මැන්චෙස්ටර් ඝාතනය මානව සංහතියට කැළලක්
“අතිශයින්ම නපුරු ක්‍රියාවක්. හද පාරන කරුණ නම් මේ හැමෝම මෙතරම් සිඟිත්තන්වීමයි. ඔවුන්ගේ වයස සිත රිදුවන්නේය.”
දෙවන එලිසබෙත් මහ රැජින (ප්‍රහාරයට ගොදුරු වූ සිඟිත්තන්ගේ රෝහලේදී.)
සිද්ධිය සිතින් මවා ගනිමු.
තැන - බි්රතාන්යයේ තුන්වන මහා නගරය වන මැන්චෙස්ටර් පුරවරයේ මැන්චෙස්ටර් ඇරීනා, විවිධ ප්‍රසංග රඟහල.
දවස - මැයි මස 22 වන සඳුදා
වේලාව - අපරභාග 9.33 යි. (ශ්‍රී ලංකාවේ වේලාවෙන් නම් මැයි මස 23 වන අඟහරුවාදා පූර්ව භාග 3.05 යි.)
විසිඑක් දහසක් ප්‍රේක්ෂකයන්ට අසුන් ගතහැකි මේ දැවැන්ත රඟහලෙහි එදා විශේෂ ආකර්ෂණයක් තිබුණේය.
අද බටහිර ලෝකයෙහි දහරවියේ දැරියන්, ප්‍රමෝදයෙන් කුල්මත් කරන ඔවුන්ගේ පුංචි ආත්මයට තියුණු උත්තේජනයක් සපයන ඉතා තුරුණු අධි ජනකාන්ත ගායිකාවක් සිටින්නීය.
ඇයගේ නම ආරියානා ග‍්‍රාන්ඞ්, මේ නව යොවුන් ඇමෙරිකානු ගායිකා ලලනාවගේ වයස විසිතුනයි. මේ ළපටි තාරකාව “පායන” හැම තැනකම, ඉතා ලාබාල දැරියෝ, ඉවක් බවක් නැතිව රැස්කති.
ආරියානා ග‍්‍රාන්ඞ් ලාබාල ගායිකා තාරකාවට, කුඩා දැරියන් වශීවන්නේ මක්නිසාදැයි මනෝ විද්‍යාඥවරියක් විවරණය කරන්නීය.
ආරියානා ග්රාන්ඞ්ගේ ගායනා ඒ කුඩා දැරියන්ට තමන්ගේම “වස්තුවකි.” වැඩිහිටියන්ගේ අණසකට යටත් නොවන, තමන්ටම විශේෂ වූ අත්දැකීමකින් ආරියානා ග්රාන්ඞ්ගේ ගායනා දකින ඒ සිඟිති දැරියන්ගේ ආධ්‍යාත්මය නහවන්නේය.
මේ සෙල්ලක්කාර ගායිකාව දසදහස් සංඛ්‍යාත පුංචි ලෝලීන්ට අප්‍රමාණ සුවයක් ලබා දෙන්නීය.
එදා ඒ දෛවෝපගත මැන්චෙස්ටර් ඇරීනාවට, සිඟිති දැරියන් ඇදෙනා ලද්දේ ආරියානා ග්රාන්ඞ්ගේ සංගීත ප්‍රසංගයක් එහි පැවැත්වුණු හෙයිනි.
දෙමාපිය වැඩිහිටියන්ගේ අත්වල එල්ලීගෙන කුඩා දැරියෝ, සතුටින් ඉපිලෙමින් රඟහලට පැමිණියහ.
එදා එහි පැමිණි ඉතාම ලාබාල ආරියානා ලෝලියෙකු වූයේ අටහැවිරිදි සැෆී රෝස් රූසෝස්ය. ඒ සිඟිති දැරිය එහි ආයෙ ඇයගේ මවත්, අක්කාත් කිට්ටුවෙනි.
