සියක් ආයු ලබන්නට විද්‍යාවේ පිහිට



“සදාකාලික ජීවිතය ගැන සෙවීම හෝ වඩා දිගුකලක් ජීවත්විය හැකි ක්‍රම සෙවීම හෝ හැමවිටම මානව චින්තනයේ කොටසක්ව තිබුණේය. අද ලෝකයේ මිනිසුන්ට, මේ ගැන සුබවාදීව සිතන්නට හේතු පහළ වී ඇත්තේය. පසුගිය ශතවර්ෂයේදී විද්‍යාවත්, ඖෂධත් විසින් ආයු කාලය දීර්ඝකොට ඇත්තේය. දීර්ඝායුෂ ගැන පර්යේෂණ පවත්වන විශේෂඥයෝ, මානව ආයුකාලය දශක කිහිපයකින් හෝ වැඩි කරන්නට මහන්සි ගනිති.”
-මැන්ඩි ඕක් ලන්ඩර්-

 

 


සිරිලක අපි, ඔවුනොවුන් හමුවූ විට “ආයුබෝවන්” (ආයුෂ බොහෝ වේවා) යි පතන්නෙමු. කළු කපුටා සුදුවනතුරු, මෝල් ගහේ දළු එනතුරු අවුරුදු එකසිය විස්සෙන්, අවුරුදු දෙසිය විස්සට ආයු බෝවේවා යි කියන පැතුම මෙරටේ ජන චාරිත්‍ර වාරිත්‍රවලදීත් ආගමික වතාවත්වලදීත් අප අසා පුරුදු ආශිර්වාදයි.


මා නොබෝදා කියවූ විද්‍යා ලිපි සමූහයකින් මා අතිශයින් විස්මයට පත්වූයේ මේ විසි එක්වන ශතවර්ෂයේ විද්‍යාවෙන් අගතැන් අය පවා දීර්ඝායුෂ සලස්වා ගන්නා ආකාරය ගැන දිවා රෑ නැතිව ඉමක් කොනක් නැතිව පර්යේෂණ පවත්වන බව දැන ගැනීමෙනි. 
ඒ අධි දියුණු රාජ්‍යවල, මහ මොළ ඇත්තන් විසින් ආයුෂ වැඩිකර ගන්නට දරන දැවැන්ත ප්‍රයත්නය, අපගේ රටේ අයටත් ප්‍රායෝගික වශයෙන් ප්‍රයෝජනවත්ය. ඒ නිසා ඒ දීර්ඝායුෂ දිනාගැනීමේ වෑයම කෙරේ අප විසින් අවධානය යොමු කිරීම, අත්‍යන්තයෙන්ම සුදුසුය.


දීර්ඝායුෂ පර්යේෂණයේ යෙදෙන එක් විද්වතෙක් “ආයු බෝ” කරනු පිණිස ඈත අතීතයේ පැරැන්නන් විසින් භාවිත කෙරුණු ක්‍රම කිහිපයක් අනාවරණය කරන්නේය. ඉන් ඇතැම් ඒවා රහස් වට්ටෝරුවලින් ලැබුණු දේයි. තවත් සමහරක් පුරාතන ජන කණ්ඩායම්වල බහුල වූ විධියි. ක්‍රිස්තු වර්ෂයට පෙර 1600දී (එනම්, අදට අවුරුදු 3650කට පමණ ඉහතදී) මිනිස් සිරුරේ - වෙසෙසින්ම මුහුණේ රැළි නැතිකරන බේතක්, මිසරයේ පැපිරස් ලිපියක සඳහන් වී තිබිණි. එහි කියා තිබුණේ එක්තරා ගෙඩි වර්ගයක් වතුරෙන් තම්බා, ඉන්පසුව ඒවා වේලා භාවිත කළ විට රැළි පහවී යන බවයි. 


මේ ගෙඩිවල නම සඳහන් වෙතත්, ඒවායේ අද පැවැත්ම ගැන මතිමාත්‍ර වූ තොරතුරක් සොයාගත හැකි නොවීය. 


