21 වන සියවසේ විචිත්‍ර රාජකීය විවාහ මඟුල



 

“අඛණ්ඩ සබඳතාවකින් ඔවුනොවුන් හා සමඟ බැඳී සිටින තැනැත්තෝ, ආශිර්වාද ලද්දෝය. දුක් ගැනවිලිවලින් තොරව එවැනි සබඳතාවක් පවත්වාගෙන යන අය තෙවරක් ආශිර්වාද ලද්දෝය. අවසාන දිනය වන තෙක්ම ඒ ආකාරයේ සබඳතා බිඳී නොයන්නේය.” 
හොරස් (ක්‍රිස්තු පූර්ව 65 ක්‍රි.පූ 08 ශ්‍රේෂ්ඨ ලතින් කවියා)

 

සුබ මඟුලක පුවතින් සතුටුවීමේ ගතිය හැම තැනකම, මානව යහගුණයකි. අද ලොව බොහෝ දෙනාට ජගත් මට්ටමේ සුවිශිෂ්ට විවා මඟුලක් පිළිබඳව ඉමහත් ලෙස සතුටු වීමේ අවස්ථාවක්, මැයි මස 19 වනදා උදා වන්නේය. ඒ සුබ මඟුල මගින් දැනවෙන අසීමිත සන්තුෂ්ටිය විස්මය උපදින ආකාරයෙන් අධිකවීමට තුඩු දෙන ප්‍රබල හේතු කිහිපයක් ඇත්තේය. 


මෙය රාජකීය විවාහ මංගල්‍යයකි. එයද එසේ මෙසේ රාජකීය විවාහයක් නොවන්නේය. 


අද ලොව ඉතාම කීර්තිමත් අතිශයින්ම ජනකාන්ත රජ පවුලක කුමාරයෙක්, මේ රාජකීය විවා උළෙලේ ‘මනාලයායි’. ඒ රජකුමරා නම් ‘හැරී’ යැයි ජනප්‍රිය නම දරන ‘වේල්ස්හි හෙන්රි කුමාරයායි’ එලිසබත් මහ රැජිණගේ වැඩිමහලු පුත් වේල්ස්හි චාල්ස් කුමරුගේ බාල පුතා වන ‘මනාල’ කුමරා බි්‍රතාන්‍යය කිරුළ හිමි රාජකීයයන්ගෙන් හයවැන්නායි. 


තිස්තුන් හැවිරිදි හැරී කුමාරයා වන රාජකීයයාගේ ‘මනාලිය’ මෙඝන් මාර්කල්ය. 


මෙඝන් මාර්කල් කාන්තාව ඇමෙරිකානු ජාතික යුවතියකි. ඇයගේ පියා හැත්තෑ තුන් හැවිරිදි ටොම් මාර්කල් නම් හොලිවුඞ්හි සිනමා ආලෝකකරණ අධ්‍යක්ෂකවරයෙකි. මව ඩෝරියා රැග්ලන්ඞ් නම් කළුඇමෙරිකානු කාන්තාවකි. රාජකීය මනාලියගේ දෙමාපියෝ මේ වනවිට දික්කසාද වී සිටිති. 


අපි පළමුවෙන් මනාල කුමරු වෙත යොමු වෙමු. රාජකුමාර හෙන්රිගේ මිත්තණිය දෙවන එලිසබත් මහ රැජිණියි. අද ලොව ඉතාම කීර්තිමත් බි්‍රතාන්‍ය රජ පවුලේ ප්‍රධානියා වන දෙවන එලිසබත් මහ රැජිණ වත්මන්හි සිහසුන අරා සිටින පාලකයන් අතුරින් ඉතාම දිගුකලක් සිංහාසනාරූඪව සිටින රාජකීය ශ්‍රේෂ්ඨයායි. 