ශ්‍රවණාගාරයේ සිටි සිඟිති දැරියෝ ආරියානාගේ ගායනයට එක්වූහ. ඔවුන්ගේ පුංචි අත්වල රුඳුනු, ජංගම දුරකථනයෙන් ඒ ගායිකාවගේ, සින්දු අසමින් ඒ සුරතල් දරුපැටව් ද ගායනයේ යෙදුනහ.
ආරියානා ගැයුවේ “ තවත් අන්තිමට එක්වරක්” නමැති හැඟීම් බර ගීයයි. පුංචි දැරියෝ සිය සෙල්ෆෝන්වල ආලෝකයෙන් අඳුර මකාගෙන, ආරියානාගේ සින්දුවට අත්වැලක් එක් කළහ. පුංචි කටහඬින් ගැයුනේ මේ වදන් පෙළයි.
“අනේ තව එක සැරයක්. ඉන්පසුව ඔයාට යන්න දෙනවාය කියා මා පොරොන්දු වෙනවා.”
මොහොතක නිහැඬියාවක් තිබිනි.
ඉන්පසුව, මහ හඬ නඟාගෙන අපාය පිපුරුනේය.
අන්ත කම්පනයට පත් දරු පැටව්, ඒ මේ අත පැන දුවයන්ට වූහ. ඔවුහු කළ කිය යුතු දෙයක් නොදැන තමන්ගේ දෙමාපියන්, නෑදෑ හිතවතුන් සෙව්වේ ළය පාරන දුක් හඬ නඟා ගෙනයි.
ඒ අහිංසක දරු පැටවුන්ගේ දුක්ගින්න මොහොතකින් ලොව පුරා විහිදී පැතිර ගියේය. ලෝක නායකයෝ, ක්ෂණයකින්ම සිය මහා සංවේගය ප්‍රකාශ කළහ.
අතිශයින්ම කම්පාවට පත්වූයේ ආරියානා ග‍්‍රාන්ඞ් ගායිකාවයි. සිද්ධියෙන් හටගත් ආත්ම වේදනාව නිසා ආරියානා තමන් අරඹන්නට සැලසුම් කොටගෙන සිටි ජගත් සංගීත චාරිකාවද අත්හැර දැම්මාය.
එතැන් සිටි ඉතාම සිඟිති ගායක ලෝලිය වන අට හැවිරිදි සැෆී රෝස් රූ සොස්ගේ පුංචි ප්‍රාණයද මේ දුක්වේදනා ප්රවාහනයෙහි මැකී ගියේය.
මහ පොළොව නුසුලන මේ “ත්‍රස්ත” අපාය, මෙතැනදී පුපුරා ගියේ කෙසේද?
අහිංසක දැරියන්, ආරියානා ග්රාන්ඞ්ගේ ඉමිහිරි ස්වරයෙන් නැළවෙමින්, තමන්ගේ ඒ ගායක වීරවරිය පළමුවන වරට සජීවි ලෙස දැක ගනිද්දී නරකාදියේ දූතයෙක් දාරක මාරකයක් අටවමින් සිටියේය.
අන්තවාදී සිතුවිලි නිසා විකෘති වූ මනසැතිව අහිංසක දරුවන්ට මරු කැඳවූ “නර රකුසා” සල්මන් අබෙඩි නම් විසි දෙහැවිරිදි තැනැත්තෙකි. ඔහුගේ දෙමාපියෝ ලිබියානු ජාතිකයෝයි. එහෙත්, ඔවුහු බි්රතාන්ය පුරවැසි පදවිය සහිතයි.
මේ අමානුෂික ඝාතන අපරාධයේ අවඥාදායි පැත්තක් වෙයි. අහිංසක ළමා සතුටකින් තුටුපහටුවෙමින් සිටි ලාබාල දරු පෙළ නසන ඝාතන කුමන්ත්‍රණය කළ අබෙඩි, මැන්චෙස්ටර් නගරයේ උපත ලද්දෙකි. ඔහුගේ මුවන්මා ගඩාෆිගේ දුර්දාන්ත පාලනයෙන් ගැලවෙන්නට බි්රතාන්යයට සංක්‍රමණය වූහ.
