු කණ්ඩායමට බැඳුණු අයට දෙන ලද නවක වධයක් තිබිණි. එහිදී සිදුවූයේ නවකයන් ලෙන තුළට ගොස්, ඔවුන්ගේ නම් ලෙන්තුළ ලිවීමයි. ඇතැම් විටෙක ඔවුහු කිලෝමීටර් 8 ක් තරම් ඈතටද ගොස් සිටියහ.

 

 


මෙවර ඔවුන් ගියේ, එතරම් උපකරණ ආදිය රැගෙන නොවේ. ඔවුන් පැයකින් ආපසු එන්නට සිතූ නිසා ඔවුන්ගේ අතේ තිබුණේ විදුලි පන්දම් පමණි.


අන්තිමේදී ඒ පැය පසුව දෙසතියක් දක්වා විහිදෙන බවක් ඔවුහු මතිමාත්‍ර වශයෙන් හෝ දැන නොසිටියහ.


ඔවුන් ඇතුල් වූයේ කිලෝමීටර් 10  ක් දිගැති ලෙන් සංකීර්ණයටයි (මේ ලෙන් පෙළේ සම්පූර්ණ නම මෙහිදී යළි දක්වා සිටිය යුතුවේ. තායි නම: ‘කාම් ලු ආං ඩුම් නාම් නාං නොන්” තේරුම ‘නිදිපත් පර්වත කාන්තාවගේ මහ ලෙන සහ ජල උල්පත් පද්ධතිය”
මේ ලෙන් පෙළට යායුත්තේ නොවැම්බර් අප්‍රේල් අතර මාසවල පමණකැයි ජනප්‍රවාදයෙන් නියම කෙරේ. වැසි සමයයෙහි - මෝසම් සුළං පටන් ගන්නා ජූලි මාසයෙන් පසු සමයයෙහි ලෙන් පෙළේ කිලෝමීටර් 5 ක් පමණ දුර ප්‍රමාණයක් ජල ගැල්මට යටවේ. ඉතාම දක්ෂ කිමිදුම්කරුවන්ට පවා ඒ කාලයේ ලෙන් ගමන අන්තරායදායීය.


දරුවන්, ලෙන් තුළ සිරවී සිටීයැයි කියන පුවත සැළ වූ තැන් පටන්ම, ලෝකයාද, මේ දරුවන්ගේ ඉරණම ගැන භීතියට පත්වූහ.
සිදුවූයේ කුමක්ද?
ඔවුන් ලෙනට ඇතුළු වූ පසුව, මහා ජල ප්‍රවාහයක් ලෙන තුළට ගලා ආයේය. දරුවන්ට කර කියාගත හැකි දෙයක් නොවීය. ජල පහරට අසුනොවනු පිණිස ඔවුන්ට කළ හැකි වූයේ ලෙන තුළ උස් ගල්තලාවකට නැඟ ගැනීම පමණකි.


මේ දරුවන්ගේ වීරත්වයද මෙහිදී අති ප්‍රබල ලෙස ප්‍රකාශ වූයේය. ඔවුහු ගල් කැබලි ගෙන ගල්තලය හාරා, එහි ප්‍රමාණය විශාල කොටගත්හ. ඔවුන්, කිසිදෙයක් කර කියාගත නොහැකිව නිකම් සිටියේ නම් ඔවුන් ශීතලේ මැරීයන්ට ඉඩ තිබිණි. ඔවුහු ගල්තලාව ලෙනක් කොටගෙන එහි ගුලිගැසී උණුසුම්ව සිටියහ.


නොපමාවම, මුළු ලෝකයම, මේ සිද්ධිය ගැන අවදි වූහ. මාධ්‍ය වේදීන් 1500 කට අධික සංඛ්‍යාවක් එක් රැස්ව සිදුවන සියල්ල ක්‍ෂණයෙකින් ලොවට දැන්වූහ. ලොව පුරා හැම දෙසකින්ම පාහේ ආධාර උපකාර ලැබෙන්නට විය. එසේම ලෝක ප්‍රසිද්ධ කිමිදුම්කරුවෝ නොපමාව දරුවන් ගලවා ගැනීමේ ප්‍රයත්නයට එකතු වූහ. ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ ගුවන් හමුදාවේ විශේෂඥ කිමිදුම් කණ්ඩායම් ද පැමිණියහ. ප්‍රංශ, ඊශ්‍රායල්, පිලිපීන රාජ්‍යවල පෞද්ගලික ව්‍යාපාරිකයෝද සහායට ආහ. එලොන් මස්ක් නම්, බිලියනපතියා කුඩා පරිමාණයේ. සබ්මැරීනයක් දෙන්නට පොරොන්දු විය.


