ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා සෘෂිවරයාට 98



 

“භාෂාව කොපමණ අඩුපාඩු සහිතදැයි ඉතාම හොඳින් දැනෙන්නේ, කෘතඥතා පූර්වක පුද්ගලයාටයි. මහා අභිධර්ම වේදියකුටවත් භාෂාවේ සීමා එතරම් හොඳින් දැනෙන්නේ නැත.”
බි්‍රතාන්‍ය දර්ශනවාදී චාල්ස් කේලෙබ් කෝල්ටන් (1780-1832)
“වයසට යෑම හුදෙක් පුරුද්දක් පමණි. කටයුතුවල නිමග්න වූ කෙනෙකුට ඒ පුරුද්ද ලබා ගන්නට වේලාවක් නොමැත.”
ආන්ද්‍රේ මෝර්වා (1885-1967)
ප්‍රංශ ලේඛකයා

 

සිනමාවේ ඉහළ හිණිපෙතට නැඟ අද බොහෝ සේ මුනිවත රකිමින් සිය අධ්‍යාත්මය හා සමග නිහඬ කතිකාවක යෙදෙන, අති වයෝවෘද්ධ චිත්‍රපට ප්‍රාඥයෙක් අප අතර සිටී. ඒ ශ්‍රේෂ්ඨයා නම් අද ලොව ඉතාම වයස්ගත චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වශයෙන් ජගත් සම්මත, අපේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා ප්‍රාඥයායි.


එතුමා දිවි පෙවෙතෙහි අනූ අටවන වියට එළැඹීම අපේ දේශයේ සුවිශේෂී සිද්ධියකි. 


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මේ සිඟිති දිවයින සිය පදනම හා මූලස්ථානය කොට ගෙන ජගත් සිනමා ක්ෂේත්‍රය පුරාම සිය අනන්‍ය සලකුණ විහිදුවා ලූයේය. ඉන්දියාවේ සත්‍යජිත් රායි, ජපානයේ අකිරා කුරොසාවා සහ ස්වීඩනයේ ඉන්ග්මාර් බර්ග්මාන් යන අප යුගයේ දැවැන්ත සිනමා බුද්ධිමතුන් ත්‍රිත්වයට එක්වූ සිවුවැන්නා වශයෙන් ලෙස්ටර් ජේම්ස් පීරිස් අපගේ මේ “පුංචි ගෙදර” චිත්‍රපට වංශයද පෘථූල ජන අවධානයට ලක් කළේය.


කෙටියෙන්ම කිව හැක්කේ මෙයයි.


මුතු ඇටයකැයි පැසසුම් ලබන අපගේ මේ උදාර දේශයෙන් අද ජගත් මණ්ඩලයට පිරිනැමිය හැකි හොඳම නම වන්නේ “ලෙස්ටර් ජේම්ස් පීරිස්” යන්නය.


1919 අප්‍රේල් මස පස්වනදා උපත ලැබ අද අනූ අටවන වියේ වෙසෙන ලෙස්ටර් ජේම්ස් පීරිස් වයෝවෘද්ධය. පෘථූල අත්දැකීම් සම්භාරයකින් පිරිපුන්ය. කලා ක්ෂේත්‍රයේ අසහාය බහුශ්‍රැතයෙකි. මානව අවබෝධයෙන්, තියුණු විචක්ෂණ බවෙන්, හාස්‍යය සුමුසු රසිකත්වයෙන් සංකලනය වූ අධ්‍යාත්මයක් සහිතයි. කාලය විසින් දිරාපත් කළ නොහෙන පෘථුල කෘති මාලාවක් ඔහු මානව නිර්මාණ ගබඩාවට එකතු කොට සිටින්නේය. ශාඛා ප්‍රශාඛා සහිතව විහිද යා හැකි සිනමා වෘක්ෂයක් රෝපණය කළේය. ඔහුගේ නිපැයුම් මගින් ඔහු මුහුකුරා ගිය පරම්පරා දෙකක් පිහිටුවා ලූයේය. 


මේ සියල්ල නිසා “ලෙස්ටර් 98 දී” අප අධ්‍යාත්මය තුළ උතුරා යන ප්‍රමෝදය හා සමගම දැඩි කම්පනයක්ද උද්ගතවේ. මැදහත්ව අද සමාජ නිරීක්ෂණයේ යෙදෙන ඕනෑම කෙනකුට මෙයට හේතු සක්සුදක්සේ පෙනී යන්නේය.