එතුමිය උපත ලැබූවේ 1926 අප්‍රේල් මාසයේදී හෙයින් අද වනවිට දෙවන එලිසබත් මහ රැජිණගේ වයස 92කි. එතුමිය සිහසුනට පත්වූයේ 1952 දීය. මේ වනවිට ඒ රැජිණ සිංහාසුනාරූඪ වී අවුරුදු 65කි. දෙවන එලිසබත් රැජිණ ඉතාම උච්ච මට්ටමේ ශික්ෂණයකින් හෙබෙමින් පාලනයෙහි යෙදෙන්නීය. රාජ ගෞරවය ඉතාම උසස් ලෙස රකින්නීය. සියලුම රාජකීයයන්ගෙන් එතුමිය ඒ සම්භාවනීය රාජකීය චර්යා බලාපොරොත්තු වන්නීය. 


මේ විවාහ මංගල්‍යයේදීත් ලොව බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නේ ඒ රැජිණ දෙසටයි. 


විවාහ ප්‍රාප්ත වන හැරී කුමරු චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ දෙවන පුත්‍රයායි. සිය මාතාව වූ ඩයනා කුමරියගේ අකාල අභාවය ගැන කලක් මුළුල්ලේ හැරී කුමරු අතිශයින් දුක් වූයේය. පසුව ඒ දුක නැති කොට ගත් හැරී කුමරු, ඉතාම කාර්යක්ෂම ලෙස රාජකීය යුතුකම් ඉටු කිරීමේ යෙදුණේය. 


එසේ වුවද කල් යෑමේදී ‘දඟකාර කුමරකු’ වශයෙන් ද ඔහු නමක් ලද්දේය. හෙන්රි කුමාරයා ‘ප්‍රේමවන්තයෙක්’ වශයෙන් ද ප්‍රසිද්ධය. 
මෙඝන් මාර්කල් කාන්තාව හා සමඟ ස්ථාවර ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නට පෙර ඒ කුමරා තවත් යුවතියන් කිහිප දෙනෙකු හා සමඟම කිට්ටු සබඳතා ඇති කොට ගෙන සිටියේය. 


කුමරා හාපුරා කියා ආදර බැම්මක් හදාගත්තේ චෙල්සි ඬේවි නම් තරුණිය හා සමඟයි. ඒ යුවතියගේ පියා කෝටිපති සංචාරක ව්‍යාපාර සංවිධායකයෙකි. හැරී චෙල්සි දෙදෙනා අතර, පෙම් සබඳතාව හත් අවුරුද්දක්ම පැවැත්නේය. හැරී කුමරුගේ වැඩිමල් සොහොයුරු විලියම් කුමරුගේ විවාහ මංගල්‍ය උළෙලට ද චෙල්සි සහභාගී වූවාය. ෆෙලෝරන්ස් බෘඩනෙල් බෲස් නම් නිරූපිකාවද කුමරුගේ පෙම්වතියන් අතර සිටියාය. 


මෙවැනි ‘පෙම් කතා’ බොහෝ විට සමාජ ගතවූයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ ගතිපැවතුම් සොයා යන ඇතැම් මාධ්‍ය වෘත්තිකයන් නිසාය. ඔවුහු හෙන්රි කුමරු යනඑන තැන්වල රැකගෙන සිට කුමරා යුවතියන් හා පවත්වන සබඳතා පිළිබඳ රසැති ප්‍රවාද, එවැනි දේට අධි ආශා දක්වන මාධ්‍ය ග්‍රාහක පිරිසට පිළිගන්වති. 


දශකයකටත් අධික කාලපරිච්ඡේදයක් පුරා කුමරා අනංගයා විසින් විවිධ පෙම්වතියන් වෙත ගෙන යන ලද නමුත් අවසානයේදී දෛවය මේ කුමරා සහ මෙඝන් මාර්කල් කාන්තාව ඔවුනොවුන් හා සමඟ එකතුකරන ලද්දේ කෙසේද? 


මේ පෙම් කතාවේ විකාශනය දෙස බලන විට කෙනෙකුට සිතෙන්නේ මෙය නම් නියම සුරංගනා කතාවකැයි කියාය. මක්නිසාදයත් මේ චරිත දෙකේ ස්වභාවය දෙස තියුණු බැල්මක් හෙලන විට මෙවැනි යුවළක් එක්වීම මහා පුදුමයක් සේ පෙනෙන්නේමය. 
අපි මනාලියාගේ පුවතට සිත් යොමු කරමු. 


