උතුරු කොරියාව සාමයට කැමතියි පුදුමයි ඒත් ඇත්තයි



 

“තමන් සතු බලය වෙන අන් කිසිවක් නොව තමන්ට ජනතාව විසින් පවරා දෙන ලද්දක් බව, රජවරු පාලකවරු නොදනිති. ජනතාව විසින් ඔවුන්ට බලය පවරා තිබෙන්නේ තමන්ගෙන් බලය ලද අය ඔවුන්ට එම බලය දුන් ජනතාවගේ පොදු ශුභසිද්ධිය සඳහා එය භාවිතා කරනු ඇතැයි කියන දැඩි විශ්වාසයෙනි. බලය නිරන්තරයෙන්ම තිබෙන්නේ එය රජවරුන්ට පාලකයන්ට පැවරූ ජනතාව තුළමය.” 
ජෝන් මිල්ටන් (1608-74) ඉංගිරිසි ජාතික මහා කවියා.

 

 සකල ජගත් ජන මණ්ඩලයම අතිශයින්ම විස්මයට පත් කළ සිද්ධියක් පසුගිය සිකුරාදා (27) ලොව පුරා විහිද පැතිර ගියේය. ඒ අපූරු සිද්ධිය නම් තමා සහමුලින්ම න්‍යෂ්ටික අවි තැනීමේ පරීක්ෂණ නතර කරන බව උතුරු කොරියා ජනාධිපති කිම්ජොංඋං විසින් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමයි. 


ලෝක සාමය පිළිබඳ මෙතරම් සුබවාදී සිද්ධියක් මෑත ලෝක ඉතිහාසයේ සිදු වූයේ නොවේ. ඒ නිසාම ලොව බොහෝ දෙනාට මෙය ඇදහිය නොහෙන තරම් විය. 


මේ පුදුම උපදවන සිද්ධියේ අග මුල දෙසටත් ඒ සඳහා ලොව පුරා උද්ගත වන ප්‍රතික්‍රියා දෙසටත්, තියුණු අවධානය යොමු කිරීම අද අනිවාර්යයෙන්ම සිදු විය යුත්තකි. 


කිම්ජොංඋං මේ සාමයට අතිශයින්ම හිතැති ප්‍රකාශය කළේ ඔහු නිල වශයෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාව හමු වූ ඓතිහාසික මොහොතේදීය. 


මේ සුහද හමුව පිළිබඳ අදහස දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ-ඉං විසින් ඉදිරිපත් කරන ලද්දකි. කිම්ජොංඋං ඒ යෝජනාව උද්‍යෝගිමත්ව අනුමත කළේය. 


ප්‍රතිඵලය වූයේ “මහා ජාත්‍යන්තර මංගල්‍යයක්” සඳහා සූදානම්ව කලක් මෙන් උතුරු-දකුණු කොරියානු රාජ්‍ය දවය මේ ඉහළ මට්ටමේ හමුවීම අතිශයින්ම ක්‍රමවත්ව සංවිධානය කිරීමයි. 


නායකයන් දෙදෙනා හමුවන ස්ථානය වශයෙන් තෝරා ගන්නා ලද්දේ උතුරු-දකුණු රාජ්‍ය දෙක බෙදා වෙන් කරන “යුද විරහිත කලාපය”යි (ෘඵ’). මේ කලාපය තනන ලද්දේ 1950-53 කාලයේදී පැවති උතුරු දකුණු කොරියා යුද්ධයෙන් පසුවයි.  


මේ කලාපයේ දකුණු තීරයේ පංමුංජොං නම් සාම ගම්මානයක් වේ. නායකයන් දෙනෙනා හමුවන්නට තීරණය කළේ ඒ ගම්මානයේ “සාම නිවාසය” නම් ගොඩනැගිල්ලයි. සාම කලාපයේ උතුරු තීරයේ සිට දකුණු තීරය දක්වා තිබෙන්නේ කෙටි දුරකි. උතුරු ජනාධිපති ඒ කෙටි ගමනේ යෙදෙන ආකාරය පවා සලකා බලන ලදී. 


