ලන්ඩනයේ ත්‍රස්ත ප්‍රහාරය



 

“ත්‍රස්තවාදයෙහි, (දරුණුකමෙහි) අවසාන, දුබලතාව නම් එය විසින් නැති කරන්නට අදහස් කරන දෙයම, එය විසින් යළි උපදවා ලීමයි. නපුරුකම් දුරුකරනු වෙනුවට ත්‍රස්තවාදය විසින් එය වැඩි වශයෙන් බෝ කෙරෙන්නේය.”
- මාටින් ලුතර් කිං (කණිෂ්ඨ) (1929-1968) ජනතා අයිතිවාසිකම් පිළිබඳ ඇමෙරිකානු වීරයා

සාමය, තැන්පත්කම, විනීත පුරවැසි බව ප්‍රදර්ශනය කෙරෙන අගනුවරක් වශයෙන්, ලන්ඩන් නගරය කීර්තියක් දරන්නේය. එහි පොලිස් නිලධාරින් විසින් සිය රාජකාරි ඉටුකිරීමේදී දක්වනු ලබන සුහදභාවය, විදේශික සංචාරකයන්ගේ පවා ප්‍රශංසාව දිනන සුළුය. වෙන අන් අගනුවර බොහොමයකදී මෙන්, ලන්ඩන්හිදී පහසුවෙන් ගිනි අවි මිලට ගැනීමක් කළ හැක්කේ නොවේ. එසේ වුවද පුරවැසි ජනතාවගේ නිදහස ආරක්ෂා කරන අග නගරයක් වශයෙන් ලන්ඩන් නගරය සුවිශේෂි ස්ථානයක් දරන්නේය. තරමක් දිගු කලක් මුළුල්ලේ ලෝකයේ අගනුවර රාශියකම සිදුවූ ක්‍රියාදාම වැනි ත්‍රස්තවාද ප්‍රහාරවලට ලන්ඩන් නගරය ගොදුරු නොවීය.
එහෙත් ඒ නගරයද කාලයකට පසුව ත්‍රස්තවාදීන්ගේ ඉලක්කයක් බවට පත්විය.


ලන්ඩන් නගරයේ හදවත වශයෙන් සැලකෙන පෙදෙසට ත්‍රස්තවාදයේ තර්ජනය එල්ල වුණේ මෙම මාර්තු මස විසිදෙවන බදාදායි.
එදින අපරභාග 2.40 ට මධ්‍යම ලන්ඩන් නගරයේ වෙස්ට්මින්ස්ටර් පාලම ඔස්සේ මොටෝ රියක් ගමන් කළේය. මේ පාලම පිහිටියේ බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට යන මාවතේයි.


මොටෝ රථය ගමන් කළේ ශ්‍රී ලංකා වේලාවෙන් අපරභාග 8.15 ටයි. මෝටෝ රිය පැදවූ තැනැත්තා පාලම මත සිටි මිනිසුන් ඉවක් බවක් නැතිව යටකරමින්, සිය රථය මාරක අවියක් සේ ගෙන ගියේය.


ඒ රථය කුලී රියකි. මාරාවේශයෙන් මෙන් ඔහු විසින් පදවන ලද රිය පදික වේදිකාවේ හැපුණේය. එයත් නොතකා ඒ රිය පැදවූ ත්‍රස්තවාදියා, පදික මාවතත් සාමාන්‍ය මාර්ගයක් ඔස්සේ “බි්‍රජ් වීථිය” (පාලම් මාවත) දෙසට රිය ගෙන ගියේය. එහිදී පාර්ලිමේන්තුවේ සීමා වැටේ රිය ගැටුණේය. රිය පැදවූ නපුරා රියෙන් එළියට පැන්නේය.


අතින් පිහියක් ගෙන සිටි ඒ ත්‍රස්තවාදියා, අල්ලා ගන්නට ගිය කීත් පාමර් නම් පොලිස් කොස්තාපල්වරයා, ත්‍රස්තවාදියාගේ පිහි පහරින් එතැනම මැරී ගියේය. ක්ෂණයකින් එහි පැමිණි පොලිස් නිලධාරින්ගේ වෙඩි පහරින් ත්‍රස්තවාදී දාමරිකයාද මැරුනේය.


