ට්‍රැක්ලන්තය - ඔෆිස් චරිත 2



ට්‍රැක්ලන්තේ කියවන අපේ සහෘදයින්ගේ වැඩි මනාපය නිසාම ඔෆිස් චරිත දෙක කොටසකුත් ගෙනාවා ඔන්න. මෙය අපහාසයක් නොව හුදෙක් විනෝදාස්වාදය පමණක්ම නිසාවෙන්බව කරුණාවෙන් බැරි නම් මෙත්තා මුදිතාවෙන් හරි කමක් නෑ සලකන්නෝනේ. 

පොර චරිත
හැම ඔෆිස් එකකම මෙන්න මේ ජාතිය කෙනෙක් නම් අනිවාර්‍යෙන්ම ඉන්නවාමයි . තමන් තමා පොර කියලා හිතන් අනිත් අයව නොසලකා හරින එක තමයි මෙයාලා කරන්නේ. මේ වගේ අයට සුපිරි හැකියාවක් තියනවා වැඩක් නියම විදිහට කරන්නේ කොහොමද කියලා උපදෙස් දෙන්න. හැබැයි වැඩක් දුන්නොත් හොදි ඕන් නෑ හොඳට අනං කන එක වෙනම කතාවක්. උපදෙස් දෙන්න නම් සූරයෝ හැබැයි. තනියෙන් සීයකට උනත් ගහන්න පුළුවන් කියලා කටින් කියවන මේගොල්ලෝ කැරපොත්තෙක් දැක්කත් මේසේ උඩ නගිනවලු බයට. අරයා කවුද මෙයා කවුද කියලා අදාලම නෑ. තමන් තමා චරිතේ කියලා හිතන් තමයි මෙයාලා ජීවත්වෙන්නේ. 
 
කේළමා
මෙයාලගේ වැඩේ තමයි අරහෙන් මෙහෙට මෙහෙන් අරහෙට කේළම් කියන එක. උදේ ආපු ගමන් ඔෆිස් එක වටේ වටයක් කැරකිලා. අනිත් අය කතා කරන ඒවා හොරගෙඩියා වගේ අහන් ඉදලා, කතා ටික එකතුකරගෙන ඊට පස්සේ ඉතින් අදාල අදාල පුද්ගලයන්ට අතිනුත් දාලා කතා තවත් රසවත් කරලා කියනවා. දවස තිස්සෙම මේවා කරලා වෙලාවක් තිබ්බොත් තමා ඉතින් තමන්ගේ රාජකාරිය කරන්නේ.මේ අය හරි ප්‍රයෝජනවත් හැබැයි, ඉස්සර කාලේ පරවියෝ අතේ පණිවිඩ යවනවා වගේ, කේළමා ඉදිරියේ පණිවිඩේ කියන්න විතරයි තියෙන්නේ. අදාල පුද්ගලයා කොහේ හිටියත් ඉතින් කොහොම හරි පණිවිඩේ දෙනවා.
 
පම්පෝරියා
මෙයාලගේ වැඩේ තමා , එංගලන්තේ මහ රැජිණට වඩා තමන්ට තියනවා කියන එක හැමවෙලේම ඔප්පු කරන එක. කතාව දෝලාවෙන් උනාට මෙයාලා පයින් යන්නේ සෙරෙප්පුත් නැතුව.පිට කොටුවෙන් හරි කමක් නෑ සෙරෙප්පුවක් , ඔරලෝසුවක් අරන් කට්ටිය වටකරන් කියවන්නේ නම් ඒවා ඔක්කොම යුරෝප් කන්ට්‍රීස් වලින් ගෙනාවා කියලා. මෙහෙම උන්දැලා ඔෆිස් වලට වාසනාවන්. 
 
නැති බැරි අය
කොච්චර ලොකු තනතුරක හිටියත් කොච්චර හම්බුනත් මේ අයගේ කටේ තියෙන්නේ දත් වෙනුවට " නෑ " කියන වචනේ. කොච්චර තිබ්බත් කියන්නේ නෑම තමා. හැමවෙලේම නෑ නෑ කිය කිය ,බලන්නෙම අනුන්ගේ පහනෙන් එළිය බලන්න. නිතරම මෙහෙම, යන්න සල්ලි නෑ , කන්න සල්ලි නෑ, අඳින්න සල්ලි නෑ කියන අයගෙන් වැඩ කරනවට පඩි ගෙවන් නැද්ද අහපු ගමන් පොල්කාවයියට භූමිතෙල් ගැහුවා වගේ ලිස්සලා යනවා.
 