මේ “දරු මරුවා” කලක් විශ්වවිද්යාලයෙක වාණිජ ව්‍යාපාර පාඨමාලාවක නිරතව සිටියේය. ඔහු උසස් අධ්‍යාපනය අත්හැර දමා අන්තගාමී කල්ලියකට බැඳුණේය.
එදා රෑ මැන්චෙස්ටර් ඇරීනා රඟහලේ දොරකඩා ගිය ඔහු තමා විසින්ම තනන ලද බෝම්බයේ මැද පුපුරන ද්‍රව්‍ය රාත්තල් දෙකක් තිබුණේය. එය වටා යකඩ කැබලි, ඇණ ආදී ද්‍රව්‍ය සවිකොට තිබිණි.
ආරියානා ග්රාන්ඞ්ගේ ගායනයෙන් පසුව ප්‍රේක්ෂකයන් රඟහලෙන් පිටවන විට, මේ නර මරුවා බෝම්බය පුපුරුවා ගත්තේය.
රඟහලින් පිටතට එමින් සිටි සිඟිති දරුවෝ තමන්ගේ දෙමාපියන්, නෑ හිතවතුන් සොයා දුවන්නට වූහ. ඉතාම කුඩා දරුවන් කීප දෙනෙක් ඒ ඉවක් බවක් නැතිව පැන දුවන අයගේ පය පෑගුනහ. පවුල්වල අය ඒ මේ අතට වෙන්ව ගියහ. සමහර දරුවෝ කිට්ටුව තිබුණු හෝටල්වලට ගෙන යනු ලැබූහ.
තමන්ගේ සිඟිති දරු පැටවුන්ට සිදුවූයේ කුමක්දැයි සොයමින් සිහි විකල්වූවන් සේ ඇතැම් වැඩිහිටියොත් ඒ මේ අත දිව ගියහ.
පසුගිය අවුරුදු දෙක තුන මුළුල්ලේ යුරෝපා රටවල ත්‍රස්තවාදී ප්‍රහාර බහුලව සිදුවූයේය. ප්‍රංශය මෑතකදී කිහිපවිටක්ම ත්‍රස්ත ක්‍රියාවලට ඉලක්කය වූයේය. බර්ලින්, බ්‍රසල්ස් වැනි යුරෝපීය නගරය ත්‍රස්ත ආක්රමණවල දුක විඳගත් තැන්ය.
කුඩා දැරියන් බොහෝ දෙනෙකු සහභාගි වූ ආරියානා ග්රාන්ඞ්ගේ සංගීත ප්‍රසංගයට මේ මරාගෙන මැරෙන සල්මන් අබෙඩි ත්‍රස්තයා පහර එල්ල කළේ යම්කිසි විශේෂ හේතුවක් නිසාද? ඇතැමුන් තුළ එවැනි කුහුලක් පවතී.
ෂාලට් ඕල්ටර් නම් ලේඛිකාව විස්මයට තුඩුදෙන අදහසක් දක්වන්නීය. මෙය බටහිර ලෝකයේ බාලිකා ජීවන ශෛලියට එල්ල කළ ප්‍රහාරයක්ද වෙයි. මේ බාලිකාවෝ බලාරෝපනය ලද, නිදහස් අදහස් සහිත කාන්තාවන් බවට පත්වෙමින් සිටිති. ත්රස්තවාදීහු මෙය නුරුස්සති. ඔවුන්ට පෙනෙන්නේ මේ ආරියානා ග‍්‍රාන්ඞ් ගායිකාව ඒ බාලිකා නිදහසේ මූර්තිය බවට පත්වීගෙන එන බවයි. ඒ නිසා ඇයගේ ප්‍රසංගයට රැස්වූ කුඩා දැරියන්ගේ ජීවිතවලට හානි කරමින් ලොව පුරා මේ නව චින්තනය සහිත බාලිකා පරපුර බියපත් කිරීම මේ ත්‍රස්තවාදී මරුවාගේ අරමුණ විය හැකි යැයි සමහරු සිතති.