ගැමියෝ මිල මුදල් සැපයූහ. දහස් ගණනින් කෑම්වෙලවල් සම්පාදනය කළහ. ලෙන තුළ තිබුණු ජලය බැහැරට ගෙන ඒම නිසා ගලාගිය ජලකඳට, ඇතැම් ගැමියන්ගේ වෙල්යායවල්, කුඹුරු යටවිය. දරුවන් බේරා ගන්නා පිණිස, මේවා තබා අපේ ජීවිත වුවද පිදිය යුතුයැයි ඒ දිළිඳු ගැමියෝ පැවසූහ.


ඒ සියල්ල මැද්දේ, පළමුවෙන්ම, සතුටුදායක ප්‍රවෘත්ති මාත්‍රයක් ලොවට ප්‍රකාශ කරන ලද්දේය. ජුනි 28 වන දා වන විට, ඇමෙරිකා, එංගලන්ත, බෙල්ජියම්, ඕස්ටේ්‍රලියා සහ ස්කැන්ඩිනේවියා පෙදෙසින් ද කිමිදුම් විශේෂඥයෝ එළඹුනහ.


ඔවුන් අතුරින්. ජූලි මස දෙවනදා, නව කීර්තියක් අත්පත්කොට ගන්නා ලද්දේ, බි්‍රතාන්‍ය ජාතික ජෝන් වොලන්කන් සහ රික් ස්ටැන්ටන් නම් බි්‍රතාන්‍ය කිමිදුම්කාර විශේෂඥ යුවළ විසිනි ‘අපි ලෙන තුළ, දරුවන් සෙව්වෙමු. කෑ ගසා ඔවුන් ඇමතුවෙමු. ඔවුන්ගේ ‘සුවඳ’ ‘ඉව කරන්නට’ බැලුවෙමු. අපට ඔවුන් පෙනෙන්නටත් පෙර අපි ඔවුන් සිටින බව ‘ඉවෙන්’ දැන ගත්තෙමු’යි විශේෂඥ ජෝන් වොලන්කන් පැවසුවේය. ක්‍ෂණයකින් විශේෂඥ ජෝන්ගේ විදුලි පන්දමේ එළියෙන් මේ සිරවී සිටි දරු පිරිස පෙනුනේය.


ලෝකය සැනසිලි හුස්මක් හෙලුවේ ඒ මොහොතේදීය. 


ඒ සිද්ධිය වාර්තා කරනු වටී
විශේෂඥ රික්, දරුවන් ගණන් කරන්ට පටන් ගත්තේය ‘ඔතන රැඳී සිටින අයගේ සංඛ්‍යාව කීයදැයි රික් විමසුවේය. “දහතුන් දෙනයි” කියා ඉංගිරිසියෙන් පිළිතුරු ලැබිණ. දරුවන් කණ්ඩායමේ සිටියේ ඉංගිරිසි කතා කළ හැකි එක් දරුවෙක් පමණි “දහතුනයි විශිෂ්ටයි” කියා රික්ට කියැවුණේ ඉමහත් සතුට නිසාය.


“ඒ  සියලු දෙනාම පණපිටින් යැයි විශේෂඥයා මුළු ලොවටම ඇසෙන්නට කියා සිටියේය. 


මේ සාකච්ඡාව විද්‍යුත් මාධ්‍යයෙන් ජගත් ව්‍යාප්ත වූ විට ලොව බොහෝ රටවල මෛත්‍රීපූර්වක ජනයා, ඉමහත් සතුටින් ඔල්වරසන් දෙන්නට පටන් ගත්තේ මෙය තමන්ගේ පවුලේ සන්තුෂ්ටියක විලාශයෙනි. 


අපූරු මානව භක්තියක් තාමත් මිනිසුන් තුළ තිබෙන බව මේ සිද්ධියෙන් ප්‍රාතිහාර්ය ලෙස ප්‍රකශ වූයේය.