ක්‍රිස්තු පූර්ව හයවන සියවසේදී සුශ්‍රැත සංහිතාවේ සඳහන් වූ “තිරිහන් කරන හා ආයුෂ වැඩිකරන” බේතක් ඇමෙරිකානු විද්‍යාඥයකු විසින් සඳහන් කෙරේ. ඒ බේත තනාගනු ලබන්නේ මුල් වර්ගයක් කුඩුකොට, එය රන්, ගිතෙල් හා පැණි සමග කවලම්කොට උදෑසන ස්නානයෙන් පසුව භාවිතයට ගැනීමෙන් දීර්ඝායුෂ ලද හැකි බවයි. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට මේ හෝඩුවාව දැනගත හැකිවේ. මක්නිසාද යත් සුශ්‍රැත සංහිතාව හොඳින් දන්නා බොහෝ දෙනා මේ රටේ සිටින හෙයිනි.


ලෝක ඉතිහාසයේ කීර්තිමත් රූ රැජිණක්ව සිටි ක්‍රිස්තු වර්ෂයට පෙර පළමුවන සියවසේ මිසරය පාලනය කළ ක්ලියෝපැට්ට්‍රා බිසව, සැමවිටම සිය සම පැහැපත්ව තබගනු පිණිස බූරු කිරිවලින් ස්නානය කළා යැයි ඒ රහස් වට්ටෝරුවේ සඳහන් වේ. 


අතීත සමයයන්හි දීර්ඝායුෂ විශේෂඥයන් විසින් අනුමත කරන ලද ඇතැම් ක්‍රම අද අප තුළ කම්පනයක් ඇති කරන තරම්ය. ඒ නිසා ඒ ආදි යුගයේ ක්‍රමාවලීන්ගෙන් එකක් දෙකක් පමණ සලකා බලමු.


1558 ජීවත් වූ ලුයිජි කොමාරෝ, “දීර්ඝායුෂ ලැබීමේ ජීවන කලාව” නමින් පොත් කිහිපයක් කළේය. එහිදී ඔහු විසින් පෙන්වා දෙන ලද ප්‍රධාන කරුණක් අපගේ චින්තනයට බොහෝ සේ කිට්ටුය. දීර්ඝායුෂ ලැබීමේ රහස නම් හැම තැනකදීම හැම කරුණකදීම “මධ්‍යම ප්‍රතිපදාව” අනුගමනය කිරීම යැයි ඔහු ප්‍රකාශ කොට ඇත්තේය.


ස්විට්සර්ලන්තයේ වෛද්‍ය විද්‍යාඥයකු වන මැක්ස් මිල්යන් බර්ඩර් බෙකර්ගේ මතය නම් ආයු වර්ධනය සඳහා ඒකායන මාර්ගය නම් අමු ආහාර වර්ග ගැනීම යැයි කියාය. ඔහු ඒ අමු ආහාර නම් කරන්නේ “සූර්යාලෝක ආහාර” වශයෙනි. ඔහු විසින් යෝජිත පාතරාසයක් (උදේ අහරක්) ජගත් ප්‍රසිද්ධියට පත්වූයේය. “මූ යෙස්ලි” නමින් දන්නා, ඒ ආහාරය තැනෙන්නේ “ධාන්‍ය, කජු වැනි ඇට වර්ග, වියලි පලතුරු, කිරි හා සමග මිශ්‍රකොට ගැනීමෙනි.


ජෝජ් චේනි ප්‍රකාශ කරන්නේ කුඩා කල පටන්ම හුදෙක් වතුර පමණක් බොන්නට පුරුදු වන අය සියක් වසර ජීවත්වන බවයි. මේ වෛද්‍යවරයා, මාංශ භක්ෂණයෙන් තොරයි.


අතීතයෙන් ලැබෙන ඇතැම් උපදේශ, සිතා ගන්නටත් බැරිතරම්ය. ඉන් සමහරක් ශිෂ්ට මානව සමාජයට නොගැලපෙන හෙයිනි.
මේ දීර්ඝායුෂ වාර්තාව විසින් ඉස්මතුකොට දැක්වෙන නවීන පර්යේෂණ කිහිපයක් දෙසට අප සිත් යොමු කළ යුතුවේ.


