ගුවන් යානාවලට මී කරදර



ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් යානයකට අකරතැබ්බක් සිදුවීමේ පුවත මාධ්‍ය කැලැඹීමට සමත් විය. පාකිස්තාන ලාහෝර් නුවර ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වූ මෙම යානය අකරතැබ්බට මුහුණ පෑවේ ඒ තුළ මීයකු සිටි බැවිනි.

ගුවන් ගමන අවලංගු කර දැමීමෙන් පසු, මීයා ඇල්ලීමේ මෙහෙයුම ආරම්භ විය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පැවැසුවේ, මීයා අල්ලා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ නමුත් දින තුනක් තිස්සේ ඌ සොයා ගැනීමට හෝ අල්ලා ගැනීමට හෝ නොමැකි වුණු බවය. කෙසේ නමුත් සිවුවැනිදා එනම් පසුගිය 25 වැනිදා මීයා අල්ලා ගැනීමට හැකිවිය. එතෙක් යානය ලාහෝර් ගුවන්තොටුපොළේ නවත්වා තිබුණි.

ශ්‍රී ලංකන් ගුවන් යානය තුළට මීයා රංගන්න ඇත්තේ, එය ලාහෝර් ගුවන් තොටුපලේ නවතා තිබෙන විට යැයි සැක කෙරේ. එසේත් නැතිනම් ගුවන් මගියකුගේ ගමන් මල්ලකින් මීයා යානයට ගොඩවෙන්න ඇතැයි ද අනුමාන කෙරේ. මීයා ගුවන් යානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන්ගෙන් උපදෙස් ගැනීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට සිදුවිය. මීයා ඉවත් කිරීමෙන් පසු ගුවන් යානයේ පරිපත පද්ධතිලට මීයාගෙන් හානියක් සිදුවූයේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලුණි.

ගුවන් යානා, ලොව වඩාත් ආරක්ෂිතම ගමනාගමන සේවාව ලෙස පිළිගැනෙයි. එසේ වුවත් ගුවන් අනතුරු බහුලව සිදුවෙයි. පියාසර කරද්දී, කුරුල්ලන් හැපීමෙන්, ඇන්ජින්වලට හානි සිදුවී, මගී ගුවන් යානා කඩා වැටුණු අවස්ථා ඇත. එහෙත්, මීයකු ගුවන් යානයක් බිම දැමූ බවක් මෙතෙක් වාර්තා වී නැත. නිවසක මීයකු සිටීමට වඩා ගුවන් යානයක, විශේෂයෙන් මගී ගුවන් යානයක මීයකු සිටීම එම ගුවන් යානයේ ආරක්ෂාවටත්, මගීන්ගේ ආරක්ෂාවටත් බරපතළ තර්ජනයකි. මගීන්ගේ බඩු මුට්ටු සහ ගුවන් යනයේ මගීන් වෙනුවෙන් සූදානමින් ඇති ආහාරවලට මීයා හානි කරයි. ඒත්, ඊට වඩා මීයාගෙන් ලොකු තර්ජනයක් ඇත. මීයා සපා කෑමෙන් ගුවන් යානයේ පරිපථ පද්ධතිවලට යම් හානියක් සිදුවුවහොත්, එය යානය කඩා වැටීමට හේතුවක් වනු ඇත.

ශ්‍රී ලන්කක් ගුවන් යානයකින් මීයකු හමුවීම, මගී ගුවන් යානයකින් මීයකු හමුවුණු පළමු අවස්ථාව නම් නොවෙයි. අප අසල්වැසි ඉන්දියාවේ ගුවන් සේවා පවසන ආකාරයට, ‘මී තර්ජන’ ඔවුන් නිරත්රයෙන් මුහුණ දෙන පොදු ගැටලුවකි. 2014 දී එයාර් ඉන්දියා ගුවන් සේවට අයත් එයාර්බස් ඒ.321 වර්ගයේ, අංක ඒ.අයි.021 වර්ගයේ මගී ගුවන් යානය, මගීන් 200 දෙනකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් ද සමඟ කල්කටා නුවරින් ගුවන්ගත විය.

ගුවන්ගත වී පැය කීපයක් යද්දී, යානයේ සිටි කාන්තාවන් යටි ගිරියෙන් කෑ මොර දෙද්දී, ගුවන් සේවිකාවන්ගේ අවධානය ඊට යොමු විය. ගුවන් සේවිකාවන්ට යානය තුළ මීයන් රංචුවක් දුවමින් සිටිනු දකින්න ලැබුණි. පාලන මැදිරියට වහා දැනුම් දීමෙන් පසු ගුවන් යානය නවදිල්ලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හදිසි ගොඩබෑමක් කිරීමට නියමුවන්ට උපදෙස් ලැබුණි.

2015 වසරේ දී ද ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවයට අයත් ගුවන් යානයක්, නවදිල්ලි ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානමින් සිටිද්දී, මීයන් රංචුවක් එම ගමන අවලංගු කළ බව වාර්තා විය. ගුවන් යානා තුළ මීයන් හමුවීම සුබල සිදුවීමකි. 2016 වසරේ දී මුම්බායි නුවරින් ගුවන්ගත වීමට සූදානම් වූ ගුවන් යානයක මීයකු හමුවී, යානය පැය දෙකක් ප්‍රමාද විය. 2009 වසරේ දී කැනඩාවේ ටොරොන්ටෝ ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වීමට සූදානම් වූ මගී යානයකින් මීයකු හමුවී යානය දිනක් ප්‍රමාද විය. 2013 දී හොංකොං ගුවන්තොටුපොළෙන් චීනය බලා පියාසර කිරීමට සූදානම් වූ ගුවන් යානයක මීයන් රංචුවක් සිටීමෙන් එම යානය දින කීපයක් ප්‍රමාද විය.

ගුවන් යානා තුළ දැඩි ලෙස සනීපාරක්ෂක පරීක්ෂා සිදුවුවත්, මීයන්, කැරපොත්තන් ආදිය, ගුවන් යානාවලට ආහාර සපයන ට්‍රක් රථ, ට්‍රොලි හරහාත්, ගුවන් මගීන්ගේ ගමන් මලු හරහාත් ගුවන් යානාවලට ගොඩවන අතර එය සියයට සියයක් වළක්වා ගැනීම අසීරු යැයි පැවැසෙයි. ගුවන් සමාගම්, විටින්විට ගුවන් යානා තුළ පළිබෝධනාශක ඉසීම සහ ධූමකරණය සිදු කරන්නේ මේ නිසාය. ධූමකරණය සිදුවන්නේ ගුවන් යානය සීල් කර, විෂ වායුවක් යානය තුළට පොම්ප කිරීමෙනි. ‘එයාර් ඉන්දියා’ ගුවන් සේවය සෑම මසකම, ගුවන් යානා හතරක් හෝ පහක් හෝ එසේ ධූමකරණය කරන බව ද වාර්තා වේ.

ප්‍රකට ගුවන් සමාගම්වල ගුවන් යානා තුළින් මීයන් හමුවෙද්දී, පිහිට පැතීම සිදුවන්නේ, ආසියාවේ ප්‍රමුඛ පෙළේ පළිබෝධ පාලන සමාගම්වලිනි. මෙම පළිබෝධ පාලන සමාගම් ගුවන් සමාගම් සමඟ රහස්‍ය ගිවිසුම්වලට අත්සන් තබා ඇත. එහෙයින්, ගුවන් යානාවල මීයන් සිටීම සම්බන්ධයෙන් පුවත් අසන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි.

විදෙස් මාධ්‍ය ඇසුරිනි


RECOMMEND POSTS