දවස් නවයකින් පසුව, ඒ ලෙනේ සිරවී සිටි දරුවෝ, ආලෝකය දුටුවහ. නොපමාවම, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂණ පටන් ගත්තේය.


ඔවුන්ට ද්‍රව වර්ග දෙන ලදි. විටමින් වර්ග සපයන ලදි. ලෙනෙන් බැහැර සිටි දෙමාපිය ඥතීන්ගේ සතුට නිම්හිම් නැතිවිය. එක් දරුවෙක් තමාගේ ඡන්ම දින උත්සවය පැවැත්වූයේත් ලෙන තුළදීමයි. 


මේ ප්‍රාතිහාර්යමය සිද්ධිදාමයේදී ඉතාම ප්‍රබල වීරත්වයක් ප්‍රකාශ කරන ලද්දේ, කණ්ඩායම් උපදේශක 25  හැවිරිදි “පුහුණුකරු ඒක්” විසිනි. ඔහුට නියම පුරවැසි කමක්වත් නැත. ඔහු මියන්මාරයේ. ‘ෂාන්’ නම් සුළුජාතික පක්‍ෂයට අයත් වූවෙකි. වයස දහයේදී ඔහු අනාථයෙක් විය. ඔහු පැවිදි වූයේය. ඔහුගේ නායක හිමියන් වූයේ ‘පුතාන් දොයි වාඕ’ ආරාමය භාර හිමිපානෝයි. “ඒක්” සාමනේර දෙනමක් හා සමග කුඩා කාමරයක ජීවත් වේ. පන්සලේ අනිත් හාමුදුරුවරු ‘ඒක්’ ගැන මෙසේ කියති “ඔහු ඉවසිලිමත්ය. ශක්ති සම්පන්නය. භාවනාවේ දක්ෂය”


ලෙන තුළ සිරවී සිටි කාලයේදී. ඔහු දරුවන් දොළොස් දෙනා බලාගත් ආකාරය, මුළු ලෝකයේම සම්මානයට සුදුසු ක්‍රියාදාමයකි.
ඔහු ලෙනේ වහලින් බොන වතුර ලබාගත්තේය. ඉතිරිව තිබුණු ආහාර ප්‍රමාණය, ක්‍රමවත් ලෙස දරුවන් දොළොස් දෙනා අතර බෙදුවේය. ඔහු නිරාහාරව සිටිමින්, දරුවන්ට ආහාර දුන්නේය. ඒ මගින් ඒ කුඩා ජීවිතවලට ඔහු ප්‍රාණය දායාද කළේය.


දරුවන්ගේ සිතේ දුක් සන්තාප නැති කරනු පිණිස ඔහු දරුවන් භාවනාවේ යෙදවූයේය. ශරීර ශක්තිය හීන නොවන ලෙස ආරක්ෂා කරගන්නටත්. දුක් - දොම්නස් දරුවන්ගේ සන්තානයෙන් ඉවත්කොට තබන්නටත් ඒ භාවනා දිව්‍ය ඖෂධයක් වැනි විය. 


දරුවන් පණපිටින් සිටිනු සොයා ගැනීම ගැන ලෝකයා අසීමිත ලෙස තුටු - පහටු වුවද, ඉන්පසුව, බැරෑරුම් ප්‍රශ්න රැසක් පැන නැංගේය.
ගුහාවෙන් බැහරට යන මඟ තාමත් මහා ජල ප්‍රවාහයකින් යටවී තිබුණේය. දරුවන්ට පීනන්ට පුරුදු කොට, ගුහාවෙන් ඔවුන් ඉවත් කළ යුතුද? ඔවුන්ට කිමිදීම පිළිබඳ ක්‍ෂණික පුහුණුවක් ලබාදිය හැකිවේද? උඩ පර්වතය සිදුරුකොට ඒ මගින් දරුවන් උඩට ගත හැකිවේද? ඒ සඳහා අඩි 2000 ක කුහරයක් කැණිය යුතුවේද? එය කළ හැක්කක්ද? දරුවන් මාසයක් පමණ කලක්, ලෙන තුළ තබාගන්නට සිදුවේද?
එහෙත්, බොහෝ දෙනාට අමතක වූ ජීවිතයත් මරණයත් පිළිබඳ මහාම අර්බුදයක් හටගෙන තිබිණි. ලෙන තුළ සිටි කිමිදුම්කරුවන් විසින් ඔක්සිජන් (අම්ලකර) වායුව භාවිත කෙරෙන නිසා, ගුහාව ඇතුළේ අම්ලකර වායු ප්‍රමානය ශීඝ්‍ර ලෙස අඩුවෙමින් තිබුණේය. ආරක්ෂිත ඔක්සිජන් ප්‍රමාණය සීයට 21 කි. එහෙත් ඒ ප්‍රමාණය සීයට 15 තරමට පහළ බැස තිබුණේය. එහෙත් ඉතාම අන්තරායකාරී විකල්පය වූයේ කිමිදීම පමණි. 