විස්මය නම්, දීර්ඝායුෂ සම්පාදනය පිළිබඳ කරුණු දන්නා ප්‍රබල විද්‍යාඥයන් අතුරෙන් බොහෝ දෙනෙක්ම, එක්තරා මුඛ්‍ය අංශ දෙසට හිත් යොමු කිරීමයි. එසේම ඒ විද්‍යාඥයන් විසින් ප්‍රධාන තැන්හිලා සලකන “චිකිත්සන” වර්ගය මිනිස් දිවිපෙවෙතෙහි අතිශයින්ම සුලබව තිබීමයි.


දීර්ඝායුෂ සම්පාදනය කිරීමේ පර්යේෂක විද්‍යාඥයන් විසින්, ප්‍රකාශ කරන විස්මය උපදවන අංශය, “නින්ද” යි. හැම දෙනකුටම ඉතා පුරුදු “නින්ද” මානව වර්ගයාගේ දීර්ඝායුෂ ප්‍රශ්නය හා සමග ඉතා හෘදයංගම ලෙස බැඳේ.


ඒ පිළිබඳව පවත්නා මත හා උපදේශ දෙසට අපි අවධානය යොමු කළ යුතු වෙමු.


ඇලිස් පාක් නම් විද්‍යාඥවරිය කියා සිටින්නේ “නින්ද” නමැති චිකිත්සාව තිරිහන් බවේ උල්පත යැයි කියාය.


අර්ථවත් ආකාරයෙන් විවේක ගැනීම, යහපත් සෞඛ්‍ය තත්ත්වයක් දීර්ඝායුෂත් හා සමග හෘදයාංගම ලෙස සම්බන්ධ වන බවට සැපයෙන සාක්ෂි ඉතා ප්‍රබල බව පර්යේෂක විද්‍යාඥයෝ පවසති.


අවශ්‍ය ප්‍රමාණ නින්ද නොලැබීම, ශරීරයේ මොළය හා හදවත ඇතුලු හැම අංගෝපාංග කෙරෙහිම දැඩි ලෙස බලපාන්නේය. 
නින්දත්, දීර්ඝායුෂ්කභාවයත් අතර පවත්නා හෘදයංගම සබඳතාවය, ප්‍රධාන පෙළේ විද්‍යාඥයකුට පෙනෙන්නේ මේ ආකාරයෙනි. 
ඒ විද්‍යාඥයාගේ ප්‍රකාශය මෙසේය. යහපත් සෞඛ්‍ය ඔසවාගෙන සිටින ප්‍රධාන ටැම් තුනෙන්, තුන්වැන්න නින්ද යැයි මම කලක් සිතාගෙන සිටියෙමි. ඒ තුනෙන් අනික් දෙක ලෙස මා ඉහතදී සැලකුවේ ආහාරයත්, කායික ව්‍යායාමත්ය. එහෙත්, අද මම ඒ අදහස පිළිනොගන්නෙමි. එහෙත් අද මා තරව විශ්වාස කරන අදහස මෙයයි. ඔබගේ මොළයත්, ඔබගේ සිරුරත් යහපත් සෞඛ්‍යය සඳහා හැඩගස්වන ඉතාම ප්‍රතිඵලදායී බලවේගය නම් නින්දයි.


පසුගිය ශතවර්ෂයේදී, ඖෂධ වර්ගවලත්, තාක්ෂණික ක්‍රමාවලියේත් දියුණුව නිසා, ආයු ප්‍රමාණ ටිකින් ටික ඉහළ නැංඟද, ජනයා සාමුහික වශයෙන් නින්ද අඩුකොට ගතහොත් ඒ ආයු අධික කරගැනීමේ වාසිය අඩුවෙන්නට ඉඩ ඇතැයි විද්‍යාඥයෝ මත පළ කරති.
බොහෝ දෙනා තාමත් සිතන්නේ, නින්ද ටික ටික අඩු කළාට ඉන් එතරම් හානියක් සිදු නොවන්නේ යැයි කියාය.