මේ ප්‍රසංගයට සහභාගි වූ දැරියන්ට මෙය සංගීත සංදර්ශනයක් මෙන්ම ජීවිතයේ නව සන්ධි ස්ථානයකි. මෙය උද්යෝගිමත් බාලිකා තත්ත්වයේ සිට ස්වාධීන කාන්තා තත්ත්වයට සංක්‍රමණය වීමකි.
ත්රස්තවාදීන් හිතන හැටියට මේ සිඟිති දැරියෝ බාලිකා මට්ටමේ සිට අන්තරායකාරී මේ ප්‍රවණතාව නැති කරන්නට, ත්රස්තවාදීන්ට ඕනෑ කොට තිබේ යැයි මේ විපත පිළිබඳව ඇතැම් විචාරකයෝ පවසති.
ඒ කෙසේ වුවද මැන්චෙස්ටර්හි නම් ව්‍යසනය සිදුවූයේ බි්රතාන්ය ඉතිහාසයෙහි ඉතාම ප්‍රබල මොහොතකයි. ලබන බ්‍රහස්පතින්දා (ජූනි අටවැනිදා) මහා බි්රතාන්යයේ ක්ෂණික මහජන ඡන්ද විමසීම පැවැත්වේ.
මේ ඡන්ද විමසීමේ අතිශයින්ම තීරණාත්මක පක්ෂයක් වෙයි. 2019 දී බි්රතාන්යය යුරෝපා සංවිධානයෙන් ඉවත්වන්නේ කවර කොන්දේසි හා නීති රීති මධ්යයේදැයි හරි හැටි දැනගත හැකිවන්නේ මේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලයෙනි.
මැන්චෙස්ටර් ප්‍රහාරය බ්‍රෙක්සිට් (බි්රතාන්යය යුරෝපා සංවිධානයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය) කෙරෙහි බලපාවිද?
බි්රතාන්ය අගමැතිනි තෙරේසා මේ මහත්මියගේ “කොන්සර්වැටිව්” පක්ෂය, විරුද්ධ පක්ෂයට වඩා සීයට 20 ක් ඉදිරියෙන් සිටී යැයි දින කිහිපයකට පෙර ප්‍රකාශ වූයේය. ත්‍රස්ත ක්‍රියාව, එම පක්ෂය ඉදිරියෙන් සිටීමට බාධාවක් වේද?
යුරෝපා දේශවලට වඩා තරමක වාසියක්, බි්රතාන්යය සතුව ඇත්තේය. පැරිසිය වැනි නගරයක පහර දෙනු පිණිස, යුරෝපා මහාද්වීපය ඔස්සේ හෙයින් අවි ආයුධ ගෙන ඒම තරමක් පහසුය. එහෙත් බි්රතාන්යය වැනි දිවයිනකට පිටරටවල සිට හොරට අවි ගෙන ඒම එතරම් පහසු නැත.
බි්රතාන්ය දිවයින ඇතුළත ආයුධ රහසේ ඒ මේ අත ගෙන යෑම වළක්වන ඉතා බලසම්පන්න ත්‍රස්ත වාරක සංවිධාන ස්ථාපිතව ඇත්තේය. බි්රතාන්යයේ ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙළ සඳහා 2016-2017 වර්ෂය උදෙසා පෙරට අධික වැය ශීර්ෂයක් වෙන්කොට ඇත්තේය.
මැයි 22 වනදා සිට මේ වනතෙක් මේ මැන්චෙස්ටර් ඝාතනයට හවුල් වූ අය දහසය දෙනෙක් පමණ සිරභාරයට ගනු ලැබ සිටිති. සල්මන් අබෙදි ත්‍රස්තවාදී ප්‍රහාරකයාගේ සොහොයුරා සහ පියාත් ලිබියාවේදී සිරභාරයට ගන්නා ලදී.