එසේ වුවද දරුවන්ට කිමිදීම පුහුණු කිරීම කිසිසේත් ඉක්මණින් කළ හැක්කක් නොවීය. ජල ප්‍රවාහය, ඉතා ප්‍රබල විය. උෂ්ණත්වය පැරන්හසිට් අංශක 65 ට බැස, අධික ශීතලක් පැතිර ගියේය. යා යුතු මාර්ගයද ජලයෙන් වැසී තිබුණේය. ගමන් මඟ ඇතැම් තැන් ඉතාම පටු නිසා එවැනි ස්ථානවලින් යාගත පිණිස කිමිදුම්කරුවන් විසින් සිය කිමිදුම් උපකරණ තාවකාලිකව ඉවත් කළ යුතුවේ.


මේ ගමනේ මහාම අන්තරාකාරී ගතිය තව තවත් තියුණු කළ කම්පාදායී සිද්ධියක් සිදුවූයේය. තායි නාවුක හමුදාවේ කිමිදුම් අංශයේ (සීල් අංශයේ) හිටපු නිලධාරියෙකු වූ සමාන් තුවාන් තිස් අට හැවිරිදිව නැසීගියේ දරුවන් බේරාගන්නා මාර්ගයෙහි කිමිදුම් උපකරණ සවිකිරීමේ ක්‍රියාදාමය අවසන් කළ හැටියේය. 


නැසීගිය, තායි නාවුක හමුදා නිලධාරියාගේ භාර්යාව මෙසේ ප්‍රකාශ කළාය ‘මගේ සැමියා වන ස්මාන් කුමාන් නිලධාරිතුමා වරක් මෙසේ කියා සිටියේය. අප මැරෙන දිනය අපට කියන්ට බැරිය. ඒ නිසා අප හැම දවසක්ම ගෞරව පූර්වක ලෙස රැකගත යුතුවේ’ 


එතුමාගේ භාර්යාව වන වලීපෝන් ඥනාන් මහත්මිය විසින් පවසන ලද පරිදි ජීවිතයට ගෞරව කළ ඒ ශ්‍රේෂ්ඨ නිලධාරියා මේ දරුවන් බේරා ගැනීමේ මහා මානව ව්‍යාපාරයේදී අභාවයට පත් වූ මුල්ම හා එකම වීරයායි. බෞද්ධ භික්‍ෂූන් වහන්සේලා හැමදාම ඒ දරුවන්ට සෙත්පතා පිරිත් සජ්ජායනාවේ යෙදුනහ. දරුවන් පිළිබඳ දුක නිසා එහි පැමිණි ඇතැම් ස්ත්‍රී පුරුෂයන් රෑ නිදා ගත්තේත් ඒ ලෙන අසලමයි.
ජූලි හයවනදා මේ දරුවන් ගලවා ගැනීමේ මහා ප්‍රයත්නයේ ඉතා ප්‍රබල සංසිද්ධියක් සිදුවූයේය. ඔක්සිජන් වායුව සම්පාදනය කිරීමේ මාර්ගයක් සකස් කෙරිණි.


සිරවී සිටි දරුවෝ දෙමාපිය නෑදෑ ආදීන්ට අතින් ලියුම් ලියූහ. ඔවුන් ඒ ලියුම් ලිව්වේ මඩ ගැවුණු කඩදාසි කොලවලයි. 