වෙනෙකක් තබා, ඒ හමුවේදී සැපයෙන ආහාර පාන ආදිය පවා සකස් කරන ලද්දේ යුද්ධයකට සැරසෙන තරමේ ඉමහත් ශික්ෂණයක් සහ සැලසුමක් සහිතවයි. දකුණු ජනාධිපති මුන්, මේ සමුළු භෝජන සංග්‍රහයෙහි ප්‍රධාන ආහාර වර්ගය වශයෙන් තෝරා ගන්නා ලද්දේ පියොංයැංහි (උතුරු කොරියා අගනුවර) අතිශය ජනප්‍රිය භෝජන වර්ගයක් වන ශීත කළ නුඞ්ල්ස් විශේෂකි. ඒ ආහාර වර්ගය සම්පාදනය කරනු පිණිස උතුරු කොරියාවේ කීර්තිමත් සූපවේදියකු එවන්නට ද උතුර කැමති වූයේය. මේ නුඞ්ල්ස් වර්ගය තැනෙන්නේ බඩ ඉරිඟු විශේෂයකිනි. ඒ නුඞ්ල්ස් තරමක් දිග නිසා ඒවා කපා ගන්නට කතුරක් ද සම්පාදනය කෙරේ. දාව සූපයක් සහිතව පිරිනැමෙන මේ ආහාරයේ අතිරේක කොටස් වන්නේ මස් හා එළවළු ය. 


මේ ආහාර වර්ගයේ විස්තරයක් මෙහි සඳහන් කෙරෙන්නේ කොරියා නායක සමුළුවේ අතුරු ඵලයක් පිළිබඳව කරුණු පවසනු පිණිසයි. නායක සමුළුවේ භාවිත වූ මේ නුඞ්ල්ස් වර්ගය ක්ෂණිකයෙකින් දකුණු කොරියාවේ ජනප්‍රිය වූයේය. පාරිභෝගිකයෝ ඒ ආහාරය ලබා ගන්නට දිගු පෝලිම් වශයෙන් සෑදුනහ. ඒ “පයෙන්යැං නැංග්මියොන්” නම් විශේෂ නුඞ්ල්ස් වර්ගය සාම සමුළුවේ ප්‍රතිඵලයක් බවට පත් විය. 


මේ ඓතිහාසික උතුරු දකුණු කොරියා නායක සමුළුව අතිශයින්ම සාර්ථක තීරණයන්ට එළඹෙමින් නිමාවට පත් විය. 


උතුරු කොරියා නායක කිම්ජොංඋං, ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දෙමින් ප්‍රකාශ කොට සිටියේ මැයි මාසයේ දී ඔහු විසින් සිය න්‍යෂ්ටික පරීක්ෂණ ස්ථාන වසා දමන බවයි. ඒවා අධීක්ෂණය කරනු පිණිස ඇමෙරිකානු අවි විශේෂඥයන් සිය දේශයට කැඳවන්නට ද උතුරු කොරියානු නායකයා පොරොන්දු වූයේය. 


මේ “ගුප්ත” උතුරු කොරියානු රාජ්‍යයෙන් එවැනි ප්‍රතිඥාවක් ලබා ගත හැකි වීම ගැන ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රසාදය පළ කළේය. 
මුළු කොරියානු අර්ධද්වීපයම න්‍යෂ්ටික අවිවලින් තොර පූර්ණ සාම කලාපයක් බවට පත් කරන්නට උතුරු දකුණු කොරියානු නායකයෝ මෙහිදී ගිවිස ගත්හ. 


උතුරු කොරියානු නායකයා තවත් ප්‍රශස්ත පියවරක් ගත්තේය. උතුරු කොරියාව න්‍යෂ්ටික අවි පරීක්ෂක ස්ථාන ඉවත් කරන බව සත්‍ය ප්‍රකාශයක් හැටියට විනිවිද දැකිය හැකි වනු පිණිස, තමා ඒ ස්ථාන ඉවත් කළ ආකාරය සියැසින්ම බලා ගන්නට මාධ්‍යවේදීන්ට උතුරු කොරියාවට පැමිණෙන්නට ආරාධනා කරන බව කිම්ජොංඋං ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. 


කිම්ජොංඋං ජනාධිපතිවරයා විමසන ප්‍රශ්නයක් මෙසේය. 