මනාලිය උපතින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ පුරවැසියෙකි. 


මාර්කල් මෙනෙවිය වැඩුනේ ලොස්ඇන්ජලස්හි උප නගරයකයි. ඇයගේ පියා අද හැත්තෑ තුන් හැවිරිදි ටොම් මාර්කල් සිය දියණිය හොලිවුඞ් ජනපදයට හුරු පුරුදු කළේය. 


මෙඝන් මෙනෙවියගේ පියා සිය දියණියට ඉතාම විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දුන්නේය. මෙහිදී දෛවය ඇයගේ පියාට පිහිට වූයේය. ඔහුට රාජ්‍ය ලොතරැයියකින් ඩොලර් හත් ලක්ෂ පනස් දහසක දිනුමක් ලැබුණේය. දියණියට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දෙන්නට ඒ දිනුම දේව දායාදයක් වූයේය. 


අනුක්‍රමයෙන් මාර්කල් යුවතිය සිනමා රූපවාහිනී මාධ්‍යවල පෙනී සිටින නිළියක් බවට පත්වූවාය. 1981 අගෝස්තු වේ උපත ලද මෙඝන් මාර්කල් කාන්තාව හැරී කුමරුට වඩා තුන්වසකින් වැඩිමාල්ය. මාර්කල් කාන්තාව 2011 ටේ‍රවර් එන්ග්ල්සන් සමඟ විවාහ වූවාය. දෙවසකින් ඔහුගෙන් දික්කසාද වූවාය. 


හැරී කුමරුට ඇය මුණගැසුණේ ටොරොන්ටෝහිදීය. ඒ 2016 දීය. ඔවුනොවුන් දුටු සැණින් දෙදෙනා තුළම එකිනෙකා කෙරෙහි ‘පිළිබඳ සිත්’ ඇති විය. දෙහද තහවුරුව එකිනෙකා දැඩි පෙම් බැම්මෙන් බැදුනහ. 


මාර්කල්ගේ මාතාව හැට එක් හැවිරිදිය. නම ඩෝරියා රැග්ලන්ඞ්. දික්කසාද වූ කාන්තාවක් වශයෙන් ඩෝරියා ඉතා කටුක ජීවිතයක් ගත කළාය. 


මේ සියල්ල නොතකා හැරී කුමරා සිය පෙම්වතිය වන මෙඝන් මාර්කල් කෙරේ තමා දැක් වූ ආදාරය දියුණු තියුණු කොට ගත්තේය. 


මේ ස්ථාවර ප්‍රේමය, ලෝකයාගේ සවනට පත් වූ හැටියේ බහුතරයකගේ ප්‍රතික්‍රියාව වූයේ බලවත් කම්පනයකි. එයට හේතුවක් තිබුණේය. බි්‍රතාන්‍ය රජ පවුලේ අධි අභිමානවත් දෙවන එලිසබත් මහ රැජිණගේ ඇසින් ඔවුහු මේ හැරී කුමරුගේ මනාලිය දෙස බැලුහ. 


ඇමෙරිකානු කාන්තාවක් සුදු කළු දෙමාපියන්ගේ දුවක් විවාහ වී දික්කසාදයකට එළඹි යුවතියක් සිනමා නිළියක් එවැනි කාන්තාවක් කිරුළ හිමි සිය මුනුබුරා හා සමඟ විවාහ වීම අනුමත කරනවා තබා එවැන්නියකට වින්සර් බකිංහැම් මාළිගා පැත්ත පළාතේ එන්නටවත් දෙවන එළිසබත් මහ රැජිණ ඉඩ දෙන එකක් නැතැයි සම්ප්‍රදායික චින්තනය සහිත තැනැත්තෝ එකහෙළා ප්‍රකාශ කළහ. 