දරුවන් බලාගත් කණ්ඩායම් උපදේශක, “ඒක්ට’ ලියුම් ලිවිය යුතු නෑදෑයෝ නොසිටියහ. ඒ නිසා ඔහු දරුවන්ගේ නෑදෑ හිතවතුන්ට විවෘත ලියුමක් යොමු කළේය. එහිදී ඔහු දෙමාපිය නෑදෑ හිතවතුන්ට මෙසේ ප්‍රකාශ කළේය “ඔබගේ දරුවන් අන්තරායට ලක් කිරීම ගැන මම කනගාටුව පළ කරමි” දෙමාපියෝ ඔහුට මෙසේ පැවසූහ “අනේ ඔබ ඒ ගැන ඔබට දොස් පවරා ගන්න එපා” පුහුණුකරු ඒක් මහතාණෙනි. අපේ දරුවන් සියලු දෙනාම රැකගෙන ඔවුන් සුවසේ තබාගැනීම ගැන අප ඔබට ස්තුති කරනවා”


නියම ශුභාරංචිය ඉදිරිපත් කෙරුණේ ජූලි අටවනදායි. සිර වූ දරුවන් මුදාගැනීමේ ව්‍යාපෘතිය භාරව සිටි ප්‍රධානියා වන නරොංසාක්, එදා මෙසේ ප්‍රකාශ කළේය “නියම දිනය ජූලි අටවනදා වන අදයි” දරුවන් මංමුළාවී එදිනට දින 16 කි. පිරිහී ගිය කායික ශක්තිය නිසා මේ දරුවන්ට කිමිදීමේ යෙදිය නොහැකි බව ඔහු අවබෝධ කොට ගෙන සිටියේය. 


මහ වැහි වළා නැගී ගෙන එන ඒ මොහොත දරුවන් ගලවා ගැනීමේ හොඳම කාලමාත්‍රය බව නරොංසාක් ව්‍යාපෘති නායකයා තීරණය කළේය. “අපගේ සාර්ථකත්වය පතා හැමෝම ආශිංසනය කරන්නැයි” ඒ නායකයා ඉල්ලා සිටියේය.


අතිශය වේගයෙන් ඉටුකළ යුතු කාර්යය සඳහා ජාත්‍යන්තර කිමිදුම්කරුවන් දහතුන් දෙනෙක් සූදානම්ව සිටියහ. තායි කිමිදුම් හමුදාවේ “සීල්” නිලධාරීන් පස් දෙනෙක්ද සැරසී ගත්හ. 


දරුවන් බේරා ගැනීම සිදුවූයේ කණ්ඩායම් මට්ටමෙනි. එක් කණ්ඩායමකට හතර දෙනෙක් අයත් වූහ. ඒ දරුවන්ගේ මනස සහනදායී ලෙස පවත්වා ගන්නා පිනිස ඔවුන්ට ශාන්ති කරණ ඖෂධ දෙන ලදී.


මානව විෂය ඉක්මවා ගිය මේ ජීවිත බේරා ගැනීමේ මහා ප්‍රාතිහාර්යය සඳහා කිමිදුම්කරුවන් සිය දෙනෙක් පමණ සහභාගී වූහ. ඒ විවිධ රටවල අයයි. 


මේ ජයග්‍රාහී වික්‍රමය අංශ දෙකකින් සමන්විත වූයේය. 


ප්‍රථම පියවර වූයේ දරුවන් රැඳී සිටි ගල්තලාවේ සිට තෙවන ආගාරය දක්වා කෙරෙන ගමනයි. ඉතාම අපහසු වූයේ ඒ මුල් පියවරයි. එක් එක් දරුවාගේම මුහුණ වායු මූණු වැස්මකින් ආවරණය කෙරිණි. මේ හේතුකොටගෙන දරුවන්ට පහසුවෙන් හුස්ම ගත හැකි විය. එක් එක් දරුවාම කිමිදුම් විශේෂඥයෙකුට සම්බන්ධ කොට තිබුණේය. තවත් කිමිදුම්කරුවෙක්, ඒ හා සමග ගියේය. 


තෙවන ආගාරයට පැමිණියාට පසුව දෙවන පියවර ඇරඹුණේය. මේ පියවරට පැය කීපයක් ගත වූයේය. එක් එක් දරුවාම ගිලන් මැස්සක හොවන ලදී. එක් දරුවකු රැගෙන යන ලද්දේ පස්දෙනෙකුගෙන් සැදුණු කණ්ඩායමක් විසිනි. එක් තැනකදී ගිලන් මැස්ස පාරුවක් මත තැබිය යුතුවිය. ඒ පාරුව ඇදගෙන යන ලද්දේ ඔවුන්ගේ නිකට දක්වා වතුර පිරි ජල තලාවක් ඔස්සේයි. දරුවන් බේරාගත් අය දරුවන් බෑවුමකින් ඉහළට ගන්නා ලද්දේ කප්පික්‍රමයෙනි. ගල්පර බහුල තැන්වල මිනිස් වැටක් විසින් දරුවෝ උඩට ඔසවනු ලැබූහ. 


