රුසියානු ජනාධිපති පුටින්ට විශිෂ්ට ජයක්



 

“ඉහත අර්බුද සමයයෙහි, තත්ත්වය පාලනය කොට ස්ථාවර කිරීමෙහිලා ජනාධිපති ව්ලැඩිමර් පූටින් සමත්විය. රුසියාවට සාර්ථකත්වය ලද හැක්කේ හුදෙක් ප්‍රජාතන්ත්‍රවාදයෙන් බව මම ප්‍රබල ලෙස විශ්වාස කරමි. දේශපාලන තරගකාරිත්වය සඳහා රුසියාව සූදානම්ය. නියම බහු පාක්ෂික ක්‍රමයට, සාධාරණ ඡන්ද විමසීම්වලට, නිසි කලට රජය වෙනස් කිරීමට රුසියාව සූදානම්ය. ජනාධිපතිවරයාගේ මෙහෙය හා වගකීම නිර්වචනය කළ යුත්තේ මේ ආකාරයෙනි.”
“නව රුසියාව” නම් ග්‍රන්ථයෙහි කර්තෘ තැන්පත් හිටපු සෝවියට් නායක මිඩෙල් ගෝබෂොෆ් (1931)

 

සමස්ත ලෝක මට්ටමෙන් සලකා බලන කල්හි ඉතාම පෘථුල ජනාධිපති ඡන්ද තරගයක් වශයෙන්, නම් කළ යුතු රුසියාවේ ජනාධිපතිවරයා, තේරීමේ තරගය ගිය ඉරිදා පැවැත්තේය. (2018 මාර්තු 18)


ලියාපදිංචි ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව එකොළොස් කෝටියක් විය.


ජනපති පදවියට තරග කළ අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව (ජනාධිපති පූටින්ද ඇතුළුව) අට දෙනෙකි. ඔවුන් අතර කාන්තාවක්ද වූවාය. ක්සේනියා  සොබ්චාක් නම් වූ ඒ අපේක්ෂිකාවගේ වයස 36යි. රූපවාහිනී නිළියක් වන එතුමියගේ පියා පූටින් ජනාධිපතිවරයාගේ උපදේශකවරයෙක් විය.


කාල කලාප 11ක් ඔස්සේ විවිධ ප්‍රදේශවල පැවැත්වුණු මේ ඡන්ද විමසීමට පෑ 22ක් ගතවිය. ලියාපදිංචි කරන ලද ඡන්ද දායකයන්ගෙන් ඡන්දය දෙන ලද්දේ සියයට 67 දෙනකු විසින් පමණි. ප්‍රකාශ කරන ලද ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 76.67ක්ම හිමිවූයේ ජනාධිපති පූටින්ටයි. එයින් දැක්වෙන්නේ ඡන්දදායකයන් අතුරින් පන්කෝටියකටත් වැඩි සංඛ්‍යාවක් ජනාධිපති පූටින්ට සිය ඡන්දය දුන් බවයි.


රුසියානු ජනාධිපති තරගයෙහි විශේෂ ලක්ෂණ කිහිපයක් විය. අජටාකාශ ගාමියෙකුටත් සිය ඡන්ද භාවිත කිරීමේ අවස්ථාව සපයා තිබිණි. තවත් විචිත්‍ර සිද්ධියක් වූයේ ඇතැම් ඡන්දපොළවලදී ඡන්දදායකයන් විසින්ම ඡන්දදායකයන් උදෙසා නොමිලේ ආහාර පාන සපයන “දන්සැල්” සකස් කොට තිබීමයි.


මෙසේ ව්ලැඩිමියර් ව්ලැඩිමියොරොවිච් පූටින්, 2018 ටේ සිට 2024 දක්වා හය අවුරුදු පාලන වාරයක් සඳහා ජනපති පදවියට තෝරා පත් කොට ගනු ලැබීය. හැටපස් හැවිරිදි ව්ලැඩිමර් පූටින් ජනාධිපතිවරයා, ජෝසප් ස්ටාලින්ගෙන් පසුව ඉතාම දිගු කලක් පාලන පදවිය ලබන රුසියානු නායකයා වේ. ජනාධිපති පූටින් මහතා උපත ලැබුවේ 1952කේ ඔක්තෝබර් හත්වනදායි.


