ලොව පැරැණිම ආගමික සංදර්ශනය
ඉතිහාසය පුරා විවිධ සංදර්ශන පෙරහැර හා උත්සව පැවැත්වේ. මේවාට බොහෝවිට මුල්වන්නේ ආගමික සිද්ධි, ජාතික අවස්ථා හෝ ස්වභාවික හේතුයි. හේතුව කවරේ වුවද ඒ හැම එකකින්ම ආස්වාදය, සතුට හා ශ්‍රද්ධාව දැනවෙන්නේය. මෙවැනි පෙරහැර, සංදර්ශන ආදිය විසින් ජන කණ්ඩායම් ඒකාබද්ධ කරන මහා බලවේග වශයෙන් මානව සමාජයට ඉමහත් මෙහෙයක් ඉටු කෙරෙන්නේය.
සිරිලක් දේශය එවැනි පෙරහැර අතුරින් ප්රමුඛ ස්ථානය ගන්නා රාජ්‍යයකි. මක්නිසාදයත්, අපගේ ඇසළ පෙරහැර ලොව ඉපැරණි ආගමික සන්දර්ශනය වන හෙයිනි. මෙවර දළදා පෙරහැර, 1709 වන වාරයට පැවැත්වෙන බව ඓතිහාසික වාර්තා විසින් සපථ වෙයි. එවැනි ගෞරවයක් ලොව වෙන කිසිම ආගමික සංවිධානයක් වෙත පිරිනැමෙන්නේ නොවේ.
මේ ආදිතම ආගමික පෙරහැරේ ඉතිහාසය අති විභූතිමත්ය.
මේ ඉපැරණි පෙරහැරේ ඉතිහාසය ආරම්භ වන්නේ සිරිමේඝවන්න රජ දවසයි. සිරිමෙවන් නිරිඳුන්ට පෙර රට පාලනය කළේ මහසෙන්ය. මේ පාලකයා, මහාවිහාරයට විරුද්ධව නැගීසිට, බුදුසමයට ඉමහත් හානියක් කළේය.
මහසෙන් රජුගෙන් පසුව රජ පැමිණි සිරිමේඝවර්ණ සිය පියා නිසා සිදුවූ ශාසනික හානිය පිළිබඳව කම්පාවට පත්ව මේ දේශයේ කැපවූ ආගමික පුනරුදයක් සඳහා කැපවූයේය.
එසේ ශ්‍රේෂ්ඨ ආගමික මෙහෙයකට නායකත්වය දෙමින් සිරිමෙවන් රජු වෙහෙර විහාරාදිය තනවමින්, සිය පියාගෙන් සිදුවූ වැරදි අඩුපාඩු සඳහා වන්දි ගෙවද්දී ඒ නරේන්ද්‍රයාට අසහාය භාග්‍යයක් උදා වූයේය.
ඒ සිද්ධිය සිදුවූයේ සිරිමෙවන් රජුගේ රාජ්‍ය කාලය උදාවී අවුරුදු නවයකින් පසුවයි. වංශකථාවල දැක්වෙන පරිදි සිරිමෙවන් පාලනය ඇරඹුණේ ක්‍රිස්තු වර්ෂ 362 දීය.
ශ්‍රී ලංකාවට, ලෝක ඉතිහාසයෙහි අසහාය ස්ථානයක් ලබාදෙමින් ඒ සාමයිකා ප්රාතිහාර්යය සිදුවූයේ ක්‍රිස්තු වර්ෂ 371දීය. ඒ කියන්නේ අදට අවුරුදු 1648 කට පෙරය.
සිරිමෙවන් මහරජු හමුවට එක්වූ “භාග්‍යයෙහි” පුවත දේශීය වංශ කථාවල වාර්තාගත වේ.
එදා දඹදිව කාලිංග දේශයෙහි සිට, රාජකීය යුවළක් මෙහි ආහ. ඒ දෙදෙනා නම්කෙරුනේ හේමමාලා කුමරිය සහ ඇයගේ ස්වාමිපුරුෂ දන්ත කුමරුන් වශයෙනි. ඔවුන් මෙහි පැමිණියේ බමුණු යුවළක් සේ වෙස් වළාගෙනයි. මෙසේ වෙස් වළාගැනීමට හේතුකාරක වූ විශේෂ සිද්ධියක් තිබිණි.