 
අයිස් ගහන එකෙක්. ( මත්ද්‍රව්‍ය නෙවෙයි හොදේ)
මෙයාලට තියෙන්නේ වැඩ කරනවා වගේ රඟපාන්න. ඇහුවොත් බිසී හැබැයි බැලුවොත් සීට් එකේ නෑ. මෙයාලා වැඩියෙන් ගැවසෙන්නේ කැන්ටින්වල, තේ කඩ වල, සුපර් මාකට්වල, බැංකුවල. තමන්ට පැවරෙන වැඩ මොකක් හරි ජිල්මාට් එකක් දාලා කාගේ හරි ඇගේ ගහලා මාරු වෙන්න මේ අය රුසියෝ.
 
කුම්බකරනයා
මේ අයගේ වැඩේ උදේ ඉදන් හවස් වෙනකන් හීන දැක දැක නිදාගන්න එක. දවස තිස්සේ අක්කරයක් ලොකුවට ඈනුම් ඇර ඇර වට පිට බලලා ශේප් එකේ ගොරව ගොරව නිදාගන්න තමා මෙයාලා ආස. 
 
බොස් පියන්ලා
ඕනම ඔෆිස් එකක ඉන්නවා මෙන්න මේ වගේ අය. ආයතනයට තියන ආදරේ වැඩී...කමට ආයතනයේ අයිතිකාරයා වගේ තමා මෙයාලා හැසිරෙන්නේ. ලොක්කෝ සොක්කෝ අදාලම නෑ , මේ අය හිතන්නේ හැමෝම තමන් කියන විඳිහට වැඩ කරන්න ඕනේ කියලයි. බොස්ට වඩා සේවකයන්ට සද්ද දාන්නේ මෙන්න මේ මහත්තුරු. ඕන එකටයි එපා එකටයි ඔක්කොටෝම පැන පැන වැඩ කරන එක මෙයාලගේ අසිරිමත් ලක්ශනයක්. මේ අය ගැම්ම වැඩි උනාම අමතක වෙලා බොස්ටත් කියනවලු "ගිහින් තේ එකක් හදන් එන්න " කියලා. ගරු කරන්නෝනේ ආයතන රඳාපවතින්නේ මෙන්න මේ වගේ උන්දැලා නිසා.
 
 
ජිම් අයියලා
දවස් දෙකක් විතර ජිම් ගිහින් ,බයිසිකලේ හැඩ්ල් එක වගේ අත තියාගෙන. තමන්ගේ ශර්ට් සයිස් එක මීඩියම් නම් ස්මෝල් සයිස් එකෙන් ටී ශර්ට් එකකුත් ඇඳගෙන ඔෆිස් එකේ හැම කණ්නාඩියකින්ම ඇඟ බල බල , කෙල්ලෝ ඉස්සරහා තමන් තමා ජෝන් සීනා කියලා හිතන් ඉන්න අය තමා මේ. අපිට ඇඟ දැක්කම ගිහින් කෑම එකක් අරන් දෙන්න හිතෙන එක වෙනම දෙයක්. පෙනුමෙන් සීනි අමාරුව හැඳිලා වගේ ඉන්න මේ අයියලා ඔක්කෝම වන්නම් ටික පෙන්නන්නේ කෙල්ලෝ ඉස්සරහා තමා ඉතින්. 
 
ඔන්න ඔහොමයි ඉතින් ට්‍රැක්ලන්තේ ඔෆිස් වල ඉන්න ඔෆිස් චරිත. මේවා ඉතින් උපහාසෙට කියන කතා. ෆෘට් සැලඩ් එකක් වුනත් රස එක එක ජාති පළතුරු දාන නිසානේ. ඒ වගේම තමා ඕනම ඔෆිස් එකක් ලස්සන තැනක් වෙන්නේ විවිධාකාර මිනිස්සු ඉන්නකොට. මේ ලිවීම උපහාසාත්මක වර්ණනාවක් විතරයි ඔන්න. 
 
ජයනි සිතාරි අල්විස්

RECOMMEND POSTS