ජනාධිපති තරගයෙන් විශිෂ්ට ජයක් ලබා තවත් හය අවුරුද්දක් රුසියාව පාලනය කිරීමට වරම් ලද, ජනාධිපති පූටින්, සිය නව පාලන වාරය ආරම්භයේදී ආදර්ශමත් ක්‍රියාවක යෙදුණේය. ජනාධිපති පූටින් තමා හා තරග කළ අනික් අපේක්ෂකයන් හත්දෙනා කැඳවූයේය. ඔවුන් හා සමග සුහද කතා බහේ යෙදුණු ජනාධිපති පූටින්, ඔවුන්ට කියා සිටියේ, තමන්ගේ පාලන සමයෙහිදී ඒ අපේක්ෂකයන්ගේ අදහස් උදහස්, මතවාද, නිරන්තරයෙන්ම විමසන බවයි. ඔවුන්ගේ සහයෝගය තමා ගරු කරන බව ජනාධිපති පූටින් විසින් ඔවුන්ට පවසා සිටීම සිදුවූයේ සිය පාලන වාරයේ මුල්ම ක්‍රියාවලිය වශයෙනි.


ජනාධිපති පදවිය පැවැත්වෙන කාලය ආශ්‍රිතව රුසියාවත්-බටහිර රාජ්‍ය කිහිපයකුත් අතර බැරෑරුම් අර්බුදයක් හටගත්තේය.


මෙයට ප්‍රධාන හේතුව වූයේ බි්‍රතාන්‍යයේ සිදුවූ සිද්ධියකි. සෝවියට් රාජ්‍යයේ ද්විවර්ගීය බුද්ධි නිලධාරියකු වශයෙන් සේවය කළ ස්ක්‍රියාපාල් පදිංචිව සිටියේ එංගලන්තයේයි. හිටිහැටියේ ඔහුත්, ඔහුගේ දියණියත් බැරෑරුම් ලෙස රෝගාතුර වූහ. දැනට පැවසෙන පරිදි ඔවුන් ලෙඩ වූයේ ස්නායු පද්ධතියට හානි පමුණුවන විෂ වර්ගයක් නිසායි. ස්නායු පද්ධති නාශක “නොවිඩෙක්” නම් ඒ විෂ වර්ගය රුසියාවේ රසායනික අවියක් වශයෙන් තැනෙන්නකැයි බි්‍රතාන්‍යය ප්‍රකාශ කොට සිටී. මෙය රුසියාව විසින් කරන ලද වරදක් හෙයින්, බි්‍රතාන්‍යයේ සිටින රුසියානු තානාපති සේවයේ යෙදුනු 23න් දෙනෙක් ඒ පදවිවලින් පහකොට සිය දේශයට යවන්නට බි්‍රතාන්‍යය රජය තීරණය කළේය.


එයට ප්‍රතික්‍රියා වශයෙන් රුසියාව විසින් ඒ දේශයේ තානාපති සේවයේ යෙදෙන බි්‍රතාන්‍යය නිලධාරීන් 23 දෙනකු පෙරලා සිය රාජ්‍යයට බි්‍රතාන්‍යයට යවන්නට තීරණය කරන ලදී. බි්‍රතාන්‍යයත් යුරෝපා රාජ්‍ය කිහිපයකුත් එක්ව කෙරෙන චෝදනාව පදනම් විරහිත යැයි කියා සිටින, රුසියාව, විසින් ඉදිරිපත් කෙරෙන යෝජනාව මෙයයි. “මේ ස්නායු පද්ධති නාශක “නොවිඩොක්” නම් විෂ වර්ගය රුසියානු නිෂ්පාදනයකැයි කියන කියමන සාධක සහිතව ස්ඵුට කළ යුතු වේ. එය කළ නොහැක්කේ නම් බි්‍රතාන්‍යය විසින් රුසියාවට සිය ඛේදය පළ කළ යුතුයි.”