එහෙත් අලුත්ම ජීව විද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලි වන්නේ නින්ද ගැන අඩු තක්සේරුවෙන් සිතීම නිසා අයහපත් ප්‍රතිඵල හටගත හැකි බවයි.


නින්ද අඩුවීම, අනිවාර්යෙන්ම මානව සෞඛ්‍යයේ හැම පැත්තක් කෙරෙහිම බලාපන බවත්, ඒ හේතුකොටගෙන හටගන්නා ලෙඩ රෝග හේතුකොටගෙන ආයුෂ අඩුවන බවත්, තවමත් ලෝකයේ බොහෝ දෙනා විශ්වාස නොකරති. දියුණු රටවල පවා තත්ත්වය එයයි.


දීර්ඝායුෂ පර්යේෂණවල යෙදෙන විද්‍යාඥයෝ ඉතා පුදුම උපදවන කතාවක් කියති. සත්ව විකාශනයේදී, ජීවීන්ට නින්ද අවශ්‍ය වූයේ මක්නිසාද යැයි විද්‍යාඥයෝ මෑතක් වන තෙක්ම හරිහැටි දැන නොසිටියහ.


එහෙත්, නින්දෙදී සිදුවන දේ, අද ප්‍රධාන පෙළේ විද්‍යාඥයෝ හරි හැටි දනිති. නින්දේදි වෙසෙසින්ම මොළයට සිදුවන දේ, මිනිසාගේ යහපත් ජීවිතය සඳහා බලපාන බව අද විද්‍යාඥයෝ හරිහැටි දනිති. එය දීර්ඝායුෂ භාවයට බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේයැයි ද විද්‍යාඥයෝ කියා දෙති.


නින්ද ලද යුතු බව ගැන නම්, වාද කරන්නට ඉඩක් නැතැයි, විද්‍යාඥයෝ කියති. මිනිසාට, යහතින් ජීවත්වන්න නම් එක්තරා ප්‍රමාණයක නින්ද අවශ්‍ය බව අද විද්‍යාත්මක ලෙස තහවුරු කොට ඇත්තේය.


ඉතා ශක්තිමත් ස්ත්‍රී-පුරුෂ දශලක්ෂයක් භාවිත කරමින් කරන ලද දැඩි දැවැන්ත අධ්‍යයනයක් මඟින් කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලය මෙයයි: දීර්ඝායුෂ ලබාගන්නා පිණිස නින්ද ලබාගත යුතු ප්‍රාතිහාර්යමය කාලපරිච්ඡේදය නම් පැය හතකි. 


දීර්ඝායුෂභාවය සඳහා අනිවාර්යයෙන්ම ඒ “රන්” පෑ හත තිබිය යුතුමය. විශේෂඥ මතය එයයි. එහෙත්, මහලු උදවිය නම් ඊට මඳක් අඩුවෙන් නින්ද ලැබුව ද වරදක් නැතැයි ද බාල දරුවන් ඒ නියමිත රන් පෑ හතට වැඩියෙන් මඳක් නින්ද ලැබුව ද වරදක් නැතැයි දීර්ඝායුෂ විශේෂඥයෝ ප්‍රකාශ කරති. 


මේ සියලු, අලුත්ම දීර්ඝායුෂ පර්යේෂණවලින් ඉතාම පැහැදිලි ලෙස ප්‍රකාශ වන්නේ නින්ද, සත්‍ය වශයෙන්ම ජීව විද්‍යාත්මක බලපෑමක් ඉටු කරන බවයි.


ඉස්සර පැවති මතය නම්, දවසේ ක්‍රියාකාරකම්වලින් පසුව මොළයට සහ සිරුරටත් විවේක ගන්නට අවස්ථාවක් තිබිය යුතුය කියාය. එහෙත් අලුත්ම පර්යේෂණවලින් හෙළිවී තිබෙන්නේ මිනිසාට නින්ද අවශ්‍ය වන්නේ එහි එකතු වී තිබෙන කුණු කසළ සියල්ල සහමුලින්ම ඉවත් කොට දමනු පිණිස මොළයට නින්ද අත්‍යවශ්‍ය බවයි.