ඒ දෙදෙනා සිරිමෙවන් රජු හමුවට පැමිණියේ ලොව මහාර්ඝතම වස්තුවක් රැගෙනය. ඒ අසහාය නිධානය නම් සම්මා සම්බුදු හිමියන්ගේ දන්ත ධාතුය.
හේමමාලාවගේ පිය රජු වූ කලිඟු රට ගුහසීව නරේන්ද්‍රයා, බුදු හිමියන්ගේ දළදා වහන්සේ ශ්‍රද්ධා භක්තියෙන් රැකබලා ගත්තේය. දළදා වහන්සේ සතුරන්ගෙන් බේරාගත නොහැකි යැයි හැඟුණු තැන ගුහසීව රාජයෝ සිය දියණියත් බෑණාවනුත් භාරයේ දළදා වහන්සේ රටින් පිට කළහ. ඒ යුවළ එම මා හැඟි වස්තුවත් රැගෙන ඒමේදී ඔවුන් බමුණු තවුසන් සේ වෙස්වළා ගත්තේ රාජ ලීලායෙන් ආයේ නම් අතරමග අතවර සිදුවිය හැකි හෙයිනි. දන්ත ධාතුන් වහන්සේ සඟවා ගන්නා ලද්දේ හේමමාලාවන්ගේ කේශ කලාපය තුළයි. මේ යුවළ බමුණු තවුස් වෙස්ගෙන ගමන් ගත්තේ ගොඩබිමින්දැයි සාගරයෙන්දැයි පැහැදිලිව නොදැක්වෙයි.
පූජාවලියෙහි මේ ප්‍රවාදය සඳහන් වන්නේ මෙසේය. “රන්මාලි (හේමමාලා) හා දන්ත රජ කුමරුවා හා දෙමහල්ලෝ වෙස්වළා බමුණු වෙස්ගෙන දළදා වඩා ගෙනවුත් ශ්‍රී ලංකාද්වීපයට බැස රජහට දැක්වූහ. රජ දළදා දැක ප්රාතිහාර්යෙන් පැහැදී එකෙණෙහි මුළු ලක්දිව දන්ත ධාතුවට බුදුන් උදෙසාම පූජාකොට කැන්දා දොරා වඩා අප්‍රමාණවූ මහත් පූජාකොට අටවිසි අවුරුද්දක් රාජ්‍යය කළේය.”
සිය පියාගේ ‘පව්’ සෝදා මහා ශාසනික මෙහෙයක් ඉටු කරන්නට සැදී පැහැදී සිටි සිරිමෙවන් රජුට දළදා හිමියෝ විශිෂ්ඨ තිළිණයක් වූහ.
රජු විශේෂ පළිඟු කරඬුවක දන්ත ධාතුන් වහන්සේ තැන්පත් කොට ඒ වස්තුව ධම්මචක්ක නම් මන්දිරයට ගෙන ආයේය. මේ මැදුර දෙවන පෑතිස් රජු විසින් තනනු ලැබූවකි. මෙසේ ශ්‍රී ලංකාවේ පළමුවන දළදා මන්දිරය පිහිටුවනු ලැබුවේය.
රජු කහවණු නව ලක්ෂයක් වැයකොට දන්තධාතුන් වහන්සේ උදෙසා එදා ඒ මහෝත්සවය පැවැත්වූයේය. එය ප්‍රථම දළදා පෙරහැරයි.
වර්ෂයක් පාසා, දළදා පෙරහැර පැවැත්විය යුතුයැයි නියම කරමින් දළදා උත්සව සම්ප්රදාය පිහිටුවන ලැබුවේ සිරිමෙවන් නිරිඳුන් විසිනි.
