ට්‍රැක්ලන්තය - බස් මගඩි



වලි දාගෙන ,ගහ මරාගෙන ,බැනගෙන, හිත් රිදෝගෙන, පක්ශ පාට වලට බෙදිලා කඩේ ගිහින්, චන්දේ දාලා , තමන්ගේ පක්ශේ දිනුවම හුරේ දාලා, ඊට පහු වෙනිදා සුපුරුදු විදිහට කලින් ගහ බැනගත්තු අය ඔකොමත් එක්ක කිටි කිටියේ හිරවෙලා රටේ බහුතරය බස් වල ඔෆිස් යන එක ඇත්තටම ලැජ්ජ හිතෙන රහසක්නේ. 

ටිකට් එකෙන් ගසා කෑම
පාලක ඇත්තොන්ගේ අඩුපාඩුකම් ඔක්කොම එන්නේ ඉතින් අහිංසක ට්‍රැක්වාසීන්ටනේ. බයික් එකක්වත් ගන්න බැරුව අතේ පිච්චිය නැතුව ඉන්න ට්‍රැක්වාසීන් පොදු ප්‍රවාහන සේවයේ යද්දි ඒකෙනුත් ගසා කනවා. බස් එකට වැඩියෙන් සල්ලි දුන්නම ඉතුරු දෙන බස් කොන්දොස්තර මහත්තුරු දැක්කොත් අපිට කියන්ටෝනෑ ඕං . අවම දුර වෙන රුපියල් 27 බස් එකේදි රුපියල් 30 වෙනවා. 35 ටිකට් එක රුපියල් 40 යි. 45 ටිකට් එක රුපියල් 50 යි. 66 ටිකට් එක රුපියල් 70 යි. වැරදිලා හරි ඉතුරු ඉල්ලුවොත් කොන්දොස්තර අයියගෙන් හොඳවැයින් අහගන්න එහෙමත් පුළුවන්. කවුරුහරි මනුස්සයෙක් ඉතුරු ඉල්ලුවම මුලු බස් එකටම ඇහෙන්න හයියෙන් කෑ ගහනවා " දෙන්නම් දෙන්නම් මේක අරන් රට පනින් නෑ. රුපියල් පහට ඔච්චර කෑ ගහන්න එපා" වගේ එකක් කියලා අර මනුස්සයාට කෑ ගහනවා. කෝ මේවට රටේ නීති. බලධාරීන්ට නින්ද ගිහින් ද.
 
කොන්දොස්තර ළඟ නැති මාරු බස් එකේ දෙයියා ළඟ
මිනිස්සුන්ට ඉතුරු දෙන්න හරී අකමැති ජාතියක් තමා කොන්දොස්තරවරු කියන්නේ. කොයි වෙලෙත් මාරු නැහ් කියාගත්තු ගමන්මයි. ඒ උනාට නිකමට බලන්න බස් එක ඉස්සරහා තියන් ඉන්න පින්තූර , පිළිම වලට තියලා තියන කාසි කන්දරාව. හත්දෙයියනේ දෙයියන්ටත් සතුටු හිතෙන්න කොල වලින් සල්ලි තියලා, ඒ මාරු සල්ලි වලින් අහිංසක මිනිස්සුන්ගෙන් ගසා කන්නැතුව ඉතුරු දෙන්න බැරියැ. මුලු රටේම මාරු කාසි ටික තියෙන්නේ බස් වල කිව්වොත් වැරදි නෑ. දෙයියෝ බුදුන්ට සල්ලි පූජා කරන මුවාවෙන් මිනිස්සුන්ට අසාධාරණකම් කරලා හරියයිද ඉතින්.
 
බස් රේස්
බස් රේස් ගැන ඉතින් බස් එකේ ගිහින් තියන ඕනම ට්‍රැක්වාසියෙක් දන්නවනේ. අනේ ඉතින් රේස් යන බස් එකකට වයසක උන්දැ කෙනෙක් නැග්ගොත් බස් එකෙන්  බහිනකොට උන්දැ නිවන් ගිහින්. ඒ වෙලාවට ඉතින් ඩ්‍රයිවර් උන්දැට පාරේ යන අනිත් වාහන , අනිත් මිනිස්සු පේන්නේ නෑ. මහ පාර පේන්නේ කටුකුරුන්දේ රේස් ට්‍රැක් එක වගේ. ඩ්‍රයිවර් උන්දෑ රේස් සීන් එකේ හුරේ ගාලා වංගුව ගනිද්දි  බස් එක ඇතුලේ ඉන්න අයගේ ඔලු වැදිලා, අතපය ඇඹරිලා, බෙලි උලුක් වෙලා, හුස්ම හිරවෙලා , කෑම අරුචිය, අතපය වේදනාව, හන්දිපත් රුදාව වගේ ලෙඩරෝග උත්සන්න වෙනවා. 
 
බස් චන්ඩි
බහුතරයක් බස් ඇතුලේ යකඩ පොලු , හොකී පිති, කඩු , පිහි , මන්න වගේ ආයිත්තම් තියෙන්නේ ශ්‍රමදාන වලට නම් නෙමෙයි ඕං . ළඟ බස් තමයි චන්ඩි . දුර බස්වල යන අය වැරදිලා හරි හැම හෝල්ට් එකේම නවත්ත නවත්ත සෙනග නග්ග ගත්තොත් ඔත්තු බලන උන්දැලැ කෝල් කරලා ළඟ බස් දුවන අයට පණිවිඩේ දෙනවා. ඊට පස්සේ ඩ්‍රයිවර් උන්දැලෑ අර දුර දුවන බස් එක පස්සෙන්ම ඇවිල්ලා අම්මා මුත්තා මතක් කරලා සද්දයක් දාලා යනවා. මේ ඔක්කොගෙන්ම තැලෙන්නේ පොඩිවෙන්නේ පොදු ජනතාව. අර කිව්ව අයියලාට බයේ දුරබස් හෝල්ට් වල නවත්තන්නේ නැති උනාම දුර යන මගියොන්ට ඉතින් සොරි ඩොට් කොම්. 
 
ක්ලීනින් ශ්‍රී ලංකා ප්‍රොජෙක්ට් වලින් ක්ලීන් කරන්න ඕනේ බස් වල පෙනුම විතරක්ම නෙමෙයි. බස් එක ඇතුලේ වෙන මේ වගේ අසාධාරණකම්. රස්සා නෑ කිය කිය මිනිස්සු අසරණ වෙද්දි මේ වගේ හරි හැටි අවධානය යොමු නොවන තැන්වලට බලධාරීන් පත් කරලා වැඩ පිළිවෙලක් සකස් කරොත් නරකද?
 
ජයනි සිතාරි අල්විස්

RECOMMEND POSTS