ලෝකය මහා බල අරගලයකට කිට්ටු වෙමින් සිටීද ?



 

කෝපය අධිකවෙමින්, පැන නඟින විට, ඉන් හටගත හැකි ප්‍රතිඵලය, ගැන සිතන්න කොන්ෆියුසියස් (ක්‍රිස්තු පූර්ව 581-479)
චීන ශාස්තෘවරයා

 

සිරිලකට, නව වසර උදාවීගෙන එද්දී සිරියාවට, මිසයිල ප්‍රහාර කන්දරාවක්, උඩු ගුවනින් කඩා වැටුණේය.


සිරියාවේ වේලාව අලුයම හතරයි. දවස අප්‍රේල් 14 වන සෙනසුරාදාය.


ශ්‍රී ලංකාවේ වේලාව අප්‍රේල් 14 වන සෙනසුරාදා උදෑසන 6.30 යි. මේ දේශයේ බහුතරයක් දෙනා තව පැය කිහිපයකින් ලබන සිංහල හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර සඳහා පේවෙමින් සිටියහ.


ඒ මොහොතේදී සිරියාවේ ස්ථාන කිහිපයක් එල්ල කොටගත්, මිසයිල වෙඩි ඒ දේශයට පහර දෙන්නට පටන්ගත්හ.
මෙය සිදුවූයේ කෙසේද?


ඇමෙරිකා, බි්‍රතාන්‍ය සහ ප්‍රංශ රාජ්‍යවාසීන් මෙහෙයවන ලද මිසයිල සිය නාශක ක්‍රියාදාමය ආරම්භ කළහ.


මේ රාජ්‍යත්‍රයේ ඒකාබද්ධ සංග්‍රාමික බලය විසින් සංවිධානය කරන ලද මිසයිල ප්‍රහාරයට, විවිධ වර්ගවල මිසයිල යොදාගනු ලැබීය.
සිරියාවේ මර්මස්ථාන වශයෙන්, ඒ ප්‍රහාරක රාජ්‍ය විසින් තෝරාගන්නා ලද ස්ථාන තුනකට මිසයිල යොමුවිය.


ඒ තුනෙන් එකක් වූයේ සිරියාවේ අගනුවර වන ඩැමස්කස් පුරයයි. ඒ නගරයේ ‘වර්සා’ නම් ස්ථානය ඉලක්ක කොට ගන්නා ලද්දේ එය රසායනික අවි පර්යේෂණ මධ්‍යස්ථානයක් ලෙස සැලකිණ.


අනික් ප්‍රධාන ඉලක්ක දෙක පිහිටියේ ඩැමස්කස් නගරයට උතුරින් පිහිටි හොම්ස් නම් ස්ථානයේය.


මේ ස්ථාන දෙක, රසායන අවි ගබඩා පිහිටි තැන් හැටියට ප්‍රහාරක රාජ්‍ය විසින් තීරණය කොටගෙන තිබිණි.


සෙනසුරාදා සිදුවූ මිසයිල ප්‍රහාරය, සිරියා විරෝධී සංකල්ප සමූහයක් අනුක්‍රමයෙන් වර්ධනය වීම නිසා සිදුවූවකි.


මේ සිද්ධි මාලාව, පැහැදිලිව දක්නා පිණිස අපි පෙළින් පෙළ ආපසු යා යුතුවෙමු.


සිරියා විරෝධී චින්තනයේ ඉතාම උග්‍ර අවස්ථාව එළඹියේ අප්‍රේල් 8 වනදායි. එදා සිරියා රාජ්‍ය හමුදා විසින් ඩැමස්කස් අගනුවර, උපනගරයක් වූ ඩුමා පෙදෙසට ප්‍රහාරයක් එල්ල කෙරිණි. මේ ප්‍රහාරය රජය විසින් එල්ල කරන ලද්දේ ඩූමා ප්‍රදේශයෙහි කැරළිකාර පිරිසක් නිසා ඔවුන් මෙල්ල කරනු පිණිසයැයි සිරියා රජයේ ප්‍රකාශකයෝ පැවසූහ.