දැන් අනාවරණය වන්නේ නින්දේදි මොළය තුළ සිදුවන ක්‍රියාදාමය, රාත්‍රී කාලයේදී කර්මාන්තශාලාවක් සහමුලින්ම පිරිසිදු කොට අඩුපාඩු සොයා බලා නිසි ප්‍රතිකර්ම ක්‍රියාවේ යොදවා යළිත් හෙට ක්‍රියාකාරකම් සඳහා මුළුමනින්ම සකස් කෙරෙන ආකාරයේ සංකීර්ණ ක්‍රියා පද්ධතියක් බවයි.


ඒ ක්‍රියාවලට ඉඩ දෙමින්, මොළය නිසි පමණට නිදා ගත්තේ නැත්නම්, මොළය අකාලයේ වයස්ගත වෙයි.


මිනිස් ජීවිතය දිනපතා අලුත්කොට ආයුෂ දීර්ඝ කරන්නට මොළය විසින් කරනු ලබන මේ අත්භූත ක්‍රියාදාමය අප බොහෝ දෙනාට ඇදහිය නොවන තරමේ මහා පුදුමයක් වන්නේමය. 


අපේ ජීවිත දීර්ඝායුෂ කරා ගෙන යන කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් මේ කායික, මානසික ඉන්ද්‍රිය නමැති අපට සහ උපකාරී බලවේග ගැන අප විසින් අපගේම දීර්ඝායුෂ පතා හරිහැටි සිතිය යුතුම නොවේ ද?


දීර්ඝායුෂ විඳින්නට මිනිසුන් සතු දැඩි උද්යෝගය නිසා විවිධාකාරයේ බේත් හේත් වර්ග, ආහාර ක්‍රමත් අතිශයින්ම පෘථුල ලෙස සකස් වේ.


යාන්ත්‍රික ක්‍රම මගින්, දියුණු තාක්ෂණික මෙවලම් භාවිතයෙන් මිනිසාගේ ආයු ප්‍රමාණය වර්ධනය කරන්නට ඉතාම ප්‍රබල ලෙස ප්‍රයත්න දරනු ලබන්නේ පරිගණක විශාරදයන් විසිනි. ලෝකයේ ඉතාම ධනවත් ව්‍යාපාරිකයන්ගේ “ක්‍රීඩා භූමිය” පරිගණක කර්මාන්ත ප්‍රදේශයයි.


මේ අති ඉසුරුමත්, අත්‍යන්තයෙන්ම බුද්ධි පූර්වක පරිගණක විද්‍යාඥයන්ගේ අරමුණ, හුදෙක් මානව ජීවිතය දශකයකින් දෙකකින් දීර්ඝ කිරීම පමණක් නොවේ. ඔවුන්ගෙන් ඇතැමුන්ගේ ඉලක්කය අමරණීයත්වයයි.


ඒ වරප්‍රසාද බහුල පරිගණක ඉසුරුමත් පිරිසගෙන් විශිෂ්ටයකු වන ඬේව් ඇස්ප්‍රේ නම් විද්‍යාඥයාගේ පෞද්ගලික අරමුණක් ඇත්තේය. ඒ බුද්ධිමතා අව්‍යාජයම මෙසේ කියන්නේ, “මගේ අරමුණ අවුරුදු 180 වෙනුත් ඔබ්බට ජීවත්වන්නයි. මට ඒ අරමුණ ඉටුකොට ගන්නට මඟ සපයන හැම දෙයක්ම මම කරගෙන යන්නෙමි.”


මා දන්නා හැටියට නම් මෙය එතරම් ආත්මාර්ථකාමී අදහසකුත් නොවේ. ඒ විද්‍යාඥයාගේ පෞද්ගලික දීර්ඝායුෂ සිහිනය සැබෑ වුවහොත් ඒ ක්‍රියාව සෙස්සන්ටත් අනුගමනය කළ හැකි වන්නේය.