මේ අර්බුදය තාමත් එතැනය.


ජනාධිපති තරගය ජය ගැනීමෙන් පසුව ඇතැමුන් ජනාධිපති පූටින්ට කියා සිටියේ, ඔහු රුසියාවේ යාවජීව ජනාධිපති විය යුතු බවයි. ඉරිදා රෑ ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍ය නියෝජිතයන් අමතා ජනාධිපති පූටින් මෙසේ කීය.


“මේ අහන්න. මට හිතෙන්නේ  ඔබ අහන දේ සිනාවට සුදුසු ප්‍රශ්නයක් හැටියටයි. මා යළිත් 2030යේදීත් ජනාධිපති තරගයට මුහුණ පාලා මා අවුරුදු සීය වන තෙක් මෙතැන වාඩි වී සිටිය යුතු යැයි ඔබ සිතනවා ද? නෑ ඒක වෙන්නේ නෑ.”


හැටපස් හැවිරිදි ජනාධිපති පූටින්ගේ චරිතය අතිශයින් කුහුල දනවන සුළු ලක්ෂණ සහිතයි.


ජනාධිපති පූටින් උපත ලැබුවේ සෙන්ට් පීටර්ස්බර්ග් හිදීය. ඔහුගේ පියා දෙවන ලෝක මහා යුද සමයේ රණවිරුවෙකි. පසුව ඔහු දුම්රිය මැදිරි තනන කර්මාන්ත ශාලාවක සේවය කළේය. මාතාව අති බැතිමත් ක්‍රිස්තු භක්තික කාන්තාවක් වූවාය.


ජනාධිපති පූටින්, සිය ළමා සමය පිළිබඳව කරුණු දක්වා සිටී. ඔහු විසින් පැවසෙන පරිදි ඔහු කුඩා කාලයේ එතරම් අධ්‍යාපනයට කැමැති දරුවෙක් නොවීය. කුඩා කාලයේ තමා දඟකාරයෙක් වී යැයි ඔහු කියා සිටී.


කුඩා කාලයේදී කෙසඟ සිරුරක් සහිතව සිටි පූටින්, බොහෝ දෙනාගේ ඇනුම්, බැණුම් වලට මූණ පෑයේය. ඔහු ආත්මාරක්ෂක රණ ක්‍රීඩා ප්‍රගුණ කළේය. ජූඩෝ ඔහු ප්‍රගුණ කළ එක් රණ කලාවකි. ඒ කලාවත් සමග එක් වූ ආධ්‍යාත්මික ගුණ වගාව ඔහු අගය කළේය.


යොවුන් වියේදී පූටින් ආත්ම චරිත කතා වර්ගයේ පොතක් කළේය. ප්‍රශ්නෝත්තර ස්වරූපයෙන් ලියැවුණු ඒ පොත “උත්තම පුරුෂ” නම් වේ.


යොවුන් පූටින්ට අහම්බයකින් මෙය ඔහු ඉතාම කැමති වෘත්තියට මග පෑදුනේය. ඒ “බුද්ධි අංශයේ” නිලධාරි පදවියකි.


යොවුන් පූටින් දේශපාලන ක්ෂේත්‍රයට ගියේ, ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ නගරාධිපතිවරයා මගිනි.


අනාගතයට මග පාදමින්, පූටින් තරුණයාට කෙම්ලින් මන්දිරයේ ඇසුර විවර විය.


එතැන් පටන් පූටින් චරිතය ක්‍රෙම්ලින්හි ප්‍රධානීන් හා සමග අවියෝජනීය ලෙස ඒකාබද්ධ විය.


