ඉරානය ඇමෙරිකාවට ගොරවයි



ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය පසුගිය දා, උතුරු කොරියාව, රුසියාව සහ ඉරානය යන රටවල් තුන  ඉලක්ක කර ගනිමින් සම්බාධක පැනැවීමේ යෝජනාවලියක් සම්මත කර ගත්තේය. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඊට සිය අනුමැතිය ද ලබා දුන්නේය. උතුරු කොරියාව, රුසියාව සේම, ඉරානය ද ඊට දැඩි විරෝධය දැක්වීය.

පාර්ලිමේන්තුව අමතමින්, විශේෂ ප්‍රකාශයක් කළහසන් රොව්හානි ඉරාන ජනාධිපතිවරයා අවධාරණය කළේ ඇමෙරිකාව මේ වනවිට විශ්වාසය තැබිය නොහැකි රටක් බවට පත්වී ඇති බවය. ඒ අනුව, ඉරානයත් ඇමෙරිකාවත් අතර ඇයිහොඳයිකම් තව තවත් අවුල් වීමේ පමණක් නොව, දෙරට අතර අවි ගැටුමක් ඇතිවීමේ වාතාවරණයක් නිර්මාණය වී ඇත.

ඉරානය වසර ගණනාවක් තිස්සේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල සම්බාධකවලින් පීඩාවට පත්වුණු රාජ්‍යයකි. ඒ, ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජනයක් බව බටහිර රටවල පිළිගැනීම වී තිබුණි. 2015 වසරේ දී, ඇමෙරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය, චීනය, රුසියාව සහ ජර්මනිය ඇතුළු යුරෝපා සංගමයේ රටවල් එක් වී, ඉරානය සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීමෙන් පසු පොදු එකඟතාවක් ඇති කර ගත් අතර,ඒ අනුව න්‍යෂ්ටික අවි නිපදවීමට අවශ්‍ය මට්ටමින් යුරේනියම් බලගැන්වීමක් නොකරන බවටත්, යුරේනියම් බලගැන්වීම් කරන්නේ රටේ බලශක්ති අවශ්‍යතාව සපුරා ගැනීමට පමණක් බවටත් ඉරානය ප්‍රතිඥා දුන්නේය. එදා ඇමෙරිකාවේ ජනපති ධුරය හෙබ වූයේ බැරැක් ඔබාමාය. ඉරානයේ ජනපති වූයේ මධ්‍යස්ථමතධාරී හසන් රොව්හානිය.

අද ඔහු ඔහුගේ දෙවැනි ධුර කාලය ආරම්භ කරමින් යළිත් වරක් ඉරානයේ ජනපති ව සිටියි. ඩිමොක්‍රටික් පාක්ෂික ඔබාමාගේ පරිපාලනය අවසන් වීමෙන් පසු, රිපබ්ලිකන් අපේක්ෂකයකු ලෙස ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ ද ඉරානය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන බවටත්, මැදපෙරදිග කලාපයේ කටයුතු අවුල් කරන බවටත් චෝදනා කරමිනි. ඉරානයේ එරිදිවාදියකු මෙන්ම ඇමෙරිකාවේ සමීපතමයකු ද වන ඊශ්‍රායලයට මෙය විශාල අස්වැසිල්ලක් විය.

පසුගිය දා, ඇමෙරිකානු කොංග්‍රස් මණ්ඩලය ඉරානයට සම්බාධක පැනවීමට තීරණය කළේ, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින් නොව, ඉරාන මිසයිල වැඩසටහන සම්බන්ධයෙනි. ඉරානය අවස්ථා කිහිපයක දී, මිසයිල අත්හදා බැලීම් සිදු කළේය. එය ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. ඩොනල්ඞ් ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසු, කලින් ඔබාමා පරිපාලනය යටතේ ඇමෙරිකාව ඇතිකරගත් සම්මුතීන්ගෙන් බැහැර වීමට උත්සාහ ගන්නා බව දැන් පැහැදිලිය. ඔබාමා පාලනයේ අවසන් සමයේ එනම්, 2015 වසරේ දී, ඇමෙරිකාව ඓතිහාසික එකඟතා තුනකට සම්බන්ධ විය. එයින් පළමු වැන්න සෙසු ලෝක බලවතුන් සමඟ ද එක් වී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් වියානා එකඟතාවයි. මෙය, අන්තර් ජාතික ප්‍රජාව පොදුවේ ගත් තීරණයක් වුවත්, එහිදී ඇමෙරිකාව මූලිකත්වය ගෙන කටයුතු කළේය.

ඇමෙරිකානු ජනාධිපති ඔබාමාගේ මැදිහත් වීමෙන්, ලොව සෑම රටක්ම එක්වී, ඉහළ යන ගෝලීය උණුසුම පිටුදැකීමේ උදාර අරමුණකින් යුතුව ප්‍රංශයේ පැරිස් නුවරදී ඇති කරගත් ‘පැරිස් සම්මුතිය’දෙවැන්නය. තෙවැනි ඓතිහාසික සම්මුතිය වූයේ ඇමෙරිකාවත් කියුබාවත් අතර යහපත් සබඳතා ඇති කර ගැනීමය. එහිදී ඔබාමා පරිපාලනය කියුබාවට පනවා තිබුණු සම්බාධක ලිහිල් කළේය. මෙම සම්මුති දෙකටත් වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අකුල් හෙළයි. පැරිස් සම්මුතියෙන් ඉවත් වීමට ට්‍රම්ප් තීරණයක් ගෙන අවසන්ය. ඔබාමා පරිපාලනය කියුබාවට ‘බුරුලක් දුන්නැයි’ ට්‍රම්ප්ගෙන් නිරන්තරයෙන්ම විවේචන එල්ල වෙයි.

ඇමෙරිකාව පැනවූ නව සම්බාධක සම්බන්ධයෙන්, දෙවැනි ධුර කාලය සඳහා විශිෂ්ට ජන වරමකින් තේරී පත් වුණු හසන් රොව්හානී, ඉරාන පාර්ලිමේන්තුව අමතා කියා සිටියේ, වොෂින්ටන් පාලනය තම රටට එරෙහිව සම්බාධක පැනැවීමට කටයුතු කරන්නේ නම්, මාස කිහිපයකින් නොව, සති කිහිපයකින් නොව, දින කිහිපයකින් නොව, පැය කිහිපයක් ඇතුළත,එතෙක් සීමා කර තිබූ සිය න්‍යෂ්ටික වැඩසටහන උපරිම තත්ත්වයට පත් කරන බවය. 2015 වසරේ දී ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාවෙන් බැහැර වන්නේයැයි ඉරාන ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

ඇමෙරිකාව අන්තර්ජාතික තලයේදී, විශ්වාස කිරීමට බැරි රටක් බවට පරිවර්තනය වී ඇතැයි ද ඉරාන ජනාධිපතිවරයා චෝදනා නැගුවේය. ඒ අනුව, ටෙහෙරාන් පාලනය සහ වොෂින්ටනය අතර සබඳතා යළිත් වරක් පළුඳුවීමේ අවදානමක් මතු වී ඇත. ඒ අනුව ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ ඇමෙරිකාව ඉදිරියේ දී ඉරානයට එරෙහිව යුද ගැටුමකට පවා යන්නට ඉඩ තිබේ.

ලුසිත ජයමාන්න


RECOMMEND POSTS