ට්‍රැක්ලන්තය - මෙන්න නෑයෝ



ට්‍රැක්ලන්තේ කියන්නේ ඉතින් රංචු පිටින් කල්ලි පිටින් ජීවත්වෙන්න කැමති මිනිස්සු ඉන්න රටක්නේ. පිටරවල වගේ තනියම නෑයෝ වේයෝ ඔක්කොගෙන්ම ඈත්වෙලා තනි තනි පවුල් විදිහට ජීවත්වෙන පුරුද්දක් ට්‍රැක්වාසීන්ට ඇත්තෙම නෑ.

සංවේදී නෑයෝ

අපි හැමෝටම ඉන්නවා එක්තරා නැදෑ පවුලක් ඕනම දේකට වෙඬරු පිඩක් සේ උණුවෙන හිතක් තියන. සහෝදර සහෝදරියන්ගේ ළමයිනුත් තමන්ගේ ළමයි කියලා තමයි මේ අය සලකන්නේ. තමන්ගේ සහෝදරයෙක්ගේ ළමයෙක්ට දුකක් කරදරයක් වුනාම තමන්ගේ ළමයෙක්ට වුනා වගේ හැසිරෙන එක තමයි මේ අයගේ ලක්ෂණය. 

නෑ බෑ කියන නෑයෝ

මේ අයත් ඕනෑම පවුලක දකින්න ලැබෙන නෑයෝ පිරිසක්. ඕනෑම අවස්ථාවක ඕනෑම දේකට නැහ් බැහ් කියන එක මෙයාලගේ පුරුද්ද. අනිත් සහෝදර සහෝදරියන්ගේ පානෙන් එළිය බලන එක තමයි මෙයාලගේ ලක්ෂණය. හැබැයි ඉතින් කාටත් හොරෙන් සුපෝකභෝගීම ජීවිත ගත කරන්නෙත් මුන්දැලැම තමයි.

පොල් පරාල තියන් පොල්කෙඳි හොයන නෑයෝ

මේ අය පුරුද්දක් විදිහට කරන්නේ තමන්ගේ සහෝදර සහෝදරියන්ගේ පවුල්වල අඩුපාඩු හොය හොය යන එක. තමන්ගේ පවුලේ අඩුපාඩු හෝ ගාලා තියෙද්දි අනුන්ගේ පවුල්වල අඩුපාඩු හොය හොය යන එකයි මෙයාලගේ එකම විනෝදාන්සේ. පුතා රස්සාවක් කරනවද අපේ පුතානම් අහවල් තැන අහවල් රස්සාව කරන්නේ. පඩිය මෙච්චරයි. ඔයාට එච්චර නැද්ද වගේ ප්‍රශ්න අහලා මානසිකව බිම වට්ටන එක තමයි එයාලගේ ආසාව.

බඳින් නැද්ද අහන නෑයෝ

දාන ගෙදරක ගියත් , මළගෙදරක ගියත්, කොටහලු ගෙදරක ගියත් යන්තමට අවුරුදු 20 පැණපු ගමන් මේ අයට ඕන වෙන්නේ කසාදයක් කරලා දෙන්න. පුතා දැම්ම බඳින් නැද්ද? දුව තාම බඳින් නැද්ද කියන එකයි මෙයාලගේ ජාතික ප්‍රශ්නේ. ඒ විතරක් නම් මදැයි මේ කරදරේ ඉවසන්න බැරුව බැන්දට පස්සේ එන ප්‍රශ්නේ තමයි තාම ළමයි නැද්ද අහන එක. ඇත්තටම ඒ උන්දැලෑ ජීවිතකාලෙම වැඩි කාලයක් ගත කරන්නේ ඔය ප්‍රශ්න අහලා. 

කොටවන නෑයෝ

මේ අයගේ එකම සතුට තමයි එහෙන් මෙහෙට මෙහෙන් එහෙට කේළම කිය කිය සහෝදර සහෝදරියෝ කොටවන එක. හැම කෙනාගෙම පවුල්වල ප්‍රශන හොයාගෙන ඒවා අනිත් අයට කිය කිය වලි නිර්මාණය කරලා වලිය යද්දි පොප්කෝන් කකා ආතල් එකේ බලන් ඉන්න එකයි මේ අය කරන්නේ. ඕනම පවුලක හැමෝම කොටවන නෑයා කා එක්කවත් තරහා නෑ. හැබැයි උන්දෑ තමයි වටේම ගිණි තියන්නේ.

මිනිස්සු කියන්නේ විවිධාකාරයි වගේම හරිම පුදුමාකාර කොට්ඨාසයක්. මෙය හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක් බව කරුණාවෙන් සලකන්න. ඕනෑම මනුස්සයෙක්ගේ ඉතින් හොඳ නරක කියන දෙකම තියනවනේ. උපහාසයට නරක ගැන විතරක් කිව්වට මේ හැමකෙනාටම ආවේනික වුණු හොඳ ගති ගුණත් තියන බව අපි මතක තියාගන්න ඕනේ.

ජයනි සිතාරි අල්විස්


RECOMMEND POSTS