එතෙරින් ඇසෙන කතා



ජනාධිපති මන්දිරය අත්පත් කර ගනිමින්, පසුගිය ජූලි 9 වැනිදා කොළඹට හමා හා ජන අරගලය කුණාටුවක් නම්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඔවුන්ගේ ධුරවලින් ඉවත් වන්නැයි බල කරමින් ඊයේ (13 වැනිදා) අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ  අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කර ගැනීමට හමා ආවේ ප්‍රචණ්ඩ සුනාමියකි.

ආර්ථික අර්බුදයකකට සහ දේශපාලන අර්බුදයකට ලක් වුණු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය කාලය පුරා විදෙස් අවධානය යොමු වී තිබුණි. තෙල් සහ ගෑස් පෝළිම්වල දුක් විඳින ශ්‍රී ලාංකිකයන් ගැන ලෝක මාධ්‍ය, විශේෂයෙන් ඉන්දීය මාධ්‍ය පුවත් වාර්තා කරන්න විය. සී.එන්.එන්, බීබීසී, අල් ජසීරා, එන්.ඩී.ටීවී ආදී ලොව ප්‍රධාන පෙළේ රූපවාහිනී පුවත් නාළිකා ද රොයිටර්, ඒ.එෆ්.පී. ආදී ලොව ප්‍රධාන වෙබ් පුවත් සේවා ද වොෂින්ටන් පෝස්ට්, නිව්යෝක් ටයිම්ස්, ද හින්දු ආදී ලොව ප්‍රධාන පෙළේ පුවත්පත් ද පසුගිය 10, 11, 12 යන දිනවල ඔවුන්ගේ මුල් පිටු වෙන් කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙනි. අරගලකරුවන් කොටුව ජනාධිපති මන්දිරය අත්පත් කර ගැනීමය.

ජනාධිපති මන්දිරය අත්පත් කරගත් දස දහස් ගණනක් තරුණ අරගලකරුවන් කළ කී දෑ ඇතුළත් වීඩියෝ දසුන් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වෙද්දී ඒවා ජාත්‍යන්තරයට ගියේය. අරගලකරුවන් ජනාධිපති මන්දිර පිහිනුම් තටාකය භාවිතයට ගන්නා අයුරු, ව්‍යායාම උපකරණ භාවිතයට ගන්නා අයුරු මුළු ලෝකයටම දකින්න ලැබුණි.

ශ්‍රී ලංකාවේ අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ලොකු අවධානයකින් පසුවන්නේ අප අසල්වැසි ඉන්දියාවය. ඊට අමතරව ඇමෙරිකාව සෘජුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අවස්ථා කීපයකදී නිවේදන නිකුත් කළේය. සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වය ඇමෙරිකා එක්සත් ජනපදය හෙළා දකින බවත් නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති ජුලී චන්ග් පැවැසුවාය. ප්‍රජාතන්ත්‍රවාදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ සාමකාමී බලය පැවරීමක් සිදුවිය යුතු බව ජුලී චන්ග් පෙන්වා දුන්නාය.

ප්‍රජාතන්ත්‍රවාදී සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ සාමකාමී අයුරින් බලය පවරා දීමක් සිදුවෙද්දී, වගවීමක් ඇති විනිවිදභාවයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සහ යහපත් අනාගතයක් සඳහා වූ ජනතා ඉල්ලීම් සාක්ෂාත් කරගත හැකි බව ද ඇමෙරිකන් තානාපතිනිය පැහැදිලි කළාය. ජාතියේ අභිවෘද්ධිය උදෙසා  දිගුකාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විසඳුම් ක්‍රියාත්මක කිරීමට කඩිනමින් කැපවන ලෙසත්, සංයමයෙන් කටයුතු කරන ලෙසත් සියලු පාර්ශ්වයන්ගෙන් ජුලී චංග් ඉල්ලා සිටියාය.

මේ වනවිට ඇමෙරිකාව වැඩි අවධානයක් යොමු කර ඇත්තේ රුසියන් යුක්රේන අර්බුදය කෙරෙහිය. එය රහසක් නොවෙයි. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය බටහිර රටවලට පමණක් නොව මුළු ලොවටම බලපෑම් ඇති කිරීමට පටන් ගෙන තිබේ. ඉදිරියේ දී ගෝලීය වශයෙන් මහා අහාර අර්බුදයක් ද නිර්මාණය වනු ඇති බවට බිය පළ කෙරේ. ඇමෙරිකන් රජය වෙනුවෙන් එරට රාජ්‍ය ලේකම් (විදේශ අමාත්‍ය) ඇන්තනි බ්ලින්කන් ශ්‍රී ලංකාවේ අර්බුදය ගැන ප්‍රකාශයක් නිකුත් කළේ රුසියන් යුක්රේන යුද්ධය ද ඊට සම්බන්ධ කරමිණි.