මෙසේ අනුක්‍රමයෙන් එක් එක්කෙනා බැගින්, කණ්ඩායමේ දහතුන් දෙනාම “තාම් මු ආං” ගුහාවේ අඳුරෙහි සිට බැබලෙන සූර්යාලෝකයට ගෙන එනු ලැබූහ. දරුවන් ක්‍ෂණිකවම ආරෝග්‍ය ශාලාවට ගෙන යන්නට පෙර ඔවුන්ට ඔක්සිජන් සපයන ලදී. දරුවන් දින තුනක් තුළදී කණ්ඩායම් තුනකින් බේරා ගන්නා ලදී. ඒ වායු ටැංකි පුරවනු පිණිස කාලයක් අවශ්‍ය වූ හෙයිනි. මේ බේරා ගැනීමේ විශිෂ්ට ලක්‍ෂණය වූයේ එය නියම මොහොතට සම්පූර්ණ කළ හැකි වීමයි.


දරුවන් හා උපදේශකයාත් බේරා ගත් හැටියේම ලෙන තුළ ජල ප්‍රමාණය ඉහළ නඟින්නට විය. ජල ප්‍රමාණය ඉහළ නැංගේ ශීඝ්‍ර වේගයෙනි. දවස ජූලි 10 වන අඟහරුවාදායි ඒ ප්‍රදේශවාසීන් කියා සිටියේ සාමාන්‍යයෙන් එදා වන විට ගුහාව සහමුලින්ම ජලයෙන් පිරීයන බවයි.


අවසාන මොහොතේදී දරුවන් බේරා ගත්තාටත් පසුව ගුහාවෙන් පිටතට ආයේ තායි නාවුක හමුදාවේ කිමිදුම්කරුවෝත්, වෛද්‍ය විශේෂඥයාත්, ඔස්ටේ්‍රලියාවේ ලෙන් ගවේෂක විශේෂඥයෙකු වන ආචාර්ය රිචඞ් හැරිස් මහතාත්ය. 


තායි නාවුක හමුදාවේ කිමිදුම් විශේෂඥයෝ මෙසේ පැවසූහ ‘මෙය විද්‍යාවදැයි කියා හෝ නැත්නම් ප්‍රාතිහාර්යක්දැයි කියා හෝ අපි නොදනිමු”


ගලවාගනු ලැබූ දරුවන්ට කෙළින්ම ගෙදරයා නොහැකිය. ඔවුහු අද (19) වන වෙන තෙක්  ආරෝග්‍ය ශාලාවේ සිටිති.


මේ පාපන්දු කණ්ඩායමේ ඉරණම ඛේදවාචකයක් බවට පත්වේදෝයි බොහෝ දෙනා සැක කළහ. එහෙත් එය පරිපූර්ණ ආකාරයෙන්ම සාර්ථක වූයේ ප්‍රාතිහාර්යයක් නිසාදැයි විද්‍යාව මැද්දේ වුවද කාටත් අසන්නට සිදුවේ.


මේ ලෙන් පෙළ කෞතුකාගාරයක් බවට පරිවර්තනය කරන්නට දැනටමත් නිලධාරීහු තීරණය කොට ගෙන සිටිති. සංචාරකයන් සඳහා මධ්‍යස්ථානයක් වශයෙන් මේ ගුහාව දියුණු කළ යුතුය යන අදහසක් ද ඇත්තේය.


හොලිවුඞ් ව්‍යාපාරිකයෝ මෙය චිත්‍රපටයට නගන්නට සූදානම් වෙති.