මේ මුළු ත්‍රස්තවාදී ඛේදවාචකයටම ගතවූයේ හුදෙක් තත්පර 82 ක් පමණයි. එහෙත් ඒ සුළු මොහොත නිසා සාමකාමී ලෝකයම කම්පාවට පත්වූයේය.


 මීට අවුරුදු එකොළහකුත් මාස අටකට පෙර එනම් 2005 ජූලි මාසයේදී ලන්ඩන් නගරයට දැවැන්ත ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූයේය. එහිදී මධ්‍යම ලන්ඩන් නගරයේ උමං දුම්රිය ස්ථානවල සහ බස් රථවලත්, ත්‍රස්තවාදී පිපිරීම් සිදුවූයේය. ඒ හේතුකොට ගෙන පනස් දෙනෙකුගේ පමණ ජීවිත විනාශ විය. හත්සියයකටත් අධික සංඛ්‍යාවක් තුවාල ලැබූහ. එය එදා නම් කෙරුණේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව ලන්ඩන් නගරයට එල්ල වුණු ඉතාම භයානක ප්‍රහාරය හැටියටයි.


මේ මාර්තු 22 වැනිද බදාදා බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවූ ත්‍රස්ත ක්‍රියාව, තනි පුද්ගලයෙකුගේ දාමරිකකමකැයි, බොහෝ දෙනා සිතූහ.


මාරක රිය පදවාගෙන ආ ත්‍රස්තවාදියා, මුලින් හඳුනා ගන්නා ලද්දේ පනස් දෙහැවිරිදි ඛලීඞ් මසූඞ් නැමැත්තෙකු වශයෙනි. බි්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය පැවසුවේ මෙම තැනැත්තා බි්‍රතාන්‍ය බුද්ධි සේවයේ අවධානයට පත්ව සිටියෙකු බවත් ඔහු “අප්‍රධාන” සැකකරුවකු නිසා ප්‍රහාරයක් සංවිධානය කරන්නකු වශයෙන් දැන නොසිටි බවත්ය.


 පසුව ලද විස්තරවලට අනුව මේ සාහසිකයා, ඒඩි්‍රයන් රසල් අජාවෝ නමින් බි්‍රතාන්‍යයේ උපත ලද්දෙකි. ඔහුගේ මව සුදු කාන්තාවකි. පියා කළු ජාතිකයෙකි. පසුකලෙක “ඒඩියන්” ඉස්ලාම් සමය වැළඳ ගත්තේය. 2004 දී ඔහු මුස්ලිම් කාන්තාවක් විවාහ කොට ගත්තේය. 2005 දී ඔහු ආචාර්ය වෘත්තියක් සඳහා සවුදි අරාබියට ගියේය. (ඔහු ඉගැන්වූයේ කුමක්දැයි වාර්තා නොවේ.) ඔහු 2009 දී පෙරළා ලන්ඩන් ආයේය.


 විනෝද සංචාරය සඳහා ලන්ඩන් නගරයට පැමිණ සිටි දකුණු කොරියානු, රුමේනියානු, පෘතුගීසි ආදි විදේශිකයෝද. මාරක රථයට යටවූවන් අතර වෙති. තුවාල ලැබුවන් අතර සිටි ප්‍රංශ පාසල් දරුවන් තිදෙනෙකු බලන්නට, ප්‍රංශ විදේශාමාත්‍ය ෂාං මාක් අයිරෝ මහතා ද ලන්ඩන් ගියේය.


 මේ ත්‍රස්තවාදී සිද්ධිය සතු විශේෂ ලක්ෂණ කිහිපයක් වේ. මෙයට කලකට පෙර, බොහෝ ත්‍රස්තවාදීහු “මරාගෙන මැරෙන” කල්ලිවලට අයත්ව සිටියහ.