යුක්රේන ධාන්‍ය අපනයනය අවහිර කිරීමට රුසියාව පියවර ගැනීම, ශ්‍රී ලංකාවේ කැළඹීමට යම් දායකත්වයක් ලබා දුන්නේ යැයි තමන් විශ්වාස කරන බවත්, ඉදිරියේ දී මෙවැනි අර්බුදවලින් ලොව රටවල් බොහොමයක් පීඩාවට පත්වනු ඇති බවත්  ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පෙන්වා දුන්නේය. ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා දිගින් දිගටම රුසියානු රජයෙන් ඉල්ලා සිටියේ, යුක්රේනයේ රුසියන් හමුදා විසින් අත්පත් කරගනු ලැබ ඇති ධාන්‍ය ටොන් මිලියන 20 ක් යුක්රේනයෙන් පිට කිරීමට ඉඩ දෙන ලෙසය. යුක්රේනයේ සියලු වරාය නගර ඇත්තේ රුසියන් හමුදා ග්‍රහණයේය.

ලෝකය පුරා දිනෙන් දින උත්සන්න වන ආහාර අනාරක්ෂිත භාවයට රුසියානු ආක්‍රමණය ද හේතුවක් වී ඇතැයි ඇන්තනි බ්ලින්කන් පෙන්වා දුන්නේය. තායිලන්තයේ පොහොර මිල අහස උසට ඉහළ යාමටද රුසියානු ආක්‍රමණය බලපෑම් එල්ල කර ඇතැයි ද බ්ලින්කන් වැඩි දුරටත් කියා සිටියේය. එක් දේශපාලන පක්ෂයක අභිවෘද්ධිය සඳහා නොව සමස්ත ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සඳහා මේ අවස්ථාවේ කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බව ඇන්තනී බ්ලින්කන් අවධාරණය කළේය. ශ්‍රී ලාංකික ජනතාවට සෑහීමකට පත්විය හැකි මෙන්ම දිගු කාලීන ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත හැකි විසඳුම් ඉක්මණින් හඳුනා ගනිමින් ක්‍රියාත්මක කිරීම ව්‍යවස්ථානුකූලව පවත්වන නව රජයට හෝ තිබෙන රජයට භාර වන බව බ්ලින්කන් පැවැසුවේය.

ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී විරෝධතා වල නියැළෙමින් තම මතය ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බවත් විරෝධතාකරුවන්ට සහ මාධ්‍යවේදීන්ට පහර දීම සම්බන්ධයෙන් ඇමෙරිකාව කනස්සල්ල පළ කරන බවත් ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් පැහැදිලි කළේය. විරෝධතා අතරේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් අවශ්‍ය බව ද ඇන්තනී බ්ලින්කන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන්, රුසියාව වෙනුවෙන් ප්‍රකාශයක් කළේ රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා මරියා සකරෝවාය. “ශ්‍රී ලංකාව රුසියාවේ මිත්‍ර රාජ්‍යයක්. ශ්‍රී ලංකාවේ දේශපාලන ක්‍රියාවලිය රටේ පවතින නීතියට මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ඉදිරියට යනු ඇතැයි රුසියාවේ විශ්වාසයයි. බිහිවන නව පාලනාධිකාරය වත්මන් ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව මුදවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ඇතැයි රුසියාව විශ්වාස කරනවා. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ඉතා ඉක්මනින් සාමාන්‍ය තත්ත්වය පත්වේ රුසියාව විශ්වාස කරනවා” යැයි මරියා සකරෝවා පැහැදිලි කළාය.

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් අර්බුදයට රුසියාව වගකිව යුතු බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ද චෝදනා නගයි. සෙලෙන්ස්කී මෙසේ චෝදනා නැගුවේ, සෝල් නුවර පැවැත්වුණු ආසියානු නායකත්ව සමුළුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වෙමිනි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල් ආහාර, ඉන්ධන හිඟතාවය සහ මිල ඉහළ යෑම හේතුවෙන් පීඩාවට පත් වී සිටිනවා යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පෙන්වා දුන්නේය. එහෙයින්, ලොව ප්‍රධාන නගරවල නොසන්සුන්තා ආරම්භ වී ඇති බවත් ඒවා තව තවත් උත්සන්න වනු ඇති බවත් සෙලෙන්ස්කී පැහැදිලි කළේය.

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් කිරීම සඳහා, නව රජයකට බලය පැවරීමේදී සාමකාමී ලෙස එම කටයුතු සිදු කිරීමට ශ්‍රී ලංකාව වග බලාගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් පවසා තිබේ. ජගත් මහ ලේකම්වරයා පවසා ඇත්තේ තමන් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවය. නව රජයකට බලය පැවැරීමේදී සාමකාමී ලෙස එය සිදු කිරීමටත් ආර්ථික අර්බුදයට තිරසාර විසඳුම් සෙවීමටත් වග බලාගැනීම සඳහා සංවාදයක් ගොඩ නගා ගත යුතු බවත් ඇන්තෝනියෝ ගුටේරස් අවධාරණය කළේ අද (14) ය.

සියලු ප්‍රචණ්ඩ ක්‍රියා හෙළා දකින බවත් එම ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූවන් සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත් මහ ලේකම් ඇන්තෝනියෝ ගුටේරස් අවධාරණය කළේය. සාමය ආරක්ෂා කිරීමේ වැදගත්කමද ඇන්තෝනියෝ ගුටේරස් අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහාය දැක්වීමට සූදානමින් සිටින බව ද ඇන්තෝනියෝ ගුටේරස් වැඩි දුරටත් සඳහන් කර තිබේ.


RECOMMEND POSTS