K2-18b පිටසක්වළයෝ
K2-18b ග්‍රහලෝකය, පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක්වුණු මාතෘකාවක් විය. ඒ, K2-18b ග්‍රහලෝකයේ ජීවය පැවැතිය හැකි බවට ප්‍රබල සාක්ෂි විද්‍යාඥයන්ට සොයා ගැනීමට හැකිවීම නිසාය. විද්‍යාඥයන් මෙම සොයා ගැනීම කළේ අභ්‍යවකාශයේ ඈත රඳවා ඇති ජේම්ස් වෙබ් දුරේක්ෂය ආධාරයෙනි. පෘථිවියෙන් එපිට ඈත ග්‍රහලොවකින් ජීවිය පැවැකිය හැකි යැයි මේ අයුන් ප්‍රබල සාක්ෂියක් හමුවුණු පළමු අවස්ථාව මෙයයි.
K2-18b ග්‍රහලෝකය ඇත්තේ, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 124 ක් දුරිනි. අලෝක වර්ෂයක් යනු අභ්‍යවකාශයේ දුර මැනීමට යොදා ගන්නා ඒකකයයි. ආලෝක වර්ෂයක් යනු එක් වර්ෂයක් තුළ දී ආලෝකය ගමන් කරන දුර ප්‍රමාණයයි. එක් තත්පරයක් තුළ ආලෝකය කි.මී. 2,97,600ක් එනම් සැතපුම් 1,86,000 පමණ දුරක් ගමන් කරයි. ඒ අනුව ආලෝකය එම වේගයෙන් වසරක් තිස්සේ යන දුර එක ඒකකයක් සේ ගෙන මෙම දුර ප්‍රමාණ මනිනු ලබයි.
පෘථිවියට වඩා විශාල K2-18b ග්‍රහලෝකය, මෙය රතු වාමන තාරකාවක් වටා භ්‍රමණය වෙමින් පවතී. විද්‍යාඥයන් K2-18b සොයාගත්තේ අද ඊයේ නොවෙයි. 2019 දී K2-18b වායු ගෝලයේ ජල අංශු ඇතැයි අනාවරණය කර ගැනීම සිදුවිය. නාසා ආයතනය සතු ප්‍රබලතම අභ්‍යවකාශ දුරේක්ෂය වන ‘ජේම්ස් වෙබ්’ යොදා ගනිමින්, K2-18b ග්‍රහලෝකයේ දත්ත ලබා ගැනීමට විද්‍යාඥයන් කටයුතු කළේ 2023 දීය. එහිදී කාබන්ඩයොක්සයිඩ් සහ මීතෙන් K2-18b වායුගෝලයේ ඇති බව අනාවරණය විය. මෙය ජීවය පැවැතීම සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂියක් විය.
පසුගියදා වෙබ් දුරේක්ෂය තවත් අනාවරණයක් කිරීම සමත් වී ඇත. ඒ, ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් නමැති වායු විශාල ප්‍රමාණවලින්, K2-18b ග්‍රහලෝකයේ වායු ගෝලයේ ඇති බවටය. ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් වායු මොනවාද? මේ වායු වර්ග දෙක පෘථිවියේ ද ඇත. මේ වායු නිපදවීම සිදුකරනු ලබන්නේ සාගර ජීවීන්ය. හරියටම පැහැදිලි කළොත්, ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් යන වායු නිපදවීම සිදු කරන්නේ, සාගරවල ජීවත් වන ප්ලවාංග වැනි ආදී ක්ෂුද්‍ර ජීවීන්ය. විද්‍යාඥයන්ට අනුව, K2-18b ග්‍රහලොවේ ජීවය පවතිනවා යැයි කීමට මෙය හොඳ සාක්ෂියකි.
K2-18b ග්‍රහලෝකයේ ජීවය පැවැතිය හැකි යැයි සහ ජීවය පැවැතීමට අවශ්‍ය සාධක ඇතැයි කී සැණින්, අපගේ සිහියට නැගෙන්නේ පිටසක්වළ ජීවීන්ය. චිත්‍රපටවලින් දකින අළු පැහැති ලොකු හිසක් සහ ලොකු ඇස් ඇති පිටසක්වළයන් K2-18b ග්‍රහලෝකයේ සිටිනවා වන්නට බැහැ. එසේ වුවත්, ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් ඇති බැවින්, K2-18b ග්‍රහලෝකයේ සිටින ක්ෂුද්‍ර ජීවීන් පවා පිටසක්වළ ජීවීන්ය. විද්‍යාඥයන් ඒ ගැන අර්ථ දක්වන්නේ එලෙසිනි.
බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් අනුමාන කරන්නේ, ඩයිමෙතිල් සල්ෆයිඩ් සහ ඩයිමෙතිල් ඩයිසල්ෆයිඩ් වායු K2-18b වායුගෝලයේ විශාල වශයෙන් පවතින බැවින්, K2-18b ග්‍රහලෝකයේ සාගර ඇති බවත්, ඒවා සාගර නොයෙක් නොයෙක් විදියේ ලොකු කුඩා ජීවීන්ගෙන් පිරී ඇති බවත්ය. එසේ K2-18b ග්‍රහලොවේ සාගරවල සිටින්නේ කුමන් ආකාරයේ ජීවීන්දැයි යන්න තවත් විස්තර කිරීමට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පරිගණක කෘත්‍රිම බුද්ධි හෙවත් AI තාක්ෂණය භාවිතයට ගෙන ඇත. විද්‍යාඥයන් AI තාක්ෂණයෙන්, K2-18b ග්‍රහලොවේ සාගරවල සිටිය හැකි යැයි අනුමාන කළ හැකි සාගර ජීවීන් සිතුවට නගා ඇත. ඔබ මේ සටහන සමඟ දකින්නේ එම පිටසක්වළයන්ය.
K2-18b ග්‍රහලොවට ශක්තිය දෙන තරුව අපේ තරුව; සූර්යයා වැනි තරුවක් නොවෙයි. K2-18b භ්‍රමණය වන්නේ, රතු වාමන තාරකාවක් වටාය. තරු අතරේ විවිධාකාරයේ තරු ඇති අතර, රතු වාමන තාරකා සුවිශේෂී වෙයි. රතු වාමන තාරකාවක් යනු අනෙක් තාරකා වඩා කුඩා සහ ඉතාමත් මඳ ප්‍රභාසාර (දීප්තියෙන් අඩු) තාරකාවකි. මේවා වාමන තාරකා යැයි විද්‍යාඥයන් පවසන්නේ, ප්‍රමාණයෙන් කුඩා නිසාය. රතු වාමන තාරකා රතු පැහැතිය. රතු වාමන තාරකා ඉතාම අධික කාලයක් ජීවත් වෙයි. ඇතැම් රතු වාමන තාරකාවන් බිලියන ගණන් වසරකට වඩා දිගු කාලයක් ජීවත් වෙයි. ඒ නිසා ඔවුන්ගේ ජීවිතය අප සූරියයාගේ ජීවිතයට වඩාත් දිගුය. දීප්තියෙන් අඩු බැවින් මෙවැනි තාරකා පහසුවෙන් දැකිය හැකි වන්නේ නැහැ. ප්‍රබල දුරේක්ෂ ඒ සඳහා භාවිතා කිරීමට සිදුවෙයි.
කේම්බ්‍රිජ් විද්‍යාඥයන්ට අනුව, K2-18b ග්‍රහලෝකයේ සාගර පිරී ඇත්තේ, රතු වාමන තාරකාවෙන් ලැබෙන ශක්තියෙනි. රතු වාමන තාරකාවේ ශක්තිය ලැබෙන K2-18b ග්‍රහලෝකයේ සාගරවල ජීවීන් කෙසේ විය හැකිදැයි කේම්බ්‍රිජ් විද්‍යාඥයන් උප කල්පනය කර ඇති අතර, කෘත්‍රිම බුද්ධියට අවශ්‍ය උපදෙස් ලබා දී පිටසක්වළ සාගර ජීවීන් සිතුවමට නැගීම සිදුවිය. අමුතු විදියේ මසුන්, ඉස්සන්, කූණිස්සන් පමණක් නොව, අපගේ සාගරවයල දකින්න ලැබෙන පියාඹන මසුන් පවා K2-18b ග්‍රහලෝකයේ සාගරවල සිටිනවා යැයි අනුමාන කළ හැකි බව විද්‍යාඥයේ පෙන්වා දෙති.
K2-18b ග්‍රහලෝකයේ ද රහස් අනාවරණය කළ ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂය සැබැවින්ම විස්මිත සහ සුවිශේෂී එකකි. විද්‍යාඥයන් මෙම දුරේක්ෂක හඳුන්වන්නේ ‘අතීතයට බැලුම් හෙළන’ දුරේක්ෂය යනුවෙනි. ‘අතීයට බැලුම් හෙළනවා’ යන්නෙන් අදහස් කරන්නේ මෙම දුරේක්ෂය එක්තරා ආකාරයක කාල තරණ යන්ත්‍රයක් වැනි නිසාය. පෘථිවියට ඈතින්, ‘ලග්‍රාන්ජ්’ ලක්ෂයේ රඳවා ඇති දුරේක්ෂය, පෘථිවිය වටා කක්ෂගත වනු ඇත්තේ තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය ස්කෑන් (පරීක්ෂා) කරමිනි.