එහෙත් සිදු වූයේ ‘ප්‍රාතිහාර්යයකි’. දෙවන එලිසබත් මහ රැජිණ මේ විවාහය සර්ව සම්පූර්ණයෙන්ම අනුමත කළාය. සිය මිනිබිරි මනාලිය කෙරේ එලිසබත් මහ රැජිණ ඇල්මක් දැක්වූවාය. 


හැමෝම සහන සුසුමක් හෙළා විසිඑක් වන සියවසේ විචිත්‍රතම රාජකීය මංගල්‍යයට සූදානම් වූහ. 


විවාහ මංගල්‍යය සිදුවන්නේ 2018 මැයි 19 වන සෙනසුරාදා, ශාන්ත ජෝජ් දේවස්ථානයේයි. එය“වින්සර් කාස්ල්” මන්දිරය ආශ්‍රිතය. 
ලෝකයේ බොහෝ තැන්වල මේ “සුරංගනා කතාවක්” වැනි රාජකීය මංගල්‍යය පිළිබඳව තියුණු කුහුලක් දැක්වෙයි.


සම්භාවනීය චරිතවල මූර්ති ඉටියෙන් තනා ප්‍රදර්ශනය කරන “මැඩම් මූසෝගේ” ඉටි රූප ගැලරියෙහි දැනටමත් “හෙන්රි-මෙඝන්” ඉටි රූ ප්‍රදර්ශනය කෙරේ.


බි්‍රතාන්‍යයේ, රාජකීය මිල - මුදල් නිර්මාණය කරන ආයතනය විසින්, හැරී-මෙඝන් රූප සහිත විශේෂ කාසියක් මුද්‍රණය කෙරිණි. මේ කාසියෙහි, සිය රූප සටහන් කිරීම සඳහා හැරී-මෙඝන් යුවල, ඒ නිලධාරීන්ට ආධාර කළහ. ඒ නිලධාරීන්, ඒ යුවළ පෞද්ගලිකවම හමුවූයේ කෙන්සිංටන් මාලිගයේදීය. ඒ කාසියේ නිරූපණය කෙරෙන්නේ, ඒ යුවළ “ප්‍රේමාවන්ධව” ඔවුනොවුන්ගේ ඇස් දෙස බලා සිටින ආකාරයයි. මේ කාසිය රිදියෙන් හා රනින් මුද්‍රිතය. රිදී කාසියේ වටිනාකම පවුම් 82.50. මේ කාසිය සඳහා පවුම් 1980ක් ගෙවිය යුතු වේ. 


මේ රාජකීය විවාහ මංගල්‍යය උදෙසා, තනන ලද තිළිණ, කඩ-සාප්පුවල බහුලය. රාජකීය යුවළගේ ඡායාරූප සහිත කෝප්ප, තුවාය ආදිය ඒ අතර වෙයි.


හැරී කුමරුගේ අනුදැනීමට අනුව, විවාහ මංගල්‍යයේ, අලංකරණය සඳහා බහුල වශයෙන් භාවිත කෙරෙන්නේ “සුදු රෝසමල්”ය. මෙයට හේතුව නම්, හැරී කුමරුගේ මාතාව, ඉතා බොහෝ සේ ඇල්ම දැක්වූයේ “සුදු රෝස” මලට වීමය.


මැයි දහනව වනදා පැවැත්වෙන හැරී-මෙඝන් රාජකීය විවාහය, මෙතෙක් ලෝකයේ බහුතරයක් විසින් රූපවාහිනියෙන් නරඹන ලද රාජකීය විවාහ මංගල්‍යය වන්නේය. 


ප්‍රථම වරට, රාජකීය විවාහයක්, රූපවාහිනියෙන් පෙන්වන ලද්දේ මොනාකෝ රාජ්‍යයේ තෙවන රේනිසේ කුමරු හා හොලිවුඞ් තාරකා ග්‍රේස් කෙලී අතර විවාහය සිදු වූ විටයි. එය කළු-සුදු දර්ශනයක් විය. එසේම, ඒ කාලයේ පැවති තාක්‍ෂණයේ අඩුපාඩු නිසා, එය හරිහැටි බලාගත හැකි නොවීය. ඒ 1956 දීය.