ජ්‍යෙෂ්ඨ පාලනවේදී සෙල්ට්සික්ගේ සහායයෙන් කෘතහස්ත පූටින් ප්‍රවීණයා 1999යේ අගෝස්තු මාසයේදී අගමැති පදවිය ලද්දේය.
වලැඩිමර් පූටින් චරිතයේ මේ අලුත්ම පියවරේදී ජනාධිපති පූටින්, සිය අනාගත අභියෝගයනට ඉතාම උච්ච කැපවීමකින් මූණපාන්නට සූදානම් බව ඉතාම පැහැදිලිව ප්‍රකාශ වී ඇත්තේය.


සිය පදවියට අලුතෙන් එළඹීමේදී ජනාධිපති පූටින්, මුඛ්‍යතා සලසා තිබෙන්නේ, අත්‍යවශ්‍ය ආර්ථික ශක්තිකරණ මාලාව දෙසටයි.
මුළු ලෝකයම ඒ නව ජනාධිපතිවරයාගේ ප්‍රකාශිත ප්‍රතිපත්ති මාලාව දෙස තියුණු අවධානයෙන් බලා සිටී. 


ඇතැම් යුරෝපා දේශ හා සමග මේ සමයේදී පැන නැඟ තිබෙන අර්බුදකාරී තත්ත්වය, මෑත අනාගතයේදී, ජගත් සාමයට හිත ඇති ආකාරයෙන් නිරාකරණය කෙරෙනු දැකීම, අද ලොව බහුතරයකගේ පරම අභිප්‍රායයවේ. 


ලෝකයේ හැම පැත්තකින් පාහේ, මානව වර්ගයාගේ දුක් වේදනා දියුණු කෙරෙන ආකාරයේ, ප්‍රවනතා අසන්නට දකින්නට ලැබේ. 


උතුරු කොරියාව නිසා ලොව බොහෝ දෙනෙකු තුළ ඇති වූ කම්පනය, ජගත් ජන මණ්ඩලයේ ජීවනශෛලියට හානි නොවන ආකාරයෙන් තැන්පත් බවට පත්වේවායි කවුරුත් ප්‍රාර්ථනා කරන මේ මොහොතේදී නව පාලන වාරය ලැබ සිටින මහජන චීන සහ රුසියා රාජ්‍යයන්හි බලවත් නායකයන්ට, මානව ඉතිහාසයට සහනදායී පරිච්ඡේඡදයක් එකතු කරන්නට වරය ලැබේවායි පැතීම ඉතාම  සුදුසුය. 


 

 

මානව චින්තනය වෙනස් කළ ස්ටීවන් හෝකින්

විශ්වය පිළිබඳ දැනුම ලොවට බෙදා දෙමින්, ඉතා වේදනාකාරී ජීවිතයත් ගත කළ මහා විශ්වවේදී හෝකින් දින කිහිපයකට පෙර මුළු ලොව හැර ගියේය.


ඔහු විසින් මෙයට තිස්වසරකට පෙර ලියන ලද “කාලය පිළිබඳ කෙටි ඉතිහාසයක්” නම් ග්‍රන්ථය ඔහු සතු කුතුහලය නිසා උපන්නකි. ඔහු හැමවිටම කියා සිටියේ, තමාට විශ්වය හදාරන්නට ඕනෑය කියාය.


ඔහුට වැළඳුනේ ස්නායු පද්ධතිය දිරාපත් කරන මාරාන්තික රෝගයකි. 


ඔහුගේ සිරුර අකර්මන්‍ය විය. එහෙත් තාක්ෂණයේ ආධාරයෙන්, සිය මුව නොසොල්වා වචන උච්චාරනය කරන්නට ඔහු ක්‍රමවේදයක් තනා ගත්තේය. 


ලෝකයේ මහා උගතුන්, ශ්‍රේෂ්ඨ පාලකයෝ හැමෝම පාහේ ඔහු බැහැ දකින්නට ආහ.