ඉතාම ඉසුරුමත් අය තමන්ගේ ආයුකාලය දියුණුකොට ගන්නා පිණිස අධික වියදම් අවශ්‍ය වන ක්‍රියා සඳහා පෙළඹෙති. තමන්ට ඉතා ඈත අනාගතයෙහි වුවත් වැළඳෙන්නට ඉඩ ඇති රෝග නිර්ණය කොට ගනු කැමති ධන කුවේරයන්ට ලංකාවේ මුදලින් රුපියල් තුන්කෝටි පනස් ලක්ෂයක් පමණ ගෙවා පූර්ණ පරීක්ෂණයක් කරවාගත හැකි වේ.


වයසට යෑම වළක්වන සුපිරි බේත් වර්ග ඇත්තේය. මේ බේත් වර්ගවල අරමුණ මිනිස් මොළය අසාමාන්‍ය ලෙස දියුණු කිරීමයි.
තිරිහන් කරවන උපවාස ක්‍රම අපරදිග සමහරු අතර ජනප්‍රියයි.


දීර්ඝායුෂ විශේෂඥයන් විසින් යෝජනා කෙරෙන ඊට වඩා සරල ක්‍රමයකුත් ප්‍රචලිත වේගෙන යයි.


ආරම්භකොට පවත්වාගෙන යෑමෙන් දීර්ඝායුෂ ලැබෙන ක්‍රම තුනක් ඇතැම් දීර්ඝායුෂ කණ්ඩායම් විසින් නියම කෙරේ. 


ඒ දීර්ඝායුෂ සාධක තුන සලකා බලමු.


අංක 1 - “හැමවිටම කුතුහලයෙන් යුක්තව, ලද හැම අවසරයකින්ම අලුතින් යමක් දැනගන්නට ප්‍රයත්න දැරිය යුතු යැයි” මනෝවිද්‍යා මහාචාර්යවරියක් වන ලෝරා එල් කාස්ටනසන් මහත්මිය පවසන්නීය. “කුතුහලය, දීර්ඝායුෂ කෙරෙහි අර්ථවත් ලෙස බලපාන්නේය. ප්‍රශ්න ඇසීම නිසාත්, අලුත් දේ සොයා ගැනීම නිසාත් ඔබට හැමවිටම ලෝකයත්, අන් අයත් හා සමග එක්ව ගනුදෙනු කිරීමට මඟ පෑදෙන්නේය.” මෙවැනි කුතුහලයක් නිසා කරුණු දැනගැනීමේ මාංශපේෂි ක්‍රියාත්මකව තබාගත හැකිවෙයි.


අංක 2 - තමන්ට අවශ්‍ය යැයි සිතෙන එළවළු හා පලා වර්ග ප්‍රමාණයටත් වඩා අධික එළවළු, පලා ප්‍රමාණයක් ආහාරයට ගන්න. ආහාරයත්, සුවපත් භාවයත් අතර පවත්නා සම්බන්ධතාව අපි කුඩා කාලයේදී උගෙන ගන්නෙමු. ඉන්පසුව අපි එය අමතක කරමු. අද දියුණු රටවල බොහෝ දෙනා පවා ආහාර හා සම්බන්ධ රෝගවලින් පෙළෙති. 


ඒ නිසා ඔබගේ සිතේ තහවුරු කොටගත යුතුව තිබෙන ප්‍රධාන කරුණක් වෙයි. ඒ මෙසේය: සෞඛ්‍යයට ඉතාම හිතැති ආහාරය නම්, ඔබට එළවළු, පලා බහුල වශයෙන් අනුභව කරන්නට ලැබෙන ආහාරයයි. මධ්‍යධරණි ආහාර ප්‍රසිද්ධ වී තිබෙන්නේ එක් ප්‍රධාන හේතුවක් නිසාය. හැම අධ්‍යයනයකින්ම හෙළිවී තිබෙන්නේ මෙයයි. “ඒ ආහාර රටාව විසින්, පලතුරුවලට, එළවළු වර්ගවලට, ඇට වර්ගවලට සහ ඔලිව් තෙල්වලට මුල් තැන දීමේ ගතිය, දීර්ඝායුෂ ලැබීම හා සමග සම්බන්ධයි.”