මෙවැනි අන්තගාමීන් සිටියදී බි්රතාන්යයේ අන්තර් සාමයික සබඳතාව යහපත් තත්ත්වයක පවතී. බි්රතාන්යයේ ආගම් අතර දෙවන තැන ගන්නේ ඉස්ලාම් භක්තියයි. මුස්ලිම් භක්තිකයන් විසිහත් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් එංගලන්තයේ වේල්ස්හිත් වෙසෙති. බි්රතාන්ය ජනගහණයෙන් සීයට පහක් පමණ ඉස්ලාම් භක්තිකයෝයි.
අන්තගාමී ත්රස්තවාදීන්ට ආගමක් ඇතැයි බොහෝ දෙනා නොසිතති.
කොයි ආකාරයේ දැඩි කෝපාවිෂ්ටකම් හා බලවත් විරෝධය තිබුණද මැන්චෙස්ටර් නගරවාසීහු එකාමෙන් සැදී මේ ආපදාවට මූණ පෑහ. යන එන තැන් නැතිව වික්ෂිප්තව සිටි මිනිසුන්ට ටැක්සි රියැදුරෝ, නොමිලයේ ගමන් පහසුව සම්පාදනය කළහ. හෝටල් හිමියෝ ඒ විපතට පත්වූවන්ට නොමිලයේ නවාතැන් දුන්හ.
දෙවන එලිසබෙත් මහරැජින ආරෝග්‍ය ශාලාවට ගොස්, ප්‍රහාරයෙන් රෝගීවු අයගේ දුක සැප සොයමින් රාජකීය ආදර්ශයක් සැපයූවාය.
අප ඒ කවර දේ පැවසුවද ඒ සිඟිති ජීවිතවලට මේසා හානියක් කළ ත්රස්තවාදයට නම් කිසිම කිසි සමාජයක ඉඩක් කඩක් තැබිය යුතු නොවේ.
ත්‍රස්තවාදය මුලිනුපුටාලනු පිණිස මාධ්‍යවලින් ඉටුවිය යුතු ප්‍රබල මෙහෙය, බි්රතාන්ය අගමැති තෙරේසා මේ මහත්මිය මුළු ලොවටම මතක් කොට දෙන්නීය. “ත්රස්තවාදයට විරෝධී සටන රණබිමේ සිට අන්තර්ජාලයට ගමන් කරන්නේය. හානිදායි දේ අන්තර්ජාලයෙන් ඉවත් කරන්නට සංස්ථාවන්ට බැරෑරුම් වගකීමක් ඇත්තේය. යොවුන් සිත විකෘති කරන ක්‍රෝධයෙන්, වෛරයෙන් උතුරා යන අන්තර්ගතයන් අන්තර්ජාලයෙන් ඉවත් කළ යුතු වේ. මුළු ලෝකයේම මාධ්‍යයනට අදාළ වන ප්‍රකාශයකි.
මේ මැන්චෙස්ටර් ඝාතනය විසින් බිලිගන්වන ලද 22 අතර ඉතාම ලාබාලයා වූ අටහැවිරිදි සැෆී රෝස් රූසෝස් සිඟිත්තියගේ පුංචි දෙනෙත් වැසී ගියේය. එහෙත් අපි හැමට මේ නපුරන් දෙස ඇස් ඇර බලා සිටිය යුතුවෙමු.
එදා පුංචි දරුවන් ප්රමෝදයට පත් කරන්නට, ළමා ජීවය රසවත් කරන ගීත ගායනය කළ ආරියානා ග‍්‍රාන්ඞ් ජන කාන්තාව ගායිකාව ගැනත් සිතමු. මේ සාහසික රකුසු ඝාතනයෙන් ආරියානා කොයි තරම කම්පා වුයේද යත් සතියක් පමණ ඇයට හරි හැටි නින්ද ගියේ නැතැයි ඇය කියා සිටින්නීය.
දරුවන්ගේ අහිංසක හුස්ම පොද හරිහැටි රැකගත හැකි ලොවක් අද මිනිසාට තනාගත නොහැකිද?