තරමකට ඉහත කාලවලදී, ඇතැම් ත්‍රස්තවාදීහු මොටෝ රිය වලින් අවුත්, ඉලක්ක පුපුරුවා හැරීම් කළහ. මේ ක්‍රමය, කලක් නැවතී තිබී පසුගිය දා එය යළිත් “ත්‍රස්ත මෝස්තරය” බවට පත්වී තිබේ.


ගිය අවුරුද්දේ ප්‍රංශයේ නීස් නගරයේ එක්වූ විනෝදකාමී පිරිසකට අයත් බාල, මහලු, තරුණ පිරිස් යටකොටගෙන, ත්‍රස්තයෙක් මොටෝරියක් පැදවූයේය. නත්තල් සමයේදී ජර්මනියේ බර්ලින්හි වෙළෙඳ සංකීර්ණයකටද, මොටර් රථ ත්‍රස්තයෙක් පහරදී ජීවිත ගණනක් විනාශ කළේය. ලන්ඩන් ප්‍රහාරය සිදුවූ දාට පසුවදාම මාර්තු 23 වන බ්‍රහස්පතින්දා බෙල්ජියමේ ඇස්ට්වර්ජ් වෙළෙඳ සංකිර්ණයකටද ත්‍රස්තයෙක් මෝටෝ රථයක් පදවාගෙන ආයේය. ශීඝ්‍ර වේගයෙන් ජනකාය දෙසට රියපැදවූ ඔහු පොලිසිය විසින් අල්ලා ගන්නා ලදී. ඔහුගේ රියේ රයිෆලයක්ද, කඩු කිණිසි ආදියද තිබිණි.


 මේ ලන්ඩන් නගරයට ආ ත්‍රස්තවාදියා, කල්ලියකට අයත්ද නැද්දැයි සැකයක් පවතී. ඔහු ජීවිත කීපයක් විනාශ කිරීමේ විකෘති “බාරයක්” ඔප්පු කරන්නට ආ අයෙක්ද? ඒ එක් පැණයකි.


මේ ත්‍රස්තවාදියාගේ මව ජාත්‍යන්තර මාධ්‍ය මගින් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තමාගේ “දරුවා” ඉතා කීකරු, තැන්පත් අයකු බවයි. එසේ නම් ඔහු ත්‍රස්තවාදය හිමිකොට ගත්තේ කාගෙන්ද?


මේ ත්‍රස්තවාදි ක්‍රියාව, තමන්ගේ වැඩකැයි ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක් කියා සිටියද, නිරික්ෂකයන්ගේ නිගමනය නම් මේ නපුරා, යම්කිසි කල්ලියක කෙනකු බව තාම තහවුරු වී නැති බවයි.


 මේ ලන්ඩන් ප්‍රහාරයේ තවත් බැරෑරුම් පැති කිහිපයක් වේ. මාර්තු මාසය, බි්‍රතාන්‍යයට ඉතාම ප්‍රබල ප්‍රශ්න කීපයකට මූණ පාන්නට සිදුවී තිබෙන කාල පරිච්ජේදයකි.


සාමාජික රාජ්‍යයක්, යුරෝපා සංවිධානයෙන් ඉවත්ව යෑමේ ක්‍රියාවලිය එක්තරා නියමිත කාල සීමාවකට පෙර ඉටුවිය යුතුය. යුරෝපා සංවිධානය කෙරේ බලපාන නීති පද්ධතියේ පනස්වන වගන්තියට  අනුව බි්‍රතාන්‍යය යුරෝපා සංවිධානයෙන් ඉවත්ව යෑමේ මූලික ක්‍රියාවලිය 2017 මාර්තු විසිනව වනදාට පෙර සම්පූර්ණ කළ යුතු වේ. ඒ දිනයට පෙර ඒ රාජකාරි සම්පූර්ණ නොවී නම් සංවිධානයෙන් බැහැර වීමේ ක්‍රියාවලිය ආරම්භ කරන්නට බැරිය.


 බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට ත්‍රස්ත ප්‍රහාරය එල්ලවූ මාර්තු 22 වනදා, ඒ පාලන මණ්ඩලයේ සාමාජික  මැති ඇමැති පිරිස බැරෑරුම් විවාදයක යෙදී උන්හ. ඒ අවස්ථාවේදී හදිසියේම පාර්ලිමේන්තුව වසා දමා, පොලිස් නිලධාරිහු ඇතැම් මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තුව නරඹන්නට අවුත් සිටි පිරිසත්, කිට්ටුව පිහිටි සුප්‍රසිද්ධ වෙස්ට් මින්ස්ටර් ඇබේ දේවස්ථානයෙහි තාවකාලිකව රැඳවූහ.
අගමැතිනි තෙරේසා මේ මහත්මියට විශේෂ ආරක්ෂාව සැලසිනි.


 මෙහිදී ලෝකයාගේ අවධානයට ලක්වූ ලක් විය යුතු ප්‍රධාන කරුණු කීපයක් වේ. ඉන් පළමුවැන්න නම් මෙවැනි අන්තරායදායි මොහොතකදී බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරුන් විසින් ප්‍රදර්ශනය කරන ලද ශික්ෂණය හා විනයගරුක බවයි.


 ත්‍රස්ත තර්ජනයෙන් පසුවදා (මාර්තු 23 වන බ්‍රහස්ප්‍රතින්දා) බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ හැම දෙනාම පාහේ ඒ ස්ථානයට පැමිණ සිටියහ. බි්‍රතානය පාර්ලිමේන්තුවේ සම්පූර්ණ සාමාජික සංඛ්‍යාව 650 කි. කථානායක ජෝන් බර්කොව් මහතාගේ මඟ පෙන්වීමෙන් අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ නායකත්වයෙන් පැවැති විවාදයේදී පක්ෂ භේදාදී කිසිවක් නොතකා මෙහිදී හැමෝම ඒකාබද්ධව මේ අර්බුදයට මූණ පාන්නට එකඟවූහ. විරුද්ධ පක්ෂ නායක ජෙරම් කෝබින් මහතා ද සිය සහාය පළ කළේය.


 මෙහිදී වෙසෙසින්ම මගේ අවධානය යොමුවූයේ කවර අර්බුදයකට හෝ කොපමණ බැරෑරුම් අන්තරායකට හෝ තමන් නොසැලී මූණ දෙන බව දක්වමින් අගමැති තෙරේසා මහත්මිය විසින් කෙරුණු දැඩි අධිෂ්ඨාන පූර්වක ප්‍රකාශයයි.


අර්බුදයකනි නොසැලෙන, අභීත බි්‍රතාන්‍ය ලක්ෂණය, සම්භාව්‍ය ලෙස දෙවන ලෝක මහා යුද්ධ සමයේදී ප්‍රදර්ශනය කර සිටින ලද්දේ අගමැති වින්ස්ටන් චර්චිල්ගේ වාග් චාතුර්යයෙනි.


විස්මයකට මෙය 2005 ජූලි ත්‍රස්තවාදයේදී බි්‍රතාන්‍යයේ අභීත අධිෂ්ඨානය දක්වමින් එදා අගමැතිව සිටි ටෝනි බ්ලෙයාර් මහතාද චර්චිල් අභීත සම්ප්‍රදායය තහවුරු කළේය. ඔහු 2005 ජූලි මාසයේ කළ ප්‍රකාශය මෙසේය.


“ඔවුන් අප බියවද්දන්නට සැරසෙන විට අපි බියපත් නොවන්නෙමු. මේ (ත්‍රස්ත) ක්‍රම මගින් ඔවුන් අපගේ දේශය හෝ අපගේ ජීවන ශෛලිය හෝ වෙනස් කරන්නට ප්‍රසන්ත දරන විට අපි වෙනස් නොවන්නෙමු. ඔවුන් අපගේ ජනතාව බෙදන්නට හෝ අපගේ අධිෂ්ඨානය දුබල කරන්නට හෝ වැර දරන විට අපි නොබෙදෙන්නෙමු. අපගේ අධිෂ්ඨානය අචලයි.”