මේ නියමය හේතුකොට ගෙනත් අද පවා මේ දළදා පූජෝත්සවය පැවැත්වෙන හෙයිනුත් දළදා පූජා මහෝත්සවය ලොව ඉපැරණිම සාමයික සන්දර්ශනය බවට වාර්තාගත වන්නේය.
මෙහිදී එක්තරා ‘පැණයක්’ පැන නගින්නේය. මේ දේශයේ කිසිම පාලකයෙක්, මේ ශ්‍රේෂ්ඨ සාමයික ප්රාතිහාර්යය පෑ යුවළ උදෙසා ප්‍රතිමා නොපිහිටුවනු ලද්දේ මක්නිසාද?
කිසිම දළදා පෙරහැරකදීවත් මේ අති විශිෂ්ට සාමයික වීරයන්ගේ ප්‍රතිමා ප්‍රදර්ශනය නොවේ.
දළදා මැදුර ආශ්රිත බිම් පෙදෙසක හෝ මේ යුවළ නිරූපනය කෙරෙන පිළිරූ තිබිය යුතුයැයි මට හැඟේ.
ඒ පැනය කෙසේ වුවද, දළදා පෙරහැර නිසා සිදුවූ කලා හා සංස්කෘතික පෝෂණය නම් විස්මය දනවනසුළුය.
ඉතා ඈත අතීතයේ සිට පැවත එන නැටුම්, ගැයුම්, විශේෂ අදත් සුරැකී තිබෙන්නේ මේ වාර්ෂික සාමයික හා සංස්කෘතික සන්දර්ශනය නිසාය.
පරම්පරාගතව එන චාරිත්‍ර වාරිත්‍ර රටාව මේ අසහාය සාමයික සන්දර්ශනයෙන් මුළු දේශයටම පිරිනැමුණු උදාර සංස්කෘතික දායාදයකි.
මුල් යුගයේදී රාජ නියමයෙන් ක්රියාවේ යෙදුණු දළදා පෙරහැර ආශ්රිත වතාවත් රටාව දේශජ සංස්කෘතියේ අඛණ්ඩත්වයට සැපයෙන, විශිෂ්ට නිදර්ශනයකි.
දළදා පෙරහැර වටා විහිදෙන ජන විශ්වාස සමුදාය, මේ ආගමික සන්දර්ශනයෙන් දිගුකලක් මුලුල්ලේ සිදුවන පෘථුල බලපෑම ව්‍යක්ත ලෙස ප්‍රකාශ කරන්නේය.
මහනුවර ප්‍රදේශය අවට ගැමි ජනපදවාසීහු දළදා පෙරහැර සිය ජීවිතයේ ප්‍රබල අංගයක් කොට ගනිති. අද පවා පවත්නා අංගයක් කොටගෙන සිටිති. ඔව්හු දළදා පෙරහැර ආවිට සිය ජීවිතයේ අඩුපාඩු සපිරේයැයි යන දැඩි විශ්වාසය සහිත වෙති.
ජීවිතයේ වර්ධනයෙහි අවස්ථා දළදා පෙරහැර වටා හැඩගැසේ. දරුවන් කුඩා කාලයේ දෙමාපියෝ අනිවාර්යයෙන්ම ඔවුන් දළදා පෙරහැර බලන්නට කැටුවයති.
දරුවන් වැඩි යොවුන් විය පත්වූ විට සිය පෙම්වතුන් හෝ පෙම්වතියන් සමග දළදා පෙරහැර නැරඹීම ප්‍රේමය මුහුකුරා යෑමට හිතකර යයි යෞවන පරපුර තුළ හැඟීමක් ඇත්තේය.
මේ ආකාරයේ හැඟීම් රටා පරම්පරාවෙන් පරම්පරාවට විහිදෙන්නේය.
අද ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේදී දළදා පෙරහැර හා එහි අංගෝපාංග විදේශික ආකර්ෂණය ලබන්නේ ඒ සිද්ධි මාලාව සංචාරක ව්‍යාපාරයේ ප්‍රබල ප්‍රදේශයක් බවට පත්කරමිනි.