නොපමාවම, සිරියා විරෝධී ජනමතයෙන් පැවසුයේ ඩූමා ප්‍රහාරයේදී සාමාන්‍ය පුරවැසියන්ට රසායනික අවිවලින් පහරදෙනු ලදැයි කියායි. රසායනික ප්‍රහාරයට ලක්වූ බාල මහලු ළමා පිරිසට, විද්‍යුත් විකිරණයෙන් මිදෙනු පිණිස ප්‍රතිකාර සැපයෙන ආකාරය, ලොව පුරා විද්‍යුත් මාධ්‍යවලින් ව්‍යාප්ත කෙරුණේය.


මානව විරෝධී ප්‍රහාරයෙකැයි එය බොහෝදෙනා විසින් හෙළා දක්නා ලදී.


මේ සිද්ධිය වඩාත් බැරෑරුම් ලෙස දැකීමට හේතුකාරක වූ තවත් කරුණක් විය. මෙයට සති කිහිපයකට පෙර නැගෙනහිර සිරියාවේ සූටා නම් පෙදෙසෙහි කැරලිකාර පිරිසකට සිරියා රජය අති දරුණු ප්‍රහාරයක් එල්ල කළේය. එයින් බැරෑරුම් ලෙස තුවාල වූ අයට ප්‍රතිකාර කරන්නට පවා රජය ඉඩ දුන්නේ නොවේ. එය අමානුෂික ක්‍රියාවක් සේ බොහෝදෙනා දුටුවහ.


රෝගීන්ට සහනය දෙනු පිණිස සටනෙහි තාවකාලික විරාමයක් ඇතිකරනු පිණිස ජගත් ජන කණ්ඩායම විසින් ප්‍රබල ප්‍රයත්නයක් දරන ලදී.


ඒ සියල්ල මැද්දේ රුසියානු විරෝධී, ඒකාබද්ධතාවයක් දෙසට යොමුවන්නට, රටවල් කිහිපයකට අවස්ථා සැපයූ සිද්ධියක් ද තිබිණ. 
එයට හේතු වූයේ බි්‍රතාන්‍යයේ පදිංචිව සිටි ද්විවාර්ගික රුසියානු බුද්ධි අංශයේ නිලධාරියෙකු කේන්ද්‍ර කොටගත් සිද්ධියකි. නිලධාරියා ස්ක්‍රියාපල් ය. ඔහු සහ ඔහුගේ දියණිය රෝගාතුර වූහ. රෝගාතුරවීමට හේතුකාරක වූයේ ස්නායු පද්ධතියට හානි කරන නොච්ඩෙක් නම් විෂ වර්ගයැයි ද එය රුසියාවේ නිෂ්පාදිත වූ රසායනිකයක් දැයි චෝදනා කළ බි්‍රතාන්‍යය, සිය දේශයේ රුසියානු තානාපති සේවා නිලධාරීන්ගෙන් ඇතැම්මු, පෙරලා රුසියාවට යවන්නට තීරණය කළහ. බි්‍රතාන්‍යයට අනුව යමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයත්, තවත් රාජ්‍ය කීපයකුත් සිය රටවලින් රුසියානු රාජදූත නිලධාරීන් ඉවත් කළහ. එයට රුසියාව ද ඒ ආකාරයෙන්ම ප්‍රතික්‍රියා කළේය.


මෙවැනි සංකීර්ණ ක්‍රියාදාමයක ප්‍රතිඵලය වශයෙන් ඇමෙරිකා, බි්‍රතාන්‍ය, ප්‍රංශ රාජ්‍යයෝ සිරියාවට පහර දුන්හ. ඒ ප්‍රහාරයෙන් රුසියාව ද නොසන්සුන් වූයේය.


14 වන සෙනසුරාදා ප්‍රහාරයේදී බහුල වශයෙන් භාවිත වූයේ ටොමහෝස් වර්ගයේ මිසයිලයි.


ඇමෙරිකා, ප්‍රංශ, බි්‍රතාන්‍ය නායකයන් කියා සිටියේ, මානව හිතවාදී හේතු නිසා මේ සිරියානු නපුරුකම් වළක්වන්නට තමන් ඒකාබද්ධ පියවරගෙන මිසයිල ප්‍රහාර දියත් කළ බවයි.


රුසියාවේ මතය නම් මෙය ස්වාධීන රාජ්‍යයකට එල්ල කරන ලද ප්‍රහාරයක් නිසා එය ජාත්‍යන්තර සම්මුතීන්ට විරෝධී බවය.