ඊට පසුව, රූපවාහිනියෙන් ලොවපුරා ප්‍රදර්ශනය කෙරුණේ චාල්ස් කුමරුගේ සහ ඩයනා කුමරියගේ රාජකීය විවාහ මංගල්‍යයි. ඒ 1981 දීය. 


එහෙත්, ඒ මුල් රාජකීය විවාහ මංගල රූපවාහිනී දර්ශනයෙන්, අවුරුදු 62කින් පසුව සිදුවන මේ හැරී-මෙඝන් රාජකීය විවාහයේ රූපවාහිනි විකාශනය, අතිශය දියුණු තාක්‍ෂණයෙන් පණිවුඩ චන්ද්‍රිකා ඔස්සේ ඉතා විචිත්‍රාකාරයෙන්, නිමේශයකින් ලොවපුරා පෙන්විය හැකිවේ.


ඒ නිසා මැයි 19 වනදා පැවැත්වෙන හැරී-මේසන් රාජකීය විවාහය, “ජගත් රාජකීය විවාහ මංගල්‍යයක්” බවට ද පත් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රේක්‍ෂකයන්ටත්, ඒ විචිත්‍ර රාජකීය විවාහ මංගල්‍යය සජීවි ලෙස දැක බලා ගත හැකි වන්නේය. චාරිත්‍රානුකූලව, බටහිර රටවල විවාහ මංගල්‍යයන්හිදී ‘මනාලිය’ ඒ නියමිත දේවස්ථානයට කැඳවාගෙන අවුත්, ඇය නිල වශයෙන් ‘මනාලයාට’ බාරදිය යුතු වන්නේ, මනාලියගේ පියා විසිනි.


එහෙත්, මෑතක් වන තෙක්ම ප්‍රචලිත වූ පුවත නම්, මේ මනාලිය, රාජකීය මනාලයාට බාර දීම සඳහා, මනාලියගේ පියාවන 73 හැවිරිදි, ටොම් මර්කල්, මේ විවාහ මංගල්‍ය උළෙලට සහභාගි නොවන බවයි. එහෙත්, අවසානයේදී සිය අදහස වෙනස් කොටගෙන, මනාලියගේ පියා මේ ඓතිහාසික රාජකීය විවාහයට සහභාගි වුවහොත්, එය යහපත් බව ලෝකයා කියා සිටී.


ඒ අතර, රාජකීය මනාලිය වන මෙඝන් මර්කල් කාන්තාවගේ චරිත කතාව ලියැවී ඇත්තේය. එය නම් කෙරෙන්නේ “මෙඝන්-හොලිවුඞ් කුමාරිකාවක්” වශයෙනි. ඒ පොත ලියා තිබෙන්නේ, බි්‍රතාන්‍ය රජ පවුල පිළිබඳව ලියන ඇන්ඩෘ මෝටන් නම් ලේඛකයා විසිනි. 


 

ලොව වයස්ගතම අගමැති තේරී පත්වේ


මැලේසියාවේ අගමැති වශයෙන් තෝරා පත් කෙරුණු මහතීර් මොහොමඞ් මහතාගේ වයස අවුරුදු 92කි. ඒ නිසා, ඔහු අද ලොව තේරීපත්වුණු වයස්ගතම අග්‍රාමාත්‍යවරයායි.


මහතීර් මහතා, විශ්‍රාම සුවයෙන් විසුවේය. එහෙත්, ඔහුගේම ‘ශ්‍රාවකයකු’ වන නජීබ් රසික් අගමැතිවරයාගේ පාලනයට එරෙහිව ඔහු තරග බිමට ආයේය. ඒ නජීබ් රසික් පාලනය අත්‍යයන්තයෙන්ම දූෂිත යැයි මැලේසියා ජාතිකයන් අතර ප්‍රචලිතව තිබුණු හෙයිනි.


මහතීර්ගේ විස්මය උපදවන ජයග්‍රහණය නිසා රසික් අගමැතිගේ ‘බරිසාස් නසියොනාල්’ ඒකාබද්ධ ආණ්ඩුව පැරදී ගියේය.