ඔහුට, දෛවය විසින් දී තිබුණු අසීමිත හදුශ්‍ය බලයෙන් ඔහු විශ්වය කියවූයේය. 


ස්ටීවන් හෝකිස්, විශ්වය තමාගේ අත්පොත බවට පරිවර්ථනය කොට ගත්තේය.


සිය අභාවයට දෙසතියකට පෙර ස්ටීවන් හෝකිස්, මානව වංශයේ අනාගතය පිළිබඳ අනතුරු හැඟවීමක් කළේය.


ලෝක විනාශය සිදුවන බවට ඔහු ඒ අවසාන ලිපියෙන් අනාවැකියක් ලියා තැබුවේය. ඒ අශුභ වාදී අනාවැකිය කියන ගමන්ම, එයට විකල්පයක් වශයෙන් නව විශ්වයක් පිළිබඳ අනාවරණයක් විද්‍යාඥ්‍යන් විසින් ලද හැකි ආකාරයද, ඔහු එහි පැවසුවේය.


මේ විස්මය දනවන අනාවැකිය ඔහු පළ කළේ, මැරෙන මොහොතට ඉතාම කිට්ටුවෙන් සිටිමිනි. මේ මහා විද්‍යාඥයාට මේ අනාවැකිය සඳහා නොබෙල් ත්‍යාගය සුදුසු යැයි ඒ විද්‍යාඥයාගේ මතයේ සමසංස්කාරක මහාචාර්ය තෝමස් හාර්ටොශ් කියා සිටී. 


තාරකාවල බලවේගය ක්ෂයවී ගිය විට, අපගේ විශ්වය, නැතිවී යන්නේ යැයිද හෝකිස් විද්‍යාඥයා කියා ඇත්තේය.


ඒ විද්‍යාඥයා ගෙන් තොර ලෝකය, ඇල්බට් අයින්ස්ටෛන් ගෙන් තොර ලෝකය තවත් පාළු තැනක් බවට පත් කෙරෙයි.


 

පැරැණි පොතපත කාල් මාක්ස්ගේ ඩස් කපිටාල්

නවීන ලෝකයේ ඉරණම, ඉතාම පෘථුලාකාරයෙන් වෙනස් කළ ග්‍රන්ථයන් අතුරෙන්, ඩස් කපිටාල් (ප්‍රාග්ධනය) නම් කෘතියට විශේෂ සථානයක් හිමිවන්නේය.


ජගත් ජනතාවගේ ජීවිත කෙරේ, ඒ නිසා බැරෑරුම් ලෙස බලපෑ වෙන අන් ග්‍රන්ථයක් නැති තරම්ය.


මේ පොත කරන ලද්දේ කාල් මාක්ස් විසිනි. ඔහු උපතින් ජර්මන් ජාතිකයෙකි. එහෙත්, ඔහුගේ ඉරණමට අනුව, ඔහු සිය ජීවිතයෙන් වැඩි හරියක් ගත කළේ උපන් බිමෙන් ඈත්වය.


කාල් මාක්ස් උපත ලැබුවේ 1818 මැයි පස්වැනිදායි. ඔහු වැඩි කලක් ගෙව්වේ ලන්ඩන් නගරයේයි.


ගැඹුරු ප්‍රඥාවකින් හෙබි ඔහු, විවිධ විද්‍යා ක්ෂේත්‍ර ජයගත්තෙකි. ඔහු දර්ශනවාදියෙකි. ආර්ථික විද්‍යාඥයෙකි. ඓතිහාසික ලේඛකයෙකි. දේශපාලන සිද්ධාන්ත වාදියෙකි. සමාජ විද්‍යාඥයෙකි. එමෙන්ම ඔහු පුවත්පත් කලාවේදියෙකුත් විය. 


නවීන ලෝකයේ විප්ලව වාදීන්ගේ අත් පොතක් වශයෙන් ස්ථාපිතව පවත්නා ‘ඩස් කපිටාල්’ (ප්‍රාග්ධනය) නම් පොතේ මුල් කෘතිය සැපයුනේ පර්මන් බසිනි.