අද අප වෙසෙන, මේ සමාජය පුරාම කර්ණක කඨෝර හද සිත දෙදරවන කර්කශ ප්‍රකාශ ඉවක් බවක් නැතිව පැතිර යන්නට පටන්ගෙන ඇත්තේය. මුද්‍රිත මාධ්‍ය හා විද්‍යුත් මෙවලම් ඔස්සේ මෙන්ම මහා මාර්ගවලත් අතුරු මං පෙත්වලත් කෝපාලාප, ක්‍රෝධ ප්‍රවාද, අවලාද දෝරේ ගලා යන්නේය. මෙය පක්ෂග්‍රාහී දෘෂ්ටියකින් කෙරෙන අටුවාවක් නොවේ. ඉතා මැදහත්, අපක්ෂපාතී උපේක්ෂා සහගත දැක්මක ප්‍රතිඵලයකි.


මෙවැනි විශාවාද පරිසරයකදී ලෙස්ටර් ජේම්ස් පීරිස් මාධ්‍ය විද්වතා පිළිබඳව කෘතගුණ පූර්වක, සුක්ෂම, ගැඹුරු අධි සංවේදී සංකථනයකට ඉඩක් කඩක් ලද හැකිද යන්න විමතියට තුඩු දෙන කරුණකි.


යන්තම් උඩින් පල්ලෙන් ගැට ගසාගත් අදහස් නම් බහුලව පළවන්නේ විය හැකිය. එහෙත් ජාතික මට්ටමෙන් ඉටුවිය යුතු මහා මානව කාර්යයක් වන එතුමාගේ අවධානය පිළිබඳ පරිපූර්ණ විශෘත විවරණයක් සඳහා අද අප සමාජයේ බුද්ධිමත් ක්‍රියාදාමයකට දොර විවර කොට ගත හැකිවේද?


එතුමාගේ ජීව විකාශනය කලාත්මක ප්‍රගතිය බුද්ධි චාරිකාව සිනමා ප්‍රවේශය නිර්මාණවලට පසුබිම්වන දර්ශනය එතුමාගේ ගැඹුරු බලපැම කෘති පිළිබඳ පෘථුල විචාර පෞද්ගලික විචිත්‍රත්වය චරිත ගති, අනාගත දෘෂ්ටිය ආදී මේ සියල්ල අන්තර්ගත වගකිව යුතු කෘති පෙළක් රජයේ අනුග්‍රහයෙන් හෝ නොපමාවම පළවිය යුතුවේ. මේ අදහස නිසි සත්පුරුෂයන්ගේ බැල්මට ලක්වේවා. මෙය අත්හල නොහෙන ජාතික අවශ්‍යතාවයකි. 


ඒ අතර ලෙස්ටර් චරිතයෙහි හා ඒ විද්වතාගේ නිර්මාණ පද්ධතියෙහිත් ඇතැම් අංශ දෙසට අප අනිවාර්යයෙන්ම නෙත් සිත් යොමුකළ යුතුවේ.


එතුමන්ගේ සිනමා කලා මෙහෙය ගැන සරලව අදහස් දක්වන බොහෝ දෙනා මෙසේ කියන්නට පුරුදුව සිටිති. “ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා කලාත්මක වූත් සිංහල වූත් චිත්‍රපට සම්ප්‍රදායක් ශ්‍රී ලංකාවට දායාද කළේය.” 


එහෙත් ඒ සේවය ඒ මතුපිට කියමනට වඩා බොහෝ සේ ගැඹුරුය. අප මේ පිළිබඳව තරමකට සිතිය යුතුවේ.


1947 දී පුරෝගාමී සිංහල චිත්‍රපට තැනූ අයට පැහැදිලි අරමුණක් තිබුණේය. එකල ශ්‍රී ලංකා සමාජය විනෝදාස්වාද මාර්ග දෙස තියුණු ලෙස යොමුවී උන්නේය. දෙවන ලෝක මහා සංග්‍රාමයේ “හඬ” තාමත් දෝංකාර දුන්නේය. යුද්ධ ආර්ථිකය නිසා බොහේ දෙනා අතේ මිල මුදල් ගැවසුණේය. ඒ ඉසුරුමත් බවත් අදිසියේ එළැඹිය හැකි යුද තර්ජනය පිළිබඳ හැඟීමත් යන දෙක එකට එකතු වූ විට මිනිස්සු “විනෝදබරව” චින්තනයකට ඇබ්බැහි වෙති. (මේ දර්ශනය ඉංගිරිසියෙන් හීඩොනිසම් “විනෝද පරම” නම් වේ) ඔවුහු එදා පැවැති ප්‍රධාන විනෝදාස්වාද මාර්ගය වන වේදිකා නාට්‍ය කලාවට ඇබ්බැහි වූහ. වේදිකා නාට්‍යකාරයෝ යහපත් ආදායම් ලදහ.