අංක 3 - මහලු වෙනවාය කියන කතාවේ අර්ථය කුමක්දැයි නැවත සිතන්න. බොහෝ දෙනා මහලු වයස ගැන සිතන්නේ නපුරු දෙයක් දෙසට යොමුවී තිබෙන ජීවිත කාලයක් හැටියටයි. ඔබ විසින් හැමවිටම සලකා බැලිය යුතු වන්නේ සෙසු මහලු උදවිය විසින් සමාජයටත්, අනුන්ටත් මෙහෙයක් කරනා බවයි. ඔබටත් එවැනි මෙහෙයක් ඉටුකළ හැකි බවත් සිතන්න. එවිට ඔබ තුළ මහලු විය ගැන වැරදි හැඟීමක් ඇති නොවේ.


මේ ලිපියෙන් ප්‍රධාන වශයෙන්ම කරන ලද්දේ දීර්ඝායුෂ ලබාගැනීම සඳහා ලෝකයේ ඇතැම් ප්‍රදේශවල කෙරෙන දැවැන්ත ව්‍යාපාර සමූහයෙන් බිඳක් ගෙනැහර දැක්වීමයි. අපේ දේශයෙහි, මේ දීර්ඝායුෂතාවය පිළිබඳව ක්‍රමවත්ව තැකීමේ ගතියක් දකින්නට නැත. ඒ නිසා අපගේ දේශයේ පින්වත් ජනතාවට, ජීවිතයේ අගය පිළිබඳව ස්ථාවර හැඟීමක් ඇතිකොට, මේ උදාර දේශයේ අනාගත ජීවිත බලාපොරොත්තු පුබුදු කරන්නට මෙවැනි දීර්ඝායුෂ පර්යේෂණ පිළිබඳ ප්‍රවෘත්ති අතිශයින්ම වැදගත්ය.


ඒ අතර අපරදිග දීර්ඝායුෂ විද්‍යාවේ ප්‍රගතිය කොපමණ ද කිවහොත් ඒ රටවල ජාන ජිනෝම් පර්යේෂණවල ප්‍රතිඵලය වශයෙන් ඒ රටවල මත්තේ උපදින දරුවකුට අවුරුදු 142ක් ජීවත්වීමේ වාසනාව උදාවේ යැයි ප්‍රසිද්ධ ප්‍රකාශනයකින් කියැවුණේය.


ශ්‍රී ලංකාව එවැනි තාක්ෂණික ප්‍රාතිහාර්ය, නව නිෂ්පාදන හාස්කම් පාන්නට සැරසී ගත් රාජ්‍යයක් නොවන බව අපි දනිමු. එහෙත්, ආධ්‍යාත්මික සෞඛ්‍යයෙන් බැබළෙන, දිගු ආයු කාලයකට මං පාදන මානසික දියුණුව සහිත, පිරිසක් තැනෙන තැනට බුදුහිමියෝ අපට මං පෙන්වූහ.


බෞද්ධ ශ්‍රාවකයන් වහන්සේ, සන්සුන්ව, පවිත්‍ර පෙනුමෙන් වඩිනු දුටුවෙක්, බුදුහිමියන්ගේ ශ්‍රාවකයන් වහන්සේගේ විභූතිය ගැන විමසුවේය.


බුදුහිමියන්ගේ පිළිතුර - 
“අතීතධ්‍යානු නජපන්ති
නප්ප ජප්ප මනා ගතං
පච්චුපන්නෙන යා පෙත්තා
තෙසව ණෙණා පසීදතී”


“ඒ ඇත්තෝ, අතීතය ගැන නොතැපෙති. අනාගතය ගැන සිත සිතා ද නොසිටිති. වර්තමාන මොහොතේ වෙසෙති. ඒ නිසා ඔවුන්ගේ වර්ණය ප්‍රසාද ජනකය.”


අපේ දීර්ඝායුෂ ක්‍රමයේ සූත්‍රය විය යුත්තේ බුදුහිමියන් වදාළ පරිදි මොහොත කේන්ද්‍රකොට ගෙන ජීවත්වීමයි.

 

RECOMMEND POSTS