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව අධිපති
ටෙඞ්රෝස් අඩානොම් ග්රේබියීසස් නම් ඉතියෝපියානු ජාතික පාලන තන්ත්‍රවේදියා, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලෝක සෞඛ්‍ය ආයතනයේ නව අධිපතිවරයා වශයෙන් පත්කරනු ලැබ සිටී.
ඉතියෝපියාවේ හිටපු සෞඛ්‍ය කටයුතු හා විදේශාමාත්‍ය තැන්පත් මේ පාලනඥයා ජගත් සෞඛ්‍ය සංවිධානයේ අධිපති පදවිය ලබන්නේ අර්බුද බහුල කාලයකයි. මේ ආයතනයේ සංඛ්‍යාලේඛන වලින් ප්‍රකාශ වන්නේ අද ලෝකයේ හතර කෝටියක් දෙනා අසාධ්‍ය රෝගවලින් අවුරුද්දකට අභාවයට පත්වන බවයි. මැලේරියා රෝග මර්දන ව්‍යාපාර ආදිය පිළිබඳ ප්‍රබල අවබෝධයක් සහිත ටෙඞ්රෝස් මහතා ලෝක සෞඛ්‍ය දෙස තියුණු අවධානයක් යොමුකිරීමට සමත් විශිෂ්ටයෙකි.
ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්ගේ ජීවන උපදේශයක්
ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍යයේ දහසය වන ජනාධිපති ඒබ්‍රහම් ලින්කන්, මිනිස් ඉතිහාසයේ විශිෂ්ටතම පාලකයන්ගෙන් කෙනෙකි.
ඔහුගේ පාලන සමයේදී ඔහුගේ උසස් නිලධාරියෙක් අභාවයට පත්වූයේය. ඔහුගේ අවමංගල්‍යයට සියල්ල සූදානම් කොට තිබිණි. එවිට කෙනෙක් ඔහුට කතා කළේය.
“ජනාධිපතිතුමනි ඔබගේ උසස් නිලධාරියා අභාවයට පත්වූවා නේද?”
“ඔව්. ඔහු අභාවයට පත්වෙලා.”
“ජනාධිපතිතුමනි, මට ඔහුගේ තැන දිය හැකිද?”
ජනාධිපතිතුමා මෙසේ පිළිතුරු දුන්නේය.
“කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ අවමංගල්‍ය කටයුතු භාර අය කැමැති නම් ඔබතුමා ඒ නිලධාරියාගේ තැන ගන්න.”
්බිල්ගේට්ස් පොත්කාමියෙකි
“ලෝකයේ මහාම ධනවතා වන බිල්ගේට්ස්, පොතට පතට අසීමිත ආදරය දක්වන්නකි. ඔහුගේ මතය:
“පොත පත කියවීම, මගේ සාර්ථකත්වය කෙරේ අතිප්රබල ලෙස බල පෑයේය. මිනිසා සත්‍ය වශයෙන්ම මහලු වියට පත්වන්නේ පොත පත කියවීම නැවැත්වූ විටයි. හැම පොතක් විසින්ම මට යමක් අලුතෙන් උගන්වනු ලැබෙයි. නොඑසේ නම් යම් යම් දේ දෙස අලුතින් බලන්නට මට පොත් විසින් උගන්වනු ලැබේ. මා කියවීම සඳහා උනන්දු කළ දෙමාපියන් මට ලැබීම මගේ වාසනාවකි. කියවීම විසින් ලොව පිළිබඳව කුතුහලයක් උපදවා ගැනීමේ ආශාව උද්දීපනය කෙරෙන්නේය. මේ ගතිය, මගේ කාර්ය රටාව, තව තවත් ඉදිරියට ගෙන යෑම පිණිස මට උපකාරි වේ. මගේ පදනම විසින් කෙරෙන කටයුතු පෙරට රැගෙන යෑමටත් මට මේ උපකාරී වන්නේය.
බිල්ගේට්ස් මහා චරිතයේ මේ පක්ෂය බාල, මහලු, තරුණ කාටත් යහපත් මාර්ගෝපදේශයක්.