ට්‍රැක්ලන්තය - ට්‍රැක් දුම්රිය

ඔන්න ඉතින් හැමදාමත් වගේ ට්‍රැක් ලන්තය කියන්නේ දවසින් දවස කතා මැවෙන තැනක්නේ. ඒ අතරිනුත් දුම් රිය සේවය කියන්නෙ දුම් රියේ එහෙ මෙහෙ යන කට්ටියට මූණ හපුටු කරගන්න තරමේ දෙයක්. ඒක නිසාම දුම්රිය සේවය කියන්නේ ඉතිං වෙනම කතා කරන්න ඕනෑ මාතෘකාවක්.
දුම්රියෙන් උදේ හවස යන එන ට්‍රැක්වාසීන් තමයි හොඳින්ම දන්නේ දුම්රිය සේවයේ සේවාවේ තරම. ට්‍රැක්ලන්තේ දුම්රිය සේවකයෝ හිටිහැටියේ ලෙඩ වෙනවා. එකෙක් දෙන්නෙක් නම් මදෑ. ලෙඩ වෙද්දි ලෙඩ වෙන්නේ රොත්ත පිටින්. හෝ ගාලා වර්ජන කරනවා. ගිනි ගන්නවා. පීලිපනිනවා. වෙලාවට එන්නේ නැහැ. වෙලාවට යන්නේ නැහැ. වෙන්න පුළුවන් සේරම වෙනවා. දුම්රිය ටිකට් ජාවාරම් සිද්ධ වෙනවා. ලෝකයේ කොහේවත් මේ විදියේ සෝක් දුම්රිය සේවයක් නං නෑ.
ඒත් ඉතිං ඒවායේ යන ට්රැක්ලන්ත වැසියන්ට නම්, විශේෂයෙන් දුම්රියෙන් උදේ සවස යන වැසියන්ට නං මේ දේවල් අරුම පුදුම දේවල් නෙමෙයි. සාමාන්‍යයෙන් අපේ ට්‍රැක්ලන්තේ ලොකු ලොකු ඇත්තෝ පොදු ප්‍රවාහනය භාවිතා කරන්නේ නෑනේ. මේං බොලේ අපේ ප්‍රවාහන ඇමැතිතුමා පහුගිය දවසක මොරටුවේ ඉදන් කොළඹට කාර්යාල දුම්රියකින් ආවා. පහුගිය දවස්වල බුකියේ පළ වුණේ ඒ පින්තූර තමයි.
දුම්රියේ හිටිය මගීන් ඒක්ක කතා කරලා අඩුපාඩු මොනවද කියලත් අහලා. ඒ, දුම්රිය මිනිත්තු 13 ක් ප්‍රමාද වෙලා ඇවිත් තියෙන්නේ කියලා ඇමැති තුමා දැනගත්තේ ඒ වෙලාවෙලු. ඒත් ඉතිං දුම්රිය මගීන්ට නං පැයගනන් වලට හුරු වෙලා මිනිත්තු කියන්නේ නතිං. මොකද උදේ හවස දුම්රියට ගොඩ වෙන එයාලා දන්නවා දුම්රිය කොහොමද වෙලාවටම වැඩකරන්නේ කියලා . සමහර වෙලාවට බොහෝ වේලාවක් ප්‍රමාදයි කියලා පැය ගාණක් දුම්රිය ප්‍රමාද වෙනවා. සමහරවිට ඒ ඇත්තොන්ට පැය කට්ට විනාඩි කට්ට පැටලෙනවද දන් නෑ. එහෙම ප්‍රමාද වෙලා ධාවනය වෙන්නේ නැහැ කියලත් අන්තිමේදී කියනවා. එතකොට ඒ දුම්රියේ යන්න බලන් ඉන්න ට්රැක්වාසීන්ටයි ඒගොල්ලොන්ටයි දෙගොල්ලොටම හරිම සතුටුයි.
ඔන්න ඔහොම වැඩ සිද්ධ වෙන අතරතුරේ තමයි හිටිහැටියේ පහුගිය දවස් තුනක් දුම්රිය ගමන්වලට බාධා එල්ල වුණේ. දුම්රිය රියදුරු මහත්වරැ ලෙඩ වෙලා. ලෙඩ නිවාඩු දාලා. සේරම එක පාර ලෙඩ වුණේ කොහොමද කියලා ටැක්ලන්ත වැසියෝ හොයලා බලද්දි තමයි වැඩේ තේරුණේ. දුම්රිය රියදුරු මහත්වරු දමාගෙන පාඩම් කරලා විභාගයක් ලිව්ව. දෙවනි ශ්‍රේණියේ රියදුරෝ පළමු ශ්‍රේණියට ඇතුළත් කර ගන්න විභාගේ. ඉතිං විභාගයට පාඩම් නොකර කොහොමද? රියදුරු මහත්වරු ටික දැම්මා ලෙඩ නිවාඩු. දුම්රිය ගමන් වාර බොහොමයක් අවලංගු වුණා. දුම්රිය නෑ මගීන් අමාරුවේ. හවස ගෙදර යන්න විදියක් නෑ. අනේ ඉතිං එයාලත් අපි වගේ. විභාග ලියනවා කියලා ට්‍රැක්ලන්තේ දුම්රිය මගීන්ගේ හදවත් වෙඬරු පිඩක් සේ උණු වුණා. අනේ ඉතින් ට්‍රැක්වාසීන් ඒ රියදුරු මහත්වරුන්ගේ අම්මා මුත්තා ඇතුලු පරම්පරාව විතරක් නෙමෙයි ගෙවල්වල බලුකුක්ක පවා ආදරෙන් මතක් කරලා .
විභාගය ඉවර වෙලා පස්සේ දවසේ උදේ දුම්රිය මගීන් උදේ වැඩට යන්න ආවේ හරිම උද්යෝගයෙන්. වෙලාවට දුම්රිය එයි කියලා ඉපිලෙන සතුටකින්. ලෙඩ නිවාඩු දාලා පාඩම් කරන්න ගිය දුම්රිය මහත්වරු ආපහු එන්න ප්‍රමාදයි කියලා එදා උදේ වරුවෙත් දුම්රිය අවලංගුයි. අනේ ඉතිං ට්‍රැක් වාසීන්ගේ මූණ නාලු වෙලා, කටවල් ඇදවෙලා, අත්දෙක ඔලුවේ ගහන්, තනි ඇහැට කදුලකුත් ඉනුවලු. ට්‍රැක් ලන්තේ දුම් රිය මගීන්ට ඉතින් හැමදාමත් සොරි ඩොට් කොම් තමා.
ජයනි සිතාරි අල්විස්