විස්මය මෙයයි. වින්ස්ටන් චර්චිල්, ටෝනි බ්ලෙයාර් යන නායකයන් ඒ අවස්ථාවලදී ස්ථාවර කළ බි්‍රතාන්‍ය දේශයේ අචල අධිෂ්ඨානය, මාර්තු 23 වන බ්‍රහස්පතින්දා අගමැතිනි තෙරේසා මේ මහත්මිය විසින්ද. ඒ ආකාරයෙන්ම තහවුරු කිරීමයි.


කවරාකාරයක අර්බුදයක් හමුවේ හෝ නොසැලී සිටීමේ අචලත්වය ලොව සෑම කෙනෙකුගේම අවධානයට සුදුසු යහ ගුණයකි.
 දෙවන එළිසබත් මහ රැජින ප්‍රධාන කොට ගත් බි්‍රතාන්‍ය ජාතිකයෝ මේ ත්‍රස්තවාදී ක්‍රියාවට  පටහැනිව සිය සහයෝගය සපයන්නට එකාවන්ව එක්වූහ. ත්‍රස්ත ප්‍රහාරයට ඉලක්ක වූවන් කෙරේ සිය දුක පළකළහ.


කාන්තාවෝ අත්වැල් බැඳගෙන සිය සහයෝගිතාව පළකළහ.


මේ සියල්ල මැද්දේ අපගේ දැඩි සැලකිල්ල ලද යුතු තවත් පිරිසක් මෙහිදී ඉස්මතු වූහ. ඒ අය නම් ලන්ඩන්හි අපරාධ විරෝධී පොලිස් සංවිධානයි.


ලන්ඩන්හි සුප්‍රසිද්ධ රහස් පරික්ෂක මධ්‍යස්ථානයෙහි ත්‍රස්ත ක්‍රියා මර්දන අංශයේ නායක මාක් රෝලි මහතාත්, නියෝජ්‍ය සහකාර කොමසාරිස් තැන්පත් නීල් බාසු මහතාත්, මේ උසස් නිලධාරින් අතුරෙන්, මේ සිද්ධියේදී විශේෂයෙන් ජන අවධානයට ලක්වූ නිලධාරීන් දෙදෙනෙකි.


 ත්‍රස්ත ක්‍රියාවලට ලක්වූවන්ගේ සෙත පිණිස, ගුවන් ගිලන් යානයක් බොහෝ වේලාවක් අහසේ එක් තැනක රඳවා ගෙන සිටීමේ ක්‍රියාවද, මේ ත්‍රස්ත විරෝධි කාර්ය රටාවේදී දකින්නට ලැබුණු එක් විශේෂ සිද්ධියකි.  ලන්ඩන් හි නගරාධිපති සඩීක් ඛාන් මහතාගේ නායකත්වය යටතේ ශෝක ප්‍රකාශක සිද්ධියක්ද සංවිධානය වූයේය. “ලන්ඩන් නගර වැසියෝ කිසිවිටෙක ත්‍රස්තවාදයෙන් බිය නොවෙති” යිද, නගරාධිපතිවරයා අදිටන් පෙරටුව කියා සිටියේය.


 මේ සිද්ධිය පිළිබඳව ප්‍රකාශයක යෙදෙමින්, බි්‍රතාන්‍ය ස්වදේශ කටයුතු ලේකම් තැන්පත් ඇම්බර් රඞ් මහත්මිය වටිනා අදහසක් පවසන්නීය.


“ත්‍රස්තවාදීන්, දැන් දියුණු විද්‍යුත් මාධ්‍ය භාවිත කරන නිසා රාජ්‍ය බුද්ධි අංශත්, ඒ රහස් විද්‍යුත් පණිවිඩ ක්‍රම පිළිබඳව තියුණු අවබෝධයකින් යුක්ත වන්නට ඕනෑය. බි්‍රතාන්‍ය රහස් පරික්ෂක අංශය කොටස් දෙකකින් යුක්තයි.MILITA RY
INTELLIGENCE SECTION 5 සහ 6 වශයෙනි. (MI 5 සහකාර)M 11 5 ආදර්ශ පාඨයREGNUM DEFENDE M11 (රාජ්‍යයේ ආරක්ෂාව)
M11 6  ආදර්ශ පාඨයථ SEMPER OCCEULTUS  (සදා රහස්‍යයි)


බි්‍රතාන්‍ය බුද්ධි සේවයේ ප්‍රවීණත්වය නිසා මෙවර ලන්ඩන් ප්‍රහාරය සාර්ථක ලෙස පාලනය කොටගත හැකි විය.