මේ කණ්ඩායමේ දරුවන්ගේ හා පුහුණුකරුගේ අරමුණ නම් හිස බූගාගෙන දින කිහිපයක් මහණදම් පිරීමයි. එසේ ටික කලක් මහණවී සිටීම අනුමත වෙයි. ඒ දරුවන්ගේ බෞද්ධ පවුල්වල අය සිතන්නේත් ඔවුන් කලක් මහණව සිටියොත් එය ඔවුන්ගේ ජීවිතයට ආශීර්වාදයක් වන බවත් ඔවුන්ට මේ අවාසනාවන්ත අත්දැකීමේ කිළිටෙන් මිදිය හැකි වන බවත්ය.


මා මෙම තායි වික්‍රමය දකින්නේ ඔවුනොවුන්ට උපකාර කිරීමෙන් තම දිවි පරදුකොට අනුන්ගේ ජීවිත බේරා ගැනීමේත් අතිඋතුම් මානව ගුණය මුළු ලොවටම විදහා දක්වන දිදුලු දෙමින් බැබළෙන, ප්‍රබල මූර්තියක් සේ සදාකල්හිම ජන මතකයෙහි රැඳෙන අසහාය මහා වීර කාව්‍යයක් වශයෙනි.


මේ කතාව අප විසින් නොපමාවම අපගේ දරුවන්ට කියා දිය යුතු වන්නේය.


රළු පරළු කර්කශ වදන් බෙණෙමින් අනුන්ගේ දුක ගැන මතිමාත්‍ර වශයෙන් වත් නොසිතන, අතැම් නරුමවාදී “නර ප්‍රාණීන්ට” මෙය සුවිශේෂී ආදර්ශයක් විය යුත්තේමය.


මෙහිදී මතක් කළ යුතුම වන අගනා මිනිස් කමක් ඇත්තේය. දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ උපදේශකවරයාත් ගලවා ගන්නට කළ භයානක සටනේදී, තායි කිමිදුම්කාර නිලධාරියෙක් වූ තිස්අට හැවිරිදි සමාන් කුනාන් මහතා මිය ගියේය. ඒ සිත් පාරන සිද්ධිය දරුවන්ට හා උපදේශකවරයාටත් දන්වන ලද්දේ ගිය සෙනසුරාදායි. එය දැන්වුවහොත් ඒ අයට ඒ කනගාටුව උසුළාගත නොහී ඔවුන් රෝගී වේයැයි බියෙනි. කලින් එය නොදන්වන ලදි. 


එය ඇසූ හැටියේ ඒ සැලවුණු දරුවෝත් උපදේශකවරයාත් අඬා වැළපෙන්නට පටන් ගත්හ. ඔවුහු ඒ මියගිය වීරයා සිහිපත් කරමින් නිහඬවත් සිටියහ.


මේ දරුවන් හා උපදේශකවරයාත් ජූලි මස 19 වන බ්‍රහස්පතින්දා වනතෙක් ආරෝග්‍යශාලාවේ නිරෝධායනයෙහි සිටිති. අඳුරු තෙතබරිත ගල් ගුහාවක සිටි මේ දරුවන් ගෙදර ගිය විට ඔවුන් කන්ට ඉතා කැමති ආහාරය කුමක්දැයි විමසන ලදි. බොහෝ දෙනා මතක් කළේ තායි ලන්තයේ ජනප්‍රිය කෑම විශේෂයක් වන ‘ඛාවෝ පදික්‍රාපොව්” නම් ආහාරයයි. එය තැනෙන්නේ බැදපු මස් සහ බත් එක්වීමෙනි. තවත් අය කීවේ ණත්‍ක්‍ ආහාර ඕනෑ බවයි. 


එහෙත් ජුනි මස 13වන සෙනසුරාදා පැවැත්වෙන්නට තිබුණු ඔහුගේ 16 වන ජන්ම දිනය නිමිත්තෙන්‘ පීරපත් නයිට් සොම්පියාජායි” සඳහා සකස් කෙරුණු තද කහ පැහැති ස්පොංජ් බොබ් කේක් ගෙඩිය තාමත් ඔහුගේ නිවසේ ශීතකරණයේ තැන්පත්ව තිබෙන්නේ විය හැකිය.


ඒ කෙසේවුවද මුළු ලොවම සුදනන් කුළුණෙන්, මෛත්‍රියෙන් එකට යා කළ මේ දරුවන් බේරා ගැනීමේ හද සිත නළවන මානව පුවත දිගු කලක් මුළුල්ලේ ජන සන්තානයෙහි තැන්පත්ව තිබෙනු නිසැකයි.

 

 

 


RECOMMEND POSTS