ඔවුහු මෙසේ තර්ක කළහ. වේදිකා නාට්‍යයක් වරකට පෙන්විය හැක්කේ එක් තැනක පමණි. එය එකෑවර කීප තැනක රඟ පෑ නොහේ. එහෙත් මේ වේදිකා නාට්‍යයක සිනමා පිටපත් තැනුවොත්, ඒ පිටපත්, එකෑවර ස්ථාන සීයක වුවද පෙන්විය හැකිය. ආර්ථික ලාභය පෘථූලය. මෙසේ ප්‍රථම සිංහල චිත්‍රපටය වශයෙන් 1947 ජනවාරි 21 වනදා “කඩවුණු පොරොන්දුව” ප්‍රදර්ශනය වූයේ කලාත්මක චින්තනයක ප්‍රතිඵලයක් වශයෙන් නොව වාණිජමය නිගමනයක තීරණය වශයෙනි. දකුණු ඉන්දියානු සිනමා ශෛලිය, අපගේ දේශජ චිත්‍රපට සම්ප්‍රදායට ආයේය.


ලෙස්ටර් විසින් කරන ලද්දේ සුලබ ඉන්දීය “බයිස් කෝප්” කලාවේ සරල රුචිකත්වයට පටහැනි වූ ගැඹුරු මානව දර්ශන දෙසට දේශජ සිනමා රුචිකත්වය යොමු කිරීමයි. මෙසේ ඔහුගේ දැවැන්ත ජයග්‍රහණය නම් සිංහල දේශජ සිනමාව යටකොටගෙන පැතිරයා හැකිව තිබුණු දකුණු ඉන්දීය රුචිකත්වය “පරාජය” කොට දේශීය සංස්කෘතික හරය අඩංගු නව සිනමා රුචිකත්වයක් ශ්‍රී ලංකාවට පුරුදු කිරීමයි. “ගම් පෙරළිය” ඒ දැවැන්ත ජයග්‍රහණයේ එක් ප්‍රතිඵලයකි. 


මේ නව සිනමා රුචිකත්වයක් අඩංගු ප්‍රබල සිනමා සම්ප්‍රදායක් මේ දේශයට තිළිණ කරන්නට මඟ පෑදුනේ ඔහුගේ චරිත විකාශනයෙනි.


ඔහු ඉහළ සිංහල මැද පංතියේ සංස්කෘතියකින් බිහිවූවෙකි. බටහිර සංස්කෘතික ඇවතුම් පැවතුම් ඔහුට කුඩා කල සිටම උපතින්ම පුරුදුවූ චරිත ගතිය ඔහු දේශජ සංස්කෘතිය නොතකා සිටියේ නොවේ. ඔහුගේ අපදාන වර්ධන යුගය වන ළමා සමයයේදී දේශජ සංස්කෘතික හර පද්ධති ඔහුගේ දහර මනසට ඇතුලු වන්නට ඉඩක් තිබුණේ නැත. ඒ සමාජ පංතියේ බොහෝ දරුවන්සේ ලෙස්ටර්ද, බටහිර සංස්කෘතියේ සුවඳ ආඝ්‍රාණය කළ කෙනෙකි. ඔහුගේ හිතාදර පියාණන් වන වෛද්‍ය ජේම්ස් ෆ්‍රැන්සිස් පීරිස් මහතා ළමා ලෙස්ටර්ට ක්‍රීඩා භාණ්ඩයක් තෑගි කළේය. එය මිලි මීටර් අටේ චිත්‍රපට ප්‍රක්ෂේපන යන්ත්‍රයකි. එකොඩැස්කෝ ප්‍රක්ෂේපනයෙන් කුඩා ලෙස්ටර් චාලි චැප්ලින්ගේ නිහඬ චිත්‍රපට නැරැඹුවේය. (මේ සෙල්ලම් බඩුවට කුමක් සිදුවීද?)