 

 

ලෝකයේ වාසනාවන්තම රට නෝර්වේ රාජ්‍යය

 

අප වෙසෙන මේ මිහිතලයෙහි ඉතාම වාසනාවන්ත රාජ්‍යය කුමක්ද?වාසනාව තේරිමේ සූත්‍රය කුමක්දැයි පැහැදිලි නැතත් ලෝකයේ ප්‍රධාන පෙළේ විද්‍යාඥයන් කණ්ඩායමක් එකට එකතු වී ඉතාම වාසනාවන්ත රාජ්‍යය තෝරාගෙන ඇත්තේය. ඔවුන්ගේ පර්යේෂණය නම් කෙරෙන්නේ, වර්ල්ඞ් හැපිනස් රිපෝට් (ජගත් වාසනාව පිළිබඳ වාර්තාව) වශයෙනි.


ඔවුන් විසින් ලෝකයේ වාසනාවන්තම රට හැටියට නම් කෙරෙන්නේ නෝර්වේ රාජ්‍යයයි. මේ ප්‍රවෘත්තිය විවේචනයට ලක්කරන විචාරකයෙක් මෙසේ කියන්නේය. “ඔබට ලෝකයේ ඉතාම වාසනාවන්ත රටට යන්නට ඕනෑ නම් ඔබට මුදල් හදල් තිබීම පමණක් මදිය. ඔබ තද ශීතලට ඔරොත්තු දෙන ඇඳුම්, පැළඳුම් රැගෙන යා යුතු වෙයි.


 මේ තේරීම නිසා ඇමෙරිකානුන්ට දුකක් ඇතිවිය හැකි යැයි ඒ විචාරකයා කියන්නේය. මක්නිසාදයත් ඉතාම සල්ලිකාර දේශය වන ඇමෙරිකාවට ඒ ස්ථානය නොලැබීම නිසාය. ඇමෙරිකා එක්සත් ජනපද  රාජ්‍යයට හිමිවී තිබෙන්නේ 14 වන ස්ථානයයි.


 මේ පර්යේෂණයේ ප්‍රධානියා ජෝන් හෙලිවෙල් නම් ආර්ථික විද්‍යාඥයායි. වාසනාව තෝරනු ලබන්නේ මානව ගුණවලිනි. “මිනිසුන් අතර සුහද සබඳතා, විශ්වාසයෙන් දිගුකලක්  පවත්වාගෙන යෑම, ධනය නිසා අපහසු වේ නම් එවැනි ධනයක අගය කුමක්දැයි ඔහු විමසන්නේය. ඔහුගේ විශ්ව විද්‍යාලය පිහිටුයේ කැනඩාවේය. වාසනා මිම්මට අනුව කැනඩාවට හිමිවන්නේ  හත්වන තැනය.


නෝර්වේ දේශයට පෙර ලෝකයේ ඉතාම වාසනාවන්ත රාජ්‍යය වශයෙන් තේරී තිබුණේ ඩෙන්මර්කයයි.


 මේ වාසනාව පිළිබඳ ලේඛනයේ අන්තිම තැනට පත්ව තිබෙන්නේ මධ්‍යම අප්‍රිකානු ජන රජයයි.


 මේ පර්යේෂණයේ සම සංස්කාරකයකු වන ජෙෆ්රි සාක්ස් කියා සිටින්නේ නෝර්වේ රාජ්‍යයේ විවිධ ජන කණ්ඩායම් අතර ඉහළ සුහද සබඳතාවක් පවත්නා බවයි.