පසුගිය යුගයෙක, දළදා මැදුරේ මහා හස්ති රාජයා වශයෙන් සළකනු ලැබූ රාජා නම් දළදා හාරක හස්තියා, ලෝකයේ ඉතාම බහුල වශයෙන් රූපගතවූ සත්ත්වයා හැටියට පිළිගැනුනේය.
අද විද්්‍යුත් මාධ්‍ය තාක්ෂණය පිළිබඳ ඉතාම දියුණු කාල පරිච්f්අනඅඡ්දයයි. ඒ නිසා සිය නවීනතම විද්්‍යුත් මාධ්‍ය උපකරණයෙන් දළදා පෙරහැර සටහන් කොට ගැනීම දෙස් විදෙස් සංචාරකයන්ගෙන් බහුතරයක් අතර පවත්නා දැඩි කැමැත්තකි.
විද්්‍යුත් කැමරාකරණ ක්ෂේත්රයෙහි සිදුවීගෙන යන ශීඝ්‍ර විකාශනය නිසා දළදා පෙරහැර චල කැමරාවට නැගීමේ ක්‍රියාදාමය පිළිබඳ නවීකරණයක් සකස් කරන්නට දළදා පෙරහැර පාලකයන් තීරණය කොට ඇත්තේය.
එක් එක් නාළිකාව විසින් තම තමන්ගේ අභිලාෂයනට අනුව දළදා පෙරහැර රූපගත කිරීමේදී ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවිය හැකි යැයි දළදා පෙරහැර සංවිධාකයෝ සිතති. එක් එක් ආයතනයේ හෝ නාලිකාවේ හෝ පුද්ගලයාගේ හෝ රූප මාලාව මගින් ප්‍රේක්ෂකයන්ට පෙරහැරේ විභූතිය ක්‍රමවත්ව සහමුලින්ම දැකිය හැකි නොවේය යන සංකල්පය සංවිධායකයන් කෙරේ බලපා ඇත්තේය.
ඒ නිසා සංවිධායකයන් විසින් වඩා සාධාරණ යැයි සැලකෙන “ක්‍රමාවලි” ක්රියාවේ යෙදෙන්නේය.
සංවිධායකයන් විසින් පත්කොට ගන්නාලද විශේෂ කණ්ඩායම්වලට මේ දළදා පෙරහර සම්පූර්ණයෙන්ම රූපගත කරන්නට අවසර සපයා ඇත්තේය. ඒ අවසර ලද පිරිස විසින් සම්පාදනය කෙරෙන පූර්ණ චල රූ වාර්තාව, නාළිකා හැම එකකටම නොමිලයේ සැපයේ.
මෙය දළදා පෙරහර සංවිධායකයන් විසින් ප්රේක්ෂකයනට ඉටු කෙරෙන විශේෂ සංග්‍රහයක් වැන්න.
දළදා පෙරහර හා සබැඳි මානව අංශය, ඒ වටා ගෙතී ඇති හැඟීම් ප්‍රවාහය කිසිවිටෙකත් පරිපූර්ණයෙන් වාර්තා ගත කොට නොමැත.
දළදා පෙරහරේ අලි ඇතුන්ගේ ඇඳුම් පැළඳුම් අංශය එවැනි සුවිශේෂී පක්ෂයකි.
පරම්පරාගත පවුලක්, ඒ රාජකාරිය භාරව සිටින බව බොහෝ දෙනා නොදනිති.
අලි ඇඳුම් සකස් කිරීමේ ඉතිහාසය ද පර්යේෂණයකට ඉතාම සුදුසු ප්රදේශයකි.
දිගු කලක් මුළුල්ලේ මේ අසහාය සාමයික සන්දර්ශනය වටා එක්රැස් වී තිබෙන හැඟීම් ප්‍රවාහය, විස්මය දනවනසුළුය.
පෙරහරේ යන ඇතැම් අලි, සංදර්ශනය අවසානයේදී සිය හිස, දළදා මැදුරේ පියගැට මත තබා වැළපෙන ආකාරය ඇතැම්මු වාර්තා කරති.