“ඇමෙරිකාව හා අපි බහුල වශයෙන් ඔවුනොවුන් හා සමඟ සාකච්ඡා කරමු නම් අන්‍යොන්‍ය විශ්වාසය    ගොඩනගා ගන්නේ නම් යුද්ධය කෙළවර කරන්නෙමු නම් අනුක්‍රමයෙන් ආක්‍රමණයේ නොයෙදෙන බවට පෙරොන්දු වන්නේ නම් අපට න්‍යෂ්ටික අවි සමඟ ජීවත් වීමට තිබෙන උවමනාව කුමක්ද?” 


මේ ප්‍රකාශයේ අන්තර්ගත ඓතිහාසික සත්‍යයක් අප විසින් පැහැදිලි කොට ගත යුතු වේ. “යුද්ධය කෙළවර කරන්නෙමු” නම් යන්නෙන් කිම්ජොංඋං අදහස් කළේ ඓතිහාසික තත්ත්වයයි. 1950-53 කාලයේ පැවති උතුරු දකුණු කොරියානු යුද්ධය අවසාන වූයේ නොවේ. දෙපක්ෂය තාවකාලික සාමයකට එකඟ වූහ. කොරියානු සාමය තහවුරු වන්නට නම්, නොපමාවම ඒ යුද්ධය නිමා කළ බවට නිල ගිවිසුමකට එකඟ විය යුතු වේ. 


කිම්ජොංඋං අදහස් කළේ එයයි. 


සාම සමුළුවේ ප්‍රතිඵල “ඇස්පනාපිටම” ප්‍රකාශ කළේය. දකුණු කොරියාව, මෙතෙක්ම නොනවත්වා, උතුරු කොරියාවට ශබ්ද විකාශන යන්ත්‍ර යොමු කොට ඒ දේශයට දොස් පරොස් පවසන්නේය. විසිහත්වන සිකුරාදා ජනාධිපතිවරුන් දෙදෙනා අතර සාම සාකච්ඡා නිම වූ හැටියේම දකුණු කොරියාව තමන් විසින් ශබ්ද විකාශන මගින් කෙරෙන ඇණුම් වැණුම් වහාම නවත්වා ලූයේය. 


ඒ ශබ්ද විකාශන යන්ත්‍ර දකුණු කොරියානු නිලධාරීන් විසින් අකර්මණ්‍ය කොට ගලවා ගෙන යන ආකාරය ජගත් මාධ්‍යවේදීහු දුටුවහ. සාම ප්‍රතිඵලය ක්ෂණිකයි. 


තවත් එවැනිම සිද්ධියක් දෙසට නෙත් යොමු කළ හැකි විය. 


නායකයන් දෙදෙනා සාකච්ඡා පැවැත් වූ ස්ථානයේ ඔරලෝසු දෙකක් තිබිණි. 


ඒ දෙකේ එකිනෙකට වෙනස් වෙලාවල් දැක්වූයේය. උතුරු කොරියා වේලාව සහ දකුණු කොරියා වේලාව වශයෙනි. 


මේ කාල වෙනසට හේතු වූ කාල කලාප දෙක භාවිතයට ආයේ 2015 දීය. ඒ වෙනස සිදු වූ විට උතුරු කොරියාව සිය කාලය දකුණු කොරියාවට වඩා පැය භාගයකින් පස්සට තබා ගන්නා ලදී. මෙය අදිසියේම සිදු වූවකි. 


එහෙත් ගිය සිකුරාදා උතුරු දකුණු සාම සාකච්ඡා මාලාවේ ප්‍රතිඵලයක් වශයෙන් තමා උතුරු කොරියානු වේලාව දකුණු කොරියාවේ වේලාව හා සමඟ සමාන වන ලෙස සකස් කරන බව ජනාධිපති කිම්ජොංඋං කීයේය. 