මහතීර් නව අගමැති කියා සිටින්නේ තමා පළිනොගන්නා බවත් නීතිගරුක පාලනය යළි තහවුරු කරන බවත්ය. 


 

දෙවන එලිසබෙත් මහ රැජින සහ මාගරට් කුමරිය

දෙවන එලිසබෙන් මහ රැජිණගේ නැගණිය වූයේ, මාගරට් කුමරියයි.


මාගරට් මේ කුමාරිය, වරක් දැඩි ප්‍රේම සම්බන්ධයකින් විසුවාය.


දවසක් දා රෑ, ඒ ප්‍රේමවන්තයාගෙන් මහ රැජිණට දුරකතන ඇමතුමක් ලැබුණේය. “මහ රැජිණියෙනි, මම මාගරට් කුමරියගේ හිතවතා. මම දැන් ඉන්නේ මා සංවිධානය කළ සාදයක. මාගරට් කුමරිය, දැන් මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා, ඔබ ඔය සාදය නවත්වා වහාම මා බලන්නට ආවේ නැත්නම්, මම කවුළුවෙන් බිමට පනිනවා කියලා. අනේ, මහ රැජිණ මේ ගැන බලන්න.”


මහ රැජිණ මෙසේ පැවසුවාය. 


“ඔබතුමා කලබල නොවී සාදය පවත්වාගෙන යන්න. මාගරට් කුමරිය ඉන්නේ බිම් මාලයේ.”


 

ෂාං පෝල් සාත්රේගේ ආත්ම චරිත කතාව

ප්‍රංශ ජාතික ෂාං පෝල් සාත්රේ, අතිශය කීර්තිමත් දර්ශනවාදියෙකි. ඔහු උපත ලැබුවේ 1905 දීය. හැත්තෑපස් වර්ෂයක් ජීවත් වී, 1980 දී අභාවයට පත් වූ ඔහු, ලෝකයාට ප්‍රදානය කළ ප්‍රබල දර්ශනවාදය වූයේ සාංතෘෂ්ටික චින්තනයයි. මෙය, එක්තරා ආකාරයකින්, බෞද්ධ දර්ශනයට සමානය.


එහි හරය නම්, නියම දර්ශනවාදියා විසින් සිය අවධානය ඉතා තියුණු ලෙස යොමු කළ යුත්තේ, මේ වර්තමාන මොහොතටය යන අදහසයි.


ඔහු උපත ලැබුවේත් අභාවයට පත් වූයේත් පැරිස් නගරයේමය. පැරණි ග්‍රීක දර්ශනවාදීන් වන සොක්‍රටීස්, වැන්නන් පරිදිම සාත්රේ ද සිය දර්ශනවාදය කියා දුන්නේ, සාකච්ඡා කථා-බහ මගිනි. ඔහු විවිධ වර්ගයේ සාහිතසික ශෛලී මගින්, සිය චින්තනය ලෝකයාට බෙදා දුන්නේය. ඔහු විසින් කරන ලද ප්‍රබන්ධ කතා ත්‍රිත්වය “විමුක්තියට මාවත්” නම් වේ.


සාත්රේ, නාට්‍යයක් කළේය.


එහෙත්, ඔහුගේ විවිධ කෘති අතර අතිශය ප්‍රශස්ත නිර්මාණය නම් ඔහුගේ ආත්ම චරිත කතාවයි. එය නම් කෙරෙන්නේ “වචන” :ඛැිපදඑි* වශයෙනි.


සිය කායික හා අධ්‍යාත්මක වර්ධනය නිරූපනය කරන මේ පොත, ඉතාම විචිත්‍රය, තමා, උගත් දරුවෙකු බව පෙන්වන්නට, අමුත්තන්ට මහපොත් ගෙනැවිත් දුන් හැටි ආදි සිද්ධි මෙදා එහි සටහන් කරන්නේය. ඔහුට නොබෙල් සාහිත්‍ය ත්‍යාගය පිරිනැමුණු නමුත්, එය ඔහු නොපිළිගත්තේය.


RECOMMEND POSTS