සන්දර්ශනයට සහභාගී වන අති පෘථුල ජන කණ්ඩායම සහ අලි ඇතුන් ගණය වටා වැඩුණු මානව පක්ෂය පිළිබඳ හැදෑරීමක් ද ඉතා වටිනා මානව මෙහෙයකි.
දළදා මැදුරේ සංවිධායකයන් පිළිබඳ සම්ප්රදායයන් ඉතා ඈත අතීතයේ සිට පැවතෙන ආකාරය, තාමත් ක්‍රමවත්ව වාර්තා කොට නොමැත.
අස්ගිරි - මල්වතු මහා ආයතනයන්ගේ ක්‍රමවත් නිරීක්ෂණය යටතේ පැවැත්වෙන මේ මහා සන්දර්ශනය, ඒ ශ්‍රේෂ්ඨ යතිවරයාණන් වහන්සේලාගේ සම්ප්‍රදායික කැපවීමට, ඉතා විචිත්‍ර නිදර්ශනයකි.
දළදා මන්දිරයත්, වාර්ෂික දළදා පෙරහරත්, මේ දේශයේ හැම කෙනකුගේම ආධ්‍යාත්ම ගත වියයුතු උදාර ආයතන වශයෙන් සැලකිය යුතු වන්නේය.
ජාතියක්, දේශයක් හා ආගමක් වශයෙන්, අප විසින් දළදා පෙරහර ආශ්රිත ඉපැරණි සම්ප්‍රදායයන්ට නිරන්තරව ගරු බුහුමන් කිරීම, අප කාගේත් උරුමය වන, දේශජ සංස්කෘතිය නිසි සේ රැකබලා ගනිමින් ඒවාට උපහාර කිරීමේ ක්රියාමාලාව වේ.
ශ්‍රී ලංකාවේ ඈත ඉතිහාසයෙහි සිට ශ්‍රී දන්තධාතූන් වහන්සේ, අපගේ දේශයේ ආදීනත්වය පිළිබඳ සංකේතයකි. ඇතැම් මහා යතිවරයාණන් වහන්සේලා, දිවි දෙවනකොට ශ්‍රී දළදා වහන්සේ රැකගත්තේ, ඒ චින්තනයෙන් ලද මෙහෙයීමෙනි.
නයිජීරියාවේ පාර්ලිමේන්තුවට ආ සර්පයා
නයිජීරියා පාර්ලිමේන්තුවට හදිසියේ කඩා පැන්න සර්පයෙකු නිසා, මන්ත්‍රීවරු අතිශයින්ම බියපත් වූහ.
මන්ත්‍රීවරු පූර්ණ සාමාජික සංඛ්‍යාවක් සහිත පාර්ලිමේන්තු සැසි වාරයකට සැරසෙද්දී, විශාල සර්පයෙක් සභා ගැබින් ඉවත්ව ගියේය. සභා ගැබේ වහලේ සිට, පාතට වැටුණේ යැයි සැලකෙන සර්පයා, කිසිවකුටවත් දෂ්ට නොකොට ඉවත්ව ගියේය.
පාර්ලිමේන්තු සේවක පිරිස ඒ සර්පයා අල්ලා නසා දැමුවේය. මේ සර්පයා එහි සිටීමට හේතු වූයේ, සභා ගර්භය කලක් මුළුල්ලේ ප්‍රතිසංස්කරණය නොකිරීමයි. දින නියමයක් නොමැතිව පාර්ලිමේන්තුවට නිවාඩු දෙන්නට මන්ත්‍රීවරු තීරණය කොට ගත්හ.
සර්පයා කවර වර්ගයකට අයත්දැයි හඳුනාගන්නා ලද්දේ නොවේ.
නයිජීරියාව සර්පයන් ගහණ දේශයකි. වර්ෂයකට නයිජීරියානුවන් ලක්ෂයක් පමණ සංඛ්‍යාවකින් 500ක් පමණ දෙනා සර්පයන් විසින් දෂ්ට කෙරේ. අට දෙනකුගෙන් එක් අයෙක් මරුමුවට පත්වේ.