ඔහු 1847 තේදී කොමියුනිස්ට් සංගමය නව මුහුණුවරකින් සංවිධානය කළේය. එහිදී ඔහුට සහාය වූයේ ඔහුගේ හෘදයංගම මිත්‍ර එන්ගල්ස්ය. 1848 දී ඔහු ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ ප්‍රසිද්ධ කළේය. බ්‍රසල්ස් නගරයෙන් පිටුවහල් කරනු ලැබූ ඔහු, සිය මහා කෘතියවන ඩස් කපිටාල් (ප්‍රාග්ධනය) ලියුවේ ලන්ඩන් නගරයේදීය. ඒ 1867 දීය. මේ ග්‍රන්ථ සම්පූර්ණ කරන්නට පෙර ඔහු 1883 නේදී අභාවයට පත්විය. 


ඔහුගේ ඒ කෘතිය පසුව සම්පූර්ණ කරන ලද්දේ ෆ්‍රීඞ්රිෂ් එන්ගල්ස් විසිනි.


ඔහු ඒ මහා කෘති කළද, ඇතැම් නිර්මාණාත්මක රචනාවලටද ඔහු යොමුවූයේය. ඔහු විසින් ලියන ලද කෙටි කථාවක නම ‘ගෝනුස්සා සහ ෆීලික්ස්’ ය. කාල් මාක්ස් කතා ලියුයේය. නාට්‍ය කළේය. එපමණක් නොව ඔහු පෙම් කවිද රචනා කළේය. එහෙත් ජගත් චින්තනය වෙනස් කරන ලද්දේ ‘ප්‍රාග්ධනය’ නම් මහා කෘතිය විසිනි. 


සාහිත්‍ය ලෝකය සහ ඇත්ත ලෝකය

මෙයට සියවසකට පමණ පෙර, කුලීන කාන්තාවක් සිය සුඛෝපභෝගී අස්රියෙන් වාරිකාවක යෙදී සිටියාය. 


එය බොහෝසේ හිම පතිතවන, දැඩි ශීතලක් පැතිර පැවති කාලයකි.


එහෙත්, රියතුළ ඒ කාන්තාව වාඩිවී සිටින පෙදෙස ඉතාම උණුසුම් ලෙස සකස් කොට තිබිණි. බැහැර ලෝකයේ ශීතල ඇයට මදවශයෙන් හෝ දැනුනේ නොවේ.


ඒ කාන්තාව, එසේ උණුසුම්ව සිටියද, ශීතලෙන් පීඩිත නොවී ගමන් කළද, අශ්ව රිය පැදවූ තැනැත්තාගේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් වූයේය. රියැදුරා විවෘත අසුනක වාඩිවී හිම කැටවලින් බැට කමින් ශීතලේ ගැහෙමින් රිය පැදවූයේය.


රිය තුළ උණුසුම්ව ගමන් කළ කුලීන කාන්තාව, චාරිකාවේ යෙදුණේ පොතක් කියවමිනි. 


ඒ පොතේ ලියැවී තිබුණේත්, දැඩි ශිීතල සමයක තමා මෙන්ම ඉතා උණුසුම්ව අස්රියෙන් ගමන් ගන්නා කුලීන කාන්තාවක් ගැනයි.
පොතේ එන කාන්තාව ගමක් කළ රිය පැදවූ තැනැත්තා ද තද ශීතලේ ගැහෙමින් හිම බැට කමින් රිය පැදවූයේ යැයි පොතේ ලියැවුණේය.


ඒ රියේ ගමන් කළ කුලීන කාන්තාව, පොතේ එන අස්ව රියැදුරාගේ දුක ගැන කඳුළු වගුරුවමින් පොත කියවූවාය.
එහෙත් ඇයගේ රියැදුරා......?


RECOMMEND POSTS