උතුරු කොරියා ජනාධිපතිවරයා විසින් කෙරෙන ප්‍රකාශ ඇමෙරිකාවේ ඉතාම උසස් මට්ටමේ නිලධාරියකු විසින් තහවුරු කෙරේ. 
ඒ නිලධාරියා නම්, අලුතින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ රාජ්‍ය ලේකම් පදවියට පත්ව සිටින මයික් පොම්පියෝ මහතා. රාජ්‍ය ලේකම් පොම්පියෝ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ සී.අයි.ඒ. ආයතනයේ හිටපු ප්‍රධානියෙකි. මයික් පොම්පියෝ නව රාජ්‍ය ලේකම්වරයා උතුරු කොරියා නායක කිම්ජොංඋං හා සමඟ රහස්‍ය හමුවීමක් සඳහා ගියේය. ඒ කතාබහේ ප්‍රතිඵල ප්‍රකාශ කොට සිටින රාජ්‍ය ලේකම්වරයාගේ මතය මෙසේය. අප දෙදෙනා අතර යහපත් අදහස් ගනුදෙනුවක් සිදු වුයේය. පියොංයැංහිදී සිදු වූ ඒ මුණගැසීමේ දී කිම්ජොංඋං ජනාධිපතිවරයා කියා සිටියේ අපට සාර්ථක ලෙස න්‍යෂ්ටික බලය ඉවත් කළ හැකි වනු පිණිසම සැලැස්මක් ඉදිරිපත් කරන්නට තමා සූදානම් බවයි. ගිය සිකුරාදා සිදු වූ උතුරු දකුණු කොරියානු නායකයන්ගේ ඉහළ මට්ටමේ සමුළුව සාර්ථක වූ බව බොහෝ රාජ්‍ය නායකයන්ගේ අදහසයි. 


දකුණු කොරියාවේ ජනතාව, ඒ ඉහළ මට්ටමේ සමුළුවෙන් ඉටු වූ සාම මෙහෙය අගය කරති. 


එහෙත් දකුණු කොරියානු වාසීහු ඇතැම් විටෙක දෙවිදියක මත පළ කරති. 


උතුරු දකුණු රාජ්‍ය දෙක එකට බැඳෙනු දකින්නට සමහරු කැමැත්ත පළ කරති. එහෙත් බොහෝ දෙනාගේ මතය එයට වෙනස්ය. ඔවුන් පවසන්නේ උතුරු දකුණු කොරියා රාජ්‍ය දෙක ස්වාධීන දේශ වශයෙන් පැවතිය යුතු බවත් ඒවා අතර ප්‍රබල ලෙස සුහද සහජීවන චින්තනයක් පිහිටුවා සිටිය යුතු බවත්ය. 


පසුගිය සිකුරාදා කොරියා සමුළුවෙන් පසුව ජගත් අවධානය දැන් යොමු වන්නේ ට්‍රම්ප්, කිම්ජොංඋං සාකච්ඡාව දෙසටයි.

අනිවාර්යයෙන්ම ඒ හමුවීම සිදුවන දෙපක්ෂයෙන්ම අදහසයි. 


මේ මොහොත වනවිට එවැනි සාකච්ඡාවක් සති කිහිපයකින් සිදුවන බව ස්ථාවරව ප්‍රකාශ වේ. 


ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ අලුත්ම අදහස වන්නේ ඒ ට්‍රම්ප් කිම්ජොංඋං සාකච්ඡාව පසුගිය සිකුරාදා උතුරු දකුණු කොරියානු නායකයන් හමු වූ ස්ථානයෙන්ම සිදු විය යුතු බවයි. 


එසේ නම් අපට පැහැදිලිව කිවහැක්කේ මැයි මාසයේ තෙවන සතියේ හරියේදී පමණ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ උතුරු කොරියානු ජනාධිපති කිම්ජොංඋං අතර හමුවීම උතුරු දකුණු කොරියා රාජ්‍ය දෙක මැදින් පිහිටි “යුද මුක්ත” කලාපයේදී සිදු විය හැකි බවයි. මීට පෙර නම් හමුවීමේ ස්ථාන හැටියට මොන්ගොලියාව, සිංගප්පූරුව, චීනය ආදී ප්‍රදේශ නම් කොට තිබුණ ද අලුත්ම ආරංචිමාර්ග අනුව එය සිදු විය හැක්කේ යුද මුක්ත කලාපයේදීය. 


ජනාධිපති ට්‍රම්ප් විසින් කෙරෙන ප්‍රකාශය නම් උතුරු කොරියා නායකයා සාමය දෙසට යොමු වූයේ තමාගේ ප්‍රතිපත්තිය නිසා බවයි. 
මේ කොරියානු සමුළුව ජනාධිපති ට්‍රම්ප්ට වාසනාවක් ගෙන ආ සිද්ධියක් සේ පෙනේ. 