රුසියාවේ ඉල්ලීමට අනුව සෙනසුරාදා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් පැවැත්විණි. රුසියානු යෝජනාව ආරක්ෂක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.


ආරම්භයේදී ඇමෙරිකාව ලොවට කියා සිටියේ, මෙය එක්වරක් කෙරෙන ප්‍රහාරයක් බවයි.


පසුව ඒ අදහස වෙනස් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි පෙනී සිටින ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ නියෝජිතවරිය නික්කිහේලි පසුව කියා සිටියේ අපි ප්‍රහාර සඳහා සැරසී සිටින්නෙමුයි කියාය.


රුසියානු සහ සිරියානු රාජ්‍ය වෙනුවෙන් කෙරුණු ප්‍රකාශයන් විසින් ලොවට දන්වා සිටින ලද්දේ සිරියාවට එල්ලවුණු මිසයිල 110ක් තරම් වූ ප්‍රමාණයෙන් තමන් විසින් 71ක් අක්‍රිය කරන ලදැයි කියාය.


වර්තමාන ලෝකයේ බලතුලනය දෙස සිත් යොමුකරන විචාරකයන්ට පැහැදිලිවම පෙනෙන කරුණක් වෙයි.


මහා අරගලයකට පෙරාතුව මෙන්, මේ මොහොතේදී ලෝක ජාතීන්, කල්ලි දෙකකට බෙදෙන බව මේ තත්ත්වය දෙස අවධානය යොමු කරන්නෙකුට පෙනේ. මෙය බැරෑරුම් තත්ත්වයකි.


බි්‍රතාන්‍ය ප්‍රංශ රාජ්‍ය දෙකේ නායකයන්ට, ඔවුන්ගේ පාර්ලිමේන්තුවලින් දෝෂාරෝපණ එල්ලවේ. මේ ප්‍රහාරය තීරණය කරන්නට පෙර පාර්ලිමේන්තුවෙන් නොවිමසීම ගැන ඒ රාජ්‍ය දෙකෙන්ම, නායකයන්ට චෝදනා නැගේ.


මේ අර්බුදය කෙසේ විසඳේ ද?
මේ මොහොතේ ප්‍රධාන ප්‍රශ්නය මෙයයි.


ජගත් ජන මණ්ඩලය තුළ සාමය තහවුරු කරන්නට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට බලය තිබේ ද? නැද්ද?
අද පැන නගින තියුණු ප්‍රශ්නය මෙයයි.


පුටින් ජනාධිපතිවරයාගේ තීරණය කෙවැනිද?
රුසියාව වෙනුවෙන් කතා කරන නියෝජිතයෙක් අනතුරු ඇඟවීමක් කළේය. මේ ප්‍රහාරයට ප්‍රතික්‍රියා නැතැයි සිතිය යුතු නොවේදැයි ඒ උසස් නිලධාරියා කීයේය.


ජගත් ජන මණ්ඩලය අවදියෙන් සිටිය යුතු මොහොතකි.


 

පැරැණි පොතපත වික්ටර් හියුගෝ ගේ ල මිසරාබ්ල (අසරණයෝ)

 

වික්ටර් හියුගෝ ප්‍රංශ ජාතික මහා ලේඛකයෙකි. ඉතා කුඩා කාලයේ පටන්, ලේඛන කලාවේ යෙදුනු වික්ටර් හියුගෝ ප්‍රමුඛ කථා කලාකාරයෙකු මෙන්ම කවියෙකු වශයෙන්ද ජගත් කීර්තියක් ලද්දේය.


ඔහු විසින් විරචිත ල මිසරාබ්ල නවකතාව, දහනවවන ශතවර්ෂයේදී ලොව පහළ වූ මහාම ප්‍රබන්ධ කථාවලින් එකක් සේ සැලකේ. මේ කෘතියට ප්‍රස්තුත වන්නේ 1815 ත් අතර 1832 දක්වා වූ කාලයයි. මේ නිබන්ධනයේ ප්‍රධාන චරිතය වන්නේ, කලකට ඉහතදී අපරාධකාරයෙකුවී සිටි ෂං වයිෂාංය.