මෙම දුරේක්ෂයට තාරකාවලින් සහ මන්දාකිණිවලින් විහිදෙන ආලෝකය, ආලෝක වර්ෂ බිලියන 13.7 ක් ආපස්සට නිරීක්ෂණය කිරීමේ හැකියාව ඇත. එසේ කළ හැකි වන්නේ මෙය රඳවා ඇත්තේ පෘථිවියේ සිට බොහෝ ඈත අභ්‍යවකාශයේ නිසාය. ජේම්ස් වෙබ් දුරේක්ෂය, නාසා ආයතනයේ ‘හබල්’ දුරේක්ෂයට වඩා තුන් ගුණයකින් විශාලය. හබල් දුරේක්ෂයට වඩා සිය ගුණයකින් ප්‍රබලය. ඒ, ‘ජේම්ස් වෙබ්’ දුරේක්ෂයට සවි කර ඇති රත්තරන්වලින් නිර්මාණය කළ දර්පන (කණ්ණාඩි) හේතුවෙනි. දර්පන රැසක් සහ ප්‍රධාන දර්පනයක් ඊට අයත් වෙයි. ‘වෙබ්’ දුරේක්ෂය අභ්‍යවකාශයට යැවීම විශ්වය ගවේෂණයේ සන්ධිස්ථානයක් මෙන්ම ඓතිහාසික සිද්ධියක් වී හමාරය. ඉදිරි දශකය පුරාවට, තව තවත් විශ්වයේ මෙතෙක් සොයා නොගත් රහස් රැසක් අනාවරණය කර ගැනීමට ‘වෙබ්’ දුරේක්ෂය උදව් වනු නොඅනුමානය.
ලග්‍රාන්ජ් ලක්ෂ්‍යයන් ලෙස හැඳින්වෙන්නේ සූර්යයා හා පෘථිවිය වැනි ග්‍රහ වස්තු පද්ධති දෙකක ගුරුත්වාකර්ෂණයන්ගේ බලපෑමෙන් ආකර්ෂණයත් විකර්ෂණයත් දෙකම එක විට ඇති කරන තැන් වලටය. ඒ කලාප අභ්‍යවකාශයේ ‘රථ ගාල්’ ලෙස සැලකෙයි. එවැනි තැනක රැඳෙන ග්‍රහ වස්තුවක් හෝ රඳවන අභ්‍යවකාශ යානයක් හෝ වැඩි ආයාසයක් නොගෙන සූර්යයා දෙසට හෝ පෘථිවිය දෙසට හෝ ඇදී යාමක් නැතිව, කක්ෂයෙහි වෙනස් වීමක් නැතිව ස්ථාන ගත කළ හැකිය. මේ ස්ථානවලින් මුලින් ම හඳුනාගනු ලැබුවේ ‘එල්1’ (ලග්‍රාන්ජ් පොයින්ට් 1) ලෙස හැඳින්වෙන ලක්ෂ්‍යයයි. මේවා ලග්‍රාන්ජ් ලක්ෂ්‍යයන් ලෙස නම් කර ඇත්තේ ඒවා සොයා ගත් ජෝසප් ලුවීලග්‍රාන්ජ් නම් කීර්තිමත් ඉතාලි-ප්‍රංශ ගණිතඥයාගේ නමිනි. මේ ලක්ෂ්‍යය පිහිටා ඇත්තේ සූර්යයාත් පෘථිවියත් අතර පෘථිවියේ සිට කිලෝ මීටර ලක්ෂ 15ක් (සැතැපුම් මිලියනයක්) දුරින් වූ කක්ෂයකය. ‘එල්2’ ලග්‍රාන්ජ් ලක්ෂ්‍යය පිහිටා ඇත්තේ ඒ කක්ෂය මත හරියටම ප්‍රතිවිරුද්ධ දිසාවේය. ජේම්ස් වෙබ්’ දුරේක්ෂය රඳවා ඇත්තේ මේ ස්ථානයේය. එය හැම විටම පෘථිවියට මුවා වී පවතින නිසා හිරු එළියෙන් එහි කටයුතුවලට බාධාවක් සිදු නොවෙයි.
ඩේලිමේල් ඇසුරිනි