ඒ පවුල්වල අයට පුරුදු පරිදි යොවුන් වියේදී ලෙස්ටර් ලන්ඩන් ගියේය. ලෞකික වගකීම් නැති නිදහස් තරුණයකු වශයෙන් එදා ලන්ඩන්හි නිදැල්ලේ වාසය කළ ලෙස්ටර්ට තමා මෙන්ම නිදහස් මතධාරී තරුණ පිරිසක් හමුවූයේය. ඔවුහු ලන්ඩන්හි සැරසරමින් විත්තිකවා චිත්‍රපට තැනූහ.


මේ උද්‍යෝගිමත් තරුණ පිරිසට චිත්‍රපට කැමරාව ඉතා අගනා ක්‍රීඩා භාණ්ඩයක් වැනිවිය. ලෝකයේ ඉතාම විචිත්‍ර අගනුවරක් වන ලන්ඩන්හි සංකීර්ණ දිවි පෙවෙතට යම්කිසි නිශ්චිත අරුතක් දෙන්නට මේ තරුණ පිරිස විවිධ තේමාවලින් විත්ති කතා තැනූහ. මේ යොවුන් ක්‍රියාවලිය ලෙස්ටර්ගේ අනාගත වෘත්තිය දිවි පෙවෙත සඳහා අගයැති ප්‍රවේශයක් විය. නිසි ප්‍රස්තූත හා ඒවායේ සුක්ෂ්ම තැන්ද සිනමාත්කව අවබෝධකොට ගන්නට හා ඒවා අර්ථවත් ලෙස සකස් කොට අවසාන නිර්මාණයක් බිහිකොට ගන්නා ආකාරයෙන් ලෙස්ටර් හැදෑරුවේ ඒ ලන්ඩන් යුගයේදීය. 


ලෙස්ටර් ජේම්ස් පීරිස් තැරණයා, පෙරළා සිය රටට ආයේ එවකට රජයේ චිත්‍රපට අංශය භාරව සිටි රැල්ෆ්කීන්ගේ ආරාධනයෙනි. ඒ වන විට තරුණ ලෙස්ටර් හුදෙක්ම සිනමා මාධ්‍යයෙන්ම පමණක් සිය ශ්‍රව්‍ය දෘශ්‍ය කලාව ප්‍රගුණකොට ගෙන සිටි ශිල්පියෙකි. අන් බොහෝ දෙනා සිනමාවට ආයේ වේදිකාවෙනි.


ලෙස්ටර් එක්තරා භාග්‍යයක් උදාවූයේය. එතෙක් චිත්‍රපට තැනූ අය ලක් දෙරණ හොඳින් දැන සිටි අයයි. ලෙස්ටර්ට සිය නිජබිමත් අමුතුය. ඒ නිසා මේ දේශයේ ඇතැම් විභූතිමත් දර්ශන හා චරිත ඔහු නැරැඹුවේ අලුත් අත්දැකීම් ලබන්නෙකු ලෙසිනි. 1956 රේඛාවෙන් පසුව ලෙස්ටර් සිය ශිල්පීය ප්‍රවීණත්වයක් සිනමා කලා නිපුනතාවත් කෙමෙන් දියුණු කොට ගත්තේය. “ගම් පෙරළිය” ඒ විකාශනයේ උච්ච ප්‍රතිඵලයකි.


ඒ නිර්මාණය ජාත්‍යන්තර සම්මාන ලබන විට ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රී ලංකා සිනමාවේ ස්ථාවර සංකේතය බවට පත්වූයේය මෙසේ යමෙකු හෝ යම් කෘතියක් හෝ තහවුරුව පිහිටා ප්‍රබල ආයතනයක් බව විකාශනය වූ විට, ඒ පුද්ගලයා හෝ කෘතිය, ස්ථාවරව සිටී. එසේ ස්ථාවරව පිහිටන ආයතන ඉංගිරිසියෙන් නම් කෙරෙන්නේ ESTABLISHMENT, (එස්ටැබ්ලිෂ්මන්ට්) වශයෙනි. එය සෙලවිය නොහෙන බලවේගයක් බවට විකාශනය වන්නේය. යමෙකු හෝ යම් කෘතියක් ස්ථාවර වූ විට එයට විරුද්ධවන අයත් දියුණු වෙති. එහි අනුගාමිකයෝත් ප්‍රගතියට පත්වෙති. මෙසේ ඒ ආයතනය යම්කිසි ක්ෂේත්‍රයක ප්‍රගතිය කෙරේ බලපාන මහා වේගයනක් බවට පත්වේ.