ජනාධිපති විවාහ වී වසර 73යි
ඇමෙරිකාවේ 39 වන ජනාධිපතිව සිටි ජිමී කාටර් මහතා, සිය භාර්යාව වන 91 හැවිරිදි රොසලින් මහත්මිය හා සමග විවාහ වී 73 වන වර්ෂය එළැඹියේ ජූලි මස හත්වනදායි. හිටපු ජනාධිපති ජිමී කාටර් මහතාගේ වයස අවුරුදු 94කි.
පැරැණි පතපොත
සර් තෝමස් මෝර්ගේ
“යුටෝපියා”
“යුටෝපියා” යන පදයෙහි අරුත වන්නේ “සියලු යස ඉසුරු පිරි” රාජ්‍යය යන්නයි. මෙය සිංහලයෙන් උතුරුකුරු දිවයින වශයෙන් ද නම් කළ හැකි වේ.
මේ ග්‍රන්ථය නිර්මාණය කරන ලද්දේ සර් තෝමස් මෝර් නම් වූ මහා විද්වතෙකු විසිනි. ඉංගිරිසි ජාතික පරිපාලනවේදියකු වූ සර් තෝමස් ග්රන්ථ ඥානයෙන් ඉතාම උසස් පඬිවරයෙකි.
ඔහු ශාන්ත තෝමස් මෝ වශයෙන් ද නම් කෙරේ. රාජ්‍ය පරිපාලනයේ ඉතා ඉහළ පදවි දැරූ සර් තෝමස්, සිය අධ්‍යාපනය ලද්දේ ඔක්ස්ෆෝඞ් විශ්වවිද්‍යාලයෙනි.
රාජ්‍ය සේවයේ යෙදී සිටියදී මේ විද්වතා අටවන හෙන් රජුගේ අප්‍රසාදයට භාජන වූයේය.
ඔහුගේ අසීමිත දක්ෂතාවලින් එකක් වූයේ ග්රන්ථකරණයයි.
ඒ විචක්ෂණයා විසින් කරන ලද “යුටෝපියා” නම් ග්‍රන්ථය, පරම්පරා ගණනක් මුළුල්ලේ ජන අවධානය දිනුවේය. “සර්ව සම්පූර්ණ රාජ්‍යය” යන අරුත දෙන “යුටෝපියා” නම් පදය ඉංගිරිසි භාෂාවේ පදමාලාවට ද එකතු වූයේය.
මෙවැනි සර්ව සම්පූර්ණ දේශ පිළිබඳව ග්රන්ථ කරන්නට, සෙසු ලේඛකයෝත් ප්‍රයන්ත දැරූහ.
සැමුවල් බට්ලර් නම් ලේඛකයා විසින් ද 1872කේදී ,ෑඍෑඋ්යෘභ, (නෝවෙයා - කිසි තැනක් නැති) නමින් එවැනි, උතුරුකුරු දිවයිනේ සංකල්පය සහිත ග්රන්ථයක් කෙරිණි. සර් තෝමස්ගේ “යුටෝපියා” ග්‍රන්ථය ලියැවුණේ 1516යේදීය.
සර්ව සම්පූර්ණ රාජ්‍යය පිළිබඳ සංකල්පය, කලක් මුළුල්ලේ ලොව පුරා පැතිර පැවැත්නේය. ඕල්ඩස් හක්ස්ලි විසින් 1962කේදී ලියන ලද “අයිලන්ඞ්” (දිවයින) නම් ග්‍රන්ථය ද එවැනි සර්ව සම්පූර්ණ දේශයක් විසින් විරචිත වූ කෘතියකි. ජේම්ස් හිල්ටන් විසින් ලියන ලද “ලොස්ට් හොරයිසන්” (නැතිවූ ලොව) නම් ග්‍රන්ථයේ ද ෂැන්ග්‍රිලා යැයි නම් කෙරෙන්, සර්ව සම්පූර්ණ රාජ්‍යයක් සඳහන් වේ. සර් තෝමස් මෝර් 1478 දී උපත ලැබ 1535 දී අභාවයට පත්විය.