මේ කෘතියට, සමස්ත සමාජ සංස්ථාවම ප්‍රස්තුත වේ. නීති ගරුකභාවය, සමාජික විනීතතාවය, දේශපාලනය, සත් චාරිත්‍ර වාරිත්‍ර, ආගමික භක්තිය පමණක් නොව සෞන්දර්යකාමී ප්‍රේමයේ ස්වභාවය ද එහි ඇතුළුවන සංකල්ප සමූහයට අයත්වේ.


මේ නවකතාවේ නිර්මාණය සතු අපූර්වත්වය හේතුකොටගෙන, ඇතැම් විචාරකයන් විසින් ඒ කෘතිය නම්කෙරෙන්නේ ජගත් ඉතිහාසයෙහි එන ශ්‍රේෂ්ඨතම නවකතා අතළොස්සෙන් එකක් වශයෙනි.


ග්‍රන්ථකාරක වික්ටර් හියුගෝ විසින් සිය කෘතියේ අරමුණ පැහැදිලි කෙරෙන්නේය. ඒ මෙසේය. 


විවිධ හේතු නිසා, සමාජය විසින් කොන්කෙරෙන පුද්ගලයන් ලොව සිටින තෙක්ම, මානවයාගේ පිරිහීම දිගටම පවතී.


සිය ග්‍රන්ථයේ අවසානයේදී, සිය මෙහෙය වශයෙන් වික්ටර් හියුගෝ ප්‍රකාශ කරන්නේ මෙයයි ‘මානවයාගේ විකාශනය විය යුත්තේ, යක්ෂයාගෙන් පටන්ගෙන දේවත්වයෙන් කෙළවර වීමයි.


මේ ප්‍රබන්ධ කථාව, ජගත් සාහිත්‍ය ඉතිහාසයේ ඉතාම දිග කෘතියකි. එය සාමාන්‍යයෙන් මුද්‍රිත පිටු 1500 ක් පමණ වේ. සිය කෘතිය ගැන හියුගෝගේ අදහස මෙයයි. මේ පොත, ලොව හැම තැනකම හැම දෙනකු විසින්ම කියවනු ලබන ග්‍රන්ථයක් වේ. කවර ප්‍රශ්නයකට හෝ මුණපාන කෙනෙකුගේ දොරට තට්ටුකොට මේ කෘතිය මෙසේ කියයි. “දොර අරින්න. ඔබ වෙනුවෙන් මම මෙහි සිටින්නෙමි.”


 

මහා ඇලෙක්සැන්ඩර් පාලකයාගේ ඉරනම

ලොව පහළ වූ පැරණි අධිරාජ්‍යයන්ගෙන් එකක් තනා මහා ඇලේසැන්ඩර් පාලකයා, ග්‍රීසියේ මැසිඩෝනියාවේ සිට වයඹ දිග ඉන්දියා තීරය තෙක් විහිදෙන භූමි ප්‍රදේශය නතුකොට ගත්තේය.


ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා, විභුතිමත්, සන්දර්ශනයකින් මහ පෙරහැරකින් සහ පිරිවරින් ඉන්දියාව දෙසට ආයේය. වුසිපෝලස් නම් සිය සුපුරුදු අසු අරා සිටි මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාට පෙණුනු තමන්ගේ විභූතිය බලන්නට මහා ජනකාය පෙරහැර දෙසට දිව යන ආකාරයයි.


එහෙත්, එක් දර්ශනයකින් ඔහුගේ සිතට ප්‍රශ්නයක් ඇතිවූයේය.


මඟ අසල, තරමක් උස්බිමක, ගසක් යට කෙනෙක් නිදාගෙන සිටියේය.


සිය අධිරාජ්‍යයීය සන්දර්ශනයවත්, ඉන් නැගෙන මහා කාහල නාදයවත් පිළිබඳව මතිමාත්‍ර වූ හෝ තැකීමකින් තොරව සැතපී සිටින ඒ පුද්ගලයා දෙසට අධිරාජ්‍යයාගේ අවධානය යොමුවූයේය.


මහ ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා, ඔහු සිටි තැනට ගොස් අසුපිටින් බැස්සේය.


ඔහු දැක අවදි වූ, නිදාසිටි පුද්ගලයා ගස මුල ඉඳ ගත්තේය. 