 මේ වාර්තාවේ සංස්කාරක තැන්පත් ජෝන් හෙලිවෙල් කියන්නේ නියම වාසනාව නම් කෙනෙක් කැමැති දේ කරන්නට ලැබෙන අවස්ථාව යැයි කියාය. කෙනෙකු සතු අධ්‍යාත්මික සුවය, වාසනාවේ ප්‍රධාන ලක්ෂණය බව ඔහුගේ මතයයි.


 මෙය බුදුවදනට බොහෝ සමීපය.


 

 

ඔටු පවුල සහ මිනිසා

 

 ගිනිගහන කාන්තාරයේ රත්වීමෙන් බේරෙන්නට මිනිසෙක් කුඩා කූඩාරමක් තනා ගත්තේය. කුඩා කූඩාරමේ සිහිල් සෙවණ ලබමින් ඔහු සැනසෙන විට, ඔහුගේ ඔටුවා, කූඩාරමට ඔළුව දැම්මේය.


ඔටුවා මෙසේ කීයේය. “මහත්තයා, මගේ ඔළුව රත්වෙනවා. මගේ ඔළුව කූඩාරම ඇතුළට ගන්නද?” මිනිහා පිළිතුර දුන්නේය.
“හා, ඔළුව ගනින්” ඔටුවා ඔළුව දාගෙන ටික වේලාවක් සිට යළිත් කතා කළේය.


“මගේ පිට රත්වෙනවා. මගේ ඉස්සරහ ගාත් දෙක කූඩාරමට ගන්නද?” මිනිසා මෙසේ කීය.


“ගන්නවා, ඉතින් ගන්නවා.”


ඔටුවා ඉස්සරහ ගාත් දෙකත් කූඩාරමට ඇතුල්කොට ගත්තේය. ගතවූයේ සුළු වේලාවකි. ඔටුවා නැවතත් ඇමතුවේය.


“මගේ මොල්ලියත් රත්වෙනවා.”


මිනිසා නොඉවසිලිව මෙසේ කීය.


“ඉතින් මොල්ලිය ගනින්.”


ඔටුවා මෙසේ කියයි. “මගේ පස්සා ගාත් දෙකත්...”


මිනිසාට කේන්තිය. “ඉතින් පස්ස ගාත් දෙකත් ගනින් ඔටුවෝ”


ටික වේලාවකින් ඔටුවාට තවත් දෙයක් අවශ්‍ය විය. “මගේ වලිගයයි, පසු පසයි.?”


මිනිසාට ඉවසිලි නැත. “මෙච්චර ගත්ත එකේ පස්සයි, වල්ගයයි ගනින්.”ඔටුවා සහමුලින්ම කූඩාරම ඇතුළේය. ඒත් ඌට තවත් කියන්නට දෙයක් ඇත්තේය.


 “මහත්තයා, මගේ භාර්යාව? ඈට දරුවෙකුත් ලැබෙන්ට ඉන්නවා.”


මිනිසාගේ නොඉවසිල්ලට නිම් හිම් නැත. ඒත් ඔහු මෙසේ කීයේය. “ගෑනිත් කූඩාරමට ගනින්.”


ඔටුවාගේ අවශ්‍යතා ඉවර නැත. 


“මහත්තයා තව එකයි ඔන්න මගේ පුංචි පැටියා...”


“ඌත් ගනින්, ඌත් ගනින්.”


ඔටුවාත්, ගර්භනී භාර්යාවත්, ඔටු පැටියාත් කුඩා කූඩාරම ඇතුළේය. මේ සතුන්ගේ තදබදයෙන් කූඩාරම තැනූ කූඩාරමේ හිමියා, කාන්තාරයේ රත්වූ වැල්ල මතට විසිවුණේය.


කරකියාගත දෙයක් නැතිව මිනිසා රත්වී ගිනියම් වූ කාන්තාර වැල්ලේ  දිගා වූයේය.


 ඔටුපවුල සැපෙන් සිහිලෙන් කූඩාරම ඇතුළේයි.


තැනූ මිනිසා ගිනි දැවෙන කාන්තාර වැල්ලේ හිතින් ගතින් පිළිස්සේ.


RECOMMEND POSTS