මෙසේ කියා සිටීමට තුඩු දෙන ප්‍රබල සිද්ධියක් වෙයි. 


ඒ කතාව ආරම්භ වන්නේ දකුණු කොරියාවේ ජනාධිපති තැන්පත් මුන් ජේ-ඊං ගෙනි. උතුරු කොරියා නායක කිම්ජොංඋං හා සමඟ ඓතිහාසික හමුවීම සැලසුම් කොට එය සාර්ථක ලෙස කුළුගැන්වීමෙන් ඉටු කරන ලද බැරූරුම් සාම දූත මෙහෙවර නිසා මුන් ජේ-ඊං දකුණු කොරියා ජනාධිපතිවරයාට මෙවර නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීය. යුතුි යැයි ප්‍රබල මතයක් පැතිර ගියේය. එහෙත් මුන් මහතා නිහතමානීව කියා සිටියේ ඒ විශිෂ්ට සම්මානයට සුදුසුම තැනැත්තා තමා නොව ට්‍රම්ප් ජනාධිපතිවරයා බවයි. 


මේ අදහස ජනාධිපති ට්‍රම්ප්ගේ අනුග්‍රාමිකයන් විසින් ඉතා ඉහළින් පිළිගෙන ඇත්තේය. “ට්‍රම්ප්ට නොබෙල් ත්‍යාගය” නම් ව්‍යාපාර, දැන් ඇමෙරිකාවේ තැන් තැන්වල පැන නැගී නොබෝදා මිචිගන් හි පැවති ජන රැලියක ද ට්‍රම්ප් අනුගාමිකයෝ “නොබෙල් නොබෙල්” යැයි සාමූහිකව ගැයූහ. 


ඒ කෙසේ වෙතත් තව නොබෝ දිනකින් තවත් න්‍යෂ්ටික බලවතකුට එරෙහි ට්‍රම්ප් ජනාධිපතිවරයා ආක්‍රමණශීලි ව්‍යාපාරයක යෙදුණොත් එයත් පුදුමයට හේතු නොවේ. 


ඇමෙරිකාවේ ශ්‍රේෂ්ඨ කාන්තාවක්වූ බාබරා බුෂ් මැතිනිය

අනූ දෙහැවිරිදිව නොබෝදා අභාවයට පත් වූ බාබරා බුෂ් මහත්මිය ඇමෙරිකානු වනිතා ලෝකයේ විශිෂ්ට මූර්තියක් වූවාය. 
එතුමිය දැනට 93 වන වියේ වෙසෙන ජොර්ජ් ඩබ්ලිව්. බුෂ් හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාවයි. ඒ ඇමෙරිකාවේ 41 වන ජනාධිපතිවරයායි. ඒ දේශයේ 43 වන ජනාධිපති එතුමියගේ පුත්‍ර රත්නය. ෆ්ලෝරීඩා ජනපදයේ ආණ්ඩුකාර පදවියේ සිටි පුත්‍රයෙක් ද එතුමියට සිටී. එතුමියගේ අභාවය පිළිබඳව සිය සංවේගය පළ කරමින් ජනාධිපති ට්‍රම්ප් මෙසේ කීයේය. “එතුමිය දශක කිහිපයක් මුළුල්ලේ ඇමෙරිකානු ජීවිතයේ යෝධ චරිතයක්ව සිටියාය. සාක්ෂරතාව වෙනුවෙන් පෙනී සිටි නායිකාවක් වූවාය. ”
ජනාධිපති ට්‍රම්ප්ගේ අනුදැනීමෙන් එතුමියගේ අවසාන අවමංගල්‍ය කටයුතු පැවති දිනයේ දී ජාතික කොඩි අඩකුඹු කෙරිණි. 