ලෙස්ටර්ට පෙර සමයයෙහි සිංහල සිනමාව ශික්ෂණයෙකින්, ක්‍රමවත් බවකින් තොර, නිර්මාණ ක්ෂේත්‍රයක් විය. ලෙස්ටර් ඒ සියල්ල වෙනස්කොට චිත්‍රපට නිර්මාණය සම්භාව්‍ය ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළේය. නළු නිළියෝ, වෘත්තීය මට්ටමින්, ජගත් සිනමා තලයට යා හැකියන් බවට පත්වූහ. කොටින්ම හැත්තෑ හැවිරිදි සිංහල සිනමාවේ හදත් සිතත් බවට විකාශනය වූයේ ලෙස්ටර් චරිතය හා ඔහුගේ නිර්මාණ පද්ධතියයි. 


සිංහල සිනමාවට තියුණු වගකිව යුතු විචාර අවධානය ගෙන එන ලද්දේ ලෙස්ටර්ගේ නිර්මාණ මාලාව නිසාය.


අන්තු කංසනයෙන් තොරව මවිසින් කිවයුතු කරුණක් වෙයි. දේශජ සිනමා කලා විචාරයේ පුරෝගාමී මෙහෙයක් ඉටු කරන්නට මට අවස්ථාව උදාවිය. සිංහල සිනමාව පිළිබඳව ජගත් පාඨකයන් උදෙසා ප්‍රථම විචාරය ලියන ලද්දේ මා විසිනි. සිංහල සිනමාව උදාවී තුන් වසක් ගිය තැන ,Observer Pictorial, නම් වාර්ෂික ප්‍රකාශනයේ 1950 කලාපයෙනි මම, එතෙක් සිනමාවේ ප්‍රගතිය අල්ලමින් විචාරයක් සම්පාදනය කළෙමි. ඒ ඉංගිරිසියෙනි. 


ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳ ප්‍රථම ඩෙකියුමෙන්ටරි චිත්‍රපටය තනන ලද්දේ නීල් අයි. පෙරේරා නම් සිනමා ලෝලියා විසිනි. එහිදි ලෙස්ටර් හා සමග සම්මුඛ සාකච්ඡා පවත්වන විචාරකයා හැටියට මම තෝරාගනු ලැබුවෙමි.


ඒ විත්තිකථා චිත්‍රපටය (ඩොකියුමෙන්ටරි) ඉංගිරිසියෙන් තනන ලද්දේ ,Footsteps of on Asian Master, යන නමිනි. 
ලෙස්ටර් ජේම්ස් පීරිස් විද්වතා පිළිබඳ ප්‍රථම සිංහල ග්‍රන්ථය මවිසින් කරනු ලැබූවකි. “හුදෙකලා කලාකරු” නමින් 1972 පෙබරවාරි මාසයේ ප්‍රකාශිත ඒ කෘතිය, පිලිප් කුරේ විසින් ඉංගිරිසියෙන් ලියැවුනු පොතේ සිංහල අනුවාදයකි.


එතෙක් මෙතෙක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පිළිබඳව පොත්පත් සිය ගණනක් හා සිනමා සටහන් කිහිපයක්ද තැනී ඇත්තේය.
එහෙත් තාමත් ඒ ජාතික බුද්ධි නිධානය පිළිබඳව පරිපූර්ණ අධ්‍යයනයක් සැකසී නොමැත.


ඒ ප්‍රාඥයාගේ අනූ අටවන ජන්ම දිනය සමරන මේ මොහොතේදී එතුමන් උදෙසා එවැනි පෘථුල කෘතියක් සකස් කිරීමට රාජ්‍ය අනුග්‍රහයෙන්ම පුරෝගාමී පියවරක් තැබෙන්නේ නම් එය එතුමාට පිදෙන සනාතනික තිළිණයක් වෙයි.