අධිරාජ්‍යයා ඔහු වෙත ගියේය. ඔහු ඒ පුද්ගලයාගෙන් මෙසේ විමසුවේය. “ඔබ දන්නවාද මා කවුද කියා.” ඒ පුද්ගලයා තැන්පත්ව මෙසේ පිළිතුරු දුන්නේය. “නෑ මම නොදනිමි.” අධිරාජ්‍යා කථා කළේය. “මම මහ අලෙක්සැන්ඩර් අධිරාජයා.”


පුද්ගලයා - “බොහොම හොඳයි”
අධිරාජ්‍යා - “එපමණක් නොවේ. මැසිඩෝනියාවේ සිට දඹදිව තීරය දක්වා බිම් සියල්ල මට අයිතියි.”
පුද්ගලයා - “ඉතාම හොඳයි, අධිරාජයාණෙනි”
අධිරාජයා - “මැසිඩෝනියාවේ සිට දඹදිව දක්වා මහා ගංගා නමයක් මට අයිතියි”
පුද්ගලයා - “අධිරාජතුමනි ඉතා හොඳයි”
අධිරාජයා - “මේ සියලු කෙත්වතුත් මට අයිතියි”
පුද්ගලයා - “මාත් ඔබගෙන් යමක් අහන්නද?”
අධිරාජයා - “අසන්න අසන්න”
පුද්ගලයා - “අධිරාජයාණෙනි ඔබට පිපාසය ඇතිවෙනවාද?”
අධිරාජයා - “ඔව්”
පුද්ගලයා - “එවිට ඔබ අර මහ ගංගා නවයේම දිය බොනවාද?”
අධිරාජයා - “කිසිසේත් නැත. අවශ්‍ය දිය උගුරු විතරයි.”
පුද්ගලයා - “ඔබට අයත් කෙත් වතු සියලුදේ ඔබට සාගිනි වූ විට බුදිනවාද?”
අධිරාජයා - “නැත අවශ්‍ය ආහාර ටික පමණයි.”
පුද්ගලයා - “ඔබට නිදිමත ඇතිවනවාද?”
අධිරාජයා - “ඔව්, මට නිදිමත ඇතිවනවා”
පුද්ගලයා - “නිදමත වූ විට ඔබ, ඒ මුළු මහත් භූමියේම නිදා ගන්නවාද?”
අධිරාජයා - “කිසිසේත් නැත. අවශ්‍ය ප්‍රමාණයක් ඉඩ තියෙන තැනක නිදා ගන්නවා.”
පුද්ගලයා - “එසේ නම් අධිරාජයාණෙනි, ඔබට අයත් ඒ මහා ගංගාවලින් මහා භූමි ප්‍රදේශවලින් විශාල කෙත්වතුවලින් ඇති පලය කුමක්ද අධිරාජයාණෙනි”
අධිරාජ්‍යයාට කිසිවක් කියාගත හැකි නොවීය.
මේ සිද්ධිය වාර්තා කරන ග්‍රීක ඉතිහාස කථාවල කියන්නේ ඒ පුද්ගලයා කහපාට ඇඳුමක් ඇඳ සිටි බවයි.
ඇලෙක්සැන්ඩර් අධිරාජයා ජීවත් වූයේ ඉතාසුළු කාලයකි. උපත කිස්තු පූර්ව 336 විපත. ක්‍රිස්තුපූර්ව 323 ආයුකාලය 33 යි. 
එහෙත්, ඒ බල සම්පන්න මහ ඇලෙක්සැන්ඩර් රජු මළේ ඉතා කුඩා මැලේරියා මදුරුවෙකු දෂ්ට කිරීමෙනි.


 

අද ලොව මහලුම පුද්ගලයා

පුද්ගලයෙකු මුළු ලෝකයේම මහලුම තැනැත්තා වශයෙන් නියම කෙරෙන්නේ, ආවාට ගියාට නොවේ. ඒ පුද්ගලයාගේ වයස නිශ්චය වශයෙන්ම තහවුරු කොට ගන්නා පිණිස, වගකිවයුතු අය විසින් විවිධ පරීක්ෂණ පැවැත්වේ.


ලෝක වාර්තා සම්පාදනය කිරීමේ ආයතනය වන ගිනස් සමාගම විසින් නිසි පරීක්ෂණ පවත්වා, අප්‍රේල් මස දහවනදා ප්‍රකාශ කරන ලද්දේ අද ලොව වෙසෙන මහලුම තැනැත්තා නම් මසාසෝ නොනාකා මහතා බවයි.