 

 

ඔලිවර් ගෝල්ඞ් ස්මිත්ගේ “පාළු ගම්මානය” 

ඔලිවර් ගෝල්ඞ් ස්මිත් 1728ත් 1784ත් අතර කාලයේදී ජීවත් වූ ඉංගිරිසි ලේඛකයකි. ඔහු ඉංග්‍රීසි අයිරිෂ් ජාතිකයකි. ගෝල්ඞ් ස්මිත් විවිධ වර්ගයේ සාහිත්‍ය කෘති දෙසට සිත් යොමු කළේය. වෘත්තීය වශයෙන් ද ඔහු නොයෙක් අංශවල නිරත විය. ගෝල්ඞ් සිමිත් නීතිඥයකු වශයෙන් හා වෛද්‍යවරයකු වශයෙන් වරින් වර ජීවිකාව උපයා ගත්තේය. 


පරිවර්තකයකු, ප්‍රබන්ධ කතා කලාකාරයකු, කවියකු හා දෘශ්‍යකාව්‍ය (නාට්‍ය) කාරයකු වශයෙන් ද ඔහු ලේඛන කලාවේ යෙදුණේය. ඔහුගේ පද්‍යමය නිර්මාණ අතුරින් එකක් වන “ද ඩෙසර්ටඞ් විලේජ්” (පාළු ගම) නම් කෘතිය තරමකට ප්‍රසිද්ධය. 


මේ කාව්‍යමය නිර්මාණය දෝමනස්සයට තුඩු දෙන සුළුය. 


ගෝල්ඞ් ස්මිත් ගම්මානයත් එහි සරල, වරප්‍රසාද විරහිත බවත් තියුණු හැඟීමෙන් ආස්වාදය කරන්නේය. 


ගම්මානයේ දිළිඳුකම දකින ගෝල්ඞ් ස්මිත් කවියා, ඒ ගැමි දිවිපෙවෙත සතු සනාතන ලක්ෂණ සානුකම්පිතව දකින්නේය. “පාළු ගම්මානය” නම් සිය කාව්‍ය ග්‍රන්ථයෙහිදී කවියා වරප්‍රසාද රහිත අසරණ ජීවිත සතු හරයන් ද පැහැදිලිව දකී. ඔහු දෙන අවවාදය මෙසේය. 
“වැරදි සිත් සහිත මිනිසුන්ට ලාභයේ තිබෙන ආවේගය අත්හරින හැටි උගන්වන්න. 


සොබාව සිද්ධ ශක්තිය පිළිබඳව ඔහුට උගන්වන්න. 


ඒ අසරණයෝ ඉතා දිළිඳු වුවද, අතිශයින්ම ආශිර්වාද ලද්දේ විය හැකිය.”


විචාරකයෝ මේ කවියා ගැන මෙසේ පවසති. ඔහු ඉහළ කෘති නොකළේ විය හැකිය. එහෙත් අපට ඔහු උරුම වන්නේ ඔහු සමකාලීන යුගයේ සිටි මුඛ්‍ය ලේඛකයකු ලෙසිනි. 


 

 

ගිලන් රථ ගිලන් වූ හැටි

ලොව එක් ප්‍රධාන නගරයකට මාර්ග හැම දිනකම හැම වේලාවකම පාහේ රිය තදබදයෙන් ගමනාගමනයට බැරෑරුම් තර්ජනයක් වූයේය. 
මේ තදබදය වඩාත් අයහපත් තත්ත්වයට පත් වූයේ අඛණ්ඩව ගමන් කෙරෙන ගිලන් රථ පද්ධතිය නිසාය. 


සම්මත සිරිත අනුව ගිලන් රථවලට මුඛ්‍ය මාර්ග පහසුව සම්පාදනය කළ යුතු වේ. ඒ නිසා දිනපතාම යන ගිලන් රිය පේළිය රථ තදබදය බැරෑරුම් ලෙස “ගිලන්” කළේය. දවසක් දා මාර්ග නිලධාරියෙක් ගිලන් රියක් නැවැත්තුවේය. දුටු දර්ශනයෙන් ඔහු ක්ලාන්ත නොවී බේරුණේ අපහසුවෙනි. මේ ගිලන් රථවල ගමන් ගත්තේ නගරයේ මාර්ගවල රිය තදබදයෙන් බේරුණු පිණිස ඒවා කුලියට ගෙන ගමන් කළ සාමාන්‍ය පුරවැසියෝය. 


ගිලන් රිය ගිලන් වූයේ ඒ ආකාරයෙනි. 


RECOMMEND POSTS