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ප්‍රශස්ත නිර්මාණයක් වන “ගම් පෙරළිය” චිත්‍රපටයේ පිටපතක් පුනරුත්ථාපනයට පත්කොට විද්‍යාත්මක ක්‍රම මගින් එයට නව ජීවනයක් දෙන ලද්දේ ප්‍රංශය විසිනි. ඒ පුනරුත්ථාපන “ගම් පෙරළිය” ප්‍රංශ තානාපති කාර්යාලයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කෙරිණි. ඒ අවස්ථාවේදී ප්‍රංශ තානාපති මිෂෙල් ලුමෝ මහතාද එහි සිටියේය. ප්‍රංශය විසින් කරන ලද ඒ ශ්‍රේෂ්ඨ කලාත්මක ක්‍රියාව ගැන ප්‍රශංසා කිරීමට මම තානාපතිතුමා වෙත ගියෙමි. “ගම් පෙරළිය” මෙසේ අතිවිශිෂ්ට ලෙස පුනරුත්ථාපනය කිරිම ගැන මම තානාපතිතුමාට තුති පිදුවෙමි. ආචාර්ය ලෙස්ටර් ද මා හා සමඟ එහි සිටියේය. ආචාර්ය ලෙස්ටර්, ප්‍රංශ තානාපතිතුමා ඇමතුවේය. “තානාපති මහතාණෙනි, ඔබ මගේ චිත්‍රපටය ඉතා විශිෂ්ට ලෙස පුනරුත්ථාපනය කරලා තිබෙනවා. ඔබට ඔය වගේම මාත් පුනරුත්ථාපනය කරන්ට බැරිද?” 


ආචාර්ය ලෙස්ටර් ඒ පැනය විමසුවේ සිය ආත්මගත  හාස්‍ය රසය අවදි කරවමිනි. සියල්ලෝම සිනාසුනහ. මේ සිද්ධිය සිදුවූයේ 2009 නොවැම්බර් මාසයේදී තරංගනී සිනමා හලේදීය.


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජාතික හා ජාත්‍යන්තර නිධානයකි. ඒ මහා නිධානයේ භාරකාර සුමිත්‍රා පීරිස් මහත්මියද ජාතියේ උපහාරය ලද යුතුවේ.


ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා චිත්‍රපට තැනුවේය. ජගත් ප්‍රශංසාවට උචිත නළු නිළියන් පහළ කළේය. ඒ සියල්ලටම වඩා වටනේ මහාර්ඝ සිනමා කලාව හා ආශ්‍රිත ශික්ෂණය හා ගෞරවාන්විත බව සිනමා ලෝලීන්ගේ අධ්‍යාත්මයට පිණිසවීමෙන් එතුමා විසින් ඉටු කෙරුණු ජාතික සංස්කෘතික මෙහෙවරයි. එය එතුමන්ගේ සිනමා නිර්මාණ තරම්ම ප්‍රශස්තයි.


එතුමන් විසින් කරන ලද විප්ලවය නම් ශ්‍රී ලාංකික ජනතාවගේ සිනමා රුචිය උච්චතලයකට නැංවීමයි.


අපගේ දේශයේ සංස්කෘතියෙහි අනන්‍යතාව සුවිශිෂ්ට සිනමා තාක්ෂණයෙන් ලොවට බෙදා දෙන චිත්‍රපට ආශ්‍රිත ප්‍රවීන පිරිසක් හදා ගැනීමත් අප විසින් එතුමාට පිදෙන උපහාරයක් වේ.


ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිනමා ප්‍රාඥයාගේ නාමයෙන් ශ්‍රී ලංකාවේ අංගසම්පූර්ණ සිනමා මධ්‍යස්ථානයක් පිහිටුවාලිය යුතුවේ.
අන් හැම එකකටම වඩා ප්‍රමුඛත්වය ලද යුත්තේ විද්වත් බහුශ්‍රැත, සංවේදී, විනය ගරුක, ගැඹුරු විෂයාවබෝධයෙන් ගෙවුණු විචාරක පිරිසක් අපගේ දේශයට ලබාදීමයි. එයද ලෙස්ටර් උපහාර මාලාවට අයත් විය යුතු ප්‍රධාන අංගයකි.


දේශජ සිනමා සම්ප්‍රදායන් රැකගන්නට නම් අපගේ බාල පරපුර ක්‍රමවත් සිනමා සාක්ෂරතාවයකින් පෝෂිත විය යුතුය. ඒ නිසා විද්‍යායතන මට්ටමෙන් සිනමාව කියාදෙන පාඨමාලාද අපේ දේශජ සිනමා සංස්කෘතියේ අනාගතය සඳහා නැතිවම බැරිය.


ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රාඥයාට උපන්දින ප්‍රණාමයකි.

 

 

 

 


RECOMMEND POSTS