ඔහුගේ වයස අවුරුදු 112 දින 269 යි. 


ජපන් ජාතික මසාසෝ උපත ලැබුවේ 1905 ජූලි 25 වනදායි. ඔහුගේ පවුලේ අයගේ ව්‍යාපාරය උණුදිය උල්පතක් ආශ්‍රිත තානායමක් පැවැත්වීමයි. උණුවතුර උල්පතේ උණුසුම ලබමින්, ආස්වාදය විඳීම ඔහුට ඉතා දිගු කලක් මුළුල්ලේ පුරුදුය. ඔහුගේ නිවාසය පිහිටියේ ජපානයේ හොක්කයිදෝ දිවයිනේ අෂේන් ගම්මානයේයි.


ඔහු අද ලොව ඉතාම මහළු පුද්ගලයා වශයෙන් තහවුරු කොට ඔහුට ඒ පිළිබඳව නිල සහතික පත්‍රය පිරිනැමීමේ උත්සවය පැවැත්වුණේ ඔහුගේ නිවසේදීය. ඒ උත්සවයේ ප්‍රධාන අංගය වූයේ පලතුරුවලින් සරසන ලද විශාල කේක් ගෙඩියකි.


ඔහුගේ පවුලේ ව්‍යාපාරයට අවුරුදු 105 කි. ඒ ව්‍යාපාරය දැන් පවත්වාගෙන යනු ලබන්නේ ඔහුගේ මිනිපිරිය වන යූකෝ විසිනි.


තාමත් ඔහුගේ විනෝදාංශය, උණුදිය උල්පතේ ගිලී සිටීමයි. පැණිරස කෑම වර්ග ප්‍රියකරන මසාසෝ, වඩාත්ම කැමැත්තේ කේක් රස විඳින්නටයි. මහලු මසාකෝ නොනාකා සිය රෝද-පුටුවෙන් ඒ මේ අත ගමන් ගන්නේය. උදේ ආහාරයෙන් පසුව ඔහු හැමදාම පුවත්පත් කියවන්නේය. සුමෝ මල්ලවපොර නරඹන්නනටත්, සමුරායි නාට්‍ය බලන්නටත් ඔහු විසින් ඉමහත් රුචියක් දැක්වෙන්නේය.


ඔහුට සොහොවුරු - සොහොවුරියෝ සත්දෙනෙකි. මේ වනවිට, ඒ සියලුදෙනාම දිවිපෙවෙත අතැර ගොස්ය.


ඔහුගේ භාර්යාවත්, ඔහුගේ දරුවන් අතර නොමැත. වයස 112 වුව ද, ඔහු තාමත් තැන්පත්ය. ඔහු වෙසෙන්නේ සිතේ සතුටිනි.


 

පරිසර හිතකාමී එලිසබෙත් මහරැජිණ

පරිසරයෙහි අගය ඉතා ඉහළින් සලකන බි්‍රතාන්‍ය මහ රැජිණ, පාරිසරික සංරක්ෂණය ප්‍රස්තුත කොටගත්, විත්තිකතා චිත්‍රපටයක (documentary film) පෙනී සිටින්නීය. 


මේ පාරිසරික චිත්‍රපට නිර්මාණය නම් කෙරෙන්නේ මහ රැජිණගේ හරිත ග්‍රහලෝකය වශයෙනි.


මේ විත්තිකතා චිත්‍රපටයෙහි අන්තර්ගත වන්නේ ‘රැජිණගේ පොදුරාජ්‍ය මණ්ඩල වියන’ නම් ව්‍යාපෘතියේ ප්‍රගතියයි. මේ ව්‍යාපෘතියෙහි අරමුණ නම් පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රාජ්‍ය 53 හිම වන සංරක්ෂණ ක්‍රියාදාමය පිළිබඳ අන්තර් සබඳතා සකස් කෙරෙන ජාලයක් නිර්මාණය කිරීමයි. මේ විශිෂ්ට නිර්මාණයෙන් සංකේතවත් වන්නේ, පොදුරාජ්‍ය මණ්ඩලික දේශ උදෙසා මහ රැජින විසින් ඉටුකෙරුණු තාමත් ඉටු කෙරෙන පෘථුල මෙහෙයයි. ශ්‍රී ලංකාව ද මේ පොදු රාජ්‍ය මණ්ඩලීය දේශ 53 හට අයත් වන්නේය.


මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කෙරෙන්නේ එලිසබෙත් මහ රැජිණත්, ඒ චිත්‍රපටය කරන ප්‍රවීණ සිනමා විශේෂඥයා වන සර් ඬේවිඞ් ඇටන්වරෝ විද්වතාත් අතර පැවැත්වෙන සංවාදයකි. මහරැජින සහ සර් ඬේවිඞ් යන දෙදෙනාම 91 වන වියේ වෙසෙති.


අප්‍රේල් 16 වනදා පෙන්වන ලද මේ විත්ති කථා චිත්‍රපටයෙහි සුප්‍රසිද්ධ හොලිවුඞ් නිළි ඇන්ජලීනා ජොලී සහ ඇයගේ දරුවන් හය දෙනාද පෙනී සිටිති. මිහිතලය පුරා සංරක්ෂිත, පොදු රාජ්‍ය මණ්ඩලීය වන පද්ධතියක් පිහිටුවාලීමේ අරමුණෙන් කෙරෙන මේ ව්‍යාපෘතියට සහාය සැලසීම ගැන ඒ නිළිය මහරැජිණට උපහාර පිරිනමන්නීය. “මේ උතුම් කාන්තාව සත්‍යවශයෙන්ම කමනීයයි. එතුමිය මිහිතලයේ වෙසෙන ජනතාවගේ සුබසෙත ගැන දැඩිලෙස සැලකිලිමත් වන්නීය. ඔවුන්ගේ අනාගතය ගැන සිතන්නීය. එතුමියට ඕනෑ කරන්නේ, ඔබගේ මුණුපුරු මිනිපිරියන්, එතුමියගේ මුනුපුරු මිනිපිරියන්, සොබාදහමත්, සෙසු සංස්කෘතීන් අගය කරමින් නිදහසේ ඒ මේ අත දුවනු පනිනු දකින්නටයි.” 


මහ රැජින සහ චිත්‍රපට කාරක සර් ඬේවිඞ්ද, සුහද සංවාදයේ යෙදමින් මාලිගයේ උද්‍යානයෙහි සැරිසරති. ඒ මාලිගා උද්‍යානය අක්කර 40 කි.


මෙසේ ඒ දෙදෙනා, සන්සුන් මනසින්, කතාබහේ යෙදෙන්නේ ඉතාම නිහඬ සිත හද තුටුපහටු කරන මල්ගොමු, අතරින් ගමන් කරනවිටයි. හිටිහැටියේ, අති කර්ණකඨෝර රාවයක් නගමින් ගුවන් යානයක් ඔවුන්ට ඉහළ අහසේ පියාඹන්නේය.


එහිදී විශිෂ්ට හාස්‍යරසයක් දනවමින්, මහරැජිණ සිනාමුසුව, මෙසේ පවසන්නීය.


“දන්නේ නෑ” - හරියට ට්‍රම්ප් ජනාධිපතිත් ඔබාමා ජනාධිපතිත් වගෙයි සද්දේ.”


මහරැජිණ එසේ සිය රාජකීය හාස්‍ය රසය යොමුකරන්නේ, ජනාධිපති ඔබාමා සහ ජනාධිපති ට්‍රම්ප් විසින් භාවිත කෙරෙන නිල ගුවන් යානයේ කන්දෙදරවනා මහා රාවය දෙසටයි.


උයනේ ගමන් ගන්නා විට තවත් තැනෙක එතුමිය දකින්නේ පාතට නැමුණු පැළෑටියකි. “අපි ඒ පැළය දිහා නොබලා සිටිමු. ඒ පැළය නිකම් කලකිරිලා වගෙයි.” කිට්ටුව සිටින කෙනෙකුට එතුමිය මෙසේ පවසන්නීය.


“මේ පැළය වවා තිබෙන්නේ ඔය විදියට නැමී සිටින්නට නොවේ.” සිය සිනාකාමී බව ඉස්මතු කරමින් මහ රැජිණ මෙසේ කියන්නීය. “අපි දන්නෙ නෑ. කවුරු හරි උද්‍යාන ප්‍රිය සම්භාෂණය පැවැත්වූ වේලාවේ මේ පැළෑටිය උඩ වාඩිවෙලා සිටියද කියලා.”